සන්ධ්‍යාවේ මන්ද අන්ධකාරය කන්ද ගාවින් ඇවිත් අන්දර වැවේ සුන්දර දෑවුරු අතරින් පාත් වේ. හාත්පස නිසංසල වී ඇත්තේ රාත‍්‍රියේ ප‍්‍රවේශය නුරුස්සන්නාක් මෙනි. වැව් බෙදහි ඈතට ඇදී යන හුදකලා ඔරු කබලක් ගනකම් සුළං තිරයෙනුත්, සිරිපොද පටලයෙනුත් කෙමෙන් වැසී යයි.

තනිකම අවට නිහඬ බව හා එකතු වී හද පාරන්නට සැරසෙන සෙයකි. තනිය මකන කුරුලූ හඬක් හෝ තරු කැබැල්ලක්වත් වේදැයි ඉඳුරන් සූක්ෂ්ම කර බලන විට ක්ෂුද්‍ර වැහි බිඳු වැව් දිය දුමාරය මත පතිත වන ඉඳිකටු හඬ පමණක් යම්තමින් මට ඇසෙන්නට පටන් ගනී. මේ අත්දැකීමට මම ප‍්‍රිය කරමි. එය එක්තරා ගීතාත්මීය සුරතාන්තයක ආරම්භයකි. සිතිවිලි ඇඟිලි විහිදා එය වැළඳ ගනිමි. ළා වැස්සේ හඬ රහස් සංගීතයක් වී නොපෙනී ගිය දිළිඳු තොටියා ලූහු බැඳ ගොස් ඔහුගේ හබල් පහරෙහි රිද්මය සොයා ගෙන ඇත. ගීතයක් හරියට ම රස විඳීමට නම් ඊට තුරුලූ වී මෝහනයට පත් විය යුතු යැයි සිතේ.

පදයෙන් පදය ගෙන, යෙදුමින් යෙදුමට ආවේශ වී ගීතයෙන් මවා පෙන්වන පරිසරය සිතේ මවා ගත යුතු බව ද හැෙඟ්. ගීයක ඇතුළත් සාහිත්‍යමය අරුත මිරිකාගෙන ගී පද අතර ගලා යන සංගීත නාදාංකුරයන් ඒ ඉස්මෙහි මිශ‍්‍ර කර ගැනීමට දැන් දැන් මම හුරු පුරුදු වෙමි. හබල් පහරින් කැලතී බිඳු විසුරවන වැව් වතුරක සුසුම් සර මා සවන් සිපගන්නේ අඳුර තුළ කවර හෝ දාර්ශනික කල්පනා බැබළුම් කිසිවක් ද උපද්දමිනි. අද මේ පාළු ගීතමය පෙළඹුමට මුල් වන්නේ මනඃකල්පිත අවකාශයක ඇසෙන ගීත කිහිපයකි. අප උපදින්නටත් පෙර ස්වර්ණලතා කවීශ්වර නම් ශිල්පිනිය, තමා ම ලියා, සර මුසු කර, රහට ගැයූ ”තොටියෝ” ගීතය ඉන් පළමු වැන්නයි. ඇය හැඬුම්බර විලාප රාවයකින් අමතන්නේ අර ඈතට පාවී නොපෙනී යමින් සිටි තොටියාට ද?

දින සති විලසින් ගෙවී ගියා කිම මා හිමියන් යළි නාවේ සිත තනියම අද ළතැවිල්ලේ තොටියෝ... තොටියෝ... තොටියෝ....... තොටියෝ..

කිම මා හිමියන් යළි නාවේ දිය සරැුලි බිෙදන සංගීතය අතරේ ඇගේ ගැයුම වියෝගයේ දෝංකාරයකැයි, යළි හමු නොවනා ආදරයක් පිළිබඳ අඩ උමතු ශෝකාලාපයකැයි මට සිතෙයි. අවට පරිසරයේ දිය වුණු සාංකාබර පිනි ඇවිස්සිල්ල මැද්දේ මේ ගීතයෙන් කඳුළු බිංදු වෑස්සෙන බව දැනෙන්නේ තනිවුණු ගැහැනියත්, ඇගේ පොඩි දුව, අමිතාත් මේ බඳු ම පාළු පරිසරයක අඳුරු අහස් රැුවිල්ලක ග‍්‍රහණයට හසු වී ඇතැයි සිතෙද්දී ය.


හදවත ගොළු වී අතු පැළ පාළුයි
විමසයි ඔබ ගැන පොඩි දුව අමිතා……


මා හා සිහින් සරින් මේ ගී පද මුමුණන්නට තව කවුරුන් හෝ වේදැයි සිත විමසන බැවින් තවත් ගීයක් අසන්නට මම ඔබට අඬ ගසමි. වැවේ එගොඩ ඉවුර නොපෙනෙන තරමට ම අඳුරට මුසු වී තිබේ. උණුසුමින් පිරී තිබුණු ප‍්‍රභාමත් දහවල පැය කිහිපයක් තුළ ගුප්ත රාත‍්‍රියක් බවට පත් වූ අයුරු පුදුමාකාර ය; හරියට ම ජීවිතය වැනි ය. සසර දුක පහදා ගත හැකි වෙලාවකි. බෞද්ධ දර්ශනයේ දුරවබෝධ සත්‍යයන් වසා ගත් මොහඳුරේ පැල්ලම් අංශුවක් එහා මෙහා වී ජීවිතය පිළිබඳ රිදී ඉරක් වැව් තලය මත ඇඳී යයි. සසර දිය ගැඹුරත්, මතු පිට අපැහැදිලි ජල වේව්ළුමත් පිරිසිඳ දැන ගත් සරන්නෙකු ඒ සත්‍යයන් වටහා ගනු පිණිස පැමිණෙන්නැයි අපට ද කරන ඇරියුමක් බඳු මේ ගීතය ඩෝල්ටන් අල්විස් සූරීන්ගේ කාව්‍යමය පබැඳුමකි. එය ගැයෙන්නේ ජීවිතයේ නිස්සාරත්වය සහ ගූඪ ස්වභාවය කුළු ගන්වනසුලූ ගැඹුරු තීව‍්‍ර ෂෙල්ටන් පෙරේරා හඬිනි.


පමා නොවන්නේ අඳුර වැටෙන්නේ
යනවා නම් එන්නේ මම මේ ගඟුලේ අඟුලේ නැගලා
එගොඩ මෙගොඩ යනවා


ගඟුල මත කරක් ගහන සාමාන්‍ය තොටියෙකු කාන්සියට ගයන කවියක් ලෙස පමණක් ගත්ත ද මෙය හුදකලාවේ ගං තෙරක රැුෙ`දන පාළුව අපූරුවට හඬ නගා ප‍්‍රකාශ කිරීමකි. එහෙත් සැලෙන ජීවන දිය තලය යට මේ ගීතයේ පතුල යම් සුදු තිරිවාණ දිලිසුමකින් පිරී ඇතැයි ඊට සවන් දෙන වරක් පාසා පසක් වෙයි. සංකේත මූල යෙදුම් සහිත පද වැල අප කැඳවා ගෙන යන්නේ ජීවිත ගමනේ අනිත්‍යය දෙසට ම නොවේ ද? නොදන්නා සංසාරයේ අඳුර පැතිරුණු ඈත දියඹක් දෙසට නොවේ ද?


ගඟුල අනෝමයි අද මට වෙහෙසයි – යනවා නම් එන්නේ මම මේ ගඟුලේ අඟුලේ නැගලා – එගොඩ මෙගොඩ යනවා


රාත‍්‍රිය කෙමෙන් වැව තුළ කිඳී යද්දී තවත් උපේක්ෂා සහගත හඬක් මතකයෙහි ඉසෙන්නේ දිය රැුලි අතර යළි යළිත් පැටළෙන හබලේ සංගීතය සමගිනි. සුනිල් ආරියරත්නයන්ගේ රචනයක් වන එය සර සකසා ගයන්නේ වික්ටර් රත්නායකයන් ය. නිහඬ අන්ධකාරය ජීවිතයේ අපැහැදිලි සාංකා කැටියයි. පෙර කී ගීත දෙකෙහි රැුව් දුන් ළසෝ හුදකලාව මෙයින් ද සෙමෙන් ඇවිළේ. එහෙත් ජීවන නිස්සාරත්වයෙන් ඔබ්බෙහි සිට අත වනන අපේක්ෂාවේ රූපකායක් ද පෙන්වන එය වැව් තොටුපොළක සිට අසන්නට ම වටින ගීයකි.


හැන්දෑ වරුවේ ඉවුරේ වැටකේ
උණ පඳුරේ හෙවණේ…
හබල බිඳීලා……
හබල බිඳීලා – පෙරළුණු ඔරුවක
සුන්බුන් නෙත දැවටේ…


අප එදිනෙදා දකින ජීවිතය අසුබ නිමිති පිරි, දුක් දැහැනක් බව සැබෑ ය. එහෙත් එය ජීවිතයේ ස්වභාවය ම නොවේ ද? වැව් දිය යාය ම කාල වර්ණ රාත‍්‍රී සිරුරේ කොටසක් වී ඇති මොහොතේ මා කළ යුත්තේ කලකිරීම පොරවා ගෙන නින්ද සොයා යාම ද? නැත්තේ ම ය. සොබාදහමේ ද ජීවිතයේ ද නීතිය පරිදි රාත‍්‍රියෙන් ඉක්බිති හිමිදිරිය එළඹෙන්නා සේ කඳුළක් මතට ද යම් විටෙක සුබ පැතුම් කිරණක් එල්ල වනු ඇත. ඇත්තෙන් ම ඈත අහසේ තරුවක් දෙකක් පිපෙනයුරු දැන් මට ද දැක ගත හැකි ය. අතරමං වෙමින් කොහේදෝ ඈතක යන්නට යන පිච්ච මල් සුවඳක් ද අසළ දැවටෙන සෙයකි. ඉතින් සත්‍යමැයි! හෙට යනු සිනහවකි.


ආ මඟ අඳුරේ පෙරමඟ එගොඩින්
තරු යුවලක් ඇවිලේ…
ඔරු කඳ ඇතුළේ…
ඔරු කඳ ඇතුළේ නුපුරුදු සුවඳක් දියමංකඩ විසිරේ
හෙට මම හිනැහෙමි – හෙට මම හිනැහෙමි
තොටුපොළ අයිනේ කවුද අත වනන්නේ x

x ලක්ශාන්ත අතුකෝරල