කොරෝනා කලබගෑනිය නිසා විශ්වවිද්‍යාල ද වැසී ගියේ ය. වසා දැමෙන දිනය වන විට, පේරාදෙණියේ අප නම් සිටියේ, ගෙවුණු වසර වෙනුවෙන්, මේ වසර ආරම්භයේ පැවති දෙවැනි සමාසිකයේ ප්‍රශ්න පත්‍ර ඇගයුම් කටයුතුවල යෙදෙමිනි. ඒ හා සමග, නව සමාසිකයේ පළමු සතියේ ඉගැනුම් කටයුතු සඳහා වැඩ කරමිනි. නමුත් දැන් වෛරසයක් විසින් සිසුන් හා අප කෙටි කලකට නිවෙස් තුළට ගාල් කොට තබනු ලැබ ඇත.

“ඔයාලටත් ඉතින් නිවාඩුනෙ නේද?”

යම් හේතුවක් මුල් කොටගෙන විශ්වවිද්‍යාල වැසී ගිය වහාම දන්නා හඳුනන නෑසියන් හා මිතුරු මිතුරියන් වෙතින් මේ ප්‍රශ්නය නියතව නැගේ. සැබෑ පිළිතුර නම්, අප ‘සැබෑ ලෙසම’ විශ්වවිද්‍යාල ආචාර්ය මණ්ඩලයක සාමාජිකත්වයක් දරන්නෙකු නම්, ‘නැත’ යන්නයි. නොයෙක් හේතු මුල් කොටගෙන විශ්වවිද්‍යාල වසා දැමුව ද ශාස්ත්‍ර ගවේෂකයන් වශයෙන් අපගේ කාර්යයට නිවාඩු නොලැබෙන බව ඒ සඳහා දීර්ඝ හේතු දක්වමින් පැහැදිලි කළ හැකි ය. (ඔව්! විශ්වවිද්‍යාලවල සැබෑ ශාස්ත්‍ර ගවේෂකයන් සිටින්නේ ද යන පැනය නගමින් ඔබ තර්ක කරන බව මම දනිමි. මගේ මේ ලිවීම එසේ නොවී සිය තථ්‍ය මැදිහත්වීම ශාස්ත්‍ර ගවේෂණය වෙනුවෙන් මෙහෙයවන අතලොස්ස වෙනුවෙනි.)

විශ්වවිද්‍යාල වැසී ගොස් ඇති මේ මොහොතේ මට භාර වී ඇති විශ්වවිද්‍යාල වැඩ කටයුතු අතර පසුගිය දා විශ්වවිද්‍යාලයෙන් සිය පළමු උපාධියේ අධ්‍යයන කටයුතු සම්පූර්ණ කොට නිවෙස් බලා ගිය විශේෂ උපාධි හැදෑරූ විද්‍යාර්ථීන් කිහිප දෙනෙකුගේ ස්වාධීන නිබන්ධන ඇගයීම ද තිබේ. අවසන් වසර එළඹෙන විට විශේෂ උපාධියක් හදාරන සියලුම සිසුන් පාහේ මෙම නියත ස්වාධීන නිබන්ධනය ලියා භාර දිය යුතු ය. කලාතුරකින් ඇතැම් විශ්වවිද්‍යාල අධ්‍යයනාංශයක මෙය අනිවාර්ය අංගයක් නොවන බව අසන්නට ලැබී ඇතත්, වඩාත් පූර්ණ විශේෂ උපාධියක් වෙනුවෙන්, ශාස්ත්‍රීය ලේඛනය සඳහා විද්‍යාර්ථියා පුහුණු කරනු ලබන මෙම නිබන්ධනය බොහෝ ස්ථානවල නියත ලෙස ඉල්ලා සිටියි. විශේෂයෙන් සමාජ විද්‍යා සහ මානව විද්‍යා ප්‍රමුඛ කොටගත්, ශාස්ත්‍ර පීඨවල මෙම පර්යේෂණ නිබන්ධන රචනාවට ලැබෙන්නේ ඉහළ පිළිගැනීමකි. වෛද්‍ය, ඉංජිනේරු, කළමනාකරණ, විද්‍යා ආදි වෙනත් පීඨවල ඒ ඒ විෂය කලාප අනුව අවසන් වසර නිම කරන විද්‍යාර්ථියෙකුගෙන් ඉල්ලා සිටින පර්යේෂණාත්මක එළඹුම් විවිධ වනු ඇත.

ස්වාධීන පර්යේෂණ නිබන්ධනයක් යනු කුමක් ද? යෙදුමේ ආරම්භයේදීම සඳහන් වී ඇති පරිදි මෙහිදී බලාපොරොත්තු වන්නේ විද්‍යාර්ථියා සිදු කරන ස්වාධීන අධ්‍යයනයකි. තමන්ගේ විෂය ක්ෂේත්‍රය තුළ ඇති, යම් ආකාරයකින් තව දුරටත් විමසා බැලිය යුතුයැයි හැඟෙන, යම් මාතෘකාවක් ඔස්සේ යමින් විද්‍යාර්ථියාට සිය පර්යේෂණය මෙහෙයවිය හැකි ය. ඒ සඳහා අධ්‍යයනාංශය වෙතින් නම් කෙරෙන්නේ අධීක්ෂණය කරමින් මග පෙන්වන්නෙකු පමණි. අදාළ කලාපය තුළ ප්‍රවීණත්වයක් ඇති අභ්‍යන්තර (හෝ ඇතැම් විට බාහිර) ආචාර්ය මණ්ඩල සාමාජිකයෙකු වන ඔහු/ඇය විද්‍යාර්ථියාගේ පර්යේෂණයේ නිශ්චිත අවස්ථාවලදී එහි ගුණදොස් විමසමින් එය නිසි අරමුණක් ඔස්සේ විහිදුවීමට අවශ්‍ය මග පෙන්වීම කරනු ඇත.

නිසි ඇගයුම් කෙරෙන විශ්වවිද්‍යාල අධ්‍යයනාංශයකදී, විද්‍යාර්ථියාගේ නිබන්ධනය සමීක්ෂණ කටයුතු සඳහා භාර වූ පසු කරන්නේ ඒ සඳහා මග පෙන්වූ ආචාර්යවරයා/වරිය හැර වෙනත් සමීක්ෂකවරුන් (බොහෝ විට) දෙදෙනෙකු පත් කිරීමයි. අදාළ නිබන්ධනයේ ඇති විෂයය සඳහා ලබා දෙන නැවුම් දැනුම සම්පාදනය, ඒ සඳහා  විද්‍යාර්ථියා භාවිත කර ඇති පර්යේෂණ ක්‍රමවේදය, විද්‍යාර්ථියා ආශ්‍රය කර ඇති පූර්ව කෘති හා ලේඛන, නිබන්ධනය ඉදිරිපත් කර ඇති ස්වභාවය යනාදි කරුණු ගණනාවක් සැලකිල්ලට ගනිමින් අවසන් ඇගයුමක් මේ සඳහා ලබා දීමට සමීක්ෂකවරු වෙන් වෙන්ව කටයුතු කරති. පිළිගත් විශ්වවිද්‍යාලයකදී මේ ලකුණු අතර සැලකිය යුතු තරමක පරතරයක් දක්නට ලැබුණහොත් සමීක්ෂණ කටයුතු සඳහා තුන්වැන්නෙක් ද කැඳවේ.

මගේ කාර්යාල කාමරයේ මේ දැන් මා අබියස ඇත්තේ එම සමීක්ෂණ ක්‍රියාවලිය සඳහා ලැබුණු නිබන්ධන කිහිපයකි. විශ්වවිද්‍යාල අවසන් වසර නිබන්ධනයක් සඳහා අපේක්ෂිත වචන සංඛ්‍යාව 10,000ක් පමණ බැවින් මෙම නිබන්ධන පිටු 50ත් 100ත් අතර වෙයි. කෙසේ වෙතත්, නව දැනුමක් හෝ තර්කණයක්, පෙර නොඇසූ විරූ යමක් මෙම කෘති අතරින් හමුවෙතැයි යන කුතුහලයෙන් හා ප්‍රහර්ෂයෙන් යුතුව මෙම නිබන්ධන පෙරළීමට උනන්දුවක් මා තුළ නැගී නැත. ඒ ඇයි?

විශ්වවිද්‍යාල තුළ බහුතර විද්‍යාර්ථීන් ස්වාධීන පර්යේෂණ නිබන්ධනයක ඇති වටිනාකම හෝ ඒ තුළ තමන් වෙත හිමිවන ස්වාධීනත්වය වටහාගෙන මෙම නිබන්ධන රචනය සඳහා එළඹෙන බවක් මා නිරීක්ෂණය කර නැත. තමන්ගේම නමින් ඉදිරිපත් කෙරෙන ලේඛනයක් සඳහා සිය උපරිම වෙහෙස නොදරන බහුතර ශිෂ්‍ය ප්‍රජාව මෙය දකින්නේ ‘මොනවා හෝ ලියා භාර දී බේරිය යුතු’ යමක් වශයෙන් පමණි. ඔවුන් මොනවා හෝ ලිවීම සඳහා යොදාගන්නේ දැනට හමුවන වෙනත් ශාස්ත්‍රීය (හෝ නොවන) ලේඛනයන් ය. ඒ කෘතිවල අන්තර්ගතයෙන් උපුටා ගන්නා කරුණු යළි සිය වචනවලින් ලියා, අවසාන විශ්ලේෂණ පරිච්ඡේදයට පමණක් ඒ එකිනෙක සසඳමින් හෝ ගටමින් යම් කිසිවක් ලියන ඔවුහු කෘතියේ කෙළවර මගේ නිරීක්ෂණ හා නිගමන මේ යැයි මොනවා හෝ පෙළගස්වා අදාළ දිනයේ අධ්‍යයනාංශය වෙත භාර දෙති.

දැන් ඔබට අසන්නට ප්‍රශ්න පෙළක් ඇති බව මම දනිමි. එවිට පත් කළ මග පෙන්වන ආචාර්යවරයා/වරිය කුමක්වත් කරන්නේ නැද්ද? මේ එක් වැදගත් පැනයකි. ඉතා උනන්දුවෙන් මාර්ගයෙන් පිට පනින විද්‍යාර්ථීන් මෙහෙයවා ඔවුන්ගේ වටහා ගැනීමේ හා තර්ක කිරීමේ කලාපය තුළ රැඳෙමින් වඩාත් සාධනීය නිබන්ධන ලියවීමට මග පෙන්වන ආචාර්ය මණ්ඩල සාමාජික සාමාජිකාවන් නොවන්නේ නොවේ. එහෙත් ඇතැම් විද්‍යාර්ථීහු මග පෙන්වන්නා මග හැර යති. තවත් අවස්ථාවල මග පෙන්වන්නෝ විද්‍යාර්ථියා ද මග හැර යති. ‘මම ලියපු එක දිහා බලන්නෙවත් නැතුව මේක හරි නෑ කියල විසි කළා…’ කියමින් කඳුළු සළන හෝ ‘බලන්නෙත් නැතුව හොඳයි කිව්වා’ කියමින් සිනාසෙන විද්‍යාර්ථීන් මට මුණ නොගැසුණේ නොවේ. ‘ඩෙසටේෂන් ගයිඩ් කිරිල්ල තමයි පෙන්නන්නම බැරි!’ කියමින් එයට දෙස් තබන ආචාර්ය මණ්ඩල සාමාජිකයන් මුණ නොගැසුණේ ද නොවේ.

ආයතනික වශයෙන්ම ස්වාධීන පර්යේෂණ නිබන්ධන කෙරෙහි දක්වන වැරදි එළඹුම් හා ආකල්ප ද විද්‍යාර්ථීන්ගේ ලිවීම් විනාශ කර දමයි. උදාහරණයකට ප්‍රමුඛ විශ්වවිද්‍යාල මණ්ඩපයක සියලු විද්‍යාර්ථීන්ම පාහේ සිය නිබන්ධන රචනයේ දී ඉහළම ස්ථානය ලබා දෙන්නේ ‘සම්මුඛ සාකච්ඡා’වලට ය. ඔවුහු අදාළ විෂයයට සම්බන්ධ (හෝ නැති) ප්‍රවීණයන් කිහිප දෙනෙකු මුණගැසී, මාතෘකාව ගැන ‘ඔබ සිතන්නේ කුමක් ද?’ ස්වරූපයේ ප්‍රශ්න මාලාවක් ඉදිරිපත් කොට, ඒ අනුසාරයෙන් විශ්ලේෂණය ඉදිරිපත් කරති. ශාස්ත්‍රීය පර්යේෂණකරණය පිළිබඳ වැරදි පදනම් සහිත ප්‍රමුඛාචාර්යවරුන් විද්‍යාර්ථීන්ගේ ප්‍රවේශය ‘හරි’යැයි අගයන බැවින් එහි ඇති මූලික වරද විද්‍යාර්ථීහු අවබෝධ කර නොගනිති.

ශාස්ත්‍ර පීඨ හමුවේ විද්‍යා පර්යේෂකයන්ගේ බලය ද, මානව විද්‍යා පර්යේෂකයන් හමුවේ සමාජ විද්‍යා පර්යේෂකයන්ගේ බලය ද, අවසන් වසර ස්වාධීන නිබන්ධනවලදී පමණක් නොවුණත්, මෙම පර්යේෂණවල හැඩතල තීරණය කරයි. නියැදි, උපන්‍යාස, නිශ්චිත අරමුණු හා අපේක්ෂා පදනම් වන විද්‍යා පර්යේෂණ හෝ සමාජ විද්‍යා පර්යේෂණවලට වඩා මානව විද්‍යා පර්යේෂණ යොමුව අනුව වෙනස්වන බව පිළිගැනීමට හෝ ඇතැම් ප්‍රමුඛාචාර්යවරුන් සූදානම් නැත. එනිසා ද මෙම පර්යේෂණ සඳහා එළඹෙන විද්‍යාර්ථීහු අපහසුතාවට පත් වෙති.

බුද්ධිමය දේපළ පනත යටතේ වරදක් ලෙස ගැනෙන අන්‍ය ලේඛන සොරකම ද මෙම රචනා තුළ බහුලව සිදු වන්නකි. ඉංග්‍රීසි බසින් ලියැවුණු ලේඛනයක් plagiarism check කිරීම සඳහා යොමු කිරීමට මෘදුකාංග වෙතත් සිංහලයට එවැනි දේ තවම නොමැති හෙයින් ඇතැම් විද්‍යාර්ථීහු ඒ වරද කරති. ඒ හා සමග, වෙනත් විශ්වවිද්‍යාලවල අවසන් වසර නිබන්ධන කොපි කර ගෙනෙති. පැරණි නිබන්ධන ගෙන යළි පිටපත් කරති. වරක් වසර කිහිපයකට පෙර ලියූ ලේඛනයක් කොපි කර ඇති බව හෙළි වුණේ එහි සම්මුඛ සාකච්ඡාවකට බඳුන් කර තිබුණු කලාකරුවෙකු ඉන් වසර කිහිපයකට පෙර මිය ගිය අයෙකු බව හෙළිදරව් වීමෙනි.

ඉදින්, මා විමසන්නට යන අවසන් වසර ස්වාධීන නිබන්ධනයන් ද අපගේ උසස් අධ්‍යාපන ක්ෂේත්‍රය තුළ වන අර්බුද පෙන්වන කැටපත් වැනි ය. ඒ අතරතුර අගනා කෘති නොවන්නේ ද නොවේ. එවැනි එක් කෘතියක් මේ මොහොතේ අසල රාක්කයක් තුළ හිඳ මදෙස බලා හිඳියි. “සොඳුරු සිනමා අදියුරු: තිස්ස ලියනසූරිය” එහි නමයි. දිලීප පෙරේරා එහි ලේඛකයාගේ නමයි. සරසවි ප්‍රකාශනයක් ලෙස එය ප්‍රකාශයට පත් වීමට පෙර දිලීප එය රචනා කළේ පේරාදෙණියේ ලලිත කලා අධ්‍යයනාංශයේ අවසන් වසර ස්වාධීන නිබන්ධනය වෙනුවෙන් බව මගේ මතකය කියයි.