රුපියල් 5000 දීමනාව උතුරේ ජනතාවට ලැබුණාද?

ඔව්, සැලකිය යුතු තරම් ලැබුණා. කිහිප තැනක තමයි ප්‍රශ්න ඇති වුණා කියලා අපිට වාර්තා වුණේ. පන්දාහසේ දීමනාව නොලැබුණු අය ප්‍රාදේශීය ලේකම් කාර්යාලවලට ගිහින් ඒ ගැන පැමිණිලි කරලා තිබුණා. දෙවැනි වතාවටත්  රුපියල් 5000  මිනිසුන්ට ලබා දෙන්න මේ වන විට පටන් අරගෙන තියෙනවා. දැන් දවස් දෙකක් විතර වෙනවා.

කොවිඩ්-19 උතුරට කොතරම් දුරට බලපාලා තියෙනවාද? උතුරේ ජනතාවගේ ආර්ථිකය, ගොවිතැන් කටයුතුවලට මේ වසංගතය බලපාලාද?

මසුන් ඇල්ලීම සහ ගොවිතැන් කරන මිනිසුන්ට පවා මේ වසංගතය සෑහෙන්න බලපාලා තියෙනවා. ගොවින්ගේ එළවළු, ලූණු, පලතුරු සහ තක්කාලි ටික  විකුණ ගන්න බැරි තත්වයක් මේ වන විට උදාවෙලා. මිලට ගන්න කවුරුත් නැති නිසා ඒ එළවළු පලතුරු ටික මැලවිලා විනාශ වෙලා යනවා. සල්ලි, වාහන තියෙන කිහිප දෙනෙක් තමන්ගේ වාහනවලින් තමන්ගේ අස්වැන්න අරගෙන ගිහින් විකුණුවත් ඒ අයට ලොකු ලාභයක් උපයන්න බැහැ.

ආණ්ඩුවෙන් මිනිස්සුන්ගේ අස්වැන්න මිලදී ගන්නවා කියලා කිව්වා නේද?

මම දන්න තරමින් ආණ්ඩුව මැදිහත් වෙලා අපේ පැත්තේ කිසිම ගොවියෙකුගේ අස්වැන්න හෝ එළවළු මිලදී ගෙන නැහැ. ඇඳිරි නීතිය දැමූ මුල්ම කාලයේ ගොවීන්ට තමන්ගේ අස්වැන්නට කිසිම දෙයක් කරගන්න බැරිව ගියා. ටික දවසක් ගියාට පස්සේ තමයි ප්‍රදේශීය ලේකම් කාර්යාලවලින් අවසර අරගෙන ගොවීන්ම තමන්ගේ වාහනවලින් ඒවා විකුණන්න පටන් ගත්තේ. මේ ක්‍රියාවලියට කිසිම ආණ්ඩුවේ පාර්ශ්වයක් මැදිහත් වුණේ නැහැ. අඩු මිලට දෙන්නටවත් විදියක් තිබුණෙ නෑ. කිසිම වෙළෙන්දෙක් ආවේ නැහැ අස්වැන්න මිලදී ගන්න. මුලතිව් ප්‍රදේශයේ ගොවීන්ගේ අස්වැන්න තිබුණත් ඒකට දිස්ත්‍රික්කයෙන් දිස්ත්‍රික්කයට ගමන් කරන්න බලපත්‍ර නැති නිසා ඒවා විනාශ වෙලා ගියා. මේ නිසා ගොවීන් ආර්ථික අලාභයක් සිදු වෙලා තියෙනවා.

ධීවරයන්ගේ තත්වය කොහොමද?

ධිවරයන් මේ වන විට ආර්ථිකව කඩා වැටිලා. ඔවුන්ට රැකියාවන් කරන්න යන්න පුළුවන් වුණාට ඒ අය අල්ලගෙන ගොඩට ගේන මාළු ගන්න කිසිම කෙනෙක් හිටියේ නැහැ. ඇඳිරි නීතීය නිසා කඩවල් වහපු නිසා කඩවල වැඩ කරන අයට මුදල් නැති වුණා. රැකියාවත් නැති වුණා. සාමාන්‍ය දිනවල පවා කෑම කඩවල වැඩ කරන අයට ලැබුණේ ඉතාම අඩු වැටුපක්. මේ වසංගතය නිසා කෑම කඩ වැහුවාට පස්සේ ඒ අයට ලැබුණු සුළු වැටුපවත් ලැබුණේ නැහැ. ස්ථිර රැකියාවට ගිය අයට පවා ඒ රැකියා ස්ථානවලින් වැටුප් ලැබිලා නැහැ. අතරින් පතර කිහිප දෙනෙක්ට විතරයි තමන්ගේ වැටුපෙන් භාගයක් හරි ලැබිලා තියෙන්නේ. ඒත් කුලී වැඩ සහ  මේසන් වැඩ කරන අයත් මේ දිනවල ජීවත් වෙන්නේ බොහෝම අපහසුතාවලින්. ඒ නිසා ආණ්ඩුව  මේ මිනිසුන්ගේ ආර්ථිකය නැවත නගා සිටුවන්නට ක්‍රියා මාර්ග ගත යුතුයි.

පොලිසියේ නිලධාරීන් කිහිපදෙනෙක් යාපනයේ නිවසකට ඇතුල් වෙලා කාන්තාවන් කිහිපදෙනෙක්ට පහර දුන් බවට සිදුවීමක් සමාජ මාධ්‍ය හරහා දැක්කා…

ඔව්, ඒ වගේ සිද්ධියක් වෙලා තිබුණා. යාපනය ප්‍රදේශයේ වැලි ගරපු කිහිපදෙනෙක්ව පොලිසියෙන් හොයාගෙන ගිහින් තිබුණා. ඒ අවස්ථාවේ ඇති වුණ කතාබහක් දුර දිග ගිහින් කාන්තාවන් කිහිපදෙනෙක්ට පොලිසියෙන් පහර දීලා තිබුණා. ඒ අය තුවාල ලබලා ඉන්පස්සේ රෝහල්වලට ඇතුළත් කළා. එතැන හිටපු කිහිපදෙනෙක්ව අත්අඩංගුවට අරගෙන තිබුණා. ඒ කාන්තාවන් මේ වන විට සුවය ලබලා නිවෙස්වලට ඇවිත් තියෙනවා.

යුද්ධය නිමවෙලා දැන් අවුරුදු 11ක් වෙනවා. දකුණට යුද සැමරුම් සිදු කරන්න අවසර තිබුණාට උතුරට අවසරයක් නැති වෙලා නේද?

උතුරු නැගෙනහිර ජනතාව එදින සිහි කරන්නේ තමන්ගේ මියගිය ඥාතීන්ව. දකුණේ අයට යුද සැමරුම් තියන්න ඉඩ ලැබුණාට උතුරට මියගිය අය සැමරීම තහනම් වුණා. ඒකෙන්ම අපිට හිතාගන්න පුළුවන් ඔවුන් අපිට සලකන්නේ වෙනස් විදියට කියලා. එක රටක හිටියත් නිරෝධායන නීතිය උතුරට බලපානවා, දකුණට ඒ නීතිය බලපාන්නේ නැහැ. පසුගිය දවසක පක්ෂයක කිහිපදෙනෙක් තමන්ගේ මියගිය ඥාතීන්ව සමරන්න යද්දි පොලිසියෙන් ඒ අයව නිරෝධායන නීතීය යටතේ අත්අඩංගුවට ගෙන තිබුණා. අත්අඩංගුවට ගන්න හේතු විදියට කියලා තිබුණේ මාස්ක් දාලා නැහැ සහ මීටරයේ දුර තියාගෙන ඉදලා නැහැ කියලා. දකුණේ පවත්වපු  11 වන විජයග්‍රහණයේ සැමරුමට ජනාධිපතිතුමා ආවෙත් මාස්ක් එකක් නැතිව. අපි එකම රටක ජනතාව. එහෙනම් අපි හැමෝටම එකම නීතීයක් තියෙන්න ඕනෑ කියලයි අපි හිතන්නේ.

යුද්ධය නිමා වෙලා අවුරුදු 11 වුණත් තවමත් උතුරු නැගෙනහිර ජනතාවගේ ඉඩම් ප්‍රශ්න විසඳිලා නැහැ නේද?

පසුගිය ආණ්ඩුව කාලයේ යම් ඉඩම් ප්‍රමාණයක් ජනතාවට ලබා දුන්නා. නමුත් තවමත්  මිනිසුන්ගේ ඉඩම්වල හමුදාව රැදී ඉන්නවා. ඒ නිසා ඒ අය තවම ඉන්නේ මුගාම් (අවතැන් කඳවුරු) වල ජීවත් වෙන්නේ. ආණ්ඩුව ඉක්මනින් මේ ඉඩම් ජනතාවට ලබා දෙන්න වැඩපිළිවෙළක් සකස් කළ යුතුයි.