ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනට එරෙහිව දෝෂාභියෝගයක් ගෙන ඒමට ජනතා විමුක්ති පෙරමුණ සූදානම් බවත්, පාර්ලිමේන්තුවේ අනෙක් දේශපාලන පක්ෂවල සහයෝගයක් ලැබෙන්නේ නම් ජනතා විමුක්ති පෙරමුණ දෝෂාභියෝග යෝජනාවක් ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන බවත් ජ.වි.පෙ. පාර්ලිමේන්තු මන්ත්‍රී නලින්ද ජයතිස්ස අනිද්දාට පැවසීය. නලින්ද ජයතිස්ස මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේ ජනාධිපතිවරයාට එරෙහිව දෝෂාභියෝග යක් ඉදිරිපත් කිරීම සඳහා පැහැදිලි හේතු තිබෙන බවයි. එසේ වුව, එක්සත් ජාතික පක්ෂය ඇතුළු පාර්ලිමේන්තුවේ අනෙක් පක්ෂවල සහයෝගය ඒ සඳහා ලැබිය යුතු බවයි.
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් අතරින් තුනෙන් දෙකකට නොඅඩු සංඛ්‍යාවක් අත්සන් කොට දෝෂාභියෝග යෝජනාවක් ඉදිරිපත් කළහොත් කථානායකවරයා එම යෝජනාව භාරගත යුතුය. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගෙ න් හරි අඩකට නොඅඩු සංඛ්‍යාවක් අත්සන් කළහොත් දෝෂාභියෝග යෝජනාවක් බාර ගැනීම හෝ නොගැනීම කථානායකවරයාට තීරණය කළ හැකිය.
මේ අතර ජනාධිපති සිරිසේන එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවට ක්‍රියාත්මක වීමට ඉඩ නොදී බාධා එල්ල කළහොත් දෝෂාභියෝග යෝජනාවක් ගෙන ඒමට බලාපොරොත්තුවක් ඇතැයි එක්සත් ජාතික පක්ෂ ආරංචිමාර්ග පවසයි.
මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාට එරෙහිව දෝෂාභියෝගයක් ගෙන ඒමට කටයුතු කළහොත්, ඒකාබද්ධ පොදුජන පෙරමුණ නියෝජනය කරන මන්ත්‍රීවරුන් පිරිසක්ද එයට සහයෝගය දැක්වීමේ ඉඩකඩක් ඇතැයි තවදුරටත් අනිද්දාට වාර්තා වෙයි. අනිද්දා සමග අදහස් දැක්වූ පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ප්‍රකාශ කළේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන නිසා ඒකාබද්ධ විපක්ෂය විසින් ගොඩනැඟූ සියලු‍ දේ විනාශ වූ බවයි.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනට එරෙහි දෝෂාභියෝගයක් පැමිණියහොත් ගන්නා තීරණය පිළිබඳව ඉදිරියේදී සාකච්ඡා කළ යුතු නමුත්, මේ වෙද්දී ඔහුගේ ක්‍රියා සම්බන්ධයෙන් තිබෙන කලකිරීම නිසා තම කණ්ඩායමේ සිටින මන්ත්‍රීවරුන් රැසක් දෝෂාභියෝගයකට පක්ෂව කටයුතු කිරීමේ ඉඩකඩක් පවා තිබෙන බව ඔහු පැවසීය.