මුතුරාජවෙල තෙල් ගබඩා අංගණය වෙත නෞකාවකින් දැවිතෙල් පොම්ප කරන නළයක් හදිසියේ පුපුරායෑම හේතුවෙන් තෙල් ටොන් 25ක් පමණ මුහුදට නිකුත්ව තිබුණේ සැප්තැම්බර් 08 වැනිදාය. උස්වැටකෙයියාව අසල ප‍්‍රදේශයෙහි වෙරළාශ‍්‍රිත මුහුදු තීරය සම්පූර්ණයෙන් තෙල්වලින් වැසීයෑම මේ තෙල් කාන්දුව නිසා සිදුවිය. මහා පරිමාණ විනාශයක් සිදුකළ දැවැන්ත තෙල් කාන්දුවක් වන මෙය පැහැදිලිවම වළක්වාගත හැකිව තිබුණු එකකි.

මුතුරාජවෙල පර්යන්තයේ සිට කිලෝමීටර් 7.2 ක් දුරින්ද, මුහුදු වෙරළේ සිට කිලෝමීටර් 6ක් දුරින්ද පිහිටා ඇති බෝයාවෙන් තෙල් මුතුරාජවෙල පර්යන්තයට ගෙන එයි. මෙවැනි නල කිහිපයක් ඇත. මේ කාන්දුවීම සිදුව තිබුණේ ඒ නල අතරින් දැවිතෙල් ගෙන ආ නලයකිනි. මෙය පැරණි නලයක් නොව වසර 8ක් පමණක් පැරණි නලයක් බව වාර්තා වෙයි. සාමාන්‍යයෙන් මෙවැනි නලයක් වසර තිහකට වැඩි කාලයක් කිසිදු කාන්දුවක් නොවී පැවතිය යුතුය.

ජාතික සේවක සංගමයේ ඛණිජ තෙල් සංස්ථා ශාඛාවේ සභාපති ආනන්ද පාලිත මීට පෙරද එම නළ ප‍්‍රමිතියෙන් තොර බවට අදහස් පළ කර තිබුණි.

‘මේ නළ 2010 දී තමයි පිහිටෙව්වේ. ඒ නළ තමයි මේ පුපුරන්නේ. මේවා බාල නළ කියලා ඒවා පිහිටුවපු දවස්වල අපි හඬ නැඟු‍වා. ඒත් ඒවා පිළිගත්තේ නැහැ. සාමාන්‍යයෙන් මෙවැනි තෙල් නළයක් වසර තිහත් හතළිහක් පවතින්න ඕනෑ. ස්වීඩන්වලින් ගෙන්වපු නළ තමයි 2010 දී ඉහළ මිලකට සවි කළේ. ඒ කාලයේදී මම මේවා ගැන කතාකළා. මම කතාකළ නිසා මට එරෙහිව විනය පරීක්ෂණයක් සිදුකළා. ඒ නළ ගෙන්වන්න උත්සාහ කරද්දී ඒ ගැන පරීක්ෂා කළ තාක්ෂණික ඇගයීම් කමිටුවෙන් කිව්වා මේ නළය බාලයි කියලා. ඒත් ඒ තාක්ෂණික ඇගයීම් කමිටුව ඉවත් කරලා වෙනත් කමිටුවක් පත්කරලා ඒ නළ ගෙන්නුවා. දැන් ඒවා පුපුරලා තියෙනවා. දැන් මේවා ගැන පරීක්ෂණයක් කළ යුතුයි. මීට කලිනුත් මේ නළ පුපුරලා තියෙනවා. එහෙම වෙලාවට නැව්වලට මිලියන ගණන් ප‍්‍රමාද ගාස්තු ගෙවන්න සිද්ධවෙලා තියෙනවා. ඒ නිසා මම පැහැදිලිවම කියනවා මේ තෙල් කාන්දුව රාජපක්ෂ පාලන සමයේ දූෂිත ගනුදෙනුවක ප‍්‍රතිඵලයක් බව. ඒ ගැන පරීක්ෂණ පැවැත්විය යුුතුයි.’ ආනන්ද පාලිත මහතා පැවසීය.

කෙසේ වෙතත් මේ පිළිබඳව වැඩිදුර විමසීමට ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාවේ නිලධාරියෙකු සම්බන්ධ කරගැනීමට අප ගත් උත්සාහය අසාර්ථක විය.

2016 වර්ෂයට අදාල විගණකාධිපති වාර්තාවට අනුව තෙල් නළ පද්ධතියෙහි කාන්දුවීම් සහ පමා කුලී අයකිරිම් නිසා 2016 වර්ෂයෙහි ඛණිජ තෙල් නීතිගත සංස්ථාවට සිදුව තිබුණු පාඩුව රුපියල් මිලියන 1096ක් විය. ඒ එක් වර්ෂයක සිදුවූ පාඩුවය. පසුගිය කාලයේදී කිහිප වතාවක්ම මිලියන දහස් ගණනින් තෙල් කාන්දු නිසා පාඩු සිදුව තිබුණි. මීට පෙර සිදුව ඇති තෙල් කාන්දුවක් හේතුවෙන් ඛණිජ තෙල් සංස්ථාවට එරෙහිව මිලියන 100ක වන්දියක් ඉල්ලා සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය විසින් නඩුවක්ද පවරා ඇත.

පසුගිය සතියෙහි එම ප‍්‍රදේශයට ගිය අපට දක්නට ලැබුණේ උස්වැටකෙයියාව ප‍්‍රදේශයෙහි තවමත් තෙල් සම්පූර්ණයෙන් ඉවත් කර නැති බවය. තෙල් ඉවත් කිරීමෙහි යෙදී සිටි කණ්ඩායම් මේ වනවිට ඉවත් කර ඇත. බේසම නමින් හැඳින්වූ නාන තොටුපල සම්පූර්ණයෙන්ම පාලූ‍වට ගොස් ඇති අතර එම ස්ථානයේ ස්නානය සඳහා දිනපතා පැමිණි විශාල පිරිසකගෙන් ආදායමක් ලැබූ කණ්ඩායම්ද මේ වෙද්දී ආර්ථික වශයෙන් අපහසුතාවට පත්ව සිටිති. තවත් මාස කිහිපයක් යන තුරු මෙම නාන තොටුපල ස්නානයට සුදුසු තත්වයට පත් නොවනු ඇති බව වාර්තා වෙයි. මෙම තෙල් කාන්දුවෙහි පාඩුව විශාල ආර්ථික හා සමාජ හානියක්ද සිදුකර ඇති බව එම ගමනේදී අපට දකින්නට ලැබුණි. කෙසේ වෙතත් එම ප‍්‍රදේශයේ ධීවරයන් අප සමඟ ප‍්‍රකාශ කළ ආකාරයට දැනට එම සිදුවීම නිසා මාළු අස්වැන්නට බලපෑමක් සිදුව නැත. එහෙත් ඉදිරියේදී මත්ස්‍ය අස්වැන්නට බලපෑමක් සිදුවීමේ ඉඩක්ද ඇත.

අනිද්දා සමග අදහස් දැක්වූ ජාතික ජලජ සම්පත් පර්යේෂණ සහ සංවර්ධන නියෝජිතායතනයේ පරිසර අධ්‍යයන අංශයේ ප‍්‍රධානී ශ්‍යාමලී වීරකෝන් මහත්මිය මෙසේ පැවසුවාය.

‘අපි මේ වෙද්දී සූදානම් වෙලා ඉන්නවා මොන තරම් පරිසර හානියක් මේ තෙල් කාන්දුවෙන් සිදුවෙලා තියෙනවාද කියලා හොයලා බලන්න. අපි ඉදිරියේදී ක්ෂේත‍්‍ර චාරිකාවක නිරත වෙන්න බලාපොරොත්තු වෙනවා. ඉන්පසුව නිශ්චිතව හානිය ගැන ප‍්‍රකාශ කරන්න පුළුවන්. මීට වසර දෙකකට පමණ පෙර විශාල තෙල් කාන්දුවක් සිද්දවුණා. එම තෙල් කාන්දුවෙන් සිදුවුණ බලපෑම වසරක් පමණ යන තෙක් ඉවත්වුණේ නැහැ. මේ තෙල් කාන්දුව ඊට වඩා විශාල එකක්. උස්වැටකෙයියාව සිට මීගමුව ආසන්නය දක්වා මුහුදු තීරයට මේ තෙල් කාන්දුවෙහි බලපෑම සිද්දවෙලා තියෙනවා. ඒ නිසා අපට අනුමානයක් කළ හැකියි වසරකට වඩා වැඩි කාලයක් බලපෑම තියේවි කියලා. එහෙත් ඒ කාරණය අපට නිශ්චිතවම කියන්න පුළුවන් වෙන්නේ අප විසින් සිදුකරන ක්ෂේත‍්‍ර අධ්‍යයනයෙන් පස්සෙ. අපි අධ්‍යනය කරන්න බලපොරොත්තු වෙනවා මේ තෙල් කාන්දුවෙන් මුහුදු ජීවීන්ට, ක්ෂුද්‍ර ජීවීන්ට, කොරල්පරවලට, කඩොලානවලට, ධීවරයන්ට, ඒ ආශ‍්‍රිත වෙනත් ආර්ථික කටයුතුවලට සිද්දවන බලපෑම පිළිබඳව.’

සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ ඉහළ නිලධාරියෙකු අනිද්දා සමඟ අදහස් දක්වමින් කීවේ මෙම සිදුවීමට අදාලව ඛණිජ තෙල් සංස්ථාවට විරුද්ධව නීතිමය පියවර ගැනීමට බලාපොරොත්තු වෙන බවය. ඉදිරියේදී නඩු පවරා ඛණිජ තෙල් නීතිගත සංස්ථාවෙන් වන්දි ලබාගැනීමට බලාපොරොත්තු වන බවය. විවිධ ආයතනවලින් මුහුදේ පරිසරයට මෙවැනි හානි සිදුකරන අවස්ථාවල නඩු පවරා මිලියන ගණනින් මුදල් අයකිරීමට කටයුතු කර ඇති බවද ඔහු කීය. මුහුදු ජීවීන්ට සහ ජෛව විවිධත්වයට මෙම සිදුවීමෙන් සිදුවූ හානිය වසර පහක් පමණ යන තෙක් යථා තත්වයට පත් නොවනු ඇති බවද එම නිලධාරියා කීය.

මෙම තෙල් කාන්දුව හේතුවෙන් පරිසරයට සහ ජන ජීවිතයට සිදුවූ හානිය පසෙක තැබුවත් ආර්ථික වශයෙන් රුපියල් මිලියන දහස් ගණනක පාඩුවක් සිදුව ඇත. 2016 පාඩුව ගණනය කළ සේම ඉදිරියේදී එම පාඩුව රුපියල්වලින් ගණනය කෙරෙනු ඇත. ඒ පාඩුවට වගකියන කිසිවෙක් නැති වනු ඇත.

සමස්තයක් ලෙස මෙම සිදුවීම වළක්වාගත හැකිව තිබුණු සිදුවීමක් බව අමුතුවෙන් කිවයුතු නැත. මුහුද හරහා තෙල් නළ එලන රාජ්‍ය හෝ පෞද්ගලික සමාගමක් එවැනි නලයක කාන්දුවක් සිදු නොවන තැනට වගබලාගැනීමද අත්‍යවශ්‍ය කාරණයකි. රටේ ධනයට මිලියන ගණනින් පාඩුවන ආකාරයේ කාන්දු ඇතිවෙන්නේ බාල තෙල් නල නිසා නම් රජය වහාම කළ යුත්තේ ඒ පිළිබඳව පරීක්ෂණයක් සිදුකොට බාල තෙල් නල ගෙන්වූ අයට විරුද්ධව පරීක්ෂණ සිදුකිරීමය.

තරිඳු උඩුවරගෙදර
රේඛා නිලූ‍ක්ෂි හේරත්