No menu items!
22.8 C
Sri Lanka
20 April,2024

තිරිංග නැති චීන දුම්රිය මැදිරි

Must read

තිරිංගවල දෝෂ සහිත තත්වයක් නිසා දුම්රිය රියදුරන් දුම්රිය ධාවනයෙන් ඉවත් වී තිබේ. මේ ඒ පිළිබඳ සටහනකි.

■ ප්‍රියන්ජිත් ආලෝකබණ්ඩාර

චීනයෙන් ගෙන්වන ලද දුම්රිය මැදිරි නිසි පරිදි නඩත්තු කර ධාවනයට සූදානම් කරන තෙක් එම මැදිරි සහිත දුම්රිය ධාවනයෙන් ඉවත් වන බව ජනවාරි 31 වන දා මාධ්‍ය හමුවක් පවත්වමින් දුම්රිය එන්ජින් රියදුරුවරුන්ගේ සංගමයේ ලේකම් ඉන්දික දොඩන්ගොඩ පැවසුවේය. පෙබරවාරි 5 වන සිකුරාදා ඇමතිවරයා සමග පැවැත්වෙන සාකච්ඡාවෙන් පසු ඉදිරි ක්‍රියාමාර්ග ගැන තීන්දුවක් ගන්නා බව අනිද්දා කළ විමසීමකට පිළිතුරු දෙමින් ඉන්දික දොඩන්ගොඩ පැවසුවේය. මතභේදයට තුඩු දී ඇති මෙම ආනයනික චීන දුම්රිය මැදිරි 100 තිරිංග පද්ධති සම්බන්ධයෙන් ගැටලු ඇති වීමට පටන් ගත්තේ එය ආනයනය කළ 2009 වසරේ සිටමය. එතැන් සිට වාර ගණනාවකදී මේ කාරණය හේතුකොටගෙන දුම්රිය ධාවනයෙන් ඉවත් වීමට දුම්රිය එන්ජින් රියැදුරන්ට සිදු විය.
ජනවාරි 31 වැනිදායින් පසුව දුම්රිය ධාවනයෙන් දුම්රිය එන්ජින් රියැදුරන් ඉවත් වීමට ආසන්න සිද්ධිය වූයේ, කැලණිය දුම්රියපොළට ආසන්න ස්ථානයකදී මෙම චීන දුම්රිය මැදිරි සහිත දුම්රියක් කොටස් දෙකකට වෙන් වී එන්ජිම රහිත කොටස එන්ජිම සහිත කොටස පසුපස කිලෝමීටරයක් පමණ දුර ඇදී ගොස් ඉදිරි කොටසේ ගැටී නතර වීමය.
දෝෂ රහිත දුම්රිය මැදිරියක් මෙසේ දුම්රිය එන්ජිම සහිත කොටසින් වෙන් වන විට ඉදිරියට ඇදී ගොස් ස්වයංක්‍රීයව තිරිංග ක්‍රියාත්මක වී මීටර් විස්සක් පමණ දුරක් තුළ නතර වීම සිදු වේ. දුම්රිය මැදිරිවල එවැනි ස්වංක්‍රීය තිරිංග පද්ධතියක් නිර්මාණය කර තිබෙන්නේ දුම්රිය මගීන්ගේ ආරක්ෂාවටය. දුම්රිය මැදිරි ඇදී ගොස් වෙනත් දුම්රිය හා ගැටීම වැලැක්වීමටය.
ගැටලුව වී ඇත්තේ ආනයනය කළ දුම්රිය මැදිරි ප්‍රමිතියෙන් තොර ඒවා වීම නොව නව අපට ඔරොත්තු නොදෙන නව තාක්ෂණයෙන් යුත් තිරිංග පද්ධතියක් එහි අන්තර්ගත වීමය. චීනයෙන් ආනයනය කළ මෙම දුම්රිය මැදිරි තවත් මැදිරියක් හා එකිනෙක සම්බන්ධ වන ස්ථාන නිසි පරිදි නඩත්තු නොකිරීම නිසා ඒවායේ ස්වයංක්‍රීය තිරිංග ක්‍රියාත්මක නොවන තත්වයට පත්ව තිබේ.
දුම්රිය එන්ජින් රියැදුරන් මේ තිරිංග දෝෂ සහිත මැදිරි සවි කළ දුම්රිය ධාවනයෙන් ඉවත් වෙමින් වෘත්තීය ක්‍රියාමාර්ගයකට එළඹ තිබෙන්නේ පළමුව මගීන්ගේ ආරක්ෂාව සලකාය. දෙවනුව දුම්රිය කාර්ය මණ්ඩලවල ආරක්ෂාව සලකාය. දුම්රියක් ධාවනය වෙමින් තිබියදී අනතුරකට ලක්වුවහොත් දඬුවමක් ලෙස එහි අලාභය දුම්රිය ධාවනයට සම්බන්ධ වූ කාර්ය මණ්ඩලය දැරිය යුතු වෘත්තීය බැඳීමක් තිබෙන නිසා මෙවැනි දෝෂ සහිත දුම්රිය ධාවනයේදී යම් අනතුරක් සිදු වී දුම්රිය මැදිරිවලට හෝ වෙනත් දුම්රිය දේපොළකට අලාභහානියක් සිදුවුවහොත් දුම්රිය කාර්ය මණ්ඩලවලට විශාල මුදලක් වන්දි ගෙවීමට සිදුවන බව දුම්රිය එන්ජින් රියැදුරුවරුන්ගේ සංගමයේ ලේකම් ඉන්දික දොඩන්ගොඩ පැවසුවේය. මේ වන විට අනතුරට ලක් වූ ඇතැම් දුම්රිය සඳහා මිලියන 400, මිලියන 600 වැනි ප්‍රමාණයක් දුම්රිය දෙපාර්ථමේන්තුවට අය කර ගැනීම සඳහා අදාළ දුම්රිය ධාවනය කළ කාර්ය මණ්ඩලවලට චාර්ජ් ෂීට් නිකුත් කර තිබෙන බව ඉන්දික මහතා පැවසීය.
චීනයෙන් ආනයනිත දුම්රිය මැදිරිවල දෝෂ සහිත තත්වය නිසා දුම්රිය රියැදුරන්ගේ නොසැලකිල්ලෙන් සිදුවන අනතුරු හා දඩුවම් පැමිණවීමට තිබූ අවස්ථාවත් දුම්රිය දෙපාර්ථමේන්තුවට මග හැරී ගොස් තිබේ.
ආනයනය කළ දුම්රිය මැදිරි 100 න් මැදිරි 50 ක් පමණ මේ වන විට භාවිතයෙන් ඉවත් කර තිබේ. මින් පෙර අවස්ථා කිහිපයකදීම දුම්රිය මැදිරි ගැලවී යාම නිසා අනතුරුදායක තත්වයන් ඇති වී තිබුණත් ඒ හැම අවස්ථාවකදීම වාසනාවකට දරුණු අනතුරක් සිදු වී නැත.
‘මේ පෙට්ටි ගෙනාවේ උඩ රට දුවන්න. ඉස්සල්ලාම පරීක්ෂණ ධාවනයක් කළා. කන්ද උඩට නැගලා පෙට්ටිය ගලවලා බැලුවහම හරියන්නේ නැති බව තේරුම් ගියා. ඊට පස්සේ කන්දේ දුවන එක නවත්තලා තැනිතලා මාර්ගයේ ධාවනයට යෙදෙව්වා. නුවර මාර්ගයේ කඩුගන්නාව හරියේදී බැරිවෙලාවත් පෙට්ටියක් හෝ කොටසක් ගැලවුණොත් පල්ලෙවෙළ හරියට එනකන් ඇවිල්ලා තමයි නතර වෙන්නේ. එතකොට හිතා ගන්න පුළුවන්නේ මේකේ තියෙන බැරෑරුම්කම.’ එසේ පැවසුවේ නම සඳහන් නොකළ දුම්රිය සේවකයෙකි.
2009 මේ කෝච්චි පෙට්ටි ආනයනය කරන්නට යෝජනා ඉදිරිපත් කළේ ෆීලික්ස් පෙරේරා ඇමතිවරයාය. දුම්රිය මැදිරි ගෙන්වන ලද්දේ ඩලස් අලහප්පෙරුම ඇමතිවරයාව සිටියදීය. දුම්රිය මැදිරි ගෙන්වීම තාක්ෂණික කමිටුවක් විසින් අනුමත කර තිබිණි. ඒ තාක්ෂණික කමිටුවේ සිටි ජෙනරල් මැනේජර්ලා, කාර්මික ඉංජිනේරුවන් හා නිලධාරීන් දැන් විශ්‍රාම ගොස්ය. ඇතැම්හු මිය ගොස්ය. රේල්ලුවේ ප්‍රධානියා වෙන්නට සිටි නිලධාරියාද එම තාක්ෂණික කමිටුවේ සිටි සාමාජිකයෙකි. දුම්රිය මැදිරි මෙරටට ගෙන්වා එහි දෝෂ සහිත බව හඳුනාගත් මුල් වකවානුවේදීම ගැටලුව බරපතළ වන්නට පෙර ඇතැම් නිලධාරීන් අඩු වයසින් ඉල්ලා විශ්‍රාම ගොස් තිබේ. ඇතැම් නිලධාරීන් අස්වීමේ ලිපි බාර දී රට හැර ගොස් තිබේ. ඒ නිසා වගකියන්නට දැන් කවුරුත් නැත.■

 

- Advertisement -

පුවත්

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -

අලුත් ලිපි