පාර්ලිමේන්තු මන්ත්‍රී තිලංග සුමතිපාලට අයත් ලක්බිම දිනපතා පුවත්පත වසා දැමීමට තීරණය කර ඇත.

මෙම තීරණය නොවැම්බර් 29 දින පැවති රැස්වීමකදී ලක්බිම පුවත්පතේ පාලකයන් විසින් එහි දිනපතා පුවත්පතේ කර්තෘ මණ්ඩලයට දැනුම් දී ඇති අතර, නොවැම්බර් 30 දින දිනපතා ලක්බිම පුවත්පත මුද්‍රණය කිරීමෙන් පසු ඊළඟ සතියේ සිට දිනපතා ලක්බිම පුවත්පත මුද්‍රණය නොකරන බව එහිදී ප්‍රකාශ කර ඇත.

පුවත්පත වසා දැමීමට හේතුව වශයෙන් එම සාකච්ඡාවලදී පාලනාධිකාරියේ නියෝජිතයන් ප්‍රකාශ කර ඇත්තේ පුවත්පත් මුද්‍රණ කඩදාසි මිල ඉහළ යෑම නිසා තවදුරටත් දිනපතා පුවත්පත පවත්වාගෙන යා නොහැකි බවයි.

දිනපතා කර්තෘ මණ්ඩලයේ සාමාජිකයන් සමහරකු ඉරිදා ලක්බිම පුවත්පතට අනුයුක්ත කරන බවත්, තවත් පිරිසකට සිය සමාගම් ජාලයේ රැකියා ලබාදෙන බවත් අනෙකුත් සේවකයන් සම්බන්ධයෙන් ඉදිරියේදී තීරණයක් ලබාදෙන බවත් එහිදී ප්‍රකාශ කර ඇත.

මේ අතර පසුගිය නොවැම්බර් 16 දින පාර්ලිමේන්තුවේදී නීතිවිරෝධී ආණ්ඩුවට විරුද්ධව විශ්වාසභංග යෝජනාව සම්මත වීමෙන් පසු ‘විශ්වාසභංගය සම්මතයි, ජනපති පිළි නොගනී’  යන ප්‍රධාන පුවත ඇතුළත් පුවත්පත මුද්‍රණය කිරීමෙන් පසු එය බෙදාහැරීම තිලංග සුමතිපාල මහතා විසින් නවතා දමනු ලැබ ඇත. ඒ අනුව නොවැම්බර් 17 දින දිනපතා ලක්බිම පුවත්පත වෙළඳපොළේ විකිණීමට තිබී නැත.

ඉඳුවර බණ්ඩාර