■ නිත්‍යා සෙව්වන්දි

සීතාවක පුර ගම්වැසයෝ අදත් ඉඳහිට පුහුල් පහන් පත්තු කරති. ඔවුන් විශ්වාස කරන්නේ එමඟින් සිය කන්නලව් රංවල මුත්තා අසා තමාට පිහිට වන බවය. මෙම පුහුල් පහන් කතාවට ඓතිහාසික සිද්ධියක් මුල් වී ඇත. දෙවන රාජසිංහ රජ සමයේ කැලණි ගඟ අසබඩ ආලවතුරේ රාළ නම් තරුණයකු වාසය කර ඇත. මෙම තරුණයා සිය උපන් ගම වන රංවල සිට කැලණි ගඟ හරහා පාරුවකින් යාත්‍රා කරමින් පැමිණ ගඟ අසබඩ පදිංචි වී ඇත.
තරුණයා සෞම්‍ය ගතිගුණවලින් යුක්ත වීම නිසාත් චාම් හා සරල දිවි පෙවත නිසාත් ඔහු දංගල්ල ගමේ වැඩිහිටියන්ගේ සිත් දිනා ගනිමින් ජීවත් වී තිබේ. එකල කොලොන්තොට හා සීතාවක අතර ප්‍රධාන ප්‍රවාහන මාර්ගය ලෙස ප්‍රචලිත වන්නේ කැලණි ගඟ ය. ගම්වාසීන් සහ තොටියන් වැඩි වශයෙන් කැලණි ගඟේ ඔරු පදින්නට යොදාගනු ලැබුවේ රාත්‍රි කාලයන් ය. ඊට හේතුව වන්නේ දහවලට තිබෙන දැඩි අව් රශ්මිය නිසා ඇතිවන අපහසුව මඟ හරවා ගැනීමට රාත්‍රියේදී හැකියාව ලැබීම මෙන්ම සඳ එළියේ පහනක් ආශ්‍රයෙන් පාරු පැදීමට යාමෙන් ලැබෙන සෞම්‍ය ආස්වාදයට තොටියා ප්‍රිය කිරීමයි. මේ තුළින් එකල ජනයා පරිසරයට මහත් සංවේදීතාවක් දැක් වූ බව කිව හැකිය.
රංවල මුත්තා ලෙස හැඳින්වීමට පෙර ආලවතුරේ රාළ එම ප්‍රදේශයේ ජනතාවගේ හිත දිනා ගැනීම නිසා ඔහුට රන්දෝලිස් යන නම පට බැඳි තිබේ. හේතුව ඔහුගේ උපන් ගම රංවල වීමයි. කෙසේ වුවත් රන්දෝලිස් වැදගත් චරිතයක් බවට වන්නේ තොටියා වෙනුවෙන් කරන ලද ක්‍රියාව නිසා ය. ගඟ වේගයෙන් පහළට ගලද්දී මතුවන ගං දියඹ, දිය සුළි ආදි වූ විවිධ අනතුරුදායක තත්වයන්ට මුහුණ දෙන්නට අඳුරේ ම යාත්‍රා කරන යාත්‍රිකයන්ට සිදු විය. හුරුපුරුදු යාත්‍රිකයන් එම ස්ථාන මඟ හරවා ගනිමින් යාත්‍රා කිරීමට නිරතුරුවම කටයුතු කළ අතර එවැනි ස්ථාන පිළිබඳ හැඟීමක් හෝ දැනීමක් නොමැතිවූවන්ගේ ඔරුපාරු අනතුරුවලට පත් වී ඔවුන් මරණයට පත්වන අවස්ථා එකල්හි විරල නොවීය. රන්දෝලිස් දිවි ගෙවන පෙදෙසේ ද මෙවැනි මරු කපොලු කිහිපයක් විය. මේ පිළිබඳ සංවේගයට පත් වූ රන්දෝලිස් ඊට උපායක් යෙදීය.
පුහුල් පහන නැමැති පහන් විශේෂයක් තනා එම අනතුරු ස්ථානවල පහන් රාත්‍රියට එල්ලා තැබීම විකල්පයය. පුහුල් ගෙඩියක හැඩයට තැනූ ගොක්කොල ආවරණයක් සහිත මෙම පුහුල් පහනේ ගොක්කොලය හරහා විනිවිද එන සුදු පැහැයට හුරු ආලෝකය දීප්තිමත් විය. ඒ නිසා අනතුරු අවම විය.
මේ බුද්ධිමත් ක්‍රියාව නිසා ගම්වාසීන්ගේ ගෞරවාදරයට රන්දෝලිස් පාත්‍ර විය.
මෙලෙස රන්දෝලිස්ගේ සැඳෑ සමය උදාවෙමින් තිබිය දී රන්වල මුත්තා යන ගෞරව නාමයෙන් ඊළඟ පරම්පරාවේ බුහුමන් ලබමින් ඔහු ගමේ නායකයා බවට පත්විය. මෙකල ඔහු සතර පෝයටම සිල් රකිමින් ගත කළ චර්යාව තව දුරටත් ඔහුගේ වයෝවෘද්ධභාවය නිසා කර ගැනීමට නොහැකි තත්වයකට පත් විය. ඉන් පසුව ඔහු තම නිවස තුළම ඒ කටයුතු කිරීමට පිවිසුණු අතර රාත්‍රියේ පහන් දැල්වීමේ ක්‍රියාව ඔහු දිගටම සිදු කරන්නට විය. මේ නිසා ගම්මු ඔහු සිල්වත් චරිතයක් බවට විශ්වාස කරමින් ඔහු ගමේ නායකයා නිසාත් ඔහුගෙන් සිය පවුල්වල ප්‍රශ්නවල විසඳුම් විමසුවෝය. රංවල මුත්තා සිය නිවෙස්වලට කැඳවාගෙන යමින් ඔහුට ආහාර පිළිගැන්වීම මහා සෞභාග්‍යයක් ලෙස මිනිස්සු සැලකූහ. අද වන විට රැකියාවක් නොකරමින් තනිකඩව ගෙවන ජීවිතවලට වටිනාකමක් සමාජයෙන් අත් කර නොදුන්න ද එදා රංවල මුත්තා සිය නිවස්වලට පැමිණීම ම සෞභාග්‍යයක් ලෙස එදවස ගැමියා සිතූ හ.
මුළු ජීවිත කාලය තුළම මුත්තා ජීවත් වූයේ කැලණි ගඟ අසබඩය. මෙලෙස ජීවිකාව ගෙවන එක් හැන්දෑවක සිටම පසුවදා දක්වා ඇදහැළුණු මහා වරුෂාවක් නිසා ගඟ කෙමෙන් කෙමෙන් පිටාර ගලන්නට පටන් ගෙන තිබුණි. මේ ගංවතුරෙන් බේරීමට රංවල මුත්තාට ද නොහැකි වී ඇත. රංවල මුත්තා සිය නිවහන හැඳින්වූයේ අසපුව නමිනි. එම අසපුව තුළම ඔහු මියගොස් තිබුණේය. මේ හිතෛෂී මිනිසාගේ මියයාම පිළිබඳ ගමම කම්පා විය. පසුව ඔහුට කරන උපහාරයක් වශයෙන් පුහුල් පහන් ගම්වැසියන් විසින් දිගටම දල්වා ඇත.
රංවල මුත්තාගේ මිය යාමෙන් පසුව තමන් අනාරක්ෂිත වූවා යැයි සිතා ගම් වැසියන් දුක්වන්නට පටන් ගෙන තිබේ. ඊට විකල්පයක් වශයෙන් පුහුල් පහන් දල්වමින් රංවල මුත්තාට කන්නලව් කරන්නට ගම් වැසියන් පෙළඹී ඇත. රංවල මුත්තා රංවල දෙවියන් බවට පත් විය.
සමාජයේ ගෞරවයට පත් වූ මිනිසුන් දෙවියන් බවට පත්වීම සුලබ කතාවකි. රන්වල මුත්තා, එලෙස දේවත්වයට පත් වූ තවත් අයෙකි. අදටත් රන්වල මුත්තාගේ බැල්ම ගමට ඇති බව විශ්වාසය එලෙසමය.■