තද අව් රැුසින් පෙලෙමින් සිටින විටෙක මෘදු වළාකුළක් පැමිණ සූර්යයා ආවරණය කර සිහිල් පොද වැස්සක් අප දෙසට විසි කරද්දී දැනෙන්නේ කවරාකාර මිහිරියාවක් ද? යුරෝපාකරයේ ඇතැම් රටක ශීත සෘතුව මඳක් එකෙල මෙකෙල වන විට ලා උණුසුමැති හිරු එළිය විහිදී දහවලක් ප‍්‍රබෝධ කරන විට දැනෙන්නේ ද එබඳු ම මිහිරියාවකි. ඒ සූර්යාලෝකය වූ කලී ගත පෙළන අව් කාස්ටකයක් නොව සිතෙහි ආසා පණගන්වන, දිවිය සොම්නසකින් සම්බාහනය කරවන ජීවී රශ්මියකි. සීතල අවකාශයට හිරුගේ හුස්ම වැටෙන එවැනි සුන්දර දිනවල, ලෝම පොරෝනා සහ කෘත‍්‍රිම උණුසුම් කුටීර තුළින් පිටතට පැමිණෙන නගරවාසීහු ප‍්‍රබෝධයෙන් ඉපිලෙමින් නගර මධ්‍යයේ ඇති උද්‍යානවල ඇවිදිමින්, රංචු ගැහෙමින් හෝ වැතිරෙමින් ඒ උණු හිරු පහසින් රිසි සේ අස්වැසෙති.


එලෙස සොබාදහමෙන් පිදෙන මේ සිහින් සුවය පුරවැසියන්ගේ එක්තරා සමාජ පැවැත්මකට මුල් වෙයි. හිරු මුදුන් වී කෙමෙන් පල්ලම් බසින්නට පටන් ගත් ම මේ සොඳුරු නගරවල වැසියෝ හොඳින් ඇඳ පැළඳගෙන සිය සමීපතමයන් සමග වීදි දිග හෝ උද්‍යාන-පිට්ටනි ආදියෙහි රැුඳී සතුටු සල්ලාපයෙන් පැයක් දෙකක් ගෙවා දමති. අදක ඊයේක සිට නොව වස් සියවස් ගණනක් තිස්සේ දේශගුණ සෘතු වෙනස සමග පැවැත ආ මේ පැවතුම එක්තරා අයුරකින් සංස්කෘතික කාරණාවකි. මග අයිනේ හිරු එළියට ක‍්‍රමයෙන් අත හැරෙමින් යන කුඩා පුටු මේස පුරවමින්, ගං ඉවුරේ තණනිල්ලේ සැනසිල්ලේ වාඩි ලා හිඳිමින් හෝ දිවා විවේකයේදී සුළු අහරක් සමග කෝපි උගුරක රස විඳිමින් සෑම දෙනා ම පාහේ රස හැන්දෑවන් තම සිරුරු තුළට කා වද්දා ගනිති. මෙවන් වෙලාවන්හිදී එකිනෙක මිශ‍්‍රව තීව‍්‍ර ගුමු ගුමුවක් සේ ඈතට ඇසෙන සිනා හඬ සිය දහස් ගණනකින් ජනාකීර්ණ උයන් තලාවන් වැසී යයි.


විශේෂයෙන් පොතපත කියවීම හෝ කෙළි සෙල්ලම් කිරීම හැර වෙනත් සාමාජීය විනෝදාංශ දුලබ වූ දා හත් වන සියවසේදී මේ මාවත්-උයන් චාරිකා යනු ජන ජීවිතයේ අනිවාර්ය අංගයක් වන්නට ඇත. පැරීසිය වැනි නගරවල සංස්කෘතික ජීවිතය මෙවැනි උද්‍යානකාමී නිස්කාන්සුවකින් නිවී ගිය එකක් වූ බව සමකාලීන කලා නිර්මාණ සහ ඉතිහාස විස්තර තුළින් පිළිබිඹු වේ. ඉතින් වර්තමානයේ පවා මේ ජීවන පැවැත්ම වෙනසක් වී නොමැති බව පැහැදිලි කරණකි. අපගේ සංස්කෘතික ජීවිතය තවමත් යම්කිසි කුටුම්බ මූලික පැතිකඩකට බොහෝ විට සීමා වන නමුත්, විශේෂයෙන් බටහිර රටවල ජනතාවගේ සොබාදහම විඳීම, ආදරය, සංගීතය, ස්ත‍්‍රී-පුරුෂ සම්බන්ධතා යනාදි ජීවිතානුබද්ධ කාරණා සමග මේ එළිමහන් සැරිය දැඩි සමීප බවක් දක්වයි. මේ කියන කාරණා සමග කෙලින් ම සම්බන්ධ නොවුණත් කේට්ලින් සීල් නම් කිවිඳියගේ Literary Sexts( A Collection of Short & Sexy Love Poem නම් ග‍්‍රන්ථයෙන් වැටී මසිත තුළ රැුඳුණු කවි පද කිහිපයක් මෙහි සටහන් කිරීමට මට සිතෙයි.

මා වැනි අය සමග පේ‍්‍රමයෙන් නොබැඳෙන්න

මා ඔබ කැටුව යනවා උද්‍යාන, කලාගාර සහ ස්මාරක වෙතට ඒ සෑම තැනකදි ම සිප ගන්නවා ඔබව ඉන් පසු ඔබට කිසි දා යන්න බැරි වේවි ඒ තැන්වලට මුව තුළ ලේ ගලන කලෙක මෙන්
මාව යළි යළි රස නොවිඳ

මේ ලොව ඇති සුන්දර ම විදියට විනාශ කරමි මම ඔබව


දැන් ඒ කවිය ඔබ අසළ හැර දමා කෙළින් ම අද මා කියන්නට තැතනූ දේ කරා යා යුතු ය. අනෙකක් ගැන නොව මා පෞද්ගලිකව ම ඉතා ප‍්‍රිය කරන සිතුවම් දෙකක් ගැන ය. ”ප‍්‍රිය කරන්නේ ඇයි ද?” යන්න ඔබ විසින් නොවිමසිය යුත්තේ ඊට නිසි පිළිතුරක් දීමට හැමදාමත් මා අසමත් වන බැවිනි.


මේ සිතුවම් දෙක ම ප‍්‍රංශයටත්, ඉහත විස්තරයටත් සම්බන්ධ ය. එසේ ම ඔබ මෙහි දකින්නේ විශිෂ්ට සිත්තරුන් දෙදෙනෙකු ඔවුන්ගේ ජනප‍්‍රිය ම නිර්මාණ දෙක තුළ පැරීසියේ උද්‍යාන සැරියේ සහ සැඳෑ සමාගමයේ ප‍්‍රහර්ෂය පිළිබිඹු කළ අයුරු ය. ජෝර්ජස් සීරට් (1859-1891* නම් තුරුණු සිත්තරා විසින් 1884දී අඳින ලද ් A Sunday Afternoon on the Island of La Grande Jatte නම් සිතුවම ඉන් පළමුවැන්නයි. ඔහුට ම ආවේණික ශෛලියකින්, කැන්වසය මත තෙල් සායමින් කළ මේ නිර්මාණයේ වර්ණ පිටපත දෙස නෙත් යොමන්නේ නම් එහි ඇති මන මෝහනීය සෞන්දර්යය ඔබ ද දකිනු ඇත. පැරීසියේ සේන් නදී ඉවුරේ හිරු රැුස් සහ තුරු සෙවණලූ අතර ඇති විවේක සුවය ඉතා මුදු වර්ණයන් සහ ඉතා නිසල රූප රටා බවට හැරී, නෙතු සිදුරින් සිත පතුළට ම ගලා හැලෙනු ඇත. මෙහි මුල් පිටපත අද ඇත්තේ ඇමරිකාවේ චිකාගෝ කලා ආයතනයේ ය.


අනෙක් සිතුවම දෙසට හැරෙමු. හිරු දිලෙන අහස යට සිය සමාජ සගයන් හා නර්තනයෙන්, ආදරයෙන් හා සාමූහිකත්වයෙන් බැඳෙන තත්කාලීන දර්ශනයක් පින්සලෙන් විනිවිදින්නට සමත්ව ඇත්තේ පශ්චාත් ධාරණවාදී සහ නව යථාර්ථවාදී සිත්තම් සම්ප‍්‍රදායන්හි ප‍්‍රමුඛයෙකු ලෙස සැලකෙන පියෙරේ ඔගස්ටේ රෙනෝආ (1841-1919* ය. මෙය පැරීසියේ ඕසේ කලාගාරයේ ප‍්‍රදර්ශනයට තබා ඇති, නිතොරව රසිකයන් පිරිවරා සිටින නිර්මාණයකි. 1876 වසරේදී නිර්මාණය වූ ද, Dance at Le moulin de la Galette නමින් බොහෝ තන්හි හැඳින්වෙන්නා වූ ද මේ සිතුවම පැරීසියේ උද්‍යාන මගක සාද වෙලාවක් අතිශය මනරම්ව සහ වර්ණ මුසු අරුම ආලෝක සහිතව දක්වන්නකි. හැන්දෑව කරා ඇදී යමින් පවතින හිරු සතු දිනයක් කෙමෙන් ආල ආලිංගන සහ රාග බැලූම්වලින් ආසක්ත වන අයුර සිත්තරෙකු මෙතරම් සෞන්දර්යාත්මකව කොළයක් මත ඇන්දේ කෙසේ දැයි මේ සිතුවම දකින හැම විට ම මගේ සිත නිහඬව විමසයි. x

x ලක්ශාන්ත අතුකෝරල