කොරෝනා වසංගතය 1920 දශකයේ අග මතු වූ මහා ආර්ථික අවපාතයටද වඩා බලවත් හා සංකීර්ණ බව කියැවේ. සමාජ හිමිකම හා ආර්ථික බලයේ ප‍්‍රජාතන්ත‍්‍රීයකරණය සඳහා සියවසකින් හෝ නොපැමිණෙන නිමේෂයක් කොරෝනා උදා කර ඇතැයි කිව හැකිය.

යථා තත්වයට පත් වීමේ බලාපොරොත්තු තිබුණත් අපට මුණගැසෙන්නට නියමිතව ඇත්තේ අප කලින් ජීවත් වූ ලෝකය නොවේ. ඒ වෙනුවට දශක ගණනාවක් පුරා නරක අතට හැරුණු ලෝක ක‍්‍රමයක ව්‍යුහාත්මක අර්බුදය මේ වසංගතය විසින් අපට වේගයෙන් මුණගැසෙනු ඇත.

කොරෝනා වේශයෙන් අප මත කඩා වැටෙමින් ඇත්තේ ආර්ථික අසමානතාව, බරපතළ පාරිසරික විනාශය හා ප‍්‍රාග්ධන දේශපාලනයේ දූෂණය යන ධනවාදී ශිෂ්ටාචාරයේ මාරාන්තික වසංගතයන්ය.

නව ලිබරල්වාදයේ දායාදය

නව ලිබරල්වාදයේ විජයග‍්‍රාහී නිවේදනය මතු කෙරුණු 90 දශකය වෙනුවට අද පෙනෙමින් ඇසෙමින් තිබෙන්නේ එම ව්‍යාපෘතියේ පරාජිත කෙඳිරියයි. 1970 දශකය වෙනතුරු පශ්චාත්-යුද ලෝකය තුළ රාජ්‍යය හා පෞද්ගලික ව්‍යවසායන් අතර පැවතුණේ ආතතික තුලනයකි. 70 දශකය මුල නව ලිබරල්වාදය කරළියට පැමිණෙන්නේ කලක් තිස්සේ ආර්ථික දේශපාලනය මුහුණ දුන් එකතැන පල්වීම හා ආසන්න තෙල් අර්බුදය ආදින්ගේ ප‍්‍රතිඵලයන් ලෙසය. එතැන් පටන් ගෝලීය ප‍්‍රධාන ධාරාව ක‍්‍රමයෙන් සිය අණසකට ගැනීමට එහි දේශපාලන-ආර්ථික වැඩසටහනට හා එහි දෘෂ්ටිවාදී ව්‍යාපෘතියට හැකිවිය.

මෙකී නව ලිබරල්වාදයේ මූලික ප‍්‍රතිපත්තීන් වූයේ සීමා රහිත නිදහස් වෙළදපොළ, ගෝලීය වෙළඳපොළ ක‍්‍රමයක් වෙනුවෙන් රාජ්‍යය අතාර්කික කිරීම, සමාජ සුබසාධනය කප්පාදු කිරීම, සමාජ ආරක්ෂණ ජාලයන් දුර්වල කිරීම, සංවිධානාත්මක ශ‍්‍රමයේ බලය කඩා බිඳදැමීම ආදියයි.

අන්ත පුද්ගලවාදය, ආත්මාර්ථය, භාණ්ඩකරණය තුළ ගිලීයාම, ගිජු පරිභෝජනවාදය, පරිසරය හා ජෛව ගෝලය පවා ලාභ තර්කණයක් බවට පත් කිරීම මෙම නව ලිබරල්වාදයේ ඇගැයුම් විය. ‘නව ලිබරල්වාදයට විකල්පයක් නැත’, ‘පුද්ගලයා මිස සමාජයක් නැත’ වැනි අහංකාර වාගාලංකාරයන් මෙම ව්‍යාපෘතියේ පුරෝගාමීන් සුපුරුදු ලෙසම වදාරා ඇත. 90 දශකයේ මුල කොමියුනිස්ට් රාජ්‍ය පද්ධතිය ඇතුළු ලෝක සමාජවාදී කඳවුර බිදවැටුණු පසු මේ නව ලිබරල්වාදයේ වීරයෝ ප‍්‍රීතිඝෝෂා කර ජයකෙහෙළි නැංවූහ. ඔවුනගේ උදානය වූයේ ඉදිරියට ඇති එකම ඉතිහාස ගමන නව ලිබරල්වාදය යන්නයි.

එහෙත් අද තත්වය කුමක්ද, විශාලතම අසමානතාවක් මිස නව ලිබරල්වාදයේ ඊනියා විජයග‍්‍රහණය අවසානයේ ලෝකයට දායාද කර ඇත්තේ කුමක්ද? ලෝකයේ ධනවත්ම පුද්ගලයෝ විසි හය දෙනෙක් මුළු ලෝක ජනගහනයෙන් අඩකට වඩා ධනය තමන් සතු කරගෙන සිටිති. ලාභය හා ආර්ථික වර්ධනය නොනවත්වා ලූහුබැඳීම නිසා මානව ශිෂ්ටාචාරයම භයානක මාවතකට ඇදදමා හමාරය.

වඩාත් පැහැදිලිව පෙනෙන අන්තරාය වන්නේ පාලනය කළ නොහැකි පාරිසරික හා දේශගුණික අර්බුදයයි.

2017දී රටවල් 184ක විද්‍යාඥයෝ 15,000කට ආසන්න පිරිසක් මානව වර්ගයාට අනතුරු ඇගවීමක් කළෝය. එහි මූලික පණිවිඩය වූයේ ‘අපගේ අසාර්ථක ගමන්මගෙන් ප‍්‍රමාද නොවී ඉවත් විය යුතු’ බවයි. ඒ අතරම ‘බරපතළ ගෝලීය ආපදාව වළක්වා ගැනීම සඳහා සමාජයේ සෑම අංශයකම වේගවත්, දූරදර්ශී හා පෙර නොවූ විරූ වෙනස්කම් අවශ්‍ය කර ඇති බව’ එක්සත් ජාතීන්ගේ අනුබද්ධිත සංවිධානයක් වන ‘අයිපීසීසී’ ආයතනය විසින්ද නිවේදනය කළේය. නව ලිබරල්වාදය විසින් උරුම කෙරුණු මේ ආපසු හැරවිය නොහැකි වූ ප‍්‍රතිවිපාකයන්ගේ යුගයක් මැදට මේ කොරෝනා වසංගතය දැන් කඩාවැටී ඇත.

මෙතැනින් පසු ලෝකයේ රාජ්‍යයන් කුමන ගමන් මාර්ගයක ගමන් කරනු ඇතිද යන්න විමසීම වටී.

සුපරික්ෂා යාන්ත‍්‍රණ හා අධිකාරිවාදය

දැනටමත් ලෝකයේ පාලන තන්ත‍්‍රයන් බොහොමයක් මෙම අර්බුදය ගසාකමින් අධිකාරිවාදයක් කරා වේගයෙන් ඇදී යන්නට සැරසෙන බවක් පෙනෙයි. මේ වනවිට එම පාලන තන්ත‍්‍රයන් කොරෝනා වසංගතයට ආවරණය වී ආක‍්‍රමණශීලී සෝදිසි කිරීම් පණගන්වමින් තිබෙයි.

ඊශ‍්‍රායල් අගමැති බෙන්ජමින් නෙතන්යාහු පාර්ලිමේන්තුව කැඳවීම වළක්වන හදිසි නියෝගයක් පනවා තිබේ. ඒ අතරම ඔහු දූෂණය සම්බන්ධ තමාගේම නඩු විභාගයකින් ආරක්ෂා වීමට රටේ අධිකරණ වසාදැමීමක් කර ඇත.

මුහුණු හඳුනාගැනීමේ කැමරා ලක්ෂයක පමණ ජාලයක් මොස්කව්හි ස්ථාපිත කර ඇත. ඉන්දියාවේ මෝඩි පාලනය මේ හදිසි තත්වයට මුවා වී කාශ්මීර ජනයා කෙරෙහි සිය යුද මර්දනය දියත් කිරීමට කැසකවන බවක් පෙනෙමින් ඇත.

නිරෝධායන නීති යටතේ සිටින  ඕනෑම කෙනෙකු සුපරීක්ෂාවට ලක් කෙරෙන දැවැන්ත තාක්ෂණික මෙහෙයුමක් මේ වනවිට චීනය විසින් දියත් කර තිබෙයි.

ලංකාවේ ගෝඨාභය පාලනයත් මේ වනවිට ගණන් බලමින් තිබෙන්නේ ලංකාවේ ප‍්‍රජාතන්ත‍්‍රවාදී ආයතනික සම්ප‍්‍රදාය අපහරණය කරමින් වත්මන් මැතිවරණ අර්බුදය තමන්ට වාසිදායක ලෙස කළමනාකරණය කරමින් ඉදිරියේදී අධිකාරිවාදී පාලන තන්ත‍්‍රයක් සහතික කරගැනීම ගැනයි. ඒ සම්බන්ධව සිය ප‍්‍රචාරක මෙහෙයුම් එම පාලනය විසින් සක‍්‍රිය කරමින් පවතී.

සමාජය කෙරෙහි සිය ග‍්‍රහණය තීව‍්‍ර කිරීම සඳහා මෙම වසංගත අර්බුදය උපයෝගී කරගෙන ඇත්තේ අධිකාරිවාදී පාලක ස්ථරයන් පමණක් නොවේ. ඒ සමගම ලොව පුරා අධිතාක්ෂණික සුපරීක්ෂණයන්වල වර්ධනයක් මෙම කොරෝනා පසුබිම තුළ නිර්මාණය වෙමින් තිබේ. කොරෝනා වෛරසය ආසාදනය වූ අයගේ සම්බන්ධතා සොයාගැනීමට ස්මාර්ට් තාක්ෂණික මෙහෙයවීම් පද්ධතීන් නිර්මාණය කිරීමේ දිහාවට රටවල් ගමන් කරමින් පවතී.

යුරෝපීය ජංගම දුරකථන ක‍්‍රියාකරුවන් තමන් මෙතෙක් නිර්මාණය කර ඇති පරිශීලක දත්තයන් අදාළ රජයන් සමග සම්බන්ධීකරණය කරමින් සිටී. ගූගල් හා ඇපල් සමාගම් එක්ව සෑම ඇන්ඩ්‍රොයිඞ් හා ඇපල්  දූරකථනයකම මෙහෙයුම් පද්ධතිය තුළ වෛරස් ට‍්‍රැකර් ලූහුබැඳීමේ අඩවියක් වර්ධනය කරන බව දන්වා ඇත. බොහෝ යුරෝපීය පාලන තන්ත‍්‍රයන් ජාතික නිරීක්ෂණ මෙවලම් ඉහළ නැංවීම සඳහා එම සමාගම් සමඟ සහයෝගයෙන් කටයුතු කරන බව පෙනේ. බි‍්‍රතාන්‍යයේ ජාතික සෞඛ්‍ය සේවය සමග එක්ව ගූගල් හා ඇපල් සමාගම් විසින් ජංගම දූරකථන යෙදුමක් වර්ධනය කිරීමට කටයුතු කරන අතර ඉන් ජනතාවගේ සංචලනය හා ආසාදිත පුද්ගලයන් සමග වන සම්බන්ධතා පරීක්ෂාවට ලක් කරන බව කියැවේ. ඇමරිකාව, ජර්මනිය, ඉතාලිය හා චෙක් ජනරජයද ඔවුනගේම වූ නිරීක්ෂණ මෙවලම් වර්ධනය කරමින් ඇති බව වාර්තා වේ. කොරෝනා වෛරසය මුවාවෙන් චීනයේ පද්ධතිමය නිරීක්ෂණ ජාලයන් අප සිතනවාට වඩා ඉක්මනින් ඇමරිකාව හා යුරෝපය වෙත පැමිණිය හැකිය.

මෙවැනි නිරීක්ෂණ උපක‍්‍රම හඳුන්වා දීමෙන් පසු ඒවා යළි ලිහිල් කිරීම ඉතා දුෂ්කර කෙරෙනු ඇත. ‘වසංගතයෙන් පසු පුරවැසියා හා රාජ්‍යය අතර ගොඩනගන නව සබඳතාව යළි කිසි දිනෙක වෙනස් නොවනු ඇති’ බව රහස්‍යතා මෘදුකාංග සංවර්ධකයකු වන සෙන්ටි‍්‍රක්ස්හි ප‍්‍රධාන විධායක පරාන් චන්ද්‍රසේකරන් මෑතකදී ටයිම්ස් පුවත්පතට පැවසීය. සෝදිසි කිරීම් වැඩි කිරීමෙන් ජාතික ආරක්ෂාවට තර්ජනයක් විය හැකි දත්ත පරික්ෂා කිරීමට පුළුල් පරාසයක බලයක් ඉදිරි කාලය තුළ රාජ්‍යයන් විසින් අභ්‍යාස කරනු ඇති බවත් පෞද්ගලිකත්වය පිළිබඳ නව චින්තාවක් ඉන් නිපදවෙනු ඇතැයි ඔහු තවදුරටත් එහි දක්වා සිටී. යුවල් හරාරි දක්වන පරිදි මේ කෙටිකාලීන හදිසි පියවරයන් පශ්චාත් කොවිඞ් ලෝකය තුළත් ජීවිතයේ සාමාන්‍ය අංගයක් ලෙස දිගටම පවත්වා ගෙනයනු ඇත.

විකල්ප අනාගතයක්?

මෙම වෛරසය නිසා ගෝලීය නව ලිබරල් සම්මතයන් අභියෝගයට ලක් වී ඇති බවද මුලින්ම සඳහන් කළෙමි. ගෝලීය ශිෂ්ටාචාරයේ මූලික ව්‍යුහයන් යළි සකස් කිරීමක් මෙම වසංගත සංකීර්ණය විසින් ඉල්ලා සිටිනු ලැබෙයි. අධිකාරිවාදී පාලනයන් හා සෝදිසි කිරීම්වලට ලෝකය විවර වීමට තියෙන ඉඩ සේම එකී සීමාවන් ඉක්මවා යා හැකි මහජන සාමූහික ප‍්‍රතිචාරයක් මතු වීමට ඉඩක්ද මින් විවර කර ඇත. නව මානුෂීය ලෝකයක් කරා වන පුනරුදයකටද මෙය අවස්ථාවක් විය හැකිය. එවැනි වියහැකියාවක් ගැන ඉඟි කෙරෙන ඡුායාවන්හි ලකුණුද මේ වනවිටත් තැන තැන මතුවෙමින් පවතී.

රැකියාවන්ගෙන් දොට්ට දැමීම් හා විරැකියාව පිළිබඳ බිය යම් දුරකට සමනය කිරීමට රාජ්‍ය මැදිහත්වීම් මේ වන විටත් දක්නට ලැබෙයි.

මේ ආපදාව විසින් නව සාමූහික ප‍්‍රතිචාරයන් නිර්මාණය කෙරී ඇත. දයානුකම්පිත ප‍්‍රජාවක ලක්ෂණ අඩුවැඩි වශයෙන් ප‍්‍රකට කිරීමක් ලෙස මෙම තත්වය හැඳින්වීමේ වරදක් නොමැත. පෘථිවිය පුරාම විහිදුණු මානව සේවා සම්බන්ධීකරණයක් මේ වසංගතය හරහා ඉගි කරනවා විය හැකිය.

ප‍්‍රාදේශීයව සැපයුම් මාර්ග බිඳවැටුණු මිනිසුන් තමන්ගේ දෛනික අවශ්‍යතා සඳහා ප‍්‍රාදේශීය නිෂ්පාදකයන් හා බෙදාහරින්නන් වෙත යොමු වීමක් දක්නට ලැබෙයි. අන්තර්ජාලය හරහා වීඩියෝ රැස්වීම්වලින් මිනිසුන් වැඩි වැඩියෙන් අන් අය සමග සම්බන්ධ වීමට පුරුදු වීමක්ද මේ නව වසංගත තත්වය තුළ හඳුනාගත හැකිය. ලෝකයේ අනෙක් පැත්තේ සිටින කෙනෙකු තමන්ගේ ගමේ නගරයේ සිටින කෙනෙකුට වඩා සමීපව මේ තාක්ෂණික මුණගැසීම්වලින් හැකිවේ.

නව අදහස් හා චින්තන ක‍්‍රමයන් පිළිබඳ ගෝලීය උනන්දුවක් ජනතාව තුළ ඇතිකිරීමට මේ ආපදා තත්වය අනියම් වැඩ කොටසක් කරනවා විය හැකිය. විශේෂයෙන්ම මහජන සෞඛ්‍යය හා ගෝලීය මිනිසාගේ ජීවිත ආරක්ෂාව කෙරෙහි විද්‍යාත්මක පර්යේෂණ මොනවාද, නව සොයාගැනීම් මොනවද වැනි කරුණු ගැන අවධානය යොමු වී තිබේ.

අප ජීවත් වන්නේ නිරෝධායන මානසිකත්වයක, ශාරීරික දුරස්ථකරණයක හා ජාතික රාජ්‍යයන්ගේ ප‍්‍රාදේශීය සීමාවක බව ඇත්තකි. එහෙත් කලින් කියූ ජීවිත ආරක්ෂාව පිළිබඳ උනන්දුව හා සහතිකය වෙනුවෙන් ගෝලීය සමාජයක් දෙස බලා ඉඳීමේ යම් නැඹුරුවක් මේ වසංගතය නිසා මිනිසුන් තුළ නිර්මාණය වී ඇත. ප‍්‍රතිකාරයක් සොයා ගැනීමට පවතින සෞඛ්‍ය විද්‍යාත්මක මැදිහත්වීම්වල යම් සාමූහික ප‍්‍රයත්නයක් හඳුනාගන්නට හැකිය. මහජන සෞඛ්‍යය පැත්තෙන් යම් විදියක ගෝලීය සහයෝගිතාවක අපේක්ෂාවක් ලෙසත් මෙය හැඳින්විය හැකිය.

කීර්තිමත් දාර්ශනිකයෙකු වන ස්ලේවොයි ශිශෙක් ද මෙම අදහස දක්වා ඇත.

ආපදා කලාපවල යම් මහජන සහනුකම්පනයක් පෘථිවිය පුරා ව්‍යාප්ත වෙමින් පවතින බව නිරීක්ෂණය කළ හැකිය. අවශ්‍යතා ඇති අයට උපකාර කිරීමට ප‍්‍රජාවන් තුළ යම් ආකාරයක අන්‍යෝන්‍ය උපකාර ක‍්‍රම පිහිටුවා ගෙන තිබේ. හුදෙකලා වී සිටියාට අප එක් මිනිස් ප‍්‍රජාවක්ය යන හැඟීම අප අවදි කර තබනවා විය හැකිය.

‘සමාජ දුරස්ථභාවයක්‘ කියනවාට වඩා ‘භෞතික දුරස්ථභාවයක්‘ ලෙස මෙම තත්වය නම් කළ හැක්කේ එහෙයිනි.

මනුෂ්‍ය ප‍්‍රජාවක ඇති වටිනාකම් නැවත සොයාගැනීමේ දිශාවකට ඊළඟ යුගය ගමන් කරයිද යන විවෘත ප‍්‍රශ්නය කොරෝනා විසින් අප ඉදිරියට ගෙන ඇතැයි කිව හැකිය. ‘සමාජය වැනි දෙයක් නොමැත. ඇත්තේ තනි පුරුෂයන්, ස්ත‍්‍රීන් හා පවුල් පමණකි‘ යැයි කියූ මාග‍්‍රට් තැචර්ලාගේ නව ලිබරල් ශික්ෂා පදයන් දැන් අභියෝගයට ලක් ව තිබෙයි.

සමාජ සාධාරණත්වය, සමානාත්මතාව හා මනුෂ්‍ය නිදහස ගැන අලූත් කතාවක් ලිවීමට කොරෝනා විසින් අපට නතර වූ කාලයක් දී තිබේ. ගෝලීය ශිෂ්ටාචාරයේ පදනම ධනය තහවුරු කිරීමද? නැතිනම් මනුෂ්‍යයා ඇතුළු ජෛව ගෝලයේ ජීවමාන රැකවරණයද? යන ප‍්‍රශ්නය මේ වසංගතය විසින් තීරණාත්මක ලෙස අපෙන් අසමින් පවතී. ඒ ප‍්‍රශ්නයට ලැබෙන පිළිතුර මතින් පෘථිවියේ හා මානව වර්ගයාගේ අනාගතය තීන්දු වනු නිසැකය.

ඡායාරූපය: Getty Images