මාතර – කතරගම දුම්රිය මාර්ග ව්‍යාපෘතිය ගැන මීට පෙරද අපි ලියා ඇත්තෙමු. මේ ව්‍යාපෘතිය 2013 අගොස්තුවේ රාජපක්ෂ ආණ්ඩුව සමයේ ආරම්භ කළ එකකි. ව්‍යාපෘතිය ආරම්භ කළ සමාගමට ව්‍යාපෘතිය බාර නොදෙන ලෙස ඇමෙරිකන් ඩොලර් මිලියන 278.2 ක ණයක් ලබාදුන් චීන එක්සිම් බැංකුව නිර්දේශ කර තිබුනි.එහෙත් එම සමාගමටම ව්‍යාපෘතිය බාරදීමට රාජපක්ෂ ආණ්ඩුව කටයුතු කර තිබුණේ එම සමාගම කෙරෙහි රාජපක්ෂලාට අසීමිත ප්‍රේමයක් තිබුණු නිසා විය යුතුය.

ව්‍යාපෘතිය නිම කිරීමට සැලසුම් කර තිබුණේ 2016 ජුලි 31 වෙද්දීය. ඒ වෙද්දී ව්‍යාපෘතිය ආරම්භ කිරීමට සමාගම අසමත් විය. මේ ව්‍යාපෘතිය මේ වෙද්දී අවසාන කර ඇත. කෙසේ වෙතත් ව්‍යාපෘතිය අවසාන කිරීමට අපේක්ෂා කළ කාලසීමාව තුළ ව්‍යාපෘතිය අවසන් කර නොතිබුණු නිසා සිදුවූ පාඩුව අතිශය බරපතළ විය. කෙසේ වෙතත් යහපාලන ආණ්ඩුව සමයේ ප්‍රවාහන ඇමතිවරයා වූයේ නිමල් සිරිපාල ද සිල්වාය. ඔහු තුළද රාජපක්ෂලාට නොදෙවනි ප්‍රේමයක් චීන සමාගම කෙරෙහි තිබුණි.ඒ ප්‍රේමය නිසා රාජපක්ෂලාටවත් නිමල් සිරිපාල ද සිල්වාටවත් පාඩුවක් සිදුවී ඇතැයි කල්පනා කළ යුතු නොවේ. පාඩුව වුණේ ජනතාවටය. රටටය.

විගණකාධිපති දෙපාර්තමේන්තුව පෙන්වා දෙන ආකාරයට චීන එක්සිම් බැංකුව විසින් කොන්ත්‍රාත් සමාගම වෙත ඇමෙරිකන් ඩොලර් 83 460 000ක් ගෙවීම වර්ෂ දෙකකින් ප්‍රමාද වීම නිසා රුපියල් මිලියන 737.6 ක විනිමය පාඩුවක් සිදුව තිබේ. ඉහතින්ද පෙන්වාදුන් ආකාරයට මාස 48ක් තුළ කොන්ත්‍රාත්තුව නිම කළ යුතුව තිබුණි. එසේ වුව නියමිත කාලයට අවසන් නොකළ නිසා කොන්ත්‍රාත්තුව තුන් වරක් දීර්ඝ කිරීමට සිදු විය. ඒ නිසා රජයට රුපියල් මිලියන 36.5 ක විදේශ විනිමය පාඩුවක් සිදුව තිබේ.

මේ දුම්රිය මාර්ගය ඉදිකිරීමේ කොන්ත්‍රාත්තුව සඳහා වූ ගිවිසුමේ 8.7 හා 14.15 (6) වගන්ති අනුව කොන්ත්‍රාත්තුව ඉදිකිරීම ප්‍රමාද වුවහොත් ඉදිකිරීම් අවසන් කළ යුතුව තිබුණු 2016 ජුලි 31 වැනිදාට පසුව එන සෑම සතියකටම කොන්ත්‍රාත් වටිනාකමින් 0.1% ක ප්‍රමාද ගාස්තුවක් අය කළ යුතුව තිබුණි. ඒ අනුව 2018 ජුනි 14 වන විට සති 34 ක ප්‍රමාදයක් සිදුව ඇත. ඒ අනුව රුපියල් මිලියන 1445.85 ක ප්‍රමාද ගාස්තුවක් කොන්ත්‍රාත් ගාස්තුවක් අය කරගත යුතු විය. අය කරගත යුතුව ඇති මුදලක් අය නොකර සිටීමෙන් එන සමාගමට ලැබෙන්නේ ශුද්ධ ලාභයකි. දේශප්‍රේමී තීන්දුවක්යැයි කියමින් ආණ්ඩු පෙරලීමේ කුමන්ත්‍රණවලට සුජාතභාවය සපයමින් සිටින නිමල් සිරිපාල ද සිල්වා රටට ලැබිය යුතු රුපියල් මිලියන දහස් ගණන් අහිමි කර ඇත.

ඔහු ප්‍රමාද ගාස්තු අයකිරීම වෙනුවට වෙනුවට ඒ සමාගමට තවත් කොන්ත්‍රාත්තු බාරදීම සිදුකර තිබුණි. ලංකාවේ ඉංජිනේරුවන්ට කර හැකිව තිබුණු සිග්නල් කොන්ත්‍රාත්තුව ලැබුණේ ඒ ආකාරයටය.

එපමණක් නොව, දුම්රිය දෙපාර්තමේන්තුවේ වාර්ෂික පාඩුව ඉහළ දැමීමටද නිමල් සිරිපාල ද සිල්වාට හැකියාව ලැබී තිබේ. 2012 දී දුම්රිය දෙපාර්තමේන්තුව ලැබූ වාර්ෂික පාඩුව රුපියල් මිලියන 3 796 කි. ලැබූ අලාභය ඒ වර්ෂයේදී ලැබූ ලාභයෙහි ප්‍රතිශතයක් ලෙස ගතහොත් 78% ක් විය. 2016 දී පාඩුව රුපියල් මිලියන 6773 කි. එය 2017 දී 7590 ක් දක්වා වැඩි කරගැනීමට නිමල් සිරිපාල ද සිල්වා ඇමතිවරයා සමත් වී තිබේ. 2017 දී ලැබූ ආදායමේ ප්‍රතිශතයක් ලෙස ගතහොත් 116%ක අලාභයක් නිමල් සිරිපාල ද සිල්වා ඇමතිවරයා යටතේ ලබා ඇත. ආදායම මෙන් දෙගුණයකටත් වඩා පාඩු ලබන්නට සිදුව ඇත.

2017 දී දුම්රිය දෙපාර්තමේන්තුව භාණ්ඩ ප්‍රවාහනයෙන් ලැබූ ආදායම සමස්ථ ආදායමෙන් 7%ක් පමණි. එහෙත් ඊට වඩා විශාල ආදායමක් භාණ්ඩ ප්‍රවාහනයෙන් ලබාග ැනීමට දුම්රිය දෙපාර්තමේන්තුවට හැකියාවක් තිබුණි. සාමාන්‍යයෙන් ශ්‍රී ලංකා වරායෙන් වාර්ෂිකව කන්ටේනර් 232 000ක් පිටවෙයි. වරායේ සිට ඔරුගොඩවත්ත දක්වා දුර කිලෝමීටර් 3.3 කි. මේ දුර, දුම්රියෙන් ප්‍රවාහනය කළ හැකිය. එක කන්ටේනරයක් කිලෝමීටරයට රුපියල් 150 ගාස්තුවකට ප්‍රවාහනය කළද රුපියල් මිලියන 114ක් වාර්ෂිකව උපයාගත හැකිය. ඒවා ගැන හිතන්නට නිමල් ඇමතිවරයාට වෙලාවක් කොයින්ද.
ඛණිජ තෙල් නීතිගත සංස්ථාවට අයත් ප්‍රාදේශීය ගබඩා 11ක 2017 වර්ෂයේ පළමු මාස දෙක හැර අනෙක් මාසවල ඉන්ධන අවශ්‍යතාවය ලීටර් 987 402 120ක් වී තිබේ. ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව විසින් 2017 දී ඉන්ධන ලීටර් 315 435 760ක් දුම්රිය මගින් ප්‍රවාහනය කර තිබේ. ඒ අනුව ප්‍රාදේශීය ගබඩා වෙත තවත් ඉන්ධන ලීටර් 671 966 360 ක් දුම්රිය මඟින් ප්‍රවාහනය කළ හැකිව තිබී ඇත. එම ඉන්ධන තොගයෙන් රුපියල් මිලියන 360කට වැඩි ආදායමක් ලබාගත හැකිව තිබුණි.

සිමෙන්ති ප්‍රවාහනයද දුම්රිය දෙපාර්තමේන්තුව අත්හරිමින් තිබී ඇත. 2013ට සාපේක්ෂව ගතහොත් සිමේන්ති ප්‍රවාහනයෙන් ලබාගත හැකිව තිබුණු ආදායම 60% කින් අඩු කරගෙන තිබේ. එය වැඩි කරගැනීම පිළිබඳව දුම්රිය දෙපාර්තමේන්තුවේ හෝ ප්‍රවාහන ඇමතිවරයාගෙ අවධානය යොමුවී නැත.

ඒ සියල්ල පසෙක තිබියදී අනාරක්ෂිත දුම්රිය මාර්ග පිළිබඳ සොයා බලන්නටවත් මේ අමාත්‍යවරයාට කිසිදු වුවමනාවක් තිබී නැත. 2017 වර්සයේදී දුම්රියවල වාහන ගැටීම් 86 ක් සිදුව තිබේ. ඉන් 59 දෙනෙකු තුවාල ලබා ඇත. 12 දෙනෙකුගේ ජීවිත අහිමි වී තිබේ. වාහන ගැටීමේ සිදුවීම් 439 ක් වාර්තා වී තිබේ. මෙවැනි දුම්රිය හරස් මාර්ගවල පුවරු සවිකිරීම ඇතුළු ආරක්ෂිත පියවර ගැනීම සඳහා සලසා තිබුණු රුපියල් මිලියන 4 ක ප්‍රතිපාදන යොදවා එම කටයුත්ත කර තිබුණේ නැත.

කෙසේ වෙතත් මේ ඇමතිවරුන් තමන්ගේ වාසිය උදෙසා දේශපාලනයක නියැලීම මිස තමන්ට පැවරෙන වගකීම් ඉටු කිරීමේ හැකියාවක් ඇති පුද්ගලයන් නොවන බව අතිශයින්ම පැහැදිළි කාරණයකි. මෙවැනි අයගෙන් ව්‍යවස්ථා විරෝධී කුමන්ත්‍රණ හැර වෙන කිසිවක් බලාපොරොත්තු විය නොහැකිය. දැන් ප්‍රකාශ නිකුත් කළද ඔවුන් කිසි දෙයක් කර නොමැති බවත් පැහැදිළිය.■