ලලිත් ධර්මසේකර – සමස්ත ලංකා ත්‍රීරෝද රථ රියැදුරන්ගේ සංගමයේ සභාපති

 

ඔබ ව්‍යාපාරිකයෙක්ද? වෘත්තිය සමිති නායකයෙක්ද?

මොනවා වුණත් කමක් නැහැ. මගේ නම කියනකොට ත්‍රීවීල් කියන වචනය කීවොත්, ඒක තමයි මගේ ජයග්‍රහණය. මම ත්‍රීවීල් ලලිත්. කාට කොහොම වුණත් කමක් නෑ, මාව පාරෙදී කාට හරි මුණගැහෙනකොට ත්‍රීවීල් එකක් පසුබිමින් පේන්න තියෙනවා නම් මම දිනුම්.

පවුල් පසුබිම කොහොමද?

ගම පානදුර කිරිබේරිය. තාත්තාගේ මාපියන් ඔහු පුංචි කාලේම මැරිලා. තාත්තා වඩුවැඩ ඉගෙනගෙන. අමරදේව මාස්ටර් එක්කත් තාත්තා වඩුවැඩ ඉගෙනගෙන තියෙනවාලු. තාත්තා වාමාංශික දේශපාලනයේත් හිටපු කෙනෙක්. මහබෙල්ලන පන්සලේ ආවාස ගෙයි වහල ගැහුවේ අපේ තාත්තා. අපේ ගේත්, ආවාස ගේත් හදලා තියෙන්නේ එකම ආකෘතියට. අම්මාගේ මල්ලි තමයි තාත්තාගේ ගෝලයාට ඇවිල්ලා තියෙන්නේ. ඒකෙන් තමා අම්මා මුණගැහිලා තියෙන්නේ. අම්මා පානදුරේ ටිකක් වැදගත් පවුලකලු. අම්මාගේ තාත්තලාට පාරු තිබුණාලු. ඇගේ ලොකු අයියා තිරික්කලෙන් යනවාලු. තිරික්කලේ කියන්නේ ස්පෝට් කාර් වගේ තමයි. තිරික්කල් ගැටුමකින් තමයි පිහියෙන් ඇනලා මරලා තියෙන්නේ. අම්මාගේ පවුලේ අය කිව්වාලු ඔය විවාහයෙන් හිඟාකන්න තමයි වෙන්නේ කියලා. ඒත් අම්මා බය නැතිව තාත්තා එක්ක විවාහ වුණාලු. ඊට පස්සේ අම්මා හොඳට කිරි කැපුවා. තාත්තා වැඩකළා. ඒ අතරේ ගමේ සමුපකාර සමිතියේ සභාපතිකම  තාත්තාට ලැබුණා. ඔහු ඒ තනතුරේ බලය අවභාවිත නොකළ කෙනෙක්. කොටින්ම ගමට බඩු ලොරියක් ආවත්, අම්මාට කියන්නේ නැහැ අන්න බඩු ඇවිත් ගිහින් ගන්න කියලා. අම්මාත් සමහර දවස්වල බඩු ගන්න පෝලිමේ ඉඳලා, බඩු නැතිව හැරිලා ඇවිත් තියෙනවා. මාත් එක්ක අපේ පවුලේ ළමයි හත්දෙනෙක්.

 

කොළඹට ආවේ කොහොමද?

මම පානදුර කිරිබේරිය මානමුල්ල මහා විද්‍යාලයට ගියා. එක දවසයි ඉස්කෝලේ ගියේ. එදාම හවස තාත්තලා බෙල්ලන්විලට මා එක්කාගෙන ආවා. පහුවෙනිදා පැපිලියාන සුනේත්‍රාදේවී පිරිවෙණට ඇතුළත් කළා. ඊට පස්සේ කළුබෝවිල මහා විද්‍යාලයට ගියා. ඒ විදියට මම බෙල්ලන්විල කෙනෙක් වුණා. කොල්ලුපිටියෙන් විවාහ වුණාට පස්සේ කොල්ලුපිටියට ආවා.

 

ත්‍රීවීල් එළවන්න පටන්ගත්තේ කොහොමද?

උසස්පෙළට විද්‍යාව කළාට, සමත් වුණේ නෑ. දැන් නම් විද්‍යාව කළාම ඉහළට යන්න විවිධාකාර පාරවල් තියෙනවා. එහෙත් ඒ කාලයේ පාරක් තිබුණේ නෑ. ඒ නිසා මම අවුරුදු දාහතේ ඉඳලා රස්සා කළා. හේලීස්, සිලෝන් ටුබැකෝ වගේ සමාගම්වල වැඩකළා. පුංචි කඩ කළා. එහෙත්, ආර්ථික අමාරුකම් නිසා වැටුණා. රැකියාවක් හරියට නෑ, මම කසාද බැඳලා. දුවෙක් ඉන්නවා. එතකොට මගේ යාළුවෝ දෙහිවල ත්‍රීවීල් දුවනවා. ත්‍රීවීලරයක් අරගෙන කාව හරි දාලා දුවවන එක ඒ කාලේ ලාබයි. මගේ යාළුවෙකුගේ අක්කා මට කීවා, ලලිත් මම ත්‍රීවීලරයක් අරන් දුන්නොත් දුවනවාද කියලා. මගේ ළඟ ලයිසන් එකකුත් තිබුණ නිසා මං ඒකට කැමතිවුණා. යාළුවෙකුගේ ත්‍රීවීලරයකට රුපියල් 50කට පෙට්‍රල් ගහලා වික්ටෝරියා පාක් එක වටේ රවුම් කිහිපයක් ගිහින් සතියකින් දෙකකින් වාහනේ පදින්නත් හුරු වුණා. ඒත් අර අක්කා ත්‍රීවීලරය අරන් දුන්නේ නෑ. මම වෙන කෙනෙකුගෙන් ත්‍රීවීලරයක් අරන් දුවන්න ගත්තා. මේ රස්සාවෙන් නිදහසේ, අතට ගාණක් හොයාගන්න පුළුවන් වුණා. දවසට 800ක් දුවන එක සාමාන්‍ය දෙයක්. ඔය වඩු බාස් කෙනෙක් 250ක් හොයන කාලේ. මේකේ නිදහස කියන කොටස හරිම වැදගත්. ත්‍රීවීල් රස්සාවට බැස්සාට පස්සේ මට මේ රස්සාව ගැන කෘතවේදී හැඟීමක් ඇතිවුණා. මේක වැටිලා හිටපු මට ජීවිතය දුන්න රස්සාව කියන හැඟීම ඇතිවුණා.

 

වෘත්තිය සමිති පටන්ගත්තේ කොහොමද?

ත්‍රීවීල් එළවන්න පටන් අරගත්තේ 1992දී. ත්‍රීවීල් සංගම්වලට 1999 ඉඳලා මැදිහත් වුණා. පළාත් සභා මන්ත්‍රී රේණුක පෙරේරා තමයි මුලින්ම ත්‍රීරෝද රථ රියැදුරන්ගේ ජාතික සම්මේලනය කියලා එකක් හැදුවේ. මම එතකොට කොළඹ නවම් මාවතේ අයිබීඑම් එක ඉස්සරහ ත්‍රීවීලර් දිව්වා. මමත් සංවිධානයට එකතු වුණා. ජාතික සංවිධායක හැටියට වැඩකළා. එහෙත්, වැඬේ හරියට කෙරෙන්නේ නෑ. කට්ටිය එකතු කළාට හරි අමාරුයි. එක වෙලාවක රේණුක පෙරේරා කීවා, මේක සංවිධානය කළොත් තොණ්ඩමාන් වගේ වෙනවා කියලා. මම කිව්වා ‘ඔව්, තොණ්ඩමාන් වගේ සංවිධානය කළොත්’ කියලා. ඒ කිව්වෙ නිකන්ම තොණ්ඩමාන් වගේ වෙන්නේ නෑ, සෞම්‍යමූර්ති තොණ්ඩමාන් වගේ සංවිධානය කරන්නයි ඕනෑ. එදා මගේ ඉලක්කය වුණේ එකක්. මගේ දරුවන්ගේ දරුවන්ට, තාත්තාගේ රස්සාව ත්‍රීවීල් පැදවීම කියලා කියන්න ඕනෑ.

 

එහෙම කීවේ ඇයි?

මගේ දුව ලින්ඞ්සේ බාලිකා විද්‍යාලයේ ඉගෙනගත්තේ. ඉස්කෝලේ ඉඩම් පවරාගැනීමේ ප්‍රශ්නයකට මම මැදිහත් වුණා. ඒකෙදී මම ඉස්කෝලේ ගුරු-දෙගුරු සමිතිය නියෝජනය කරමින් ප්‍රශ්නෙට ක්‍රියාකාරීව මැදිහත් වුණා. වැඬේට ආණ්ඩුව පැත්තෙන් ආපු අධ්‍යක්ෂවරයා මම දන්න හඳුනන කෙනෙක්. මම ඒ කාලයේ ඔහුගෙන් ඉගෙනගෙන තියෙනවා. මා පාසල වෙනුවෙන් පෙනීසිටියා. කොච්චරද කීවොත් මම ලේවලින් එකඟතා පත්‍රයක් පවා අත්සන් කළා. මේ අත්සන් කරනකොට දුවගේ නම දානවානේ. පහුවෙනිදා ටීචර්ලා නම හොයලා බලලා, අපේ දුව මුණගැහිලා. තාත්තා ගැන විස්තර අහලා, තාත්තාගේ රස්සාව අහලා. ඇය තාත්තාගේ රස්සාව කියලා. ‘ආ, ත්‍රීවීලර්කාරයාද’ කියලා දුවත් හෑල්ලු කරලා. ඇය අඬලා. මේ සිද්ධිය ගැන දැනගත්ත කෙනෙක් මට ඇවිත් කිව්වා ලලිත්, මෙහෙම වුණා කියලා. මම ඇහුවා ඕවා ගණංගන්නේ කවුද, ළමයි ඇඬුවාම මොකද වෙන්නේ කියලා. එහෙම කිව්වාට, දුවගේ අතින් අල්ලගෙන පාර පනිනකොට මට යකා නැගලා. මම මොනවා කළත් වැඩක් නෑ, මගේ කෙල්ලට ලොකුවෙලා තාත්තාගේ රස්සාව කියන්න බැරි නම්. මගේ තාත්තා වඩු බාස්, අම්මා කිරි කැපුවා. අපට ඒක ප්‍රශ්නයක් නෑ. ඒ නිසා, ත්‍රීරෝද රථ රියැදුරාගේ වෘත්තීය ගරුත්වය වෙනුවෙන් තමයි මම වැඩ කළේ. ගරුත්වය මනින්න බෑ. එහෙත් මම ගරුත්වය ගන්න නම්, අපට ගෞරවයක් නොලැබෙන විදියේ දේවල් වෙනස් කරන්න ඕනෑ.

 

රේණුක පෙරේරාගෙන් වෙන්වෙලා දැන් සංගමය පටන්ගත්තේ කොහොමද?

රේණුක පෙරේරාගේ සංගමයේ හිටපු කාලයේ යුද්ධය නිසා කොළඹ භාර නියෝජ්‍ය පොලිස්පති තනතුරේ හිටපු බෝධිනිලමේ මහත්තයා ආරක්ෂක කමිටු රැස්වීම් පැවැත්වුවා. මම රේණුක පෙරේරාගේ සංගමය නියෝජනය කරමින් ඒවාට ගියා. එක් රැස්වීමකදී මම කීවා, මේ වැඬේට ත්‍රීවීල් සංගම් විදියට සහයෝගය දෙනවා කියලා. රැස්වීම ඉවරවුණ ගමන් බෝධිනිලමේ මහත්තයා කෝ, අර ත්‍රීවීලර් සහෝදරයා කියාගෙන ආවා. එයාගේ අතින් මගේ සටහන් පොතේ තමන්ගෙ දූරකථන අංකය ලීවා. මගේ ළඟ තවම ඒක තියෙනවා. ඔහු ඒ වෙලාවේ කීවේ, මේ සංගම් දේශපාලන පක්ෂවලට සම්බන්ධ වුණාම පොලීසිය වගේ ආයතනවලට වැඩ කරන්න අමාරු බව. ඔය අස්සේ රේණුක පෙරේරාගේ වැඬේ අඩපණ වුණා. අපි වැඬේ පටන්ගත්ත කාලයේ හිටපු කොල්ලෝ ඇවිත් කෝ අර වෘත්තීය සමිතිය කියලා අපෙන් අහන තත්වයක් ඇතිවුණා. ඒ පාර මම වැඬේ අතට ගත්තා. ත්‍රීවීල් රියැදුරන් සංවිධානය කරන්න ගත්තා. මම විනයගරුක ත්‍රීරෝද රථ රියැදුරන් පිරිසක් හදමු කියන තේමාව ඉදිරියට ගත්තා. බෝධිනිලමේ මහත්තයා වගේ පොලීසියේ නිලධාරීන් එක්ක අපි කටයුතු කළා.

 

ඒ අතරේ ඔබ විවිධ සාහිත්‍ය සංවාදවලටත් ආවා ගියා නේද?

ත්‍රීවීල් එළවන්නේ මෝඩයෝ නෙවෙයි. අධ්‍යාපනය දුෂ්කරක්‍රියා කිරීමක්. අපි අධ්‍යාපන දුෂ්කරක්‍රියාවේදී අසාර්ථක වුණා පමණයි. මම දැන් දන්නවා සංවර්ධනය වනාහි නිදහස නිෂ්පාදනය කිරීමයි කියලා. නිදහස තියෙද්දී තමයි සතුට තියෙන්නේ. සතුට එක පාරම ගන්න පුළුවන් දෙයක් නෙවෙයි. මම නිදහස එක්ක සතුට හෙව්වා. ත්‍රීවීල් හොයන හැමෝගේම ඇහැ වැඩකරන්නේ හයර් එක හොයන්නනේ. මගෙත් ඉලක්කය ඒක. ඒත් ඒ අස්සේ සංස්කෘතික වැඩවලට ඔළුව දැම්මා. උදාහරණයක් කියන්නම්. ඒ කාලයේ ජෝන් ද සිල්වා එකේ රාජ්‍ය නාට්‍ය උළෙල තියෙනවා. ටිකට් එක රුපියල් පහළොවයි. දවස් හතක් තියෙනවා නම්, ඔක්කොම ටිකට් ටික මම කලින්ම ගත්තා. නාට්‍ය තියෙන දවස්වල නාට්‍ය පටන්ගන්න වෙලාවට කලින් ගිහින්, ජෝන් ද සිල්වා එක ඉස්සරහ ත්‍රීවීලර් එක නතර කරලා හිටියා. හයර් එකක් ආවොත් ගියා. නාට්‍ය පටන්ගන්න කල් හිටියා. පටන්ගන්න වෙලාව ළංවෙද්දී පිටිපස්සෙන් දාලා, කලින් ගත්ත ටිකට් එක පෙන්නලා ඇතුළට ගියා. නාට්‍ය ඉවර වෙලා පාත්‍ර වර්ගයා ආචාර කරන වෙලාව වෙද්දී පිටිපස්සෙන්ම ගිහින් හෝල් එක ඉස්සරහ ත්‍රීවීලර් එක තියාගෙන හිටියා.

එක කාලයක් මම ඉරිදා පත්තර පහයි, දෛනික පත්තර හතරයි නොවරදවා බැලුවා. දැන් නම් ඉන්ටර්නෙට් එකෙන් කියවන නිසා පත්තර බලන්නේ නෑ. පොතකුත් නිතර අතේ තිබුණා. ඉස්සර හයර් එකක් ගියාම, ටික වෙලාවක් මගියා එනතුරු බලා ඉන්න වෙනවා. එහෙම වෙලාවක හෙවණකට ත්‍රීවීල් එක අල්ලලා පොත්, පත්තර බැලුවා. ඒ අතරේ පොත් ගැන, නාට්‍ය ගැන, දේශපාලනය ගැන සංවාදවලටත් ගියා.

මම බොන එකට විරුද්ධ නෑ. මත්පැන් බොන තැන්වල ඉඳලාත් තියෙනවා. එහෙත් වැඩිපුර කැමැත්ත තිබුණේ අර වගේ සංස්කෘතික වැඩවලට. ඔය අතරේ මාසෙකට දෙකකට වතාවක් මහජන පුස්තකාලයේ විවිධ පොත් ගැන සංවාදත් සංවිධානය කළා. සංගමයේ සහ බජට් ටැක්සි ආයතනයේ අය ඒවාට ගෙන්වාගත්තා. මට මතකයි, ඒ කාලේ මහජන පුස්තකාලේ අපේ වැඩක් තියෙනකොට ඒ වටේම ත්‍රීවීලර් නවත්තලා. පොත්පත්වලට අමතරව සිංදු ගැනත් වැඩසටහන් කළා. ඒවා නිසාම අපි එක්ක වැඩකළ ත්‍රීවීල් රස්සාව කරන සමහර අය පොත්පත් කියවන්න පුරුදු වුණා.

ත්‍රීවීල්වලට ඩිජිටල් මීටර් සවි කරන්නත් ඔබ මැදිහත් වුණාලු නේද?

අපි මුලින්ම ඩිජිටල් මීටර් සවි කළේ 2005 ජනවාරි 05 වැනිදා. එතකොට ජවිපෙ වැඩකළ, ත්‍රීවීලර් පැදපු කැලුම් ජයසුමනත් අපි එක්ක ත්‍රීවීල් සංගම්වල හිටියා. ඕක වෙන්න කලින් 2004 අග සුනාමිය ඇවිත්. ඒ නිසා ඔය දවස්වල අපි ස්වෙච්ඡාවෙන් රට වටේ වැඩකළා. නලළිං ගැහුවා, වැසිකිළි අලුත්වැඩියා කළා, බෙහෙත් දුන්නා. ත්‍රීවීලර් රියැදුරන් නියෝජනය කරමින් ඒ තැන්වල ගොඩක් වැඩකළා. ඒ අස්සේ තමයි තේසිරි ගුණතිලක කියලා මහත්තයෙකුගෙන් අපි අත්හදා බලන්න මීටර් ඉල්ලුවේ. එතකොට ඒ මහත්තයා ඉන්දියාවෙන් මීටර් ගෙන්නලා නුවර අත්හදා බලමින් හිටියා. ඔහු මීටර් දෙකක් ගෙනාවා. අපි මුලින්ම කොල්ලුපිටියේ සෙන් මයිකල් පල්ලිය ළඟදී කැලුම්ගේ ත්‍රීවීලරයට මීටරය සවි කළා. එතකොටත් අපි දැනගෙන හිටියා මීටර් අනිවාර්ය කරන නීතිරීති ආණ්ඩුවෙන් පනවන්න සූදානම් වෙමින් සිටි බව. යාන්ත්‍රික මීටරය වංචා කරන්න පුළුවන් බව අපි දන්නවා. ඒ නිසා තමයි ඩිජිටල් මීටර් සවිකළේ. අත්හදා බැලීම්වලදී සෑහෙන වැරදි තිබුණා. ඉන්දියාවේ මීටරය ආවේ රියදුරු අසුනට පිටිපස්සෙන්. අපි තමයි මීටරය ත්‍රීවීලරයේ ඉස්සරහින්, රියදුරුගේ හිසට ඉහළින් සවි කරන්න යෝජනා කළේ. ඔය කාලයේ දවසක් අපේ අංක 27 මීටරය තිබුණ තෙන්නකෝන් කියන එක්කෙනාගේ ත්‍රීවිලරයෙන් ලින්ක් සමාගමේ හිමිකරු තුෂාර කාරියකරවන හයර් එකක් ගියාලු. ඒ යනකොට මීටර් ගැන ඇහුවාලු. ඒක ඉන්දියාවෙන් ගෙන්වන බව දැනගත්තාම ලංකාවේ හදන්න ඔහු කතා වුණාලු. ඒ විදියට තමයි ලින්ක් එකෙන් මීටර් ලංකාවේ හදන්න පටන්ගත්තේ.

 

බජට් ටැක්සි කියන ව්‍යාපාරය ආරම්භ කරන්නත් ඔබ සම්බන්ධ වුණා..

අපි බජට් ටැක්සි පටන්ගත්තේ සංගමයේ වැඩක් හැටියට හිතාගෙන. ඒක ලංකාවේ මුල්ම වතාවට ලංකාවේ ත්‍රීවීලර් ටැක්සි සේවාවක් විධිමත්ව පවත්වාගෙන යෑමේ කැමැත්තෙන් පටන්ගත්ත ව්‍යාපාරයක්. අතේ සල්ලි තිබුණේ නෑ. ඒත් අපේ සංගමය සුභසාධක සංගමයක් විදියට පටන්ගත්ත එකක් නිසා ලාභ ලබන ව්‍යාපාර කරන්න බෑ. ඒ පාර අපි එක්ක හිටපු යාළුවෙක් ඉඩමක් විකුණලා ලක්ෂ පහක් අරගෙන වෙනම සමාගමකට ආයෝජනය කළා. ඔහු, බජට් ටැක්සි සමාගමේ කැලුම් ජයසුමන සහ මම සමාගමේ හිටියා. අපේ සංගමයට සීයට 27ක කොටස් අයිතිය දුන්නා. ඒත් ටික දවසක් යනකොට සංගමයේ අනෙක් අය බජට් ටැක්සි ව්‍යාපාරය දිහා සැකයෙන් බැලුවා. අන්තිමේ සංගමයේ සීයට 27ක කොටස් හිමිකම අයින් කළා. සංගමය සහ සමාගම දෙකක් බවට පත්වුණා. බජට් ටැක්සි ආයතනය රියැදුරාගෙන් හැම හයර් එකක් ගාණේ කොමිස් ගත්තේ නෑ. ඒ නිසා මහා පරිමාණ ලාභ හෙව්වේ නෑ. සාමාන්‍ය ලාභයක් විතරක් තිබුණා.

 

බජට් ටැක්සි ආයතනයේ සාර්ථකත්වයට සීමා වැටුණා නේද?

2014 වෙනකොට අපි රාජපක්ෂ ආණ්ඩුවේ ප්‍රතිපත්ති එක්කත් ගනුදෙනු කරමින්, එයාලාගේ ප්‍රතිපත්ති අනුව වැඩ කරමින් හිටියා. ඒ කියන්නේ එයාලාගෙන් අයුතු ලාභ ප්‍රයෝජන ලැබීම නෙවෙයි, එයාලා මොනවා හරි ප්‍රතිපත්තියකට අනුව නියමු ව්‍යාපෘති පටන්ගන්නකොට පෞද්ගලික ආයතනයක් විදියට අපිත් ඒ ආශ්‍රිත වැඩ කළා. ඔය අරමුණෙන් බජට් ටැක්සි ආයතනය කිරිහරක් ඇතිකිරීමේ ව්‍යාපාරයක් පටන්ගන්න හැදුවා. වැල්ලවායේ අක්කර 27ක ඉඩමක් ගත්තා. ලොකු මුදලක් ආයෝජනය කළා. තණකොළ වවලා පොළොව හැදුවා. අපි ඒක කළේ බැසිල් රාජපක්ෂගේ ඌවේ කිරි කර්මාන්තය නගාසිටුවීම  ව්‍යාපෘතියට සමගාමී පෞද්ගලික ව්‍යාපාරයක් විදියට. එතකොට තමයි ඒ ආණ්ඩුවෙන් ලංකාවට කිරිහරක් ගෙන්වන වැඩසටහනකුත් පටන්ගත්තේ. අපේ වැඬේ පටන්ගන්න බහිරව පූජාව කරන්නට එළඟිතෙල් පවා ගෙනිච්චා. ඒත් 2015 ජනවාරි අටවැනිදා ආණ්ඩුව මාරු වුණා. ව්‍යාපෘතිය නතර වුණා. බජට් ටැක්සි ආයතනයට කටඋත්තර නැතිවුණා.

 

දැන් ඉතින් ජීවිතේ කොහොමද?

මගේ දරුවාගේ කසාද සහතිකයේ තිබුණේ තාත්තාගේ රැකියාව ත්‍රීවීලර් එළවීම කියලා. එතකොට රෙජිස්ට්‍රාර් ඇහුවාලු මේක වෙනස් කරනවා නම් දැන්ම වෙනස් කරන්න පුතේ කියලා. එතකොට දුව කීවාලු, නැහැ මේක තමයි මගේ තාත්තාගේ රස්සාව කියලා. ඇය එසේ කීම මා ලබපු ජයග්‍රහණයක්. දුව උපාධියක් කරගෙන, හොඳ රස්සාවක් කරගෙන ගෞරවයෙන් ඉන්නවා. ඇය විදේශ සුරැකුම්පත් වෙළඳපළට ලංකාවේ ඉඳන් සේවා සපයන කෙනෙක්. දුවගේ සාර්ථකත්වය නිසා මගේ ගෝල් එක ගහලා ඉවරයි. බිරිඳත් බලාගෙන දුව ඉන්නවා. මම වැඩිපුර කාලය ගත කරන්නේ හෝමාගම පැත්තේ පන්සලක. ගෙදර ඉන්නකොට මුණුපුරාට මා පෙනෙන්නේ සෙල්ලම් බඩුවක් වගේනේ. සීයා කියාගෙන මා එක්ක සෙල්ලමට එනවා. ඉතින්, ගෙදර ගිහින් දරුමුණුපුරන් එක්කත් ඉන්න මම, වැඩකටයුත්තක් තිබුණොත් කරන්නේ පන්සලේ ඉඳන්. දැන් මගේ වයස අවුරුදු 58ක්. මේ කතාකරන මොහොතේ මගේ සාක්කුවේ තියෙන්නේ දුවගෙන් ලැබුණ රුපියල් එක්දාස් පන්සීය. ලොකු සල්ලියක් හෙව්වේ නැතිවුණාට මම ආඩම්බරයෙන් දැන් ඉන්නවා. විවිධ වැඩකටයුතු කරන්න උත්සාහ කරනවා.■