■ තිලක් සේනාසිංහ

ශ්‍රී ලංකාවේ වයඹ පළාතට සහ පුත්තලම දිස්ත්‍රික්කයට අයත් මධ්‍ය පරිමාණයේ වාරි කර්මාන්තයක් වන මාදම්පේ, තිනිපිටිය වැව වඩාත් ප්‍රකටව ඇත්තේ කොළඹ හලාවත ප්‍රධාන මාර්ගයේ මාදම්පේ නගරයට පිවිසෙන තැන පිහිටි ‘අශ්වයා දේවාලය’ අද්දර වැව වශයෙනි.
එම දේවාලය ඇතුළු මාදම්පේ අවට ඇති තවත් කුඩා දේවාල හතකට අධිගෘහීත තනිවැල්ලේ දෙවියන් නමින් ප්‍රකට කෝට්ටේ යුගයේ මාදම්පේ රජ කළ ‘තනියවල්ලභ’ නම් යුව රජු මෙම තිනිපිටිය වැව සහ ඊට තරමක් නොදුරින් පිහිටි මහවැව කරවන ලද බව ඓතිහාසික වශයෙන් සනාථ වී තිබේ. එම රජතුමා පසුව තනිවැල්ලේ දෙවියන් නමින් දේවත්වයට පත්වීමට ද මෙම වැව් දෙක මුල් කොට ඔහු විසින් කරන ලද කෘෂිකාර්මික විප්ලවය හේතු වී ඇත. එම රජතුමා සේම දෙවිඳුන්ගේ නම සහ තිනිපිටිය යන ග්‍රාමනාමය අතර ඇති සබැඳියාව ද ඒ සම්බන්ධ විශේෂත්වයකි.
මෙම වැව සහ අතීතය අතර පවත්නා සබැඳියාව එසේ වුව ද තිනිපිටිය වැවේ මෑතකාලීන තත්වය නම් කෙසේවත් සතුටුදායක නැත. අක්කර දෙසීයක පමණ වපසරියකින් යුතු බව පැවසෙන තිනිපිටිය වැවේ උතුරු කොටසින් අක්කර පනහක පමණ භූමි ප්‍රමාණයක් දීර්ඝ කාලීනව සිදුවෙමින් පවත්නා විවිධ ස්වාභාවික බලපෑම් සහ මානව ක්‍රියාකාරකම් හේතුවෙන් අද වන විට වැවට අහිමි වී තිබේ. ඊට අමතරව ජලතලය මත ව්‍යාප්ත වන ජපන් ජබර සහ සැල්වීනියා ශාක නිසාත් ඉවුර ආශ්‍රිතව වැඩෙන කම්බු පන් ආදි ජලජ ශාක නිසාත් පසුගිය කාලයේ තිනිපිටිය වැව් කොමලිය මුළුමනින්ම වල්මත් ස්වභාවයක් පළ කරනු දක්නට ලැබිණ. ඒ නිසාම මීට දශක කිහිපයකට පෙර මෙම වැවේ දියවර යොදා ගනිමින් ගොවිතැනින් දිවි රැකගත් ගොවි පවුල් පන්සියයක පමණ ප්‍රමාණය අද වන විට පවුල් දෙසීයකට පමණ සීමා වී තිබේ. සෑම මැතිවරණ සමයකම මෙම ගම්මානවලට එන මැතිවරණ අපේක්ෂකයන්ගේ ඡන්ද පොරොන්දු අතරින් මුල් තැනක් ගන්නා ලද්දේ තිනිපිටිය වැව ශුද්ධ කොට ප්‍රදේශයේ ගොවි ජනතාවට අවශ්‍ය වාරි පහසුකම් නැවත ලබාදෙන බවයි.
මාදම්පේ, තනිවැල්ලගම පදිංචි තිස්හය හැවිරිදි මහමුදලිගේ ධනුෂ්ක සිල්වා ‘වංශවත්’ පරපුරකින් පැවත එන්නකු වුව ද සැලකිය යුතු සමාජ, ආර්ථික තත්වයක් නොමැති විවාහක දරු දෙදරු පියෙකි. ගම් ප්‍රදේශයේ බොහෝ දෙනෙකු ‘යකඩයා’ වශයෙන් හඳුන්වන ඔහුගේ සැබෑ නම ධනුෂ්ක බව දැනහිඳිනුයේ ද පවුලේ සමීපතමයන් පමණි. ධනුෂ්කට මෙම යකඩයා නාමය පටබැඳී ඇත්තේ ඔහුගේ ධෛර්යවන්තබව හා ශක්තිමත්බව පදනම්කොට ගෙනය. කඩ කෑම සාදා අලෙවි කරන දුප්පත් පවුලක සොයුරියන් තිදෙනකු සහිත පවුලක බාලයා වන ධනුෂ්කට තම අධ්‍යාපනය ද ‘අට පාස්’ මට්ටමින් එහාට රැගෙන යාමට නොහැකි විය. එබැවින් ඔහුගේ ජීවනෝපාය වූයේ සාමාන්‍ය ව්‍යවහාරයේ ‘කුලීවැඩ’ ලෙස හැඳින්වෙන අනියම් කම්කරු වෘත්තියයි. එහෙත්, මෙම තිනිපිටියේ වැව සහ ඔහුගේ ජීවිතය අතර කුඩා කාලයේ සිටම යාවජීව සබැඳියාවක් ගොඩනැගී ඇත.
තමන් කුඩා කාලයේ තරුණ සහ මැදිවියේ ලක්ෂණ පළකළ තිනිපිටියේ වැව ගත වූ වසර කිහිපය තුළ ශීඝ්‍රයෙන් අකලට මහලු වනු බලා සිටීමට ධනුෂ්කට නොහැකි විය. වැව් තලය පුරා පැතිර පවතින ජපන් ජබර සහ සැල්වීනියා උවදුර පිටු දැකීම පිණිස ප්‍රදේශයේ ගොවි සමිති සේම රාජ්‍ය අංශ ද ඉදිරිපත් වූ සෑම විටෙකම ධනුෂ්ක ද ඒවාට හැකි අයුරින් තම ශ්‍රම දායකත්වය ලබා දී තිබේ.
මේ අතර පසුගිය වසරේ මාර්තුවේ සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව තිනිපිටිය වැවේ පාසි ඉවත් කිරීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කරන ලදි. එහෙත්, එහි පවත්නා යම් යම් අඩුපාඩු ධනුෂ්කට නිරීක්ෂණය විය. ඒවා එවන් තැනක ප්‍රසිද්ධියේ පෙන්වා දීමට තරම් සමාජශීලීත්වයක් සේම දැනඋගත්කමක් ද තමාට නැතැයි ධනුෂ්කට සිතිණ. ඒ අනුව ඔහු එහි සිටියවුන් ‘ටීඕ මිස්’ යනුවෙන් හඳුන්වනු ලැබූ තාක්ෂණ නිලධාරිනී කුසලා දිසානායක වෙත හීන්සීරුවේ කිට්ටු විය.
‘මිස්ල අවසර දෙනවා නම් මම මේ වැඬේ මීට වඩා හොඳට කරලා දෙන්නම්; මට ආණ්ඩුවෙන් එක සත පහක්වත් එපා; අවසර විතරක් දුන්නාම ඇති.’ ධනුෂ්ක කියා ඇත්තේ ඒ සඳහා වන පෞරුෂය සහ ආත්ම ශක්තිය තමන් තුළ නොමඳවම පවත්නා බව අනියමින් පළ කරමිනි.
‘එහෙම දේකට අවසර දෙන්න බලයක් මට නැහැ. එහෙම නම් ඔයා ආණමඩුවේ තියන අපේ වයඹ පළාත් සභා පුත්තලම දිස්ත්‍රික් වාරි මාර්ග ඉංජිනේරු කාර්යාලයට ඇවිත් අපේ සර්ව හම්බවෙලා ඔය කාරණේ කියන්න’ ටීඕ මිස් කියා ඇත.
එවන් සමාජමය ඉදිරිපත් වීමකට සිත තුළ පවත්නා පසුබෑම සහ වැවට දිනෙන් දින සිදුවන ව්‍යසනය මත හටගන්නා සිත්තැවුල සිතේ පැනනඟින අතරේ ධනුෂ්ක ඊට පසු දිනයෙක එම කාර්යාලයට ගොස් දිස්ත්‍රික් වාරි ඉංජිනේරු කමල් බන්දුල විජේරත්න හමුවිය.
‘ඕක බොහොම හොඳ වැඩක්; ඕකට මම මගේ සම්පූර්ණ සහයෝගය දෙනවා; ඒ හින්දා ගොවි සමිතියක් මඟින් ඔය ඉල්ලීම කරන්න.’ ඉංජිනේරුවරයා කීය. එහෙත්, තමාගේ සිත තුළ ඉපදුණු සංකල්පය සහ එය ක්‍රියාත්මක කිරීම පිළිබඳ අප්‍රතිහත ධෛර්යය සහ දැඩි අධිෂ්ඨානය අන් කිසිවකුට පැවරීමට ධනුෂ්ක අකමැති විය.
‘එහෙම නෙවේ සර්; ඔය වැඬේ මට තනියම බාර දීලා බලන්න. මට සල්ලිවත් වෙන උදව් පදව්වත් කිසි දෙයක් එපා; මට සර්ගේ අවසරේ විතරයි ඕනෑ.’
‘ඔයාට කෙලින්ම අවසර දෙන්න මට බැහැ. එහෙම නම් ඒකට ගොවි සමිතිවල එකඟත්වයක් තියෙන්නත් ඕනෑ. මට ලියුමක් මාර්ගයෙන් ඔයාගේ ඔය ඉල්ලීම ඉදිරිපත් කරන්න. ඊට පස්සේ මම මොකක්ද කරන්න පුළුවන් කියලා බලන්නම්.’ වාරි ඉංජිනේරු විජේරත්න කීය.
‘අනේ සර්, මට ඔය වැඬේ පුළුවන් වුණාට ලියුම් ලියනවා වගේ වැඩ නම් බැහැ’ ධනුෂ්ක ගත් කටටම කියා ඇත. ධනුෂ්කගේ ප්‍රකාශයකට අනුව එම කාර්යාලයේ නිලධාරීන් විසින් සකස් කරන ලද එම ලිපිය ධනුෂ්ක අත්සන් තබන ලදුව ඉංජිනේරු විජේරත්න විසිනස් භාරගන්නා ලදි.
මාර්තු මාසයේ කොරෝනා උවදුර පැතිරීමට ඔන්න මෙන්න කියා තිබියදී වාරි ඉංජිනේරු විජේරත්න සිය නිලධාරීන් ද සමඟ තිනිපිටිය වැව ප්‍රදේශයට පැමිණියේ විවිධ පාර්ශ්වයන් වෙතින් ධනුෂ්ක පිළිබඳ තොරතුරු විමසා බැලීමෙන් ද පසුව ය. ඒ අනුව ඔහුගේ එම උත්සාහය වැව ශුද්ධ කරන මුවාවෙන් එහි පතුලේ වැලි ඉවත් කිරීම වැනි යටි අරමුණක් සහිත ජාවාරමක් නොවන බව මනාව තහවුරු කර ගත් ඉංජිනේරු විජේරත්න ධනුෂ්කට මෙම වගකීම පැවරීම සම්බන්ධයෙන් ප්‍රදේශයේ ගොවි සමිති මඟින් විරෝධයක් එල්ල නොවන බව ද පසක් කර ගත්තේය. එහිදී ධනුෂ්ක ඉංජිනේරුවරයාට පෙන්වා දෙන ලද්දේ ඒ කාලයේ පැවති සුළං රටාවට අනුව වැවේ පාසි වැව් ඉවුරේ ඇති දේවාලය දෙසට පා වී අවුත් ගොඩ ගැසීමේ නැඹුරුවක් පවතින බැවින් වැව ශුද්ධ කිරීමට සුදුසුම කාලය එය බව ය. ඒ අනුව කාර්යාලයට ගොස් ඒ සම්බන්ධ යතුරු ලියනය කළ රාජකාරි ලිපියක් ධනුෂ්කගේ නිවසේ ලිපිනයට තැපැල් මඟින් එවීමට කල්ගත වන බැවින්, ඊට වඩා සුදුසු ක්ෂණික ප්‍රායෝගික විසඳුමක් කෙරෙහි ඉංජිනේරු විජේරත්නගේ අවධානය යොමු විය. එනම් ඒ මොහොතේම තම අත්අකුරින් ලියා අත්සන් කරන ලද කුවිතාන්සියක් මගින් ඒ සඳහා අවසරය ලබාදීම ය. සාමාන්‍යයෙන් රාජ්‍ය නිලධාරියෙකු වෙතින් අපේක්ෂා කළ නොහැකි මෙම ක්‍රියා පටිපාටිය පිළිබඳ ඉංජිනේරුවරයා තුළ ද යම් වැටහීමක් තිබූ බැවින් ඉන්පසු කාර්යාලයට ගිය ඔහු ඒ සම්බන්ධයෙන් ආයතනික ලොග් සටහනක් තැබීමටත් පසුව මාදම්පේ පොලිස් ස්ථානාධිපතිවරයාට, ප්‍රාදේශීය ලේකම්වරයාට සහ ප්‍රදේශයේ ගොවි සමිතිවලට ද පිටපත් සහිතව ධනුෂ්ක වෙත වැව ශුද්ධ කිරීම සම්බන්ධ නිල අවසර ලිපිය තැපැල් මඟින් එවීමටත් කටයුතු යොදා තිබිණ.
ඒ වන විට තනිවැල්ලේ දේවාලය සමීප වැව් ඉවුරු ජලය මත පාවෙමින් තිබූ සැල්වීනියා සහ ජපන් ජබර ප්‍රමාණය ටොන් සියදහසකි. එනිසා තමන් විසින් කායික ශ්‍රමයෙන් එක් කර ගන්නා ඒවා ගොඩ දැමීමට ‘යෝධ යකඩ අතක්’ අවශ්‍ය වෙයි. ඒ සම්බන්ධයෙන් මීට පෙර ද එම වැවේ සංවර්ධන කටයුතු සඳහා හවුල් කර ගත් බැකෝ යන්ත්‍රකරුවකු කියාසිටියේ කායික ශ්‍රමයෙන් වැව් ඉවුරට එක් කරන පාසි ගොඩ දැමීමට පමණක් බැකෝ යන්ත්‍රය සඳහා රුපියල් ලක්ෂ තුනකට වැඩි මුදලක් අවශ්‍ය විය හැකි බව ය.
වැව් දියවරේ මතු පිට සහ දිය පත්ලේ ඇති පාසි එක් රොක් කොට බැකෝ යන්ත්‍රයට දීමට තමන් තුළ ඇති අයෝමය හැකියාව ගැන මනා ආත්ම විශ්වාසයක් තිබූ ධනුෂ්ක එම වැව් දියෙන් පිහිට ලබන ජනතාවගෙන් එම මුදල් සම්මාදම් කිරීමට ඉටා ගත්තේ ය. එහෙත්, එය ඔහු සිතූ තරම් පහසු කටයුත්තක් නොවිණි. ඊට හේතුව සංවිධානාත්මක පදනමකින් තොරව තනි පුද්ගලයකුට මුදල් දීමට ඇතැමුන් කැමති නොවීම ය. කෙසේ හෝ ධනුෂ්කගේ මෙම අවංක අභිලාෂය උත්සාහය සහ කැපවීම තේරුම්ගත් සංජු සිහින, චාමර ජනිත්, නිශාන්ත හෙවත් මහතුන් සහ අමිල සුසන්ත කුමාර යන සගයෝ ධනුෂ්ක හා ගමේ ගෙයක් ගානේ සම්මාදම් යැදීමට යන්නට එකඟ වූහ.
‘ඔය වගේ වැඩකට සල්ලි එකතු කරන්න කලින් සමිතියක් පිහිටුවා ගනිල්ලා; නැත්නම් ගමේ මිනිස්සුන්ට සැක හිතෙයි’ ඔය අතරේ සමහරෙක් ධනුෂ්ක ඇතුළු පිරිසට එසේ අවවාද කළහ.
‘එතකොට කියන්නේ සමිති පිහිටුවා ගෙන සම්මාදමේ එන හැමෝම අවංකයි කියලා ද?’ ධනුෂ්ක ඒවාට පහසුවෙන් පිළිතුරු දුන්නේ එලෙසිනි. ‘මට ඔය ලොකු ලොකු සමිති සෙල්ලං තේරෙන්නේ නෑ; මම කියන්නේ මේ වැව සුද්ද කරන වැඬේ මට උපරිමයෙන් කරන්න පුළුවන් කියලායි.’ එම අවස්ථාවලදී ද ධනුෂ්කගේ පිළිතුර වූයේ එවැන්නකි.
කතෝලිකයෙකු වන ධනුෂ්ක තුළ පවතින මෙම අයෝමය චිත්ත සහ කායික ශක්තිය පිළිබඳ ප්‍රදේශයේ භික්ෂූහු පවා දැනසිටියහ. ඒ අනුව මාදම්පේ, ශ්‍රී සුදර්ශනාරාම පුරාණ විහාරය, නෙළුම් පොකුණ ශ්‍රී සිරිවර්ධනාරාමය සහ සුමන කුසුමාරාම පුරාණ විහාරය යන විහාරස්ථානවල භික්ෂූහු ද ධනුෂ්කගේ මේ කටයුත්තට අතහිත දෙන මෙන් දායකකාරකාදීන්ගෙන් ඉල්ලා සිටියහ. ගෙයින් ගෙට සම්මාදමේ ගිය ධනුෂ්ක ඇතුළු පිරිසට නිවෙස් අසූවකින් පමණ රුපියල් එක් ලක්ෂ හැට දහසක් පමණ එකතු කරගත හැකි විණි.
ඉන්පසු තමන් ඇතුළු තවත් තරුණ පිරිසක් විසින් ඔරු පාරු මඟින් තිනිපිටි වැව මැදට ගොස් කඩා දමන ලද පාසි තට්ටු සහ ඉවුර සමීපයේ වැව් පත්ලේ දිරා යමින් තිබෙන පාසි කුට්ටි ටොන් ගණනක් බැකෝ යන්ත්‍රය මඟින් ගොඩබිමට ඇද දැමීමෙන් ඇරඹුණු මෙම මහා සංග්‍රාමය සති කිහිපයක් පුරා එක දිගට පැවතියේ වැවේ තිබූ පාසි ස්කන්ධය මඳින් මඳ අඩු කරමිනි. එසේ ගොඩ දමන ලද පාසි ටොන් තුන හමාරක ට්‍රක් රථයක් රුපියල් දහස බැගින් පොල් පොහොර සේ අලෙවි කරමින් බැකෝ යන්ත්‍රයට ගෙවිය යුතු කුලියේ මදි පාඩුව පියවා ගැනීමට ද ඔවුහු සමත් වූහ.
ධනුෂ්ක ඇතුළු පිරිසගේ මෙම නොපසුබස්නා කැපවීම සහ වීර්යය නිසා මේ වන විට තිනිපිටිය වැවේ මතුපිටින් සෑහෙන කොටසක් පාසි නොමැති පැහැදිලි දියතලයක් බවට පත්ව ඇත.
මේ සියලු තත්වයන් යටතේ ධනුෂ්ක ඇතුළු පිරිසගේ යෝධ ශක්තියෙන් සුපෝෂිත තිනිපිටි වැවේ සක්‍රිය දියවර ඉදිරි මාස් කන්නයේ කුඹුරු අස්වැද්දීමට අපේක්ෂා කරන ප්‍රදේශයේ ගොවීන්ට දිව්‍යමය වරප්‍රසාදයක් සේ වනු ඇත. දෙවියන් මිනිසුන්ට පිහිට වන බවට පවත්නා පොදු ජන විශ්වාසය උඩු යටිකුරු කරමින් කලක් තිස්සේ අසරණව පැවැති මෙම තිනිපිටියේ දෙවියන්ගේ වැවට තනිවැල්ලේගම යකඩයා පිහිටවීම පිළිබඳ වෘත්තාන්තය නිමා වනුයේ එලෙසිනි.
අතීත කාලයේ මෙවැන්නක් කළා නම් ධනුෂ්ක හෙවත් යකඩයා මේ වැවට අරක් ගත් දෙවාත්මයක් ලෙස අමරණීය වනු නොඅනුමාන ය.■