• මෙය අද ලක් ජීවිතයෙන් කොතරම් භයානක ලෙස බැහැර වී ගොස් ඇත් ද යතහොත් ඒ සියල්ලෙහි අවසාන ඉලක්කය වූ නිර්වාණය ලබා ගැනීමේ පෙරහැරෙහි ද අවසානයට ගමන් කරනු ඇත්තේ වර්තමාන ශ්‍රී ලංකාවෙහි සිංහල බෞද්ධ ජනතාව ය.

■ කැත්ලීන් ජයවර්ධන

ජාතියක් එක්ව ගඩොලින් ගඩොල තබා ගොඩ නැගූ ට්‍රෝයි නගරය කලක් තුබූ තැනක් වත් සොයා ගත නොහැකි වන පරිදි සිඳී බිඳී ගියේ ය. හෝමර් වචනයෙන් වචනය ගොඩ නැගූ ට්‍රෝයි නගරය කාලත්‍රයටම අයත් සාර්වත්‍රික පහන් ටැඹක් සේ අදත් බබළයි. (පියාඹන සිතුවිලි)
මේ අදහස, මේ අවධාරණය, මේ රුවන් වැකිය ප්‍රකාශයට පත්කළේ බර්ට්‍රන්ඩ් රසල් වැනි චින්තකයකු හෝ ඉතා අඩු තරමින් බිල් ගේට්ස් වැනි ධනකුවේරයකු හෝ වූවේ නම් එහි අසිරිමත් බව ගැන අප තලු මරමින් කතාකරනු නිසැක ය. එහෙත් මේ අදහස එළිදැක්වූයේ ලංකාවේ කන්නිමහර නම් වූ තරමක් ඈත පිටිසර ගම්මානයේ උපත ලැබූ කේ. ජයතිලක නම් වූ සිංහල ලේඛකයා ය. ප්‍රශ්නය ඇත්තේ එතැන ය. කේ. ජයතිලකයන් මෙවැනි අපූරු අදහසක් එළිදැක්වූ මුල් ම හා එක ම අවස්ථාව ද මෙය නොවේ. එහෙත් ඒවා හැමදාමත් සිරවී සිටියේ පොත් රාක්ක ඇතුළේ ය.
මේ රටේ අතිමහත් බහුතරයකට තවමත් (අදටත්) කේ. ජයතිලක යැයි කියන්නේ නවකතාකරුවෙකු පමණි. (කෙටිකතා, ළමාකතා ආදිය ලියූව ද පොදුවේ ඔහු සැලකෙන්නේ එසේ ය) කේ. ජයතිලක අවසන් නවකතාව ලීවේ දශක දෙකකට පමණ පෙරාතුව ය. මගේ මතකය නිවැරදි නම් ඒ නවකතාව නම් කර ඇත්තේ ‘මහල්ලකුගේ ප්‍රේම කතාව’ ලෙස ය.
නවකතාකරුවකු වශයෙන් ප්‍රකට වුණ ද කේ. ජයතිලක යනු මේ රටේ උපන් දුර්ලභ ගණයේ චින්තකයකු බව හඳුනාගැනීමට තරම් සියුම් වූ චින්තනයක් මේ රටේ බහුතරයකට (විශේෂයෙන් විද්වත් සභාවන්හි කරළිය නියෝජනය කරන) නොවූ බව ය, අපගේ වැටහීම වන්නේ. ඒ මුවහත් චින්තනය හඳුනා ගැනීමට කේ. ජයතිලකගේ නවකතා කියවීම පමණක් ප්‍රමාණවත් වන්නේ නැත. කේ. ජයතිලකගේ හොඳම නවකතාව ‘චරිත තුනක්’ යැයි වැඩිදෙනෙක් පිළිගන්නා මුත් අපට හැඟෙන දැනෙන ආකාරයට නම් ඒ විශිෂ්ටත්වය ඔහුට ලබාදිය යුතු වන්නේ ‘රාජපක්ෂ වලව්ව’ සඳහා ය. (තමාගේ හොඳම නවකතාව ‘රාජපක්ෂ වලව්ව‘ යැයි කේ. ජයතිලකයෝ ද පිළිගනිති) කෙසේ වුව ද ‘ජයතිලක චින්තනය’ මැනවින් විශද කළ කෘති ලෙස අපට පෙනීයන්නේ පසුකාලීනව ඔහු විසින් එළිදක්වනු ලැබූ ‘දර්ශනවාද අසබඩින් – විශ්ව සාහිත්‍යය – ආභාසය හා නිර්මාණය’, ‘මනස තුළින් නිර්මාණයට’ හා ‘පියාඹන සිතුවිලි’ වැනි කෘතීන් ය. එය මනාව තේරුම් යනු ඇත්තේ ඒවා පරිශීලනය කෙරූවකුටම ය. අවාසනාව නම් නවකතාව නම් වූ ශානරය සමඟ මිස නිර්ප්‍රබන්ධ කෘති සමඟ ගනුදෙනුවක යෙදීමට මේ රටේ අතිමහත් බහුතරය උකටලී වීමයි. ‘පියාඹන සිතුවිලි’ ගැන හඬක් අවදි කිරීම කාලීන අවශ්‍යතාවකි යි අපට සිතුණේ ද ඒ අනුවයි.
වැඩිදෙනෙකු අත තියන්නට බිය වන, පරම පූජනීය ලෙස පූජාසනයක වඩාහිඳුවා ඇති ලොව සුපතළ විද්වතුන්, චින්තකයන්, භාෂා විශාරදයන් ඇතු`ඵ විවිධ විෂයයන්හි පාරප්‍රාප්තවූවන් සම්බන්ධයෙන් අදහස් පළකිරීමේදී කේ. ජයතිලක තරම් එඩිතර වූ, නිර්භීත වූ පුද්ගල චරිතයක් සොයා සපයා ගැනීම අසීරු යැයි අපට සිතෙන්නේ නවකතාවලට ද වැඩියෙන් ඔහුගේ නිර්ප්‍රබන්ධ කෘති කියවීමට අප උනන්දුවී ඇති නිසා ය. එහෙත් ඔහු මේ අභියෝගාත්මක ක්‍රියාවේ නිරත වන්නේ සියුම් නිරීක්ෂණයක් ඔස්සේ මිස දෙබරයකට ගල් ගසන මනෝභාවයකින් නම් නොවේ. ඔහුගේ වචනයෙන් ම මේ තත්ත්වය විස්තර වන්නේ ‘පියාඹන සිතුවිලි’ කෘතියෙහි ය. ඔහු මෙහිදී අභියෝගයක් එල්ල කරන්නේ නූතන මනෝවිද්‍යාවේ පියා වෙත ය. (නූතන මනෝවිද්‍යාවේ පියා සිග්මන්ඩ් ෆ්‍රොයිඩ් ලෙස සලකන්නෝ ද වෙති.)
නූතන මනෝවිද්‍යාවේ පියා හැටියට සැලකෙන විලියම් ජේම්ස් මිනිස් සිතුවිලි එක දිගට ගලා යන ජල ධාරාවක් හැටියට හඳුන්වා දෙයි. මිනිසාගේ මරණය දක්වාම විඥානය කිසියම් තලයකින් පවත්නා නමුත් මෙය සත්‍යයක් නොවේ. ඔහුගේ ඇතැම් සිතුවිලි සමූහචාරි වන අතර ඇතැම් සිතුවිලි ඒකචාරි වෙයි. මේවා අරමුණක් සහිතව එකලස් කිරීමෙන් ‘චින්තනයක්’ ගොඩනැගිය හැකි ය. මෙය ඉතා දුෂ්කර වූවකි. මෙහි එන සිතුවිලි එවැනි චින්තනයක් නොවෙතත් ඊට අවශ්‍ය අමුද්‍රව්‍ය රාශියක් සපයයි. (පියාඹන සිතුවිලි, කේ. ජයතිලක, කවරය පසුපිට)
කේ. ජයතිලකයන්ගේ මේ අභියෝගාත්මක එළඹුම ලෝකයේ මෙන් ම ලංකාවේ ද සුවිශේෂ පුද්ගල චරිත, ආයතන, න්‍යාය, සංකල්ප, නව සොයාගැනීම් හා සාධුසම්මත පිළිගැනීම් ගණනාවකට ද එල්ල වී තිබේ. කාර්ල් මාක්ස්, සිග්මන්ඩ් ප්‍රොයිඩ්, චාල්ස් ඩාවින්, දුටුගැමුණු රජු ආදින් සම්බන්ධයෙනුත් සමාජවාදය හා මාක්ස්වාදය හා ඊඩිපස් සංකීරණය පිළිබඳවත් ඔහුගේ සිතෙහි විවිධ ප්‍රශ්න උත්පාදනය වී තිබේ. ඒ සියල්ල හකු`ඵවා ඇත්තේ ඔහුගේ නිර්ප්‍රබන්ධ කෘතිවල මිස නවකතා, කෙටිකතා ආදියෙහි නොවේ. බහුතරයකට පොදු නොවන මෙවැනි හැඟීම් ඔහුගේ ‘පියාඹන සිතුවිලි’ කෘතියෙන් එළිදකින්නේ උත්ප්‍රාසාත්මක ස්වයං විවේචනයක් ද සමඟිනි.
මනෝවිද්‍යාත්මක කරුණු සම්බන්ධයෙන් විලියම් ජේම්ස් විවේචනය කිරීම සිංහල ව්‍යාකරණය සම්බන්ධයෙන් මුනිදාස කුමාරතුංග විවේචනය කිරීමකටත් පුරාවිද්‍යාව සම්බන්ධයෙන් සෙනරත් පරණවිතාන විවේචනය කිරීමකටත් සමාන ය. මීට කලින් මේ කතුවරයා (තමා) ඒ කාර්ය දෙකම කර ඇත. ඒ පොත්වල මුද්‍රණ හතර පහ නිතුත් වී ඇතත් ඒවාට නැඟුණු විරෝධයක් නැත. මෙයින් හට ගත් ව්‍යාජ ධෛර්ය (ලංසි දිරිය) නිසා ඔහු ප්ලේටෝ, බර්ට්‍රන්ඩ් රසල් වැනි විශ්ව සම්භාවිත විද්වතුන් පවා විවේචනය කිරීමට උත්සාහ කර ඇත. එක් වරක් හඳට බිරුවෙකු තවත් වරක් සඳ පිළිබිඹුවට බිරීම අසිරියක් ද? (11-12 පිටු)
විද්‍යාවෙන් සෞන්දර්යයට නම් වූ පොතේ 7 වන පරිච්ඡේදයෙන් නැවතත් ඔහු ඒ අභියෝගය ඉදිරිපත් කරන්නේ, බොහෝ දෙනාගේ සම්භාවනාවට පාත්‍රව සිටින විද්‍යාඥයාට ය.
සමහරවිට විද්‍යාඥයෝ දුර්ලභම සුරංගනා කතාවලටත් වඩා ආශ්චර්යවත් අද්භූත රසවත් ප්‍රකාශ කරති. මේ එබන්දකි.
අවුරුදු බිලියන 14 කට පමණ පෙර අපට, අපේ පෘථිවිය, සියලුම තාරකා, සියලුම චක්‍රාවාටවල ඇතුළත් දෑ ජලකර පරමාණුවකට නැත්නම් ප්‍රෝටෝනයකට ගොනු කළ හැකි විය. මේ අතිසූක්ෂ්ම අවස්ථාවේ විස්ථාපනය සිදු වූයේ ‘මහා පිපුරුම’ මගිනි. ක්‍රමයෙන් තාරුකා, මන්දාකිණිය, ග්‍රහලෝක හා බුද්ධිමත් ජීවය යනු එහි විකාශනයේ ප්‍රතිඵලයකි.
මෙය 13 හෝ 15 නොවී 14 ම වූයේ කෙසේදැයි නො අසාම අපි වැඩි සම්භාවිතාවක් සහිත ඊළඟ උද්ධෘතයට යමු.
‘එකම වයසේ සිටින ඔබත් මමත් ඉහළ තාක්ෂණයකින් යුත් අජටාකාශ යානයක් නිපදවමු. ආලෝකයේ වේගයෙන්, එනම්, තත්පරයකට සැතපුම් 1,86,000 කින් එහි නැගී යන අපට ආසන්නයේ පිහිටි තාරුකාවක් දෙසට ඔබ යයි. දින කිහිපයකින් ආපසු එන ඔබට මා අවුරුදු විස්සකින් වයස්ගත වී සිටිනු පෙනෙයි. ඔබ එදින නිකුත් වූ පුවත්පතක් අතට ගතහොත් දක්නට ලැබෙන්නේ එය ඔබ පිටත් වූවාට අවුරුදු 20කට පසු නිකුත් කරන ලද්දක් බව ය
අප මේ උද්ධෘත දක්වා ලූයේ නොදන්නා නක්ෂත්‍ර භෞතික විද්‍යාවක් ගැන කතා කිරීමට නොව මීට සමගාමී පාරභෞතික ලක්ෂණයක් ද ඇති බව කීමට ය. (68 පිටුව)
මෙම උද්ධෘතවල මූලාශ්‍රය පාදක සටහනකින් දැක්වෙන්නේ Simply Einsgtein, Richard Wolfson, New York 2003 ලෙස ය.
වර්ණයක් හා හැඩයක් ඇති භෞතික මිනිස් සිරුර අල්ලන්නටත් දකින්නටත් හැකි වුණ ද අභෞතික මනසට හැඩයක් හෝ වර්ණයක් නැති හෙයින් එය දැකීමට හෝ ස්පර්ශ කිරීමට නොහැකි බව මතක් කර දෙන කේ. ජයතිලක එහි ඒකීයත්වය රඳා පවතින්නේ වෙනස් ආකාරයකට වුව ද ඒ තුළ විවිධත්වය ද වන බව පෙන්වා දෙයි. මෙය තරමක් ගැටලුසහගත කියමනකියි ද කියා සිටියි. අනතුරුව ඒ ගැන මෙසේ ද කියයි.
හැම හරවත් කියමනක් ම ගැටලුසහගත ය.
සමාජය නිරීක්ෂණය කිරීමේදී එහි සියලු සාමාජිකයන්, නායකකාරකාදින් හා අනුගාමිකයන් වශයෙන් සමස්තයම දෙකොටසකට බෙදා දැක්විය හැකි බව අවධාරණය කරන ඔහු, තම සිත තුළ පහළ වූ අදහස් ප්‍රකාශ කිරීමට ඉක්මන් නොවූ තමා ඇතැම්විට ඒවා සිත තුළම රඳවා තබා ගැනීමෙන් දැඩි තෘප්තියක් හා ආස්වාදයක් පෞද්ගලිකව ලැබුවේ යැයි ද කියයි. මේ අත්දැකීම ඔහු ප්‍රකාශයට පත් කරන්නේ කෙසෙල් කඳක් වැනි මුදුමොළොක් චරිතයකට එය, ඒ මැදින් ලූ නොපෙනෙන යකඩ කඳක් වැනි විය යන උපමාද සමගිනි. තමාගේ අදහස් උදහස්වල යම් වටිනාකමක් ඇතැයි තමා තුළම හටගත් දැඩි විශ්වාසය උද්දච්චකමක් ලෙස ද දැක්විය හැකි මුත් ඒ ඔස්සේ ජනිත වූ අධිෂ්ඨානය ඉතා ප්‍රබල වී යැයි පවසන ජයතිලකයන් එය අනුක්‍රමයෙන් වර්ධනය වූවා විනා මර්දනය නොවූවේ යැයි ද කියයි. ඉන් නොසිතූවිරූ ප්‍රතිඵල ජනිත වූ ආකාරය ඔහු පෙන්වා දෙන්නේ මෙසේ ය.
මෙරට මහා බුද්ධිමතුන්ගේ බලකොටු වැනි කව්සි`ඵමිණ, සිදත් සඟරාව, තිසර සන්දේශය, මයුර සන්දේශය වැනි දුර්ගම ස්ථානයන්හි නිදැල්ලේ හැසිරෙමින් විමර්ශනය කිරීමට ඔහුට (තමාට) හැකි වූයේ ඒ අචල විශ්වාසයම නිසා ය. මේවා (මේ පොත්) අන් කවරෙකුගේ වුව ද සංස්කරණ ඉක්මවා වැඩි වාර ගණනක් ප්‍රකාශයට පත්වී තිබීම ඒ විශ්වාසයන්හි නිවැරදි භාවයට සාක්ෂ්‍ය දරයි. වෙනත් වියතුන් නම සඳහන් කළ පමණින් තැති ගන්නා ඇතැම් පඬිවරුන්ගේ දේවභාෂිතයන් මේවා මගින් විවේචනය වන අතර ඊට එරෙහිව කතාකිරීමට කිසිවෙක් ඉදිරිපත් වී නැත. අනිත් අතට විවිධ විද්‍යාර්ථීන් සඳහනකින් යුතුව ඒවායින් ප්‍රයෝජන ලබන අතර විශ්වවිද්‍යාල ආචාර්ය, මහාචාර්යවරුන් තමන්ගේම අදහස් හැටියට ඒවා දක්වන අවස්ථා ද වෙයි. මෙහිදී කොතරම් නොතකා හැරීම්වලට ඔහු (තමා) භාජනය වූයේ ද යන්න පහත සඳහන් නොවැදගත් ඉතා සු`ඵ සිද්ධියෙන් වුව ද පෙනී යයි. (23-24 පිටු)
මේ නොතකා හැරීමට අදාළ සිද්ධිය ‘පියාඹන සිතුවිලි’ කෘතියෙන් කියවා බැලිය හැකි මෙවැනි නොතකාහැරීම් යනු මේ රට තුළ ඉතා සාමාන්‍යයක් බව මේ වන විට නොදැන සිටින කිසිවකු ඇත්තේ ද නැත.
පොතේ දෙවන පරිච්ඡේදය නම් කොට ඇත්තේ ‘මහලු විය’ ලෙස ය. එය ආරම්භ වන්නේ මෙසේ ය.
නොමැරී කලක් ජීවත් වන පුද්ගලයාගේ ජන්ම උරුමයකි, මහලු විය. මහලු විය පිළිබඳ සීමාව දේශයෙන් දේශයට පමණක් නොව කාලයෙන් කාලයට ද මඳ වශයෙන් හෝ වෙනස් වන බව පෙනේ. කාලයකට ඉහත මෙරට මහලුවියට පත්වූවන් ලෙස සැලකුණේ සැට විය ඉක්ම වූ පිරිස ය. ‘සැට වස් පිරුණු මහ තෙර නමක සේ’, ‘හැට පිරුණත් වඳුරාගේ ගමන උඩ’ යන කියමන්වලින් ප්‍රතියමාන වන්නේ ද එයයි. (18 පිටුව)
‘හැට පිරුණත් වඳුරාගේ ගමන උඩ’ යන්න ප්‍රස්තුතව ඔහු යොදන පාදක සටහන අපූරු ය.
මෙය ද මිනිසාව අරමුණු කොට කියන ලද්දක් සේ පෙනේ. වඳුරු වර්ගයාගේ ආයුෂ 40-60 අතර වන බැවිනි.
අවිචාරයෙන් දෙන දේ වැළඳ ගැනීමට සූදානම් වූ තත්ත්වගත වූ පුද්ගලයෝ ද සිටිති. ඔව්හු ද පොත් ලියති. නවකතා, කෙටිකතා නිර්මාණය කරති. එසේ කරන්නට තහනමක්, බැරිකමක් ඇත්තේ ද නැත. එහෙත් කේ. ජයතිලක කියන්නේ නවකතා කරුවකුට පමණක් නොවේ යැයි අප මුලින් ද කීවේ ඔහු පැරණි කියමනක්, පිරුළක් වුව පිළිගැනීමට මැලිකමක් දක්වන බව පෙනී යන නිසා ය.
කේ. ජයතිලකයන් විසින් විවිධ ක්ෂේත්‍ර පිළිබඳ සිය අවංක අදහස් එසේ පළ කරන ලද්දේ ප්‍රසිද්ධියට ගිජුවීම නිසා හෝ බලකොටු පුපුරුවා හරින බොළඳ, වියරු මානසිකත්වයකින් යුතුව හෝ නොවන බව පැහැදිලි ය. ඒ, ඔහු තමාගේ ප්‍රකාශනයක් හා අදාළ සාධක තිතට, නිදසුන් සහිතව නූලට පෙන්වා දීමට හැමවිටම උත්සුක වී ඇති නිසා ය. ප්‍රසිද්ධිය හා කීර්තිය අතර වෙනස පෙන්වා දෙමින් ඔහු පළකළ තවත් රුවන් වැකියක් ද මෙහිදී සඳහන් කළ යුතුව ඇතැයි හැඟෙයි. පහතින් දක්වා ඇති එය සඳහන්ව තිබුණේ ‘මනස තුළින් නිර්මාණයට’ නම් වූ අපූරු කෘතියේ ය.
ප්‍රසිද්ධියට ඇති ආශාව, නිලය, බලය හා ධනය යන තුනටත් වැඩියෙන් සමාජයේ පැතිර පවතින්නකි. එකී ත්‍රිබල පෝෂක පුද්ගලයෝ පවා ඊට පරිපූරකයකි, ආධාරයක් වශයෙන් ප්‍රසිද්ධිය බලාපොරොත්තු වෙති. එහෙත් ප්‍රසිද්ධිය හා කීර්තිය යනු එකක් නොව දෙකකි.
සමහරුන් විෂයෙහි ඉතා අසීරු වුවත් සමහරුන් විෂයෙහි ප්‍රසිද්ධිය ඉතා පහසුවෙන් ලබා ගත හැකි ය. එසේ අපහසු වනුයේ යහපත් දෙයක් ඉටු කොට ඒ වෙනුවෙන් ප්‍රසිද්ධියක් ලබා ගැනීම ය. අයහපත් දේ කිරීමෙන් එසේ නොවේ. ඉන් ඉතා ක්‍ෂණික ප්‍රසිද්ධියක් ලබා ගත හැකි ය.
යහපත් හා අයහපත් ප්‍රසිද්ධිය ගැන ඉතා හොඳ නිදර්ශනයක් අපට ලබාගත හැක්කේ මහත්මා ගාන්ධිගෙන් හා ඔහුව ඝාතනයට ලක් කළ විනයාද් නතුරාඕ ගොඩ්සේගෙනි.
‘පියාඹන සිතුවිලි’ කෘතියෙන් ඔහු ලෝක මට්ටමේ ප්‍රවණතා, ගැටලු කිහිපයක් පිළිබඳව ද කතා කරයි. ඒ අතරේ මෙවැනි ප්‍රශ්නයක් ද මතු කරයි.
චීනයට සිදුවී ඇත්තේ කුමක් ද?
‘පියාඹන සිතුවිලි’ කෘතියේ සඳහන්ව ඇති මේ ප්‍රශ්නය අදක ඊයෙක නැගුණක් නොව වසර 15කට පෙර (2006-2007) කාලයෙහි පැවති චීනය පිළිබඳව මතුකෙරුණකි. ලෙනින් සකස් කළ මාක්ස්වාදයක් සෝවියට් දේශයේ ක්‍රියාත්මක වූ පරිද්දෙන්ම මාවෝ සහ තවත් අය විසින් සකස් කරන ලද මාක්ස්වාදයක් චීනයේ ක්‍රියාත්මක වෙමින් ඇති අයුරු පෙන්වා දෙන ඔහු, වෙනත් බොහෝ රටවලට වඩා සන්සුන් සාමකාමී තත්ත්වයක් චීනයේ පවතින බව පවසන අතරේ මාක්ස්වාදය ගැන මෙවැනි කතාවක් ද කියයි.
ඒ තරමින්ම මාක්ස්වාදයේ අයහපත්, අහිතකර ලක්ෂණ ඉවත් වී නැත. ඒවා තවමත් එහි පවතී.
කේ. ජයතිලකයන් මීට නිදසුන් පෙන්වා දෙන්නේ තමාගේම අත්දැකීමකිනි.
මේ ලේඛකයා චීනයට ගිය අවස්ථාවකදී දක්නට ලැබුණේ දොස්තර කෙනෙකුට වැඩියෙන් බස් රියැදුරෙකු වැටුප් ලබන බව ය. රියැදුරෙකු ශාරීරික වශයෙන් වැඩි වෙහෙසක් විඳින නිසා ඔහුට වැඩියෙන් ආහාරපාන අවශ්‍ය බව ඇත්තකි. එහෙත් මාක්ස්වාදයට අනුව එහි සියුම් දර්ශනයක් ද පවතී. එනම් මාක්ස්ගේ උග්‍ර භෞතිකවාදයට අනුව බුද්ධිය ඇතු`ඵ මනස භෞතික සාධකවල අතුරු නිෂ්පාදනයක් පමණි. ඒ නිසා දෙනට වැඩියෙන් කිරි අගය කළ යුතුය නොවේ. ඒ වනාහි ඔවුන් ද්වන්දාත්මක වශයෙන් ගුරු කොට සැලකූ හේගල්ගේත් භෞතිකවාදී පක්ෂයෙන් ගුරු කොට සැලකූ ලුඩ්විග් ෆොයර්බාග්ගේත් මතවාදවලට පටහැණි වූවකි. එසේම රියැදුරාට වඩා රථය අගය කොට සලකන්නකි. (උම්මග්ග ජාතකයේ සරදමට කියන පරිදි) අශ්වයාට වඩා කොට`ඵවා උසස් කොට සලකන්නකි. මෙහි ඉහත සඳහන් කළ පරිදි රථය නොවැදගත් යැයි අපි නොකියමු. එසේ වුවත් එහි ක්‍රියාකාරිත්වය මු`ඵමනින්ම රඳා පවත්නේ රියැදුරා මත ය. ශරීරය කොතරම් වැදගත් වුවත් එය මෙහෙයවන්නේ රියැදුරා විසිනි.
කොතරම් විශාල ශරීරයක් තිබුණත්, එසේම තනි කම්කරු පන්තියම එක්ව බලය අල්ලා ගත්තත්, ඉන් රටක පිරිහීම විනා දියුණුවක් ඇති නොවන්නේ ඒ නිසා ය. (154-155 පිටු)
අද වන විට චීනයේ මේ තත්වයන්හි කවර නම් වෙනස්කම් සිදුව ඇද්දැයි අපි නොකියමු. කෙසේ වුව ද ‘සමාජවාදය’ සම්බන්ධයෙන් ‘පියාඹන සිතුවිලි’ පොතේ වෙනත් තැනක කේ. ජයතිලකයන් තබන සටහන මෙවැනි ය.
රටට ආදරයක්, සාමූහික හැඟීමක් නොමැති රටක, කවදාවත් සමාජවාදය සාර්ථක වන්නේ නැත. එවැනි රටක සටන්කාමී කම්කරු පන්තියක් සිටීම එරටට ශාපයක් විනා ආශිර්වාදයක් නොවේ. ලෙනින් කුමක් කියා තිබුණත්, යම් කලකදී ලෝකය සැබෑ ලෙස සමාජවාදී වෙතොත් එම පෝලිමෙහි අවසානයටම එනු ඇත්තේ ශ්‍රී ලංකාවයි. (168 පිටුව)
බුද්ධ චරිතයේ පරස්පර විරෝධතා මතුකර දක්වමින් ‘බුද්ධ චරිතයෙන් බුද්ධ චරිතයට’ නම් වූ ආන්දෝලනාත්මක කෘතිය සම්පාදනය කළ කේ. ජයතිලක ‘පියාඹන සිතුවිලි’ කෘතියේ අවසන් පරිච්ඡේදයේ අවසන් ඡේදය ලියා නිම කරන්නේ මෙසේ ය.
කුමක් ලියුවත් කියූවත් මේ ලේඛකයාගේ අවංක අචල විශ්වාසය ලෝකයේ පහළ වුණු ශ්‍රේෂ්ඨතම ආගම් කතුවරයා බුදුන් වහන්සේ ය යනු ය. සත්‍යය සොයා සය අවුරුද්දක් දුෂ්කර ක්‍රියා කළ උන් වහන්සේ අවසානයේදී එක් සත්‍යයක් නොව ආර්ය හෙවත් උතුම් වූ සත්‍යයන් සතරක්ම සොයා ගත් සේක. ඒ දුක්ඛ, සමුදය නිරෝධ හා මාර්ග යන සත්‍යයන් ය. මෙයින් මිනිසාට විමුක්තිය හෙවත් නිර්වාණය ලබා ගත හැක්කේ අවසානයට කියූ මාර්ග සත්‍යය අනුගමනය කිරීමෙනි. ඒ මාර්ග සත්‍යය අවස්ථා අටකින් යුක්ත ය. ඒවා සම්මා දිට්ඨි, සම්මා සංකප්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජිව, සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි යනුවෙන් දැක්වේ. මේ සියල්ල මෙහි (මේ රටේ) දක්නා ලැබෙන නමුත් ඒ ‘සම්මා’ යන ස්වර්ණමය අකුරු තුනෙන් තොරව ය. මෙය අද ලක් (ශ්‍රී ලාංකේය) ජීවිතයෙන් කොතරම් භයානක ලෙස බැහැර වී ගොස් ඇත් ද යතහොත් ඒ සියල්ලෙහි අවසාන ඉලක්කය වූ නිර්වාණය ලබා ගැනීමේ පෙරහැරෙහි ද අවසානයට ගමන් කරනු ඇත්තේ වර්තමාන ශ්‍රී ලංකාවෙහි සිංහල බෞද්ධ ජනතාව ය. (168 පිටුව)
කේ. ජයතිලක චින්තනයේ දිග, පළල හා ගැඹුර මෙවැනි කෙටි ලිපියකින් විශද කිරීම අපහසු ය. ‘පියාඹන සිතුවිලි’ පොත කියවා බැලූවකුට එය යම් තරමකින් හඳුනාගත හැකි ය. එහෙත් කැලේ පිපී මු`ඵ කැලයම සුවඳවත් කොට කැලයේම පරවී යන සුවඳැති මලක් නොවිය යුතු යැයි අපට සිතෙන ජයතිලක චින්තනය නිසි ලෙස හඳුනාගැනීමට නම් ඔහුගේ නිර්ප්‍රබන්ධ කෘති සියල්ල ද සමඟ (කුඩා ගද්‍ය කාව්‍ය වැනි වූ) කුදුගොත් රචනා, සංකල්පන, අත්පසුරු හා නිරිබත වැනි කෘති ද කියවිය යුතු ය.
චින්තනය ප්‍රසාරණය කරන ඒ ආකාරයේ මුවහත් චින්තනයක් ප්‍රකට කළ මේ රටේ අනෙක් චින්තකයා ලෙස අපට මතක් කර ගත හැකි වන්නේ මාර්ටින් වික්‍රමසිංහ සූරීන් ය.■