මම මේ ලිපිය ලියන්නේ පාස්කු ඉරිදා ලෙයින් තෙත්කර සතියකුත් දවස් තුනක් ගිය දිනෙක
පසුගිය බදාදාය. රටේ හැම අස්සකින්ම කඩුද, පිහිද, පතුරොම්ද, හමුදා ඇඳුම්ද, පුපුරන ද්‍රව්‍යද, සැකසහිත නිවෙස්ද, ආරක්ෂක අංශ විසින් සොයාගනිමින් තිබෙයි. මාධ්‍යද ඒවා එකක් නෑර ජනතාව වෙත ගෙනයමින් තිබෙන්නේය. සමහර වැටලීම් රූපවාහිනිය සජීවීව විශේෂ පුවත් ලෙස විකාශය කරන්නේය. සිංහල සහ මුස්ලිම් ජනතාවගේ ආතතිය එන්න එන්නම ඉහළ යමින් තිබෙන්නේ මේ මාධ්‍ය කෙරුවාව නිසාය. ‘මෙච්චර කඩු තියෙන්නේ, මුන් අපිව කපන්න ද ඉඳලා තියෙන්නේ’ යැයි සිතමින් සිංහල මිනිස්සු කාලය ගතකරති. මුස්ලිම් මිනිස්සු ගෙදරින් එළියට බසිනු නොහැකිව සිය නිවෙස්වල සිට ලැජ්ජාව සහ අසරණකම දරාගනිති.


මේ ලිපිය ලියන බදාදා හවස් කාලය වනවිට ආරංචි වන්නේ කුලියාපිටිය ඒදණ්ඩවල මුස්ලිම් ගමට, අවට සිංහල ගම්මානවල මිනිසුන් ප්‍රහාරයක් එල්ලකර ඇති බවය. හේතුව ප්‍රදේශයේ ඇළකට සැකකටයුතු යතුරුපැදියක් පෙරළා තිබියදී, හමුදාව එය සොයා ගැනීමය. බොහෝ පන්සල්වලට ප්‍රහාර එල්ලවන්නට නියමිත බව, කටකතාවලින් පැවසෙන්නේය. මේ නිසා බොහෝ පන්සල් ආරක්ෂාව ඉල්ලමින් සිටියි. හමුදාව සහ පොලීසිය, පන්සල්ද, පල්ලිද ආරක්ෂා කිරීම සඳහා ඒවා වටකොටගෙන සිටියි!! මිනිස්සුන්ගේ ආතතිය තවත් ඉහළ යයි. පොලිස් ඇඳිරි නීතිය නම් ඉවත් කර ඇත. කොළඹ ජනජීවිතයද සෙමෙන් සෙමෙන් යථාවත් වෙමින් තිබෙන්නේය. ඊට සාපේක්ෂව මිනිස් සිත් මත නළියන ආතතියද ඉහළ නගිමින් තිබෙන්නේ මාධ්‍ය මේ පෙන්වන මඟුල් නිසාය.

පුංචි අරාබිය බියෙන් ඇළලෙයි


හාත්පස රට ඉඳිගස් වවා, මුස්ලිම් පල්ලි 60කට වැඩිය තිබෙන අඩුම වර්ග කිලෝමීටර් ගණනක වැඩිම ජනගහනයක් සිටින නගරය කාන්තන්කුඩිය. ඉස්සර නම් සරොම් කීවාම කාන්තන්කුඩිය මතක් වෙන බව වැඩිහිටියෝ කියන්නෝය. රස මස්කට්වලටත් කාන්තන්කුඩිය එක සේ ප්‍රසිද්ධය. දැන්නම් කාන්තන්කුඩිය කියූ ගමන් නැගෙනහිර වෙරළේ තිබෙන දියුණුම මුස්ලිම් නගරය දිස්වන්නේ අරාබිය සේය. තැන තැන අහසට නැගුණු පල්ලි අතරින් පල්ලි 15කට ආසන්න ප්‍රමාණයක් ‘වහාබ්වාදය’ අනුගමනය කරන, ඒවාට දිරිය දෙන ස්ථාන බව අනාවරණය කරගෙන ඇත. කාන්තන්කුඩියේ බොහෝ දෙනෙක් දැන් රැකියාවටද අධ්‍යාපනයටද සෞදියට යන්නෝය.

ඔවුන් නිසා සෞදිය සහ කටාරය කේන්ද්‍රකරගෙන ලෝකය පුරා ව්‍යාප්ත වෙන රැඩිකල් ස්ලාමික බලවේගය වන ‘වහාබ්වාදය’ මෙහි පැලවී ඇත. සහරාන් ද එහි ගොදුරක් ය. ඒකදේවවාදය අනුව යමින් මුස්ලිම් ආගම පමණක් ලෝකයේ පැවතිය යුතුයැයි විශ්වාස කරන මෙම ස්ලාමික දහමට අදාළ පල්ලිවලට පැමිණෙන මුසල්මානුවන්, ආගමික අන්තවාදයේ කෙළවරටම ගිය පිරිසක් බව එම ආගමේම අනෙකුත් නිකායික පිරිස් ප්‍රකාශ කරති.


රටඉඳි ගස් සිටුවීම, අරාබි අකුරු නාමපුවරු සඳහා භාවිත කිරීම, කළු හබායාව සහ බුර්කාවෙන් සැරසුනු ගැහැනුන් ව්‍යාප්ත වීම මෙම නගරයට දැන් ස්වාභාවිකය. මේවා ‘වහාබ්වාදය’ හරහා පැමිණි දේවල් ලෙස විග්‍රහ කළ හැකිය. 1990 දී එල්.ටී.ටී.ඊ. සංවිධානය මෙම නගරයේ මුස්ලිම් පල්ලිවලට ප්‍රහාරයක් එල්ල කළ අතර එම ප්‍රහාරයෙන් 147 දෙනෙක් මුසල්මානුවෝ මිය ගියෝය. 2004 පැමිණි සුනාමියද මේ නගරයට බොහෝ විපත් ගෙනාවේය. සංඛ්‍යා දත්ත කියන්නේ 108 දෙනෙක් පමණ මියගොස් 93 දෙනෙකු පමණ එම ව්‍යසනයෙන් අතුරුදන් වූ බවය. ලංකාවේ ප්‍රථම මුස්ලිම් මැදි විදුහලද මෙහි පිහිටුවා ඇති බව කියයි. එනිසාම අධ්‍යාපන මට්ටමද මෙහි ඉහළය. එහෙත් පසු ගිය දශක දෙකක කාලය අරාබි වහාබ්කරණය නිසා අධ්‍යාපන මට්ටම සැලකිය යුතු ලෙස පහළ බැස එය ආගම හැදෑරීමේ උමතුවක් බවට රූපාන්තරණය වී ඇත.


පාස්කු ඉරිදා ප්‍රහාරයේ ප්‍රධානියා සේ සැලකෙන සහරාන් 1985දී මෙම නගරයේ උපත ලැබූවෙකි. ඔහු ව්‍යාප්ත කළ ආගමික උමතුව ලංකාව පුරා සහ දකුණු ඉන්දියාවේ පැතිර ගියේ මේ නගරය කේන්ද්‍රකර ගනිමින් ය. ඔහු තම ආගමික නිකාය හරහා පැතිරවූ ප්‍රචණ්ඩත්වයද මේ නගරයේ වැසියන්ට හුරුය. මතකය. එහෙත් මේ නාගරිකයෝ එම ප්‍රචණ්ඩත්වය ආගමේ නාමයෙන් ඉවසුවා පමණක් නොව එම ප්‍රචණ්ඩත්වය දෙසට සිය අධ්‍යාත්මයද පහළ දමා ගත්තෝය.


පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් පසුව මේ නගරය බියෙන් ඇළලී ගොස් ඇත. පසුගිය 26 වැනි සිකුරාදා රාත්‍රියේ මෙම නගරයට ළංව පිහිටි සයින්දමරුදු ප්‍රදේශයේ සිදුවූ මරාගෙන මැරෙන බෝම්බ පුපුරවා ගැනීමෙන් සහ ඊට පසුව අන්තවාදීන් හමුදාව සමග ඇතිවූ වෙඩි හුවමාරුවෙන් පසුව, තත්ත්වය තවත් දරුණු අතට හැරී ඇත. හමුදාව සිය සෝදිසි මෙහෙයුම් වැඩිකර ඇති සෙයකි. මෙම තත්ත්වය තුළ නැගෙනහිර වෙරළේ පොතුවිල් නගරයේ සිට උතුරට ත්‍රිකුණාමලය දක්වා මුස්ලිම් ජනතාව බහුතර වශයෙන් ජීවත්වෙන ප්‍රදේශ බියෙන් සහ වේදනාවෙන් ඇළලී ගොස් ඇත. සෝදිසි කිරීමේ බියට සහ අත්අඩංගුවට පත්වීමේ අවිනිශ්චිතතාවට පත්වී ඇත. එහෙත් දැන් මොනවා කරන්නද? රට ඉඳි ගස් සිටුවා එයින් රෝසමල් පූදිනකම් බලා සිටියාට වැඩක් නැත. දැන් මේ නාගරිකයන්ට තිබෙන්නේ තමන් ළඟ සැඟවී සිටින වහාබ්වාදී අන්තවාදීන් ආරක්ෂක අංශ වෙත භාරකර ත්‍රස්තවාදය සමාජයෙන් අතුගා දැමීමට රජයට සහාය වීමය.

සයින්දමරුදු පිපිරීම්


පාස්කු ඉරිදා ප්‍රහාරය දියත් කළ මරාගෙන මැරුණු ඝාතකයන් බොහෝ දෙනෙක් ද ඔවුන්ගේ බිරින්දෑවරුද ලැගුම්ගෙන තිබුණේ පානදුර ප්‍රදේශයේ නිවසකය. එම නිවස ආශ්‍රිතව පිහිටුවා තිබූ සී.සී.ටී.වී .කැමරාවල සටහන්වී තිබූ ලොරියක් පසුපස පැන්නීම හරහා පොලීසියට සයින්දමර්දු මෙම පිපිරීම් නිවස සහ නින්දවූර් අනෙකුත් නිවස පිළිබඳව තොරතුරු ලැබී ඇත. මෙම ලොරිය පදවා ඇත්තේ ගාල්ල ප්‍රදේශයේ රියදුරෙක් ය. ඔහුගේ ලොරිය මෙම අන්තවාදීන් කුලියට ගෙන ඇත. ඒ පානදුරේ කුලියට ගත් නිවසේ සිට කාන්තන්කුඩි වෙත බඩු ප්‍රවාහනයටය. ඒ අනුව පසුගිය අප්‍රේල් 20 වැනි දින සවස පානදුරේ නිවසේ තිබුණ බඩුබාහිරාදිය පටවාගෙන සයින්දමර්දු යන්නට පිටත්වී ඇත. ඊට ප්‍රථම අප්‍රේල් 5 වැනි දින මෙම කුලී නිවෙස සහරාන්ගේ ගෝලයන් විසින් ඉල්ලා ඇත. ඔවුන් එම නිවෙස් දෙක සඳහා ඇඞ්වාන්ස් මුදල් ලබා දී ඇත්තේ අප්‍රේල් 16 වැනි දිනය. පානදුරෙන් පිටත්වූ මෙම ලොරිය 21 වැනිදා උදෑසන 4 පමණ වනවිට අදාළ නිවෙස් වෙත ළඟාවී ඇත. ඊට පසු අප්‍රේල් 25 වැනිදා වනවිටත් මේ බෝම්බ පුපුරවාගත් නිවසේ පුද්ගලයන් සිට නැත.

26 වැනි දින සවස් කාලය වනවිට එම නිවසේ බොහෝ පිරිසක් සිටි නිසා සහ රටේ උද්ගතවී ඇති තත්ත්වය මත නිවෙස් හිමිකරුවාට සැක සිතී ඇත. ඔහු ඒ බව ග්‍රාමසේවකට පැවසූ පසු ග්‍රාමසේවක, නිවසේ හිමිකරු සහ තවත් පිරිසක් නිවසට පැමිණ ඇත. ඒවන විටත් නිවස තුළ තුවක්කුවක් අතේ රඳවාගත් පුද්ගලයෙකු සිට ඇති අතර ඔහු අහසට වෙඩි තබමින් මේ පැමිණි පිරිස පළවා හැර ඇත. රුපියල් 5000 මුදල් නෝට්ටුද සටන්කාමීන් පැමිණි මේ පිරිස දෙසට විසිකළ බව දැනගන්නට ඇත. ඒ සමග දිවගිය පැමිණි පිරිස තත්ත්වය පිළිබඳව පොලීසිය දැනුවත් කර ඇත. පිපිරීම සහ දෙපාර්ශවය අතර වෙඩි හුවමාරුව සිදුවන්නේ ඉන් අනතුරුවය. මෙම වෙඩි ප්‍රහාරයට මැදිවෙන ත්‍රීවිලර් රථයකින් පැමිණි පිරිසක් මරණයට පත්වූ බවද ඔවුන් මෙම සුනාමි ගම්මානයේ ජීවත්වූ අහිංසකයන් බවද දැනගන්නට ඇත. පසුදා උදෑසන මෙම නිවෙස සහ අවට නිරීක්ෂණය කරන ආරක්ෂක අංශ කියන්නේ මෙම පිපිරුම්වලින් සහ වෙඩි හුවමාරුවෙන් 15 දෙනෙකු මියගිය බවය. එදින උදෑසන එම නිවස අවට සෝදිසි කරන ආරක්ෂක අංශවලට සහරාන්ගේ බිරිඳ සහ බාල දියණිය හමුවන්නේය. ඔවුහු දැන් දැඩි රැකවල් මැද අම්පාර මහා රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටිති. මෙම ප්‍රහාර වැල පිළිබඳව සහ මෙම සංවිධානය පිළිබඳව බොහෝ තොරතුරු ඇයගෙන් දැනගන්නට ලැබෙනු ඇති!

සහරාන් හසීම්


මෙම අන්තවාදී කල්ලියේ ප්‍රධානියා ලෙස සැලකෙන්නේ මොහොමඞ් සහරාන් මොහොමඞ් හසීම් ය. සහරාන් හසීම් බොහෝ දෙනෙකු වහරන නමයි. ඔහුට සොහොයුරියෝ දෙදෙනෙකි. සොහොයුරෝ දෙදෙනෙකි. පසුගිය අප්‍රේල් 18 වැනිදා සිට, සහරාන්ගේ පියා වන හයාත් මොහොමද් හසීම් සහ මව අබ්දුල් කාදර් සමීමා සහ සොයුරන් දෙදෙනා ද එක් සොහොයුරියකද අතුරුදන්ව සිට ඇත. මොහොමද් හසීම් මදානියා සහරාන්ගේ අනෙක් සොහොයුරියයි. ඇය ජීවත්වන්නේද කාන්තන්කුඩි සහරාන්ගේ පල්ලියට යාබදවය. බීබීසීය සමග ඇය, ඇගේ සොහොයුරා පිළිබඳව සහ වර්තමාන තත්ත්වය පිළිබඳව අදහස් දක්වා ඇත.


සහරාන් හසීම්ගේ වයස 34කි. ඔහු විවාහවී සිටියේ මොහොමද් හාදියා සමඟය. ඇගේ වයස අවුරුදු 23කි. ඇය කුරුණෑගල කැකුණගොල්ලේ උපන් තැනැත්තියක බව දැනගන්නට ඇත. මොවුන්ට අවුරුදු 8ක් වයසැති පුතෙකු සහ අවුරුදු 4ක් වයසැති දියණියක සිට ඇත. මේ පිරිස අතරින් මොහොමද් හාදියා සහ වයස අවුරුදු 4ක් වූ දියණිය දැන් සිටින්නේ රෝහල්ගතවය. සහරාන් හසීම්ගේ එක් සොහොයුරකු වන්නේ මොහොමද් සෙයින් හසීම්ය. 30 හැවිරිදි මොහු විවාහ වී සිටින්නේ 23 හැවිරිදි අබ්දුල් ගෆූර් අෆ්රින් සමඟය. මොවුන්ට අවුරුදු පහක පුතෙකු සහ අවුරුදු 3ක දියණියකි. අනෙක් සොහොයුරා 28 හැවිරිදි මොහොමද් රිල්වාන් හසීම්ය. විවාහ වී සිටින්නේ 20 හැවිරිදි නෆ්හා සමඟය. ඔවුන්ට අවුරුදු පහක් වයසැති සහ මාස 6ක දරු දෙදෙනෙකු සිට ඇත.


අතුරුදන් සොහොයුරිය මොහොමද් යසීරා හසීම් ය. ඇගේ වයස අවුරුදු 20කි. විවාහ වී සිටින්නේ 22 හැවිරිදි මොහොමද් රිෂාද් සමඟය. මොවුන්ට වසරක් වයසැති පිරිමි දරුවෙක් සිටී. මේ පිරිස අතරින් සහරාන්ගේ පියා සහ එක් සහෝදරයෙකු සයින්දමරුදු බෝම්බ පුපුරවාගැනීමෙන් මියගොස් ඇත. තවත් හඳුනාගත නොහැකි සිරුරු කොටස් බොහෝය. එම සිරුරු අතර මේ අතුරුදන් පිරිස සිටිය හැකි බව ආරක්ෂක අංශ සැක පළකරති. තවත් සමහරුන් සමහර විට ආරක්ෂක අංශ අත්අඩංගුවට පත්වී රඳවා තිබෙන්නට පුළුවන්ය.


මේ වන විට සාම්ප්‍රදායික මුස්ලිම් ප්‍රජාව මේ අන්තවාදීන් පිළිබඳව තොරතුරු ආරක්ෂක අංශ වෙත ලබාදෙමින් සිටියි. මාවනැල්ලේ මුස්ලිම් පියෙකු තම දියණිය මෙම ප්‍රහාරයට සම්බන්ධයැයි සැක සිතී පොලීසියට භාරදී ඇත. ගම්පොළ ප්‍රදේශයේ කළ වැටලීම්වලට සහ අත්අඩංගුවට ගැනීම්වලට එම ප්‍රදේශයේ මුස්ලිම් ප්‍රජාවගෙන් අවශ්‍ය සහාය සහ තොරතුරු ලැබුණු බව දැනගන්නට ඇත. සිංහල මාධ්‍ය මේවාද කඩුකිනිසි වාර්තාකරණයට අමතරව මිනිසුන් වෙත ගෙන යා යුතුය. මේ අවිනිශ්චිතතාව දුරලා රට නැවත යථා තත්ත්වයට ගැනීමට එය අවැසිමය. ■