කොළඹ ඇස් ඉස්පිරිතාලේ හෙවත් නයනා රෝහලේ දින දහයක් පමණ නැවතී රෝගී තත්ත්වයකට මා ප‍්‍රතිකාර ගත්තේ වැඩි කලකට පෙර නොවේ. රෝහලක දින දහයක් යනු දශකයක් වන් දිගු කලක් බව එම අත්දැකීම ලද්දෝ දනිත්. කාලය කා දමන්නටත් යම් ගිහි-තෙරපියක් ලබන්නටත් රෝගී අපි එකිනෙකා සමග අල්ලාප සල්ලාපයේ යෙදෙමු. මා සිටි වාට්ටුවේ හා අල්ලපු වාට්ටුවේත් කොළඹ දිස්ත‍්‍රික්කයෙන් සිටියේ මා පමණි. ටිකට් කැපීමෙන් අනතුරුව අප මසකට වරක් සායනයට හෙවත් ක්ලිනික් එකට පැමිණිය යුතු ය.

ක්ෂතිමය අත්දැකීම ලැබෙන්නේ එතැන ය. දිනකට පන්සියයක් පමණ රෝගී අපි ක්ලිනිකයට පැමිණෙමු. අංක තුන්ඩු ලබාගන්න අප උදේ හයටවත් ඇවිත් වාඩි වී සිටිය යුතු ය. ඇටෙන්ඩන් මහතුන්ගේ නොමනා බැනුම් බිරුම් අප ඉවසා සිටින්නේ වෙන කරන්න දෙයක් නැති නිසා ය. දොස්තරවරුන් පැමිණෙන්නේ අටට පමණ ය. සමහර දිනෙක අපගේ තුන්ඩුව සහිත නම අමතන තෙක් දවල් දෙක තුන වෙනතුරු බලා ඉන්න සිදු වේ. වැසිකිළියට යෑම වුව ද පසෙක ලා අප එකත් පස්ව ක්ලිනිකයේ සිටින්නේ බැරිවෙලාවත් අපගේ නම සහිත තුණ්ඩුව කතා කරද්දී අප නොසිටියොත් ආ කාරණය නොකෙරෙන බයට ය. අපගේ නම් කතා කෙරෙන්නේ අමුතු ආකාරයකට ය. එනම් වාසගම හා ප‍්‍රදේශය එක්කාසු කොට ය. මාගේ ක්ලිනික නාමය ‘ප‍්‍රනාන්දු ගල්කිස්ස’ ය! පැය හයක් හතක් අප කරන්නේ එකිනෙකාගේ නම් ඇටෙන්ඩන්වරු මොර දී කැඳවන තුරු අසා සිටීම යි. පාතිමා අක්කරයිපත්තුව, චන්ද්‍රලතා නොච්චියාගම, කන්දසාමි ග‍්‍රෑන්ඞ්පාස් යනාදි වශයෙන් නම් සිය ගණනක් කියැවෙන විට පසක් වන්නේ රටේ හතර දිග්භාගයෙන් ම ඇස් වාට්ට්ටුවට ඇවිත් සිටිනා බව යි.

අර කළු පාට ටියුලිප් මල්ලත් දුර්වර්ණ වූ කුඩයත් රැුගෙන වරුවක් පමණ හොඳට ම තෙහෙට්ටු වීමෙන් පසු ව බෙහෙත් ටිකක් අරගෙන රෝගීන් හා ඔවුන්ගේ තනියට එන්නන් තම ගම් බිම් කරා යන්න බස් එක අල්ල ගන්න කලියෙන් කෑම ටිකක් කන්නට ගොඩ වන්නේ ඇස් වාට්ටුව ඉස්සරහ ම පිහිටා ඇති පොස් ‘බ්‍රෙඞ්-ටෝක්’ එකට නොවේ. අහල පහල තියෙන පොඩි තේ කඩ හා හෝටලවලට ය. දෙන්නෙකුට යන්තම් යමක් කා තේකක් බී යන්නත් තරමක මුදලක් වැය වේ. බස් කාසිත් අමාරුවෙන් හොයන් ආ අයෙකුට එයත් අධික බරක් ය.


මෙවන් අසරණ පිරිසකගේ බගින්න නිවාලන්න ය. ‘ජනපෝෂ’ නමින් නිත්‍ය දන්සැලක් මහා රෝහල, කළුබෝවිල හා මහරගම පිළිකා රෝහල අසල යම් පුණ්‍ය ආයතනයක් විසින් අවුරුදු හත අටක් පුරා පවත්වාගෙන ගියේ. මගේ නිවෙසට කිට්ටු හන්දියේ ත‍්‍රිරෝද රියැදුරන් සති කිහිපයකට පෙර පොසොන් එක නිමිත්තෙන් දුන් ‘නූල්ඩස් හා සීනිසම්බෝල’ දන්සල කරන්නට ඔවුන් දැරූ වෙහෙස මහන්සිය හා වියදම අසල්වාසියෙකු ලෙස මම අත්දුටිමි. රෝගීන් බලන්නට එන හා සායනවලට එන අයට පිරිසිදු හා පෝෂ්‍යදායි උදේ හා දිවා ආහාර වේලක් දිනපතා වසර ගණනාවක් අඛණ්ඩ ව නොමිලේ ලබා දීම අවතක්සේරු නොකළ යුතු ය. වෙසක් පොසොන් දන්සැල්වලින් සමහරු කන්නෝ විනෝදයට ය. ඉස්පිරිතාල දන්සැල එසේ නොවේ. මුවින් නොකීවත් ඔවුහු ජනපෝෂ දන්සලෙන් පිටවන්නෝ හදවතෙන් පින් දෙමින් ය.


ව්‍යාපාරික ලොවේ සීඑස්ආර් නමින් හැඳින්වෙන සංකල්පයක් හා භාවිතයක් ඇත. සමාගමක් හෝ ව්‍යාපාරයක් ලෙස තමන්ට ඇති සමාජ වගකීම ඉටු කර ලනු වස් විවිධ සමාජ කර්තව්‍යන් කරනු දැකිය හැක. බොහෝවිට සීඑස්ආර් වැඩ කරන්නේ ‘ෂෝ’ එකට ය. සමාගමේ ප‍්‍රසිද්ධියට හා සමාගමේ ලොක්කන් අසරණයන්ට පිහිට වෙන පොටෝ ඇල්ලීමට ය. ජනපෝෂ වැනි නිත්‍ය දන්සැලක් සුවිශේෂ වන්නේ මෙම පරිසරයේ ය. එහි එවැනි බාල සැරසිලි නැත. වැඬේ පමණක් සිදු වේ. බටහිර ලොවේ ද දුප්පතුන්ට ආහාර වේලක් සපයනු වස් සුප් කුස්සි පවත්වා ගෙන යෑම මෑත ඉතිහාසයෙන් අපට හමුවේ. පශ්චාත් පළමු හා දෙවන ලෝක යුද්ධ සමයේ දී විශේෂයෙන් මෙවැනි ප‍්‍රවණතාවක් ඇති විය. එම නමින් ම නොකළත් මෙවන් කටයුතු අදත් විවිධ මුහුණවරින් කෙරෙන්නේ කුසගින්න, දුප්පත්කම හා අසමානතාව තවමත් අප සමාජ තුළ බහුල ව ඇති නිසා ය. මෙවැනි මැදිහත්වීම් සමහර අවස්ථාවල රජය විසින් ද පුරවැසියන්ගේ සමාජ ආරක්ෂණ ප‍්‍රතිපත්ති යටතේ ක‍්‍රියාත්මක කරයි. මෙවන් මැදිහත්වීම් අයෙකු තම ආගම විසින් උගන්වන යම් මූලධර්මයක් මත කරනු ලබයි. එය බොදුනුවන්ට කුසල් හෝ පින් වැඞීමක් සඳහා විය හැකි ය. මුසල්මානුවන්ට නම් සකාට් විය හැක. කිතුනුවන්ට යහපත් සමාරිත ගුණය විය හැක. නිරාගමික පදනමකින් වුව ද සෙසු මානවයන්ගේ යහපත තකා මෙවන් දේ කෙරේ.


මැදි ආදායම් රටක ලෙස ශ‍්‍රී ලංකාව අබිසෙස් ලදත්, නිල දරිද්‍රතා ප‍්‍රතිශතය සියයට හය දක්වා පහත ඇතැයි සංගණන හා සංඛ්‍යාත දෙපාර්තමේන්තුව කියතත් දන්සැලක දොර කෙදිනකවත් වැසෙන්නේ නැත. ඒ සංගණන හා සංඛ්‍යාවලට හසු නොවන අහුමුළුවල දුප්පතුන් හා අසරණයන් රැුසක් වෙසෙන හෙයිනි. පසුගිය වසර හත අටක් පුරා ජනපෝෂ දන්සල් දොරට වැඩි යදියෝ මොවුහු ය. කුසගින්නට ආගමක් හෝ ජාතියක් නැත. එහෙයින් කුසගින්න සියලූ භේද දුරු කෙරෙන බලවේගයකි. අවාසනාවක මහත; අප සමාජය හරහා මේ දිනවල දසත හමන දුගඳ ‘වඳ-සුලිය’ ජනපෝෂ දන්සැලට ද කඩා වැදුණේ නයි දිව යන්නා සේ වූ අතර ‘හොරු’ හා ‘දිරණ’ නාලිකා නන්දා මාලනියගේ ගීයක් තම සංඛ්‍යාත ඔස්සේ විකාශනය කරන අතරේ ය :


දන්සල් දොරෙහි නැත යදියෝ
සල්පිල්වලය පුරවැසියෝ
පන්සිල් රකිති මැරවරයෝ
මේ කේතුමතී නුවරයි x

x උදන් ප‍්‍රනාන්දු