x උදන් ප‍්‍රනාන්දු

1995 වසරේ විශිෂ්ටතම චිත‍්‍රපටය ලෙස ඇකඩමි සම්මානය ලද්දේ ‘ෆොරස්ට් ගම්ප්’ නම් චිත‍්‍රපටය ය. එහි ප‍්‍රධාන චරිතය වන ෆොරස්ට් ගම්ප් ඕටිසම් නම් මානසික තත්ත්වයේ අයෙකු වන අතර ඔහු කයෙන් හා ශක්තියෙන් අනූන නමුදු මනස හා හැසිරීම කුඩාවෙකුගේ මෙන් ය. ෆොරස්ට්ගේ පෙම්වතිය, ජෙනී, පැදුරටත් නොකියා ගෙදරින් ගිය දුක දරාගනු නොහැකි ව ෆොරස්ට් ඔහේ දුවන්නට පටන් ගති. කෙටි දුරකින් ඇරඹි මේ දිවිල්ල ගම් දනව්, නගර, ප‍්‍රාන්ත හා රට හරහා ම විහිද ගියේ ය. ෆොරස්ට් පසුපස මුලින් කොල්ලො කුරුට්ටන් ඔලොක්කුවට මෙන් දිවූ අතර, පසු ව වැඩිහිටියෝ ද මෙය බරපතළ දෙයක් ලෙස සලකා දිවිල්ලට එක් වූහ. ෆොරස්ට් දිගට ම දිවූ අතර ඔහු පිටුපසින් දිග අනුගාමික පෝලිමක් ද දිවූහ. මේ පිළිබඳ ව මාධ්‍ය ද, කලකට පෙර අපේ උදවිය ‘සේනා දළඹුවා’ ගැන කළා මෙන්, දැඩි ආවරණයක් කරන ලදි. දිනෙක ෆොරස්ට් එක වර ම තම දිවිල්ල නතර කළේ ය. අනුගාමික පිරිස තුෂ්ණිම්භූත වී තමන් ද දිවිල්ල නතර කර දෙපසට වී බලා සිටියෝ, ෆොරස්ට් යම් දාර්ශනික හෝ ආධ්‍යාත්මික ප‍්‍රකාශයක් කරන තෙක් ය. ෆොරස්ට් කීවේ ‘මට මහන්සියි’ කියා පමණ ය.


ජනාධිපති සමාව ලද (ජ.ස.ල* නානසාර හිමියෝ හිරෙන් වැඩම කළායින් අනතුරු ව පැවැත් වූ මාධ්‍ය රැුස්වීමේ දී පැවසුවෝ ද තමන් වහන්සේට මහන්සි බව ය. දැන් බණක් භාවනාවක් කර ශාසනික දිවියට නැවත වැඩම කරන බව ය. අනතුරු ව අප උන්වහන්සේ දුටුවේ ජනාධිපති නිවසේ ය. ඒ තමන් වහන්සේගේ මෑණියන් සමග ජනාධිපති බැහැදකින්නට මහගම සේකර මාවතට වැඩම කළ අවස්ථාවේ ය. මෙම දසුන අප පාසල් යන කාලයේ, නාහෙට නාහන කොල්ලන් තම දෙමාපියන් සමග විදුහල්පති හමුවන්නට අණ ලැබීමෙන් පසු ව පූස් පැටවුන් මෙන් එන හැටි මට සිහි ගැන්විණ. එම අවස්ථාවේ උන්වහන්සේ මෑණියන් හා විදුහල්පති අසල අහිංසක ලීලාවෙන් සිටි ආකාරයට නාගරික තරුණියන්ගේ වහරෙන් කියන්නේ ‘අ..නා ස්වීවී..ට්’ කියා ය.


ජ.ස.ල හිමියන්ගේ වසර විස්සක පමණ දිව යන දිවිල්ල දේශපාලනික ව තේරුම් ගැනීම වැදගත් ය. දක්ෂ ධර්ම දේශකයෙකු ලෙස මුලින් ප‍්‍රකට උන්වහන්සේ බණ මඩුවෙන් දේශපාලන පිට්ටනියට පිවිසෙන්නෝ යුද වාතාවරණයක ය. සෝම හිමියන් විසින් ඇරඹුණු නව එවන්ජලිස්ත පන්නයේ බෞද්ධ පුනරුද ව්‍යාපාරයට ජනතාව මහත් සේ ඇලූම් කළහ. එකල පැවති යුද තත්ත්වය ද ඊට මනා රුකුලක් විය. කොටි සංවිධානයේ තර්ජනයෙන් මානසික ව අනාරක්ෂිත ව සිටි දකුණේ බොදුනුවන්ට කොටින් හමුවේ අසමත් වූ නිරාගමික දේශපාලන තන්ත‍්‍රයකට වඩා ආගමික සරණක් යම් අස්වැසිල්ලක් විය. භික්ෂු ප‍්‍රමුඛ දේශපාලන පක්ෂයක් ලෙස මතු වන සිහල උරුමය මේ රැුල්ලේ ම අත්තකි. උඩුවේ ධම්මාලෝක හිමි ද ඒ රැුල්ලේ ම දිගුවක් සේ වැඩුණු ඉත්තකි. එහෙත් නානසාර හිමියන් දේශපාලන පිට්ටනියට වැඩම කළෝ තරමක් වෙනස් ආකාරයට ය. උන්වහන්සේ පොෂ්-අසපු හදාගෙන මැදිවියේ උපාසිකාවන් අතර සිරගත ව නොසිටියහ. වත්සුණු තවරාගෙන බණ දෙසුවේ ද නැත. හෙළ-බොදු අයිතීන් වෙනුවෙන් උන්වහන්සේ තෝරාගත් මග මුස්ලිම් විරෝධය යි. පසු කලෙක ඉතා දක්ෂ අන්දමින් කළත් මෙය ඇත්තෙන් ම පුරෝගාමී කර්තව්‍යයක් නොවේ. එහි සමකාලීන පුරෝගාමී සංවිධානය වීර විදහන ය. ඇල්ලේ හිමියන් ද මේ රැුල්ලේ සිටි නමුදු උන්වහන්සේගේ විශේෂ ප‍්‍රාගුණ්‍යය වූයේ දෙමල විරෝධය ය. වීර විදහනේ එවකට අවධානය විශේෂයෙන් යොමු වුණේ ව්‍යාපාර හා වෙළෙඳ අංශයට ය. එහෙත් පසු ව එහි නායකත්වයේ සිටි කර්නල් ආනන්ද පැවිදි වීමෙන් අනතුරු ව වීර විදහනේ ශක්තිය බෙලහීන වී ගියේ ය.


ජ.ස.ල නානසාර හිමියෝ වීර විදහන විසින් අත්හැර දමා ගිය නිවුණු පන්දම අහුළා ගත්තෝ ය. කඩිනමින් මනා ගිහි-සඟ ආවාටයක් තමන්වහන්සේ වටා ගොඩ නගා ගත්හ. වීර විදහනට නොතිබුණු ජවයක් මුස්ලිම් විරෝධී පන්දමට ඇවිළී ය. ඇල්ලේ හිමියනුත් යම් යම් දක්ෂතා ප‍්‍රදර්ශනය කර තිබුණ ද භික්ෂු සම්ප‍්‍රදායේ ප‍්‍රශස්ත තග්-භාවයට වැඩම කළෝ නානසාර හිමියෝ ය.

උන්වහන්සේගේ පිරිපුන් කය ද හා අසම්මත බස්වහර ද ඊට අපමණ සේවයක් කළේ ය. වාග් විද්‍යා ප‍්‍රාමාණිකයන්ට අධ්‍යයන කළ හැකි තරමේ නව්‍ය වෛරී හා අසැබි බස් වහරක් උන්වහන්සේ ජනගත ඉටු කළේ ය. මෙම නව්‍ය තග්-භාවී හා මොබ්-භාවී (පදඉ, අනවසරයෙන් හා අනපේක්ෂිත ව කඩා වැදී තර්ජන/කලබල/විනාශ කිරීම* ශෛලිය භික්ෂු කොටස් අතර පමණක් නොව, සමස්ත සමාජය ම ද, අන්තරය ඇතුළු, වැළඳ ගෙන ඇති බව පෙනේ. ඉන් ගම්‍ය වන්නේ අප හිමියන්ගේ ප‍්‍රවණතාවක් ගොඩනැගීමේ විභවය යි. කියනු ලබන නොර්වේ ඇසුර නිසාවත් දෝ කිතුනු වහරේ එන ප්‍රොපේත (චරදචයැඑසජ* හෙවත් ප‍්‍රවාචක සම්ප‍්‍රදායට අනුව උන්වහන්සේ අපේ‍්‍රල් 21 විනාසය ගැන අනාවැකි කලින්ම පැවසුවෝ තමන් වහන්සේ බව දැන් ප‍්‍රකට ය. මාරි කියුරි පෙනිසිලින් සොයා ගත්තී මෙන් අප හිමියෝ ලක්-වහබි සොයා ගත්තෝ ය.

කලෙක ආරක්ෂක අමාත්‍යංශ ලේකම් තැන පවා දකුණට ගෙන්වා තමන්වහන්සේගේ සංවිධානයේ ගොඩනැගිල්ලක් විවෘත කර ගත්තේ ඒ බල මහිමය නිසා ද නැති නම් සහරාන්ලාගේ පුර්වගාමීන්ට ද සම්පේ‍්‍රෂණය වූ රහස් ගිණුමෙන් ම ලද මුදල් නිසා ද යන්න මම නොදනිමි. නානසාර රසායනය සමාජගතවීම තවමත් අවසන් නැත. එහි වත්මන් එපිසෝඩයේ කුටප‍්‍රාප්තිය රූපාන්තරණය වන්නේ වැලිකඩින් මහගම සේකර මාවතට ය. අධිකරණයට අපහාස කළා යි දඬුවමට ලක් වූ වරදකරුවෙකුට සමාව දී ගෙදරට ද ගෙන්වා ගත හැක්කේ අධිකරණය විසින් ම කිහිප වරක් තමන්ගේ තීන්දු හා ක‍්‍රියාකලාපය නීති විරෝධී’යි ප‍්‍රකාශිත හැබිචෝල් ව්‍යවස්ථා උල්ලංඝනකාරයෙකුට පමණි.x