‘ශ්‍රී ලංකාවේ මිනිස්සු වගයක් පිහි, පොලු අතේ තියාගෙන අපේ ගෙවල් ඉස්සරහට ඇවිත් අපිට අපේ ගෙවල් වලින් යන්න කිව්වා. එයාලා අපට කිව්වේ ඔයාලා මුස්ලිම්, ඔයාලා තමයි මේ බෝම්බ පුපුරලා තියෙන්නේ කියලා. මේ හැමදෙයක්ම අපි නිසා සිද්ධවුණ බව ඔවුන් කීවා. පාස්කු ඉරිදා ප්‍රහාරයට කලින් අපේ ජීවිතවල හැම දෙයක්ම හොදින් තිබුණා. පාස්කු ප්‍රහාරයෙන් පස්සේ හැම දෙයක්ම නරක අතට හැරුණා. මට දැන් හිතෙන්නේ මම දැන් හිර ගෙදරක ඉන්නවා වගේ. අපව භාරව සිටින අය කියන්නේ මේ ප්‍රහාරය නිසා අපිට අනතුරකට මුහුණ දෙන්න වේවි කියලා. ඒ නිසා කොහේවත් යන්න එපා කියලා ඔවුන් කීවා. මට හරි දුකයි. මට හිතුනේ අපේ ජීවිත ඉවරයි කියලා. මගේ තාත්තා අපිව ගෙවල් ලඟ තිබුණ පොලීසියට එක්කගෙන ගියා. තාත්තා කිව්වේ හැමදේම හරි යයි කියලා. ඒත් මට අද දැනෙන්නේ අනාරක්ෂිත හැගීමක්.‘ නිව්යෝර්ක් ටයිම්ස් පුවත්පත වෙත අදහස් දක්වමින් එසේ කියා තිබුණේ ශ්‍රී ලංකාවේ සිටින පාකිස්තානු සරණාගත දැරිවියකි.


‘අපව පාකිස්තානයෙන් එලෙව්වේ අපි මුස්ලිම් අය නෙවෙයි කියලා. අපව ලංකාවෙන් එළවන්න උත්සාහ කරන්නේ අපි මුස්ලිම් කියලා.‘ අසරණ හඬින් ඇසෝසියේටඞ් ප්‍රෙස් ආයතනයේ මාධ්‍යවේදියෙකු වෙත අදහස් දැක්වූ තාරික් මොහොමඞ් මහතා එසේ කියා තිබුණි. මේ සටහන එම පාකිස්තානු සරණාගතයන් ඇතුලුව ලංකාවේදී විවිධාකාර හිංසනයන්ට මුහුණදෙන සාමාන්‍ය මුස්ලිම් ජනතාව පිළිබඳවය.


ශ්‍රී ලංකාවේ පදිංචිකරුවන් වන මුස්ලිම් ජාතිකයන් පසුගිය සතිය තුළදී පුද්ගයන්ගේ තර්ජනවලට හා පහරදීම්වලට ලක්වී තිබුණි. සිංහල ජාතිකයන් බහුතරයක් වෙසෙන ඇතැම් නගරවල වෙළඳසැල්වල සේවය කළ මුස්ලිම් ජාතික තරුණයන්ව එළවා තිබුණු බවද අපට අසන්නට ලැබුණි. ඊට අමතරව මුස්ලිම් ජාතිකයන්ට පහරදීමේ සිදුවීම් කිහිපයක් ගැනද වාර්තා වෙයි.
සමාජය භීතියෙන් ඇළලී තිබෙන මොහොතක මුහුණ වැසෙන අන්දමෙන් බුර්කා පැළඳ පොදු ස්ථානවලට පැමිණීම අදූරදර්ශී ක්‍රියාවක් බව අමුතුවෙන් කිව යුතු නැත. එවැනි අවස්ථාවල පුද්ගලයන් බියට පත්ව බුර්කා ඉවත් කිරීමේ සිදුවීම් වාර්තා වී තිබුණි.


එහෙත් මුහුණ වැසෙන්නේ නැති ෆර්දාව ඇඳ සිටි කාන්තාවන්, මුස්ලිම් තොප්පිය පැළඳ සාමාන්‍ය ඇඳුම්වලින් සැරසී සිටි පුද්ගලයන් ඇතුළු තවත් බොහෝ දෙනෙක්ට පොදු ස්ථානවලදී විවිධාකාර හිංසනයන්ට මුහුණදීමට සිදුවී තිබුණු අතර එවැනි ඇතැම් සිදුවීම්වල වීඩියෝද සමාජ මාධ්‍යවලින් දකින්නට ලැබුණි. පොදුවේ සමාජ මාධ්‍යවල සාමාන්‍ය මුස්ලිම් ජනතාව පිළිබඳ බියක් හා වෛරයක් ඇතිවන අන්දමේ අදහස් දැක්වීම්ද බොහොමයක් දකින්නට ලැබුණි.


මෙය යහපත් ප්‍රවණතාවයක් නොවන බවත්, එවැනි සිදුවීම් ගැනද මේ මොහොතේදී සාධාරණ ලෙස නීතිය ක්‍රියාත්මක විය යුතු බවත් අප සිහිපත් කළ යුතුය. එසේ නොවුණහොත් තවත් අන්තවාදී කණ්ඩායමක් බිහිවීමටත්, ඔවුන්ගේ මතවාද සාධාරණීකරණය කිරීමටත් මෙවැනි කණ්ඩායම්වල අදූරදර්ශී තීරණ හේතුවිය හැක. ඒ බව කියන අතරේම මෙවැනි සිදුවීම් සියල්ලම පාහේ හුදෙකලා සිදුවීම් බවත් කිව යුතු අතර ඒ හුදෙකලා සිදුවීම් ගැන දීර්ඝ වශයෙන් මේ සටහනේදී කතාකිරීමට අපේක්ෂා නොකරන්නෙමු. ඉදිරියේදී මේ ප්‍රවණතාවයන් ගැන සැලකිලිමත් විය යුතුය. මේ මොහොතේ වඩා වැදගත් වෙන්නේ ශ්‍රී ලංකාවේ සරණ පතා පැමිණි අසරණයන් පිරිසක් වන පාකිස්තානු සරණාගතයන් ගැන කතාකිරීමය.


ශ්‍රී ලංකාවට පැමිණි පාකිස්තානු සරණාගතයන් කණ්ඩායම සුළුතර ආගමික කණ්ඩායම් කිහිපයකට අයත් වෙයි. අහමදියා මුස්ලිම්වරුන්, සුළුතර මුස්ලිම්වරුන් හා ක්‍රිස්තියානි භක්තිකයන් මෙම කණ්ඩායම අතර සිටියි. ලංකාවට මෙලෙස පැමිණි ඇති සරණාගතයන් සම්පූර්ණයෙන්ම 1600ක් පමණ සිටින බව හියුමන් රයිට්ස් වොච් සංවිධානය කියයි. ශ්‍රී ලංකාවේ නිවෙස්වල ඔවුන්ව පදිංචි කර සිට ඇත. ඔවුන් බොහෝවිට වෙනත් රටවල්වල දේශපාලන සරණාගත තත්වය බලාපොරොත්තු වෙමින් සිටින කණ්ඩායම් වන අතර දිර්ඝකාලයක් ශ්‍රී ලංකාවේ රැඳී සිටීමේ අරමුණක් ඔවුන්ට නැත. එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ඍජු නිරීක්ෂණය යටතේ ඔවුන් සිට ඇත. ඔවුන් අතර කුඩා දරුවන් 150ක් පමණ සිට ඇත. ඔවුන් කිසිදු අන්තර්ජාතික ත්‍රස්ත කණ්ඩායමකට සම්බන්ධ බව කිසිසේත්ම විශ්වාස කිරීමේ ඉඩක් නැත. ඔවුන් ත්‍රස්ත ක්‍රියාවකින් පීඩා විඳි පීඩිතයන් පිරිසක් වන අතර තමන්ගේ ගම්බිම් අත්හැර පලා එන්නට සිදුවූ අසරණ මනුෂ්‍ය කොට්ඨාශයකි.


මේ පාකිස්තානු සරණාගතයන්ගේ කතාව ශ්‍රී ලාංකික සිංහල මාධ්‍ය බොහොමයකට මාතෘකාවක් වී තිබුණේ ශ්‍රී ලාංකික සාමාන්‍ය ජනතාවගේ බිය වැඩි කරන ආකාරයෙනි. මුලින්ම මීගමුවේ සිටි මෙම කණ්ඩායම පිළිබඳව ව්‍යාජ තොරතුරු ඇතුලත් පුවත් සමාජ මාධ්‍යවල හා වෙබ් අඩවිවල හුවමාරු වී තිබුණි. මෙම කණ්ඩායම ත්‍රස්ත ක්‍රියාවලට සම්බන්ධ කරමින් එම පුවත් පළවී තිබුණු අතර ඒ සමඟම සරණාගත කණ්ඩායමට පහරදීමේ අරමුණෙන් ඇතැම් කණ්ඩායම් සංවිධානය වී තිබුණි. සරණාගතයන්ට පිටව යන ලෙස තර්ජනය කිරීම් ගණනාවක් සිදුවී තිබුණි. ඉන්පසුව ඔවුන්ව පස්යාල, අතුරුගිරිය ආදී තවත් ස්ථාන කිහිපයකට රැගෙන ගොස් තිබේ. එහෙත් මේ සරණාගතයන් පිළිබඳ සැබෑ තතු සමාජගත කරන්නට මාධ්‍ය ආයතන පියවර ගෙන තිබුණේ නැත.
අප්‍රේල් 26 වැනිදා මෙම සරණාගතයන්ගෙන් කොටසක් අතුරුගිරිය පත්තිනියම්වත්ත ප්‍රදේශයේ මෙත්සෙවණ නම් කතෝලික රැඳවුම් මධ්‍යස්ථානයේ රැඳවීමෙන් පසුව කණ්ඩායමක් එයට එරෙහිව විරෝධතා දැක්වූ අන්දම මාධ්‍ය ආයතවලට ප්‍රවෘත්තියක් වී තිබුණි. එහෙත් මේ සරණාගතයන් කවුද යන්නත්, ඔවුන් ලංකාවට පැමිණීමට හේතුවත් එම මාධ්‍යවල පුවත් ආවරණවලට ඇතුලත් වී තිබුණේ නැත. පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සමඟ මෙම සරණාගතයන්ගේ කතාවත් යා කරගැනීමට බියපත්ව සිටින සාමාන්‍ය පුරවැසියන්ට ඉඩකඩ හදාදීමේ පැහැදිළි අරමුණක් සිංහල මාධ්‍ය භාවිතාවේ පෙනෙන්නට තිබුණි.


‘මෙතැන ඉන්නේ ත්‍රස්තවාදීන්ද කියලා අපට සැකයක් තියෙනවා.‘ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මැදිහත්වීම හා ශ්‍රී ලංකාවේ ආරක්ෂක අංශවල නිරීක්ෂණය යටතේ සිටින, කාන්තාවන් හා දරුවන්ද ඇතුළු සරණාගතයන් කණ්ඩායමට එරෙහිව ගම්වාසීන්ව සංවිධානය කළ තරුණ හිමිනමක් කියා තිබුණේ එසේය. උත්ප්‍රාසජනක කාරණය වන්නේ එම රැඳවුම් මධ්‍යස්ථානයෙහි සරණාගතයන්ව රඳවාගෙන තිබුණේ කතෝලික පල්ලියේම අනුග්‍රහයෙන් වීමය. පාස්කු ඉරිදා ප්‍රහාරය එල්ලවී තිබුණේ කතෝලික පල්ලිවලටය. මුලින්ම ඒ ප්‍රහාරයෙන් වේදනාවට පත් කතෝලිකයන් පාකිස්තානු සරණාගතයන්ට තර්ජනය කර තිබුණත්, ඒවාට ආගමික නායකයන් සම්බන්ධ වුණේ නැත. ඒ වෙනුවට කතෝලික ආගමික නායකයන් සාමකාමී ලෙස මේ සරණාගතයන්ට ආදරයේ දෑත දිගු කරද්දී, බෞද්ධ හිමිවරුන් ප්‍රචණ්ඩකාරී හා අදූරදර්ශී ලෙස පොලීසියේ හඬටත් ඇහුම්කන් නොදෙමින් වෛරයේ සංකේත ලෙස කටයුතු කිරීම කණගාටුදායක තත්වයක් බව සිහිපත් කළ යුතුය.


‘මේ ඉන්නේ බල්ලෝ කපුටෝ නෙවෙයි, මිනිස්සු. ඔවුන්ට ආරක්ෂාව සැපයීම අපේ වගකීමක්. අපි වගකීම බාරගන්නවා.‘ යැයි පොලිස් නිලධාරීන් කියද්දීත් ඒ හඬට ගම්වාසීන් ඇහුම්කන් දී තිබුණේ නැත.


‘ලංකාවේ සිටින සරණාගතයන්ගෙන් තුනෙන් දෙකක් වගේ මේ වෙනකොට ඉන්නේ සරණාගත කදවුරුවල. මේ වනවිට ඔවුන් ස්ථාන තුනක ඉන්නවා. දැන් ඔවුන්ගේ තත්වය ගොඩක් නරක අතට හැරිලා තියෙන්නේ. එයාලාට සෞඛ්‍ය පහසුකම් නැහැ. ඒ නිසා එතන ඉන්න ගොඩක් අය ලෙඩ වෙලා රෝහල් ගත කරන්න සිද්ධ වෙලා තියෙනවා. වැසිකිලි නැහැ. එක්සත් ජාතීන්ගේ මානව හිමිකන් කොමිෂන් සභාවෙන් ඔවුන්ට කෑම දෙනවා. මීගමුව පොලිසියේ ඉන්න අයට පොලිසියෙන් කෑම උයලා දෙනවා. අනෙක් අය එයාලාම උයාගෙන කනවා. පොලීසියේ ඉන්න අයට පොලිසියෙන් ආරක්ෂාව දීලා තියෙනවා. අනෙක් අයට පොලිසියෙනුයි, හමුදාවයි දෙකෙන්ම ආරක්ෂාව ලැබෙනවා. කදවුරු වල දැනට නැති අය ගෙවල් , කාමර කුලියට අරගෙන තමයි ඉන්නේ. එහෙත් මේ තත්වය නිසා එයාලාට ගෙවල් කුලියට දුන්න අයිතිකාරයෝ එයාලාට යන්න කියනවා. ඒ නිසා එයාලා මේ වෙනකොට බයේ ඉන්නේ.‘ සිවිල් ක්‍රියාකාරි රුකී ප්‍රනාන්දු මහතා ඔවුන්ගේ තත්වය එසේ විස්තර කළේය.


දරුණු ප්‍රහාරයක වේදනාවෙන් මෙන්ම වෛරයෙන්ද සාමාන්‍ය ජනතාව පීඩිතව සිටින බව පැහැදිළි කාරණයකි. එහෙත් ඒ පීඩනය නිසා සාමාන්‍ය මුස්ලිම් ජනතාව හා සරණාගතයන් පිරිසකට පහරදීම සාධාරණීකරණය කිසිසේත් වන්නේ නැත. විශේෂයෙන්ම විදේශ සරණාගතයන්ව බාරගත් ශ්‍රී ලංකා රජය මෙම සරණාගතයන්ගේ ආරක්ෂාව පිළිබඳ වගකීමෙන් බැඳී සිටියි. එම වගකීමට එම සරණාගතයන් වෙනුවෙන් ආහාරපාන සැපයීම, ආරක්ෂාව සැපයීම ආදිය පමණක් යටත් නොවේ. සරණාගතයන්ට තර්ජනය කරන පුද්ගලයන් සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක වීමත් ඒ වගකීමේ කොටසකි. හියුමන් රයිට්ස් වොච් සංවිධානයද ඒ බව පෙන්වා ඇත. මෙවැනි අවස්ථාවක ප්‍රචණ්ඩකාරී ලෙස හැසිරෙන කණ්ඩායම්වලට නීතිය ක්‍රියාත්මක කිරීමත් අත්‍යාවශ්‍ය කටයුත්තකි. ■