මා කුඩා කල අප නිවසේ බිත්තියක එල්ලා තිබූ රාමු කළ සිතුවමක් විය. මෑත දිනෙක වෙනත් තැනකදී නැවතත් ඒ සිතුවම දකින්නට ලැබිණි. මා එය දුටුවේ දශක දෙකකට පමණ පසුව බව නිසැක ය. එහෙත් වහා ම මසිත හට ගත්තේ හොඳින් දන්නා හඳුනන හිතවතෙකු දුටුවාක් වැනි හැඟීමකි. ඒ සිතුවම කාලයේ කටු ලැහැබ් තුරු වදුලාදියෙන් වැසී ගිය බාලවියට අයත් හුදකලා ආලෝකවත් දෙණි පෙතක් දෙසට දෙපියන් ඇරෙන කවුළුවක් බවට පත් වූයේ පුදුමාකාර අයුරිනි. සිතුවමේ සිටින කුඩා දරුවාගේ රුව, කුඩා කල පාළුවක දැවටුණු, කඳුළු බිඳුවක දිලිසුම දරන මගේ ම ජීවිතය මට පෙන්වා දෙන සෙයකි. ශෝකී වූත්, ආදරණීය වූත් නොස්ටැල්ජික නොඉවසිල්ලකින් හද පිරී යත් ම ජීවන සැරියේ අතරමග හමු වී වෙන් වී ගිය ළබැඳියන් ඒ අතීත දෙණිපෙතෙහි එක්කාසු වී සිනහ නගනු දකිමි. මගේ සිතිවිලි පා වෙන්නේ මගේ ම ළමා විය දැවටුණු පුංචි අවට වෙතයි. එහි මා දකින්නේ මගේ ම ජීවිතයයි. හීලෑ නැති සිත කුමක් හෝ හේතුවක් නිසා ඊළඟට වහා යන්නේ සුනිල් එදිරිසිංහයන්ගේ ගීයක රිද්මය සොයාගෙන ය.


පොත් පිටු අතරේ නොරැුඳුණු දෑසින්
වන වදුලේ අසිරිය දකිනා
ගම් දරුවන් මැද මේ දරු පැටියා
මගේ නෙතට කඳුළක් නැගුවා
ඔහුට මුවා වී පාසල් යන්නේ
මා දැයි නිකමට මට හිතුණා


පැරණි ගමත්, දුහුවිලි හුස්ම පිට කළ ගුරු පාර සහ ඉර එළිය දිය වුණු ඇළ දිය දහරාවත් සංවර්ධනයේ තාර සහ කොන්ක‍්‍රීට් පටලයන්ගෙන් වැසී ඇති වටපිටාවක හිඳ, දුරාතීතෙහි හිත නවත්තන සිතුවමකින් ගලා එන චිත්ත කම්පන නිමේෂයක තනි වන මට මහගම සේකරයන්ගේ පන්හිඳෙන් ඉහිරුණු කවියක් ද මතක් වෙයි.


කලාතුරින් දවසක ගමට යන විට
අපේ පරණ ඉස්කෝලය පෙනෙයි මට
පොල් අතු සෙවිලි කළ ඒ පොඩි වහල යට
සැඟවී තිබේ මගෙ ජීවිතයෙහි සතුට


එකල අප නිවසට පැමිණි ඇතැම් අමුත්තෙකු ඒ හැඬූ කඳුළින් සිටින පොඩිත්තාගේ සිතුවම දැක කලබල වූ ආකාරය මට සිහිපත් වේ. මව්පියන් මිය ගොස් අනාථව සිටින ඒ අවාසනාවන්ත දරුවාගේ දුක්බර රූපය නිවසේ එල්ලා ගෙන නොසිටින ලෙසත්, එමගින් නිවසේ අයට ‘වගතුවක්’ නැති වන බවත් එවැන්නෙකු මගේ පියාහට පැවසූ බව මතක ය. දැන් සොයා බලන විට පුදුමයකට මෙන් මේ සිතුවම පිළිබඳ පෙර අපර දෙදිග ප‍්‍රකට විශ්වාසය ද එය ම ය. කෙසේ වෙතත් එකල ඒ හඬන දරුවාට අපේ ගෙදර බිත්තියේ හිමි වූ ස්ථානය අහිමි කරන්නට ඒ අදහස්වලට හැකි නොවූ බව ද කිව යුතු ය.


ඒ ”හඬන දරුවාගේ සිතුවම” අඳින ලද්දේ ඉතාලියේ ඉපිද, ස්පාඤ්ඤයේ ජීවත් වූ බෲනෝ අමඩියෝ (1911-1981* නම් සිත්තරා විසිනි. ඔහු වඩාත් ජනප‍්‍රිය වූයේ ”ගියෝවන්නි බ‍්‍රැගොලින්” නමිනි. බ‍්‍රැගොලින් අඳින තරමක් ඇඳ ඇත්තේ හඬා වැටෙන දරු දැරියන්ගේ දුක්බර මුහුණු ය. හැදෑරීමක් සහිත චිත‍්‍ර ශිල්පියෙකු වූ ඔහු 1960 දශකයේ පශ්චාත් යුද සමයේ වැනීසියේ වාසය කරමින් සංචාරකයන්ට අලෙවි කිරීම සඳහා කුඩා දරුවන්ගේ සිතුවම් නිර්මාණය කළ බව කියැවේ. අනාථ නිවාස සෙවණේ විසූ සහ වීදි සරන ”ජිප්සි” දරු දැරියන් එහිදී ඔහුගේ සිතුවම්වලට පාදක වී ඇති බව කියැවුණ ද, සාමාන්‍ය දිවියක් ගත කළ සෞන්දර්යකාමී සිත්තරෙකු වූ බ‍්‍රැගොලින්, ඇත්තෙන් ම සිත්තමට නගා ඇත්තේ පාසල් අධ්‍යාපනය ලබන සාමාන්‍ය පවුල්වල දරු දැරියන් ය යන්න නූතන විචාරකයන්ගේ අදහසයි. සිතුවම් 65ක් පමණ ඇතුළත් වෙතියි කියැවෙන ඔහුගේ මේ සිතුවම් මාලාව ”ක්‍රහසබට ඊදහි” නමින් අතිශයින් ජනප‍්‍රියව, පිටපත් ප‍්‍රතිමුද්‍රණ වශයෙන් ලොව පුරා අලෙවි වුව ද, ඔහුට කිසි දින ඒවා වෙනුවෙන් කර්තෘ භාග ගෙවීම් ලැබුණේ නැත. එපමණක් ද? එම චිත‍්‍ර දෙස බොහෝ දෙනෙකු බැලූවේ ද යම්කිසි බියපත් බවකිනි. සත්‍යයට ආසන්න හැඟීම් පිළිබිඹු කරමින් ඔහු ඉතා දක්ෂ ලෙස එම චිත‍්‍ර ඇඳ තිබූ නිසා ම දෝ ඒවා අවාසනාව කැඳවන සිතුවම් විශේෂයක් ලෙස ප‍්‍රචලිතව ගියේ ය.


1985 සැප්තැම්බර් 5 වැනිදා බි‍්‍රතාන්‍යයේ ” නමැති ටැබ්ලොයිඞ් පුවත්පත අරුම පුදුම පුවතක් පළ කර තිබිණි. එසෙක්ස්හි නිවසක් දැවී හළු වී තිබූ අතර එම නිවසේ තිබූ ක්‍රහසබට ඉදහි සිතුවම් කිහිපයක් පමණක් නිරුපද්‍රිතව ඉතිරි වී තිබුණෙන් ”හඬන දරුවාගේ සාපය” නම් නවතම උවදුරක් පිළිබඳව එතැන් පටන් ප‍්‍රකට වන්නට විය. මෙබඳු සිදුවීම් කිහිපයකින් පසුව බ‍්‍රැගොලින්ගේ සිතුවම් පිළිබඳ කවරාකාර බියක් ජනිත වී ද යත් ” The Sun˜ ” පුවත්පතේ සංවිධායකත්වයෙන් එම සිතුවම් රැුස් ගොට ගිනි තැබීමේ ව්‍යාපෘතියක් පවා දියත් විය. මෙවන් විශ්වාසයකට හේතු වී තිබුණේ බ‍්‍රැගොලින් සිය අවසාන කාලයේ ස්පාඤ්ඤයේ ළමා අනාථ නිවහනක සිත්තම් අඳිමින් සිටියදී හදිසි ගින්නක් ඇති වී එම නිවහන විනාශ වී ගිය බවට ඇති ප‍්‍රවෘත්තිය විය හැකි ය.


ඔහු විසින් අඳින ලද ළමා කඳුළු රූප ප‍්‍රමාණය 65ක් නොව දහස් ගණනක් විය හැකි යැයි අද වන විට විශ්වාස කෙරේ. ඒ සෑම සිතුවමක් ම මිනිස් ජීවිතයට හිමි වේදනා හැඟීමක් ජනනය කරන ආකර්ෂණීය බවක් දරා සිටින බවට සැකයක් නැත. නිවසක් තුළ එල්ලා තිබිය යුත්තේ ධනාත්මක අදහස් උපදවන මුදල් නෝට්ටු, මුතු මැණික් සහ මහා මන්දිරවල රූප හෝ ඉහළ යාම සංකේතවත් කරන උස් ගස් සහ ගුවන් යානාවල රූප පමණක් ද යන්න මම නොදනිමි. එහෙත් මම බ‍්‍රැගොලින්ගේ ”හඬන දරුවා” සිතුවමක විශාල පිටපතක් ඉක්මනින් ම අත් කර ගැනීමට අදහස් කරන්නේ මගේ ම ළමා වියත්, ඒ සිතුවමේ සිර වී ඇති හැඟීම් කැටියත් කෙරෙහි ඇති ආදරය පෙරදැරිව ය. අද ඒ දුර්වර්ණ සිතුවම ඈත අවිඥාන සිතුම් අඩවියක සිට මතු වී, මසිත තුළින් ම එහි පිළිබිඹුව සොයා ගෙන මිහිරි අතීතකාමයකින් කොනහන විට, ලොව ම ශාපයකැයි කියා බැහැර කළ ද, මම කෙසේ නම් ඒ සිතුවම මනසින් සිප නොගෙන සිටිම් ද?