දීපානි සිල්වා නම් වූ ඇයට ඇත්තේ වරු ගණනක් කතාකරමින් සිටින්නට තරම් අත්දැකීම්වලින් පිරුණු ජීවිතයකි. අපූරු අත්දැකීම් ගොන්නකි. දීපානි අවිවාහකය. එහෙත් ඇය හුදෙකලාව ජීවත්වෙන කාන්තාවක් නොවේ. ඇය අදටත් නළුනිළියන්ගේ යහපත වෙනුවෙන් කටයුතු කරන ක‍්‍රියාකාරිනියකි. ඒ අතරේ දේශපාලන වේදිකාවට නැග විවෘතව අදහස් දක්වන්නියකි.
වටිනාම කාරණය වන්නේ රඟපෑමට අත්පොත් තැබූ තරුණ වියේ සිට අද දක්වාම ඇය වීදිනාට්‍යවල රංගන ශිල්පිනියක ලෙසද කටයුතු කිරීමය. මේ දිනවල ඇය ඉන්නේ විවේකයෙනි. ලංකාවේ ටෙලිනාට්‍ය කර්මාන්තය අද පවතින තත්වය නිසාම, රඟපෑමෙන් ඈත්වය.

යුක්තිය ගැන තේරුම් ගන්න
දේශපාලන පොත්පත් කියවන්න ඕනෑ නෑ

දීපානි සිල්වාත්, ලංකාවේ වීදිනාට්‍ය කලාවත් අතර ඇත්තේ වෙන් කළ නොහැකි බැඳීමකි. ඇය අදටත් වීදිනාට්‍ය කණ්ඩායමක සාමාජිකාවකි. ඉඳහිට හෝ වීදි නාට්‍යයක රඟපෑමට ඈ අදත් ප‍්‍රිය කරන්නීය. ඒ නිසා වත්මනෙහි වුව දීපානි සිල්වා වීදියේදී දැකිය හැකිය.


ගාමිණී හත්තොටුවේගමගේ මැදිහත්වීමෙන් එච්.ඒ. පෙරේරා, පරාක‍්‍රම නිරිඇල්ල ඇතුළු කණ්ඩායමක් නිර්මාණය කළ විවෘත වීදිනාට්‍ය කණ්ඩායමේ උරුමය මේ වෙද්දී කණ්ඩායම් දෙකක් රැුගෙන යයි. මේ කණ්ඩායම් දෙක අතර ගැටුමක් නැත. දෙපාර්ශ්වයේම අරමුණ හත්තොටුවේගම උරුමය ඉදිරියට ගෙන යෑමයි. වෙනසකට ඇත්තේ ඒ දෙපාර්ශ්වයම ‘විවෘත වීදිනාට්‍ය කණ්ඩායම’ නමින් ක‍්‍රියාත්මක වීමයි. එක් පාර්ශ්වයක බර කරට ගෙන මෙහෙයවන්නී දීපානිය.
රංගනයට යොමුවූ දින සිටම ඇගේ ගමන වැටී තිබුණේ වීදිනාට්‍ය කලාව ඔස්සේය. ඇය මේ කලාපයට යොමුවී තිබුණේ අහම්බයෙනි. ඇය කළුතර දිස්ත‍්‍රික්කයේය. ඇගේ පියා කොමියුනිස්ට් පක්ෂයට සම්බන්ධ ගුරු වෘත්තිය සමිති ක‍්‍රියාකාරිකයෙකි. දීපානි ඉගෙනුම ලබා තිබුණේ බෞද්ධ කාන්තා විද්‍යාලයේය. යව්වනියක ලෙස කාලය වැය කරන්නට ක‍්‍රමයක් නැතිකමට ලයනල් වෙන්ඞ්ට්හි තිබුණු ‘රංග ශිල්ප ශාලිකාවේ’ පාඨමාලාවට සම්බන්ධ වී තිබුණි.


‘1972දී රංග ශිල්ප ශාලිකාව පටන් අරගෙන තිබුණා. රංග ශිල්ප ශාලිකාව කියන්නේ එදිරිවීර සරච්චන්ද්‍ර, ධම්ම ජාගොඩ ඇතුළු කණ්ඩායමක් එකතුවෙලා රංගනය හදාරන්නට හදපු ආයතනයක්. මම එතැනට සම්බන්ධ වුණේ 1975දී. ඇත්තටම මම කරන්න දෙයක් නැතිව යාළුවෝ එක්ක රවුම් ගහමින් හිටියේ. මාත් එක්ක ආ පස්දෙනෙක් අයදුම්පත් දාලා තිබුණු අය. එයාලා අයදුම්පත් බාරදීලා ඇතුළට ගියා. මම එළියේ හිටියා. ධම්ම ජාගොඩ මහත්තයා ඇහුවා ඔයා යන්නේ නැද්ද කියලා. මම අයදුම්පත් බාර නොදුන්න බව කීවාම ඔහු අයදුම්පතක් පුරවලා දෙන්න කියලා කිව්වා. අන්තිමේදී මමත් ඒ පාඨමාලාවට ගියා.’


රංග ශිල්ප ශාලිකාවට යොමුවූ ඇයට ගාමිණී හත්තොටුවේගම ගුරුවරයා මුණගැසුණි. ගාමිණී හත්තොටුවේගම හා දීපානි සිල්වා අතර ඇත්තේ අපූරු පියෙකු හා දියණියකගේ සම්බන්ධයකි. ඔහු මුල් කාලයේදී ඇය ඉහළින් අගය නොකළ බව ඇයම කියන්නීය. ඇයද වීදිනාට්‍ය කණ්ඩායමට එකතුවුණේ හත්තොටුවේගම ගැන හෝ වීදිනාට්‍ය ගැන අවබෝධයක්, ගෞරවයක්, දැක්මක් ඇතිව නොවේ.


‘මම රෙදි පොට්ටනිය අරන් බස් එකේ නැඟලා ඔහේ ගියා. වීදිනාට්‍ය නිසාම විශේෂ ඇල්මක් එදා තිබුණේ නැහැ. 1975 පොසොන් එකේදී මුල් වතාවට අපි දඹුල්ලෙන් බැහැලා කඬේකින් තේ එකක් බිව්වා. ඉන්පස්සේ බෙරයක් ගහගෙන අපි නාට්‍යයක් පෙන්වන්න යන බව කෙනෙක් කෑගහලා කිව්වා. අපි නාට්‍යය පෙන්වන තැනට ඇවිදගෙන ගියා. මිනිස්සු පෙරහැරක් වගේ අපේ පිටිපස්සෙන් ගියා. ඉන් පස්සේ අපි ලොකු රවුමක් හදලා දඹුලූ ගල පාමුල නාට්‍යය පෙන්වන්න පටන්ගත්තා. බැලූවාම මහා සෙනඟක් රවුමක් හැදිලා ඉන්නවා. ‘මිනිහෙකුට එල්ලිලා මැරෙන්න බැරිද’ කියන නාට්‍යය පෙන්වන්න ලෑස්තිවුණේ. ඒ චරිතය මට ලැබුණේ කලින් රඟපාන්න හිටපු නිළිය එදා නොආ හින්දා. මාත් එක්ක රඟපෑ ලින්ටන් සේමගේට චරිතය ලැබුණේත් ඒ විදියට. එදා අපට වීදිනාට්‍ය කියන්නේ මොනවාද කියලා හත්තොටුවේගම සර් ඉගැන්නුවේ නැහැ. අපිම ඒ වැඬේ කරමින් ඉගෙනගත්තා. මුල්ම නාට්‍ය දර්ශන ටික අවසන් වෙලා එච්.ඒ. සහ පරාක‍්‍රම කොහොමද අලූත් ගෝලයා කියලා සර්ගෙන් ඇහුවා. එතකොට ඔහු උත්තර දුන්නේ, ‘ලකුණු තිස්පහක්වත් දෙන්න බැහැ’ කියලා. එයාගෙන් ඇගයීමක් ලබන්න හරිම අමාරුයි.’


ඇය දීර්ඝ කාලයක් තිස්සේ වීදිනාට්‍ය කණ්ඩායමේ සිටියා, විවිධ අය විවිධ හේතු මත කණ්ඩායමෙන් ඉවත් වෙද්දීය. දීපානිද ටික කාලයක් හත්තොට්ටුවේගම ගුරුවරයා සමඟ මතවාදී ගැටුමක් නිසා කණ්ඩායමෙන් ඉවත්වී සිටියාය. ඒ ගුරුවරයාගේ අවසාන සමයේදීය. එහෙත් හත්තොටුවේගම නාට්‍ය කණ්ඩායමේ මුල සිටම අඛණ්ඩව රැුඳී සිටි ශක්තිමත් කාන්තාව ඇයයි. ඇගේ කතාවේ වටිනාම පරිච්ෙඡ්දය එයයි.


xxxxxxx

දීපානිගේ ජීවිතයම සම්මතයට එරෙහි අරගලයකි. වීදි නාට්‍ය සමඟ තරුණ කෙල්ලක ලෙස රස්තියාදු ගැසීමත් අරගලයකි. රස්තියාදුව කොල්ලන්ට ආඩම්බරයක් වෙද්දී, කෙල්ලන්ගේ චරිතයට හානියක් වූ යුගයක දීපානි ඒ රස්තියාදුව ගැසුවාය. දීපානි සිල්වා වීදිනාට්‍ය කණ්ඩායමේ දීර්ඝතම කාලයක් රැුඳී සිටි කාන්තාව වන්නීය. කාන්තාවකට එසේ කිරීම කැරැුල්ලක් බව අමුතුවෙන් ලිවිය යුතු නැත. ඇයට එය අභියෝගයක් වූ අවස්ථාද ඇත.


ගලේවෙලදී වතාවක් වීදිනාට්‍ය කණ්ඩායම පොලීසියේ ප‍්‍රශ්න කිරීම්වලට ලක්විය. එහිදී පොලිසිය මුලින්ම අසා තිබුණේ ගෑනු ළමයෙකුට වීදිනාට්‍ය කණ්ඩායමක් සමඟ රට වටේ ඇවිදින්නට ලැජ්ජාවක් නැතිද? කියාය. රඟපාන්නට ඕනෑ නම් වේදිකා නාට්‍යයක රඟපාන්න තිබුණා නේදැයි ඔවුන් තවදුරටත් අසා තිබුණි. දීපානිට මෙවැනි කතාන්දරවලට ඇහුම්කන් දෙන්නට ලැබී ඇති වාර ගණන බොහෝය. එහෙත් කණ්ඩායම තුළදී තමා කාන්තාවක නිසා පීඩාවට පත් නොවූ බව ඇය කියන්නීය. එයට ඇගේ දේශපාලන සවිඥානකත්වයත් හේතුවන්නට ඇත.


‘ඒ අසූව දශකයේ. ඒ කාලයේ කාන්තා සංවිධාන බිහිවුණා. මම ඒ සංවිධාන එක්ක වැඩ කළා. මම කාන්තාවක් විදියට ශක්තිමත් වෙන්නට ප‍්‍රධාන හේතුව තමයි සුනිලා අබේසේකර මහත්මිය. මම ඇය එක්කත් වැඩ කළා. මට මතකයි එක පාරක් කාන්තා දිනයක අපි වීදිනාට්‍යයක් සංවිධානය කළා. එහෙම වෙලාවක ගෆූර් කියන පොලිස් නිලධාරියා ඇතුළු පිරිසක් අපට ගහන්න ආවා. අපි කඩයක් ඇතුළේ හැංගුණා. එළියේ විවියන් ගුණවර්ධනට ගෆූර් පයින් ගැහුව හැටි මට මතකයි. කොහොම වුණත් ඒ වගේ සිදුවීම් නිසාත්, වීදිනාට්‍ය එක්ක මහපාරේ ඇවිද්ද නිසාත් මට කාන්තාවක් විදියට ලොකු හයියක් ලැබුණා. ඒ නිසා කාන්තාවක් හැටියට පීඩාවට පත් නොවී ජීවත්වීමේ ශක්තිය මට ලැබුණා. ඒ ස්ත‍්‍රීවාදී ව්‍යාපාරය ගැන අද කවුරු මොනවා කිව්වත්, මට ශක්තිය ලැබුණේ ඔවුන්ගේ ක‍්‍රියාකාරීත්වයෙන්.‘

xxxxxxx

ඇය අවිවාහකව මෙතෙක් ගෙවන ජීවිතයත් කැරැුල්ලකි. අවිවාහක පිරිමින් නිතර දකින්නට ලැබුණත් අවිවාහක කාන්තාවන් දකින්නට ලැබෙන්නේ කලාතුරකිනි. විවාහ නොවීම, කාන්තාවකට අනාරක්ෂිත බව කෙනෙකුට කිව හැකිය. එහෙත් දීපානි අදත් ආරක්ෂිතව මෙන්ම සතුටින් අවිවාහක ජීවිතයක වැඩිමල් සමයේ පියවර නඟන්නීය. පසුගිය වසර විසිපහක පමණ කාලයක් ඇය ජීවත්වෙන්නේ ඇගේ සමීප යෙහෙළියකගේ නිවසේය. යෙහෙළියගේ දරුදැරියන් දීපානිගේද දරුවන් බඳුය. ඒ නිසා ඇය මවකි. එක් විදියකට ඇය මේ සමාජයටම මවකි. මුස්ලිම් ජාතික තරුණයන්ටද ‘අපේ දරුවන්’ යැයි ඇය නිර්භයව කියන්නී ඒ නිසාය.


‘පවුල් ජීවිතයක් ගත කරන්න කසාද බඳින්නම ඕනෑ නැහැ. මවක් වෙන්න නම් ළමයි හදන්නම ඕනෑ නැහැ. සමාජය එක්ක අවංකව හා විවෘතව ඉන්න ඕනෑ. එහෙම වුණොත් හුදෙකලා වෙන්නේ නැහැ. මම මේ මොහොතේදීත් හුදෙකලාව නෙවෙයි ඉන්නේ. මම තනිකඩ නැහැ. තනිකඩ වචනය මම පිළිගන්නේ නැහැ. ඒක මට ගැළපෙන්නේ නැහැ. මට සහෝදර සහෝදරියන් ඉන්නවා. දරුදැරියන් ඉන්නවා. මාපියන් ඉන්නවා. මම මිනිස්සුන්ව ආශ‍්‍රය කරන්න දන්නවා. මම තනිවෙලා නැහැ. අවුරුදු විසිපහක් තවත් කෙනෙක්ව ගෙදර තියාගන්නේ කවුද? එහෙම මාව තියාගත්ත යෙහෙළියක් මට ඉන්නවා.’


අවිවාහක වීම ඇය ගත් නිර්භීත තීන්දුවකි. එහෙත්, ඇය පවසන අන්දමට එය මහා දාර්ශනික අදහස් සමඟ ගත් තීන්දුවක් නොවේ. ඇගේ නිදහස්කාමී අදහස් නිසා ආ තීන්දුවකි.
‘පොඩි කාලේ අපි සෙල්ලම් ගෙවල් හදනවා. ඒ සෙල්ලම් ගෙවල්වල අපි ගෙදර අම්මාගේ චරිතය රඟපානවා. තරුණ කාලයේ පෙම් පළහිලව්වලදී විවිධ හීන මවනවා. ඒ සමාජයේ ඒ ආකෘති තිබුණු හින්දා. ඒත් මම මේ කලා ලෝකයට අඩිය තැබුවාම ඒ ඔක්කෝම වෙනස් වුණා. වෙනස් විදියට හිතන්න පුරුදු වුණා. මම ක්ෂේත‍්‍රයට අඩිය තැබුවේම වීදිනාට්‍යවලින්. මම ආශ‍්‍රය කළ ගාමිණී හත්තොටුවේගම, එච්.ඒ. පෙරේරා, විජිත ගුණරත්න වගේ මිනිස්සු හරි විවෘතයි. සුනිලා අබේසේකර වැනි අය හරිම විවෘතයි. ඉතින්, මට ලොකු දැනුමක් හා අවබෝධයක් ලැබුණා. ඒ අවබෝධය මගේ තීරණවලට හේතු වුණා. මගෙන් තනිකඩද කියලා අහන්නේ විවාහ වෙලා ලැයිසන් ක‍්‍රමයට මම අයත් නොවුණ හින්දා. කාගෙවත් අයිතිවාසිකමකට මම යටත් නොවුණ හින්දා. ඒත් දරුවන්ගේ උණුසුම, සහෝදරයන්ගේ උණුසුම, මවගේ උණුසුම විඳින්නට ඒ ලැයිසන් ක‍්‍රමයේ කොටසක් වෙන්නම ඕනෑ නැහැ.’

xxxxxxx

දීපානි, 2014දී මහින්ද රාජපක්ෂ ආණ්ඩුවට එරෙහිව ‘පුරවැසි බලයේ’ වේදිකාවට ගොඩවුණාය. පුරවැසි බලය රැුස්වීම්ක මුලින්ම වේදිකාවේ කතාකිරීමට අවස්ථාවක් ඉල්ලූවේ තමා ම බව ඇය නිහතමානීව කියන්නීය. එතැන් පටන් ඇය දේශපාලන වේදිකා ගණනාවකම කතාකර ඇත. ඒ අදහස් දැක්වීම්ද ජනප‍්‍රිය සමාජ මතය පුනරුච්චාරණය කිරීමක් වෙනුවට, ඇය අවබෝධ කරගත් යුක්තිය වෙනුවෙන් කැරලි ගැසීමක් විය.


‘වීදි නාට්‍යවලින් කරන්න පුළුවන් දේශපාලනයට යම් සීමාවක් තියෙනවා. සමහර දේවල් වීදි නාට්‍යවලින්ම කියන්න බැහැ. 2014 වෙද්දී ඇතිවෙමින් තිබුණු තත්ත්වය මට දැනුණා. මොනවා හරි කරන්න ඕනෑ කියලා මට හිතුණා. ඒ නිසායි පක්ෂ දේශපාලනය සම්බන්ධයෙන් ඍජුව අදහස් දැක්වුවේ. මම ඒ වෙනතුරුම දේශපාලන වේදිකාවල කතාකරලා තිබුණේ නැහැ. ඒත් පුරවැසි බලයේ මම මුලින්ම කළ කතාවෙන් පස්සේ මට තවත් වේදිකා ගණනාවක කතාකරන්න අවස්ථාව ලැබුණා. ඒ මම කියූ දේවල් සමාජයට වැදගත් නිසා වෙන්න ඇති. පසුකාලීනව ජනතා විමුක්ති පෙරමුණේ වේදිකාවටත් මම ගොඩවුණා. ඒ ජවිපෙ සාමාජිකයෙක් නිසා නෙවෙයි. දේශපාලන අදහස් හුවමාරු කරන්නට ඒක හොඳ වේදිකාවක් විදියට සැලකූ හින්දා.


මම දේශපාලනය ගැන තියරි ඉගෙනගෙන නැහැ. අත්දැකීම්වලින්, ආශ‍්‍රය කරපු අයගෙන් ලබපු අත්දැකීම්වලින් තමයි මගේ දේශපාලන අදහස් ඉගෙනගත්තේ. අනෙක් පැත්තෙන් මගේ තාත්තා ගුරු වෘත්තීය සමිති ක‍්‍රියාකාරිකයෙක්. ඔහුගෙන් ලබපු පන්නරයකුත් තියෙනවා. ඒවා එක්ක මට දේශපාලනය ගැන අවබෝධයක් ලැබුණා. පොතපතින් ලබපු දේශපාලන දැනුමක් මට නැහැ. ඒත් මට සමාජ සාධාරණත්වය ගැන අදහසක් තියෙනවා. යුක්තිය ගැන තේරුම් ගන්න දේශපාලන පොත්පත් කියවන්න ඕනෑ නෑ.’


xxxxxxx

දීපානි සිල්වා වැනි නළුනිළියෝ රැුසක් අද ටෙලිනාට්‍ය රැුල්ලෙන් ඈත්ව සිටින්නෝය. මුලින්ම එය ඔවුන්ගේ තෝරාගැනීමකි. කල් යද්දී ඔවුන්ට ආරාධනා ලැබෙන්නේ නැත. මේ වෙද්දී දීපානි සිල්වාට නිතර ටෙලිනාට්‍යවලට ආරාධනා ලැබෙන්නේ නැත. එයට හේතු ගණනාවකි. ඇය සොච්චම් ගෙවීමකට රඟපාන්නේ නැත. ඍජු දේශපාලන අදහස් නිසා ඇය ආන්දෝලනාත්මක කාන්තාවකි. මේ වෙද්දී රූපවාහිනී නාලිකාවලින් මෙහෙයවන මාෆියාවක් බවට ටෙලිනාට්‍ය කලාව පත්ව ඇති බව ඇය කියන්නීය. එයට එරෙහිව ඇය කතාකරන්නීය. නළුනිළියන්ට සොච්චම් වැටුප් ගෙවීමට එරෙහිව ඇය හඬනඟන්නීය. ඒ වෙනුවෙන් තවත් කලාකරුවන් සමඟ ‘ටෙලි නිර්මාණවේදීන්ගේ ජාතික සංසදය’ නම් සංවිධානය නිර්මාණය කරගැනීමට ඇයද වෙහෙස වූවාය.


බොහෝ අය මෙවැනි සංවිධානවලට සම්බන්ධ වීමට දක්වන්නේ මහත් බියකි. ඒ නිසාම මේ සංවිධානයේ ක‍්‍රියාකාරීව කටයුතු කරන්නේ සුළු පිරිසකි. ඒ අනුව ලංකාවේ ටෙලිනාට්‍ය ක්ෂේත‍්‍රය සම්බන්ධයෙන් යෝජනාවලියක් රජයට ඉදිරිපත් කිරීමටත්, විදෙස් ටෙලිනාට්‍ය විකාශය කිරීම පිළිබඳ පනතක් යෝජනා කිරීමටත් ඔවුන් මැදිහත්වී තිබුණි. එහෙත් ආණ්ඩුව පාර්ශ්වයෙන් ඒ යෝජනාවලිය උනන්දුවෙන් ක‍්‍රියාත්මක කර තිබුණේ නැත. එහෙත් ඔවුහු නොනවත්වා සටනේය.
මේ වෙද්දී රූපවාහිනී නාලිකා වෙනුවෙන්ම ලියැවුණු නළුනිළියෝ සිටිති. ඒ නළුනිළියෝ ඒ ඒ නාලිකාවල අවුරුදු උත්සව, නත්තල් උත්සව, රියැලිටි වැඩසටහන්, රූපවාහිනී සංවාද වැඩසටහන් ආදියට එක්වෙති. ඒවායින් මුදල් ලබති. ඒ රැුල්ලට එරෙහිව දීපානි කැරලි ගැසුවාය. රටේ පවතින දේශපාලනය ගැන විවෘතව අදහස් දක්වන, ස්වාධීන මතයක් තිබෙන කලාකරුවන්ට ඒ මාෆියාව ඇතුළේ දොරටු ඇරෙන්නේ ඉඳහිටය. එහෙත් ඇය සතුටින්ය. කැරලි ගැසීම ඇයට අලූත් අත්දැකීමක් නොවන නිසාය.x