අසත්‍යය පදනම් කොටගත් කුහකත්වය ඉහ වහා ගිය ක්‍රමයක් විෂයෙහි වූ අපගේ විරෝධය  අගෝස්තු 5 වැනිදා සටහන් කළ යුතු ය.

 

 

“කූටොපායයක ලක්ෂණ අමු අමුවේ ම පහළ වෙමින් තිබේ. වැඩ පිළිවෙළෙහි අවසානය දක්වා දැකීමේ හැකියාව අප සතුව නැත. මේ දිග හැරෙන රැහැනෙහි කොතැනක හෝ මද්දක් තිබෙනු ඇත. ”: ‘මර්චන්ට් ප්‍රින්ස් ’හි ඉසාක් ඇසිමෝව්

 

තුනෙන් දෙකක බහුතරය විසින් ඒකාධිකාර බලයක් බලයේ සිටින පක්ෂය වෙත ලබා දෙනු ඇත. එමගින් ඉටු වනු ඇත්තේ තවත් මෙන් ම වඩාත් වැඩදායක අවශ්‍යතාවකි. පැහැදිලිව ම උමතුවක් වශයෙන් සැලැකිය හැකි තත්ත්වයක් එතුළින් නිර්මාණය වන්නේ ය.

19 වැනි සංශෝධනයෙහි බොහෝ දෝෂ තිබේ. ඒවා හඳුනාගත යුතු ය. එසේ ම, අසීමිත ලෙස සංකේන්ද්‍රිතව පැවැති විධායක බලය ලුහු කැරෙන සීමාවන් යොදවමින් පාර්ලිමේන්තුවේ බලය පුළුල් කිරීම එහි ප්‍රමුඛ අරමුණ වූ බව අප අමතක කළ යුතු නැත. ආඥාදායකත්වයක ප්‍රපාතයට ඇද වැටීම වළක්වාගත හැකි වූයේ 19 වැනි සංශෝධනය තුළිනි.

ජනාධිපති ක්‍රමය හා පාර්ලිමේන්තු ක්‍රමය යනු පැහැදිලිව ම එකිනෙකින් වෙනස් වූ ක්‍රම දෙකකි. 19 වැනි සංශෝධනයෙන් කරන ලද්දේ මේ දෙක සාධාරණ සංකලනයකට භාජන කරමින් පාලනය ප්‍රජාතන්ත්‍රවාදී වූ සමීකරණයක පිහිටුවීමයි.

එය සාර්ථක වීමට නම් නිදහස් ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳ විශ්වාසයක් මෙන් ම අපේක්ෂාවක් ද අප තුළ තිබිය යුතු ය. අවදානම පවතින්නේ මෙතැන ය. මෙය මුල් වරට හඳුනාගන්නා ලද්දේ, පසු කලෙක නාසි ජර්මනියෙහි ප්‍රධාන නීති බලධරයා බවට පත් වූ කාල් ෂ්මිත් විසිනි.

නිදහස් ප්‍රජාතන්ත්‍රවාදයෙහි විනාශයට හේතු වූ විෂ බීජයන් ද එහි ම අන්තර්ගත වූ බව කාල් ෂ්මිත් නිවැරැදිව හඳුනාගත්තේ ය. නියෝජන ප්‍රජාතන්ත්‍රවාදය ද සියලු ම පුරවැසියන් වෙත දේශපාලන සමානත්වය ලබා දීම ද යනු විකාර පිළිවෙත් දෙකකි. පුද්ගලයන් අතර සමීකරණයක් අසංස්කෘත ප්‍රාථමික මට්ටමෙහි දේශපාලනය තුළ නැත. එහි දී  දේශපාලනයෙහි පදනම මුළුමනින් ම සැකසෙන්නේ ගැටුම්වලින් ය.

තර්කයෙහි නිමග්න වන නිදහස් මතවාදී අමනයන් ගෙන් සැදුම්ලත් කමිටුවකට වඩා හොඳින් ගැටුම් මැඬලීමෙහි හැකියාව නිල ඇඳුම් සහිත හමුදා ප්‍රධානයකු යටතේ ක්‍රියාත්මක වන බලකායකට තිබේ.

ප්‍රස්තුතය කෙරෙන් වන සුළු බැහැර වීම් වළක්වාලිය නො හැකි ය. යුදවාදීත්වය යනු කුමක්දැයි තවත් ජර්මානු මානවවාදියකු වූ කාල් ලීබ්නෙහ්ට් විසින් පැහැදිලි කරනු ලැබ තිබේ. යුදවාදීත්වය වනාහි සර්ව සාධාරණත්වයෙන් බැහැර වී සාධාරණත්වයේ දෑස් වසා ලන ක්‍රියාවලියයි. යුදවාදීත්වය තුළින් සිදු වන්නේ නොදැරිය හැකි දුෂ්කරතාවනට මිනිසුන් යටත් කරවමින් සමාජය මත ක්‍රෑරත්වය ආරෝපණය කරවීමයි.

වරද්දාගත යුතු නැත. අගෝස්තු 5 වැනිදා පැවැත්වෙන පාර්ලිමේන්තු මැතිවරණයේ දී අපගේ දුබල ප්‍රජාතන්ත්‍රවාදය ගමන් කරන දිශාව තීරණය වනු ඇත. තුනෙන් දෙකක බහුතරය වනාහි ආඥාදායක යුදවාදීත්වයක් සඳහා විවෘත බලපත්‍රයකි.

ආඥාදායකත්වය තුළ මර්දනය සඳහා පසුබිම සැකැසෙයි. යටත් විජිත පාලනයෙන් නිදහස ලැබුණු දා පටන් අප අත් විඳි සහභාගිත්ව දේශපාලනය තුළ පැවැති ‘ආබාධිත’ ප්‍රජාතන්ද්‍රවාදයට ආඥාදායක පාලනය විසින්  නවාංගයක් එකතු කැරෙනු ඇත. එනම් වහල් භාවයයි. මනසට වධ දෙන ක්‍රෑරත්වය එමගින් දිරිගැන්වෙයි.

මා ඕ සේදොං විසින් ආරම්භ කරන ලද මහජන චීන සමූහාණ්ඩුවෙහි මෙන් ම චීන කොමියුනිස්ට් පක්ෂයෙහි ද නායකත්වය දරන ක්ෂී ජින් පිං විසි එක් වැනි සියවසෙහි සිටින ශ්‍රේෂ්ඨතම ඒකාධිපතියා ය. වසංගත තත්ත්වයක් විසින්  ලෝකය ගිලගනිමින් පවතින මෙසමයෙහි හොංකොංහි ප්‍රජාතන්තවාදය ප්‍රතිශෝධනයෙහි පෙරමුණ ගෙන සිටින පක්ෂයෙහි එක ම අණ දෙන්නා වන්නේ ඔහු ය. රටෙහි යාවජීව නායකයා බවට පත්ව සිටින වර්තමාන නායකයා සිටින තාක් රට පාලනය සඳහා තමන් සතු අයිතිය පිළිබඳ ප්‍රශ්නය  චීන කොමියුනිස්ට් පක්ෂයට කිසි විටෙක ගැටලුවක් වූයේ නැත. ජනාධිපති ක්ෂී ජින් පිංගේ  දකුණත සේ සැලැකෙන හිතවතෙකු මෙන් ම චීන සමූහාණ්ඩුවේ උප ජනාධිපතිවරයා ද වන වැං ක්විෂාන්, 2015 සැප්තැම්බරයේ දී බීජිංහි පැවැති ‘2015 ලෝක කතිකාව’ සමුළුව හමුවෙහි චීන කොමියුනිස්ට් පක්ෂයේ නීත්‍යනුකූලභාවය පිළිබඳව පැහැදිලි කිරීමක යෙදුණේ ය. එකී පැහැදිලි කිරීම කරන ලද්දේ චීන ජනතාවගේ අවධානය පිණිස නොව ලෝක ජනතාවගේ අවධානය පිණිස ය.

නිදහස් වෙළෙඳපොළ ධනවාදය අනුව ක්‍රියාත්මක වන චීන කොමියුනිස්ට් පක්ෂයේ නීත්‍යනුකූලභාවය අතීතයේ සිට ම ආරක්ෂා වූ ආකාරයත් ඒ සඳහා මහජන සහයෝගය ලැබී ඇති ආකාරයත් හෙතෙම පැහැදිලි කෙළේ ය. ජනතාවගේ තෝරාගැනීම වන්නේ පක්ෂයයි. ජනතාවගේ හඬ වන්නේ ද පක්ෂයයි.

සැලසුම් සහගතව ඉදිරියට එන මෙම ‘ආඥාදායකත්ව’ විශේෂය ලොව ව්‍යාප්ත වෙමින් පවතින තවත් වයිරසයක් වැනි ය.

සියලු ම අකාර්යක්ෂමතාවන් දුරලමින් ජනතා අවශ්‍යතා ඉටු කරන රජයක් සඳහා වූ ක්‍රමෝපායන් සහිත කාර්යක්ෂම රාජ්‍ය යාන්ත්‍රණයක් (සෞභාග්‍යය සහ අසිරිමත්භාවය පිළිබඳ අපේක්ෂාවන් සඳහා වූ ජාතික ප්‍රතිපත්තිය) වෙනුවෙන් හැට නව ලක්ෂයක් ජනතාව විසින් දෙනු ලැබූ විශිෂ්ට බලයක් පිළිබඳව මෙකල ශ්‍රී ලංකාව තුළ අසන්නට ලැබේ.

එය දිග හැරෙන්නේ ඒ ආකාරයෙනි. සද්භාවය හුවා දැක්වීම පිණිස අසද්භාවය විසින් යොදාගැනේනේ  කුහකත්වයයි. 21 වැනි සියවසෙහි නීත්‍යනුකූල ඒකාධිපතියා කිසියම් නිශ්චිත කාල සීමාවක් සඳහා මැතිවරණයක් තුළින් ලද ජයග්‍රහණය සදාකාලික නීති සංශෝධනය පිණිස යොදාගනී. අපේක්ෂිත ව්‍යවස්ථා සංශෝධනය තුළ ඇත්තේ එක ම අරමුණකි. ඒ රාජ්‍යයට අයත් සියලු ම ආයතනයන් සිය අණසකට යටත් වන සේ ග්‍රහණයට ගැනීමයි.

ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යයක් ආඥාදායකත්වයක් වෙත ලිස්සා යාම පහසුවෙන් සිදු විය හැක්කකි. මහජන මුදල් සූරාකනු ලැබීම කිසියම් සමාජයක් තුළ සාමාන්‍ය තත්ත්වයක් බවට පත් වන්නේ නම් ද ස්වකීය ප්‍රතිලාභය හා පෝෂණය වෙනුවෙන් ම පාලකයා යොමු වන අතර සියලු ම ප්‍රජා හිමිකම් ලැබීමේ ඉඩ ජනතාව වෙතින් ගිළිහී යන්නේ නම් ද ප්‍රජාතාන්ත්‍රික සමාජයක් ක්‍රමයෙන් ගමන් කරන්නේ ඒකාධිපතිත්වය වෙත ය.

හැනා ඇරන්ඞ්ට් කියන්නේ නීති සහ ව්‍යවස්ථාවන් යනු හුදු ‘කඩදාසි කොටි’ පමණක් වන බවයි. සුරක්ෂිතතා විධි විධානයන් සලසා නොතිබුණහොත් දේශපාලන බලය හමුවෙහි දී පමණක් නොව, ප්‍රචණ්ඩත්වය හමුවෙහි දී වුව ද නීතින් විසින් සලසනු ලබන්නේ මඳ රැකවරණයකි.

ලොව පුරා නීතිමය ඒකාධිපතිත්වය හිස ඔසොවමින් තිබේ. පවත්නා ව්‍යවස්ථාව සහ ප්‍රජාතන්ත්‍රවාදයේ අවකාශය යන දෙක භාවිත කරමින් සිදු කරනු ලබනුයේ ඒවා ම පොඩිපට්ටම් කර දැමීම ය.

මුග්ධභාවය වනාහි ඒකාධිපති පාලනය තුළින් මතු වන කදිම අතුරු ඵලයකි. ‘විඩාපත් මිනිසකු ගේ මනෝරාජ්‍යය’ නමැති කෙටිකතාව ලියූ බෝර්ජස් නමැති ආර්ජන්ටීන නවකථාකරු ප්‍රකාශ කරන්නේ මනස වනාහි මිනිසා සතු විශාලතම වත්කම වන බව ය. මනසක් නැති තැන මිනිසෙක් ද නැත. දේශපාලන පිළිවෙත මර්දනකාරී වන තරමට ජනතා මනස පීඩනයට භාජන කිරීම සඳහා වන පෙළැඹවීම වර්ධනය වන්නේ ය.

“මර්දනය හා සූරාකෑම සිදු වූ පමණින් ඒකාධිපතිත්වය සම්පූර්ණ නොවේ. මිනිසුන් මුග්ධයන් කරවනු ලැබීම ද ඒ සඳහා අවශ්‍ය ය. ” යි බෝර්ජස් සඳහන් කෙළේ ය. “මේ කුරිරු විනාශය එන්නේ මුග්ධ අසත්‍යයන් ගණනාවක් මෙන් ම කිසිදු පසුබෑමකින් හා හිරිකිතයකින් තොරව කැලිකසළ වුවද අනුභයෙහි යෙදෙන අමන පණ්ඩිත රැළක් ද පෙරටු කොටගෙන ය. ”

අගෝස්තු පස් වැනිදා පැවැත්වෙන පාර්ලිමේන්තු මැතිවරණය බලය නැත්තන්ගේ බලය පෙන්වීම සඳහා ලැබෙන හොඳ අවස්ථාවකි. බලය නැත්තන් එහි දී  බලය ප්‍රකාශ කළ යුත්තේ කෙසේ ද? ඒ නීතිය නැවත ලිවීම පිණිස තුනෙන් දෙකක බලය ඉල්ලා  සිටින්නනට එරෙහිව ය.

මර්දනය ක්‍රියාත්මක කරවන්නන් මෙන් ම එහි වින්දිතයන් ද සිටින්නේ අප අතර ම ය. දේශපාලනයෙහි යෙදෙන්නෝ මර්දනයෙහි ආරක්ෂාව ලබති. බලය නැත්තන් වන අපට ආරක්ෂා විය හැකි වන්නේ එක් මාර්ගයකින් පමණි. විරෝධය පළ කිරීම ඒ මාර්ගයයි. ඒ සඳහා අප සත්‍යය කෙරෙහි විශ්වාසය තබා අසත්‍යය හා මුලාව අභියෝගයට ලක් කළ යුතු ය.

පසු කලෙක සිව් වතාවක් ම සිය රටෙහි ජනාධිපතිත්වයට පත් චෙක් නාට්‍ය රචක වැකලොෆ් හාවෙල් ‘බලය නැත්තන් ගේ බලය’ නමින් ප්‍රබල ලිපියක් ලීවේ ය. ඔහු එම ලිපිය ලීවේ දුෂ්කරතාවනට මුහුණ පා තුබුණු සිය රට සදාචාර පරිහානියක ද  ගිලී ඇති විටෙක ය. සමාජවාදී ආඥාදායකත්වය කෙරෙහි මෙන් ම නිදහස් වෙළෙඳපොළ ක්‍රෑරත්වය කෙරෙහි ද හෙතෙම කලකිරීමට පත්ව සිටියේ ය. දේශපාලනය මුළුමනින් ම පිරී තිබුණේ බොරුවෙන් හා මිථ්‍යා හුවාදැක්වීම්වලිනි.

ක්‍රමය වෙනස් කිරීමේ සැබෑ ශක්තිය සහිත අධිෂ්ඨානශීලී රටවැසියා ‘බලය නැත්තන්ගේ බලය’ විසින් හඳුන ගැනිණි. ආඥාදායකත්වය නමැති පවුරෙහි ඔබේ හිස නිසි වැර යොදා දිගින් දිගට ගැටීමට සැලසුවහොත් වැඩි කල් නොගොස් පවුර සුණු විසුණු වනු ඇත.

අසත්‍යය පදනම් කොටගත් කුහකත්වය ඉහ වහා ගිය ක්‍රමයක් විෂයෙහි වූ අපගේ විරෝධය  අගෝස්තු 5 වැනිදා සටහන් කළ යුතු ය. සිය ලිපියෙහි ලා හාවෙල් සිය ජනතාව වෙත ප්‍රකාශ කළ ආකාරයට ක්‍රියා කළහොත් වන්නේ රටවැසියන් අසත්‍යයට මුලා වෙමින් එය නීත්‍යනුකූල කිරීම පිණිස ක්‍රියාකාරීව සහයෝගය දැක්වීම ය.

සාමාන්‍ය බුද්ධිය විසින් පෙන්වා දෙනු ලබන්නේ මයිසූර් පරිප්පු හා ජැක් මැකරල් ටින් මාළු මිල අනුව යමින් අප තීරණයනට එළැඹිය යුතු බවයි.

අපගේ ප්‍රජාතන්ත්‍රවාදය කල් නොපවත්නා පොරොන්දු සමුදායක් බවට පත්ව තිබේ. දේශපාලනයේදී අප භාවිත කරන්නේ යථාර්ථයෙන් බැහැර වූ භාෂාවකි.

දූෂිත ක්‍රමය බැහැර කිරීම පිළිබඳව කථා කරන පුද්ගලයා මෝඩයකු හෝ උන්මත්තකයකු සේ නැතහොත් මෝඩ උන්මත්තකයකු සේ සලකනු ලැබීම කනගාටුදායක තත්ත්වයකි. විරෝධය පෑම විකල්පයක් නොවේ. එය අනිවාර්ය පියවරකි.■