ක‍්‍රිස්ටීන් ස්පිට්ල් විල්සන් ලියූ සේම තිත්ත කෝපිවල කතාව තිත්තයි. කෝපි වවන්නට පාතරටින් උඩරට සරු බිම් සොයා ආ සුද්දාට කෝපි වගාව තිත්ත වුණා. ඒ, ‘වනසන එමීලි’ නමින් ප‍්‍රකට වූ හෙමීලියා වැස්ට‍්‍රාටි‍්‍රක්ස් මලකඩ දිලීරය නිසා යි.


පහතරට රේන්දකරුවන් සම්පාදනය කළ අරක්කු බෝතලයටද හාල්, පහේ, පාන් පිටි සිල්ලර බඩු සොච්චමටද ජීවිතය උකස් කළ, දකුණු ඉන්දියාවෙන් කැඳවූ දෙමළ වහල් කම්කරුවාටද සුද්දාට සේම කෝපි තිත්ත වුණා. ඒ පාඩු පිට පාඩු ලැබූ සුද්දා ගෙවූ සොච්චමද නොගෙවා කෝපි වතු තේ වැවිල්ලට යට කිරීම උදෙසා අලූතින් දහදිය වපුරන්නට සිදු වූ නිසායි. සියක් අවුරුද්දක් තිස්සේ ඔවුන්ගේ කඳුළුද, දහදියද හුදෙක් ජීවත්වීමේ ආශාව පමණක් උදෙසා සුද්දාද ඔවුන්ගෙන් පසුව බිම් අයිතිකරුවන් වූ කළු සුද්දාද පොහොසත් කරන්නට මහ පොළව තෙමද්දී, කඳුකරය වසා හරිත තේ යාය පැතිර ගියා.
ඒ සුනිල නිම්න අතර රමණීය දෘශ්‍ය කාව්‍යයන් වූ මහපොළොවේ තිළිණයන් පමණක් ඔවුනගේ වෙහෙස නිවා ඉසිඹු ගන්වන්නට ඇති. අද ද එවැනි සොබාදම් තිළිණම ඔවුන්ගේද වෙහෙස වන්නා වූ බර උසුලන්නා වූ සියල්ලන්ගේ සැප පිණිස පවතිනවා.


හපුතලේ බණ්ඩාරවෙල අතර හරි මැද වැඩි පිරිසකගේ ඇස නොගැටෙන තැනක එවැනි කුඩා ඉඩක් රසවතුන් උදෙසාම වෙන් වෙලා.
කඳුකරය ගෝනුන්ට නවාතැනයි. ඒ හින්දාම ගෝනුන්ගේ නමින් කියැවෙන ඉසව්වක අද නැතත්, එදා ගෝන්නු වසන්නට ඇති. දැන් වතු මහත්තුරුන්ගේ බංගලා බවට පෙරලී ඇති එදා සුදු මහත්තුරුන්ගේ නිවහන් වූ ඇතැම් බංගලාවක අදත් සුදු උණ්ඩවලට දිවි දුන් ගෝනුන් හිස් බැල්මෙන් බලා සිටින වියළි හිස් ගෙඩි බවට පරිවර්තනය වී සිටිනු දැකගත හැකියි. පිටරත්මලේ, දඹේතැන්න, ඉදල්ගස්හින්න, ගෝනමොටාව මේ කොයි ඉසව්වේත් එදා ගෝනුන්ද උන් පස්සේ වැටුණු දිවියන්ද හක්කලං කරන්නට ඇති. ඇතැම්විට හෝරාවක් නොව වරුවක්ම මං වගේම ඒ පාර කෙළවර වෙන තැන අංශක අනූවේ දළ බෑවුමෙ මුදුන් රේඛාවේ නිසොල්මනේ හිඳ උන්ද ඈත පිදුරුතලාගල, හක්ගල සහ රහංගල කඳු පංති දිහාද, මෑත නරියා කන්ද දිහාද බලා සිටින්නට ඇති.


ඇත්තටම මං එදා ගියේ අහම්බ ගමනක්. අසිත මගදි මුණගැහුණේ නැත්නම් මද්දහනට ඔන්න මෙන්න කියලා තියෙද්දි හිරිපොද වැටෙන හීතල දවසක තිබහ නිවාගෙන උණුසුම් වෙන්න වුවමනා වුණේ නැත්නම්, ඒ ගමන ගැන මෙහෙම ලියවෙන්නෙ නැති වෙන්න තිබුණා. හීතලට හීතල බියර්. ඒක හරිම පිස්සුවක් වුණේ ඉදුණු සුවඳ හමන ආනමාලූ ඇවරි කීපෙකුයි, ගිතාරයකුයි ජීප් එකේ පිටිපස්සට පටවා ගත්තම. අසිත රසවතෙක්. මිනිහාට පුළුවන් ගිටාරය අඬවන්න. පස්සෙ මට හිතුණා හීතල බියරුයි, ආනමාලූයි, ගිටාරයකුයි පිස්සුවක් නෙවෙයි රස ගුලාවක් කියලා.


හරිම පහසු ඒ ගමන පටන්ගන්නෙ කොහෙන් වුණත් බහින්න ඕනෑ එක්කො හපුතලේ ටවුමෙන්, නැත්නම් බණ්ඩාරවෙල ටවුමෙන්. හැබැයි මුලිම්ම කියන්න ඕනෑ මේ ගමන ගමනාන්තයක් බවට පත් කරගන්න එපා. වෙන ගමනක එක ඉසව්වක් කරගත්තනම් තමයි හොඳ.


ලිප්ටන් අසුනට යනවා නම්, ඇඩිසම් යනවා නම්, ගෝනමොටාව පාරෙ කෙටි දුරක් ගිහිල්ලා ඒ බෑවුමේ මුදුන් ඉමේ නැවතිලා දියතලාවේ ෆෝක්ස් හිල් කන්දෙ නරි රූපය දිහා නැත්නම් බණ්ඩාරවෙල ටවුම, ඈත කඳුවලින් වටවුණු ඌව ද්‍රෝණිය දිහා බලලා හිත නිවාගන්න.


මොන දිශාවෙන් ආවත් හපුතල බණ්ඩාරවෙල පාරෙ කහගල්ල තේ ෆැක්ටරියට නුදුරෙ පත මාර ගස් තියෙන ඉසව්වක කන්ද පැත්තට ඇදෙන ගෝනමොටාව පාර හොයාගන්න අමාරු නෑ. ගල් තාර අතුරපු ඒ පාර දුවන්නේ ලස්සන තේ යායක් මැද්දෙන්. වතුකර දෙමළ මිනිස්සු ඉන්න තේජවන්ත හපුතල කන්ද පාමුල තියෙන පුංචි සුන්දර ගමකට. කාට වුණත් ඒ පාර දිගේ ගම දක්වාම ඇවිද ගෙන යන්න පුළුවන්. මතක ඇතිව පපුව පිරෙන්න හුස්ම ගන්න. වාතය ඒ තරම් නැවුම්. පිරිසිදුයි.


හැබැයි මං මේ කියන පොළෝ අටල්ලට යන්න නම් කිලෝමීටරයකට අඩු දුරක් ගිහිල්ලා පස් පාරකට හැරෙන්න ඕනෑ. අසිත මිට්සුබිෂි ජීප් එක හිතුවක්කාර විදියට එළෙව්වට මේක පයින් යන්න තරම් වටින ඒ වගේම ළඟ ගමනක්. හැරෙන්න ඕනෑ පස් පාර පටන් ගන්නෙ ජේසු ස්වාමි දරුවාණන් එක්ක ඉන්න ජුසේ තාත්තගේ සුරුවමක් ළඟින්.


ඒ සුරුවමෙන් ටිකක් ඉහළට වෙන්න පුංචි කඳු ගැටයක හදාලා තියෙන පඬු පාට බිත්ති තියෙන පල්ලිය ගැන නොකියා ඉන්න හිතෙන්නෙ නැහැ. එතැන කාගෙ වුණත් හිත නිවෙන තැනක්. බාගෙදා ඒ පල්ලියට මිහිපිට අයිතිකාරයො හිටියත් එතැන කවුරුවත් නැති හින්දා හැමෝගෙම පල්ලියක්. සුද්දා පාලනය කළ හින්දා බණ්ඩාරවෙල, හපුතල පැත්තෙ හැම කිතුනු නිකායකටම අයිති පල්ලි තියෙනවා. එංගලන්තෙ පැරණි බලකොටු වගේ කළුගලින් හදාපු ඒ පල්ලි අද කිතුනුවන්ගේ විතරක් නෙවෙයි රටේම උරුමයක්.


ඒත් මේ පුංචි පල්ලිය ගැන අහන්න හොයන්න කවුරුවත් පැත්ත පළාතක නැහැ. ඒකයි මං කිව්වෙ පූජකයො නැති ඒ පල්ලිය හැබෑවටම දෙවියො වැඩ ඉන්න තැනක් කියලා. අසිත කිව්වෙ ඇත්ත, දෙවියන්ගෙ ගෙදර කොහොමත් පුංචියි කියලා. අපි පල්ලිය ඇතුළට එබුණා. අල්තාර කුරුසිය ඉස්සරහ දහසක් ඉටිපන්දම්වලින් වැගිරුණ දහදිය. ඒ තමයි මේ වතුකරයෙ අහිංසක මිනිස්සුන්ගෙ ප‍්‍රාර්ථනා. ඇත්තටම ඒ පුංචි කඳු ගැටය මුදුනෙ මොහොතක් හිටියට හිතට හරිම කාන්සියක් දැනෙනවා. මිනිස්සු වෙනුවෙන් අඬන්න හිතෙන තරමට.


පාර ජීප් එකේ ගාණට. එහාට මෙහාට වෙන්නෙ නැතිව පදවන්න නම් දක්ෂකම වුවමනායි. නැත්නම් අඩි සිය ගාණක් පහළ බෑවුමේ බණ්ඩාරවෙල පාර හොයාගෙන යන්න වෙනවා. පුරුදු නැත්නම් හොඳම දේ පයින් යන ගමන. මට ඒ වෙලාවෙ හැමදේම කැමරාවෙ තවරගන්න විදිහක් නෑ හිරිපොද වැස්ස නිසා. පාර කෙළවර වෙන තැනින් ගමනත් කෙළවර වෙනවා.
එතැනින් ආරම්භ වෙන්නෙ කවියක්. හරිම ලස්සනයි. අසිතයි මායි කතා කරන්න පටන් ගත්තෙ වටපිටාවෙ ටිකක් ඇවිදලා නිදහසේ හුස්ම ගත්තාට පස්සෙ. සීතල බියර් උගුරු කිහිපයක් එක්ක ආනමාලූ කෙසෙල් රස බැලූවාට පස්සෙ ගිතාරයටත් පණ ආවා. එතැනට ඔබින්නෙ හදවත අමතන ගීත. නිසංසලත්වය එක්ක මුහු වෙච්ච පරිකල්පන. රහංගල, හක්ගල, පිදුරුතලාගල ඉමෙන් මෙපිටට ඇස් ගත්තාම පණ ආපු සුදු පාට නරියා පේනවා. වරුවක් බලා ඉන්න පුළුවන්. පොළව වැහිලා තියෙන්නෙ මානවලින්. මාන උදුරලා ඉම්බාම සේරවල සුවඳ දැනෙනවා. සේරත්, මානත් එක පවුලෙ. ‘මාන කඳ මුල දාලා ටොම් යැම් සුප් හදන්න බැරිද බං’ අසිත අහනවා. මට මතක් වුණේ ඉස්සර මැටි කුස්සිය වහන්න අම්මයි තාත්තයි දෑකැතිවලින් මාන කපලා මිටි බැඳගෙන ආපු හැටි. අපි ඉස්කෝලෙ අත්වැඩ හදන්න මාන කූරු එකතු කරගෙන ගෙනිච්ච හැටි. ඒ අතරෙ අසිත පෙන්නනවා ළඟපාත ලොකු හණ ගස් කීපයක් කවුරුහරි නිරපරාදෙ කපලා දාලා තිබ්බ විදිහ. ඉස්සර අපි හණ පතුරු පල්වෙන්න ඇරලා කෙඳි ගත්තා අත්කම්වලට. වුවමනා නම් ඒ කලාව කර්මාන්තයක් විදියට ඉස්සරහට ගෙනියන්න පුළුවන් වුණත් ආණ්ඩුවලට ඒ වෙනුවෙන් මහන්සි වෙන්න වෙලාවක් නැහැ. කලාතුරකින් කොහේහරි ඈත පළාතක අලි ගම් වැදිල්ල නවත්තන්න හණ වැටවලින් බැරියර් දාන්න උපදෙස් දෙනවා මිසක්.


හැබැයි කපලා දාපු හණ ගස් ගැන වද වෙන අසිතට මතක් වෙලා තිබුණෙ වෙන කතාවක්. ඒකත් හරිම රහයි. මචං උඹ දන්නවද මෙක්සිකොවෙ මිනිස්සු ‘ටිකිලා’ හදන්නෙ මොනවයින්ද කියලා. ඒ මේ වගේම හණ වර්ගයකින්. අපේ හණවලට බොහෝ දුරට පෙනුමෙන් සමාන බ්ලූ අගාවේ කියලා හඳුන්වන හණ වර්ගයක කොළ කපලා අයින් කළාම අන්නාසි ගෙඩිය වගේ ඉතුරුවෙන කඳ කොටසේ යුෂයෙන් තමයි මෙක්සිකානුවො ටිකිලා කියන දේශීය මධු පැන හදන්නෙ. අසිත ආයෙමත් ලොක්කන්ට දොස් කියනවා. ඇයි මචං බැරිද අපේ මහ එවුන්ට මෙච්චර ඉබේම හණ වැවෙන රටේ ටිකිලා හදන්න පුළුවන්ද කියලා බලලා මිනිස්සුන්ට ඒ ශිල්පෙ දෙන්න. ඒ හැම එකක්ම මට උත්තර නැති ප‍්‍රශ්න. හැබැයි අපේ අම්මා කියලා තිබුණා අත්තම්මලෑ කාලෙ හණ ගොබ උයලා කාපු වට්ටෝරුවක් ගැන. ටිකක් හිතුවොත් අපේ හණවලිනුත් ටිකිලා හදන්න බැරි වෙන එකක් නෑ.


අන්තිමේ ආයෙත් ගිතාරය අඬන අතරේ ඌව දෙණිය කළුවර වී ගෙන එනවා. ඒ සංඥාව තමයි අපිට ආපහු යන්න කිව්වෙ. අපි ගෝනමොටාව පාරෙම ආපහු ආවා. පල්ලිය නිහඬව බලා ඉන්නවා. ඇත්තටම දෙවියොත් අපිත් එක්ක පස් පාර කෙළවරට ගිහිං ආවා.x

x ලසන්ත ද සිල්වා