■ උදන් ප්‍රනාන්දු

මාගේ පියාගේ පියා වඩුවෙකි. අප පවුලේ පැරැණි රසාංග බොහොමයක් වාගේ වඩු කර්මාන්තය වටා භ්‍රමණය වේ. මා අසා ඇති ආකාරයකට එළිසබත් මහා රැජිණගේ කොරනේෂණයට හෙවත් අහිෂේක ලබන උත්සවයට සිලෝනයෙන් යැවූ තෑගි බෝග අතර වූ අල්මාරියක් නිම වූයේ අපේ සීයාගේ වඩුමඩුවේ ය. එය කෑලි තුනක අල්මාරියක් ලෙස කියැවෙන අතර එහි එක කොනක සිට සිට අනෙක් කොන දක්වා කැටයම් කර ඇත්තේ වී ගොවිතැනේ සී සෑම සිට අස්වැන්න නෙලීම වැනි විවිධ අවස්ථාවන් ය. අල්මාරිය නිමවා ඇත්තේ බුරුම තේක්ක හෙවත් බර්මා-ටීක් නමැති දැව වර්ගයෙනි. එකල සීයා විසින් බුරුම තේක්කෙන් සාදන ලද ගෘහ භාණ්ඩ බොහොමයක් තවමත් කිසිදු අලුත්වැඩියාවකින් තොර ව අපගේ පරම්පරාවේ නිවෙස්වල ඇත. බුරුම තේක්ක ලීය එතරම් ම ශක්තිවන්ත හා කල් පවත්නා ප්‍රවර්ගයකි. යටත්විජිත සමයේ සිලෝනය හා බුරුමය අතර මේ දැව වෙළෙඳාම ඉතා සාර්ථක ව පැවැති බව කියැවේ. කුමන හේතුවකට හෝ, ලීයේ සිදුරු විදින පැරැණි ආම්පන්නයට එකල කීවේ ‘බුරුමය‘ කියා ය. දැන් භාවිත වන ඩ්රිලින් මැෂිමට වඩා බුරුමය සපුරා වෙනස් ය.
බුරුමය නැවත කතාබහට ලක් ව ඇත්තේ වඩු කර්මාන්තයේ නොව ලෝක ප්‍රවෘත්ති ක්ෂේත්‍රයේ ය. ඒ පසුගිය අට වැනිදා බුරුමයේ හෙවත් මියන්මාරයේ වීරෝදාර හමුදාව එරට ජනපති, අගමැති හා අනෙකුත් ජ්‍යෙෂ්ඨ මැති ඇමතිවරුන් හා පරිපාලකවරුන් රැසක් තම සත්කාරයේ හිඳුවාගෙන ගෙන රාජ්‍ය පාලනයේ බර ඔවුන්ගෙන් මුදාගත් මානුෂීය මෙහෙයුමක් නිසා ය. ඒ හමුදා සත්කාරය ලබන්නන් අතර බුරුම මැකෝ ද විය.
බුරුමය විසිවන ශතවර්ෂය මුල් කාලයේ දී බි්‍රතාන්‍ය යටත් විජිතයක් ව පැවතිණ. 1920 කාලය වන විට බුරුමයේ නිදහස අරභයා ජාතිකවාදී ප්‍රවණතා මතු විණ. එකල නීති සිසුවෙකුවූ ආවුන් සාන් ඒ අතර කැපීපෙනිණ. පසු කලෙක ඔහු බුරුම කොමියුනිස්ට් පක්ෂය ස්ථාපිත කොට චීනයේ ආධාර ඇතිව සන්නද්ධ ව්‍යාපාරයක් ගොඩනගන්නට උත්සාහ කරමින් සිටින අතරය ජපනුන් වහා ඉදිරිපත් වී ඔහු ඇතුළු කණ්ඩායමකට අවි පුහුණුව සැණෙකින් ලබා දුන්නේ. මෙම කණ්ඩායම බි්‍රතාන්‍යයන් පළවා හරිනට උත්සාහ කරනා’තර 1942 ජපානය බුරුම නතු කරගති. එය ඉඟුරු දී මිරිස් ගත් තත්ත්වයක් බවට පත් වූ නිසා ආවුන් සාන් බි්‍රතාන්‍යයන් සමග සමගි වී ජපනුන් පලවා හැරියේ 1945 ය. ආවුන් සාන් බි්‍රතාන්‍යයන් සමග ඇති කරගත් එකඟතාවක් මත 1948 දී බුරුමයට නිදහස ලැබිණ. එහෙත් අවසානයේ අභිනව අගමැති ලෙස පත් වූයේ ආවුන් සාන් නොවේ; ඔහුගේ ම සගයෙකු වූ ඌ නූ ය. ජනවාර්ගික භේදභින්න හේතුවෙන් ඌට රාජ්‍ය පාලනය ගෙන යනු අපහසු බව සහකම්පිත ව තේරුම් ගත් බුරුම වීරෝදාර හමුදාපති නේ වින් රාජ්‍ය පාලනයේ වෙහෙසකර භූමිකාව 1958 තම කරට ගති. ඌට නැවත වරක් මැතිවරණයකින් අවස්ථාවක් දුන්න ද ඔහු රාජ්‍ය පාලනය ඉතා අපහසුවෙන් කරනු දිගට ම බලා ඉන්න බැරි තැන, නැවත නේ වින් රට දැය වෙනුවෙන් ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වී තම හමුදාව සමග 1962 දී අසමත් සිවිල් පාලනයෙන් බුරුමය මුදාගති. 1962 සිට 1988 දක්වා මියන්මාර දේශය සුරැකිව පෝෂණය කළේ ජනරාල් නේ වින් ඇතුළු ‘තත්මදෝ‘ (ඕඑප්ා්අ) ලෙස ආදර ගෞරවයෙන් ඇමැතෙන වීරෝදාර හමුදාව ය. තත්මදෝව රට සුඛිත මුදිත කරනු වස් ව්‍යවස්ථාව නිෂ්ප්‍රභ කිරීම, විපක්ෂ බලවේග හා සංවිධාන තහනම් කිරීම හා විනයානුකූල ක්‍රමයක් ස්ථාපිත කිරීම වැනි පියවර ගති. තත්මදෝව රටෙහි ආර්ථික බර ද කරට ගති. මියන්මාර ව්‍යාපාර ලෝකයේ බීර සිට වානේ දක්වා අනේකවිධ කර්මාන්තයන්හි ප්‍රමුඛයා වන්නේ තත්මදෝවේ හිමිකාරත්වය යටතේ ඇති මියන්මාර් ඉකොනොනොමික් කෝර්පොරේෂන් යන යෝධ කොන්ග්ලොමරේට ආයෝජන සමාගම ය. ඉන් නොනැවතී, තත්මදෝව යූ.එස්.පී.ඩී නමින් තම සිතැඟි නියෝජනය කරන දේශපාලන පක්ෂයක් ද 2010 දී ප්‍රවර්ධනය කළ අතර දැනට විපක්ෂය වන්නේ එය ය.
යට කී ආවුන් සාන්ගේ දියණිය වන අවුන් සාන් සූචී මියන්මාරයට එංගලන්තේ සිට පැමිණෙන්නී ඔය අවුඅස්සේය. ඇය වටා යම් සිවිල් රැල්ලක් ගොඩනැගෙන අතර එහි බලපෑම මත 1990 මැතිවරණයක් පැවතිය ද ඉන් සූචි මැතිනියගේ පක්ෂය ජයග්‍රහණය කළ ද තත්මදෝව රාජ්‍ය බලය සිවිල් පරිපාලනයකට නොදුන්නේ පරිණත වැඩිහිටියෙකුගේ වගකීම් සහගත ස්වභාවය ලොවට පෙන්වා දෙමිනි. තත්මදෝව වසර දොළහක් ම සූචි මැතිනිය නිවෙසක හිඳුවා කවා පොවා සුරැකිව බලා හදා ගත්තේත් ඒ වගකීමේ ම කොටසක ලෙසිනි.
කෙසේ හෝ තත්මදෝව පසු ව සිවිල්වරුන්ට පාලනය කරන්නට දීමට කාරුණික විය. එහෙත්, කුඩාවුන් වැටෙනු වළකනු පිණිස සයිකලයට සවිකරන ගාඩ් වීල් සේ යෝජිත පාර්ලිමේන්තුවේ ආසනවලින් 25%ක් තත්මදෝවට නිලබලයෙන් කර වෙන් ගත්තේ ය. 2015 හා 2020 මැතිවරණ පැවතියේ ඒ ව්‍යවස්ථාපිත කොන්දේසිය යටතේ ය. සූචි මැතිනිය නායිකාව වුව ද ඇය විදේශිකයෙකු කසාද බැඳ සිටීම නිසා රාජ්‍ය නායිකාව වීම වැළකුණේ ද යට කී ව්‍යවස්ථාව යටතේ ම ය.
බුරුමය හා සිලෝනය බි්‍රතාන්‍ය අධිරාජ්‍ය පාලනයෙන් නිදහස ලද්දේ එක ම වසරේ ය. බුරුමය හරියට ම සිලෝනයට මසකට කලින්, එනම් 1948 ජනවාරි 4 දින පාන්දර 4.20ට සුබ නැකැතින් නිදහස ලැබී ය. මියන්මාරයේ ලාංකීය තානාපති කාර්යාලයක් විවෘත කළේ 1949 දී ය. දෙරට අතර ඇති ප්‍රධාන පොදු සාධකය වන ථෙරවාද බුදුදහම වටා ස්ථාපිතවූ සබඳතාව ඊට වඩා පැරණි ය. රාමඤ්ඤ නිකාය ලංකාවේ ඇරඹුණේ 1864 වසරේ දී අඹගහවත්තේ සරණංකර හිමි බුරුමයේ රත්නපුන්නා විහාරයේ උපසම්පදාව ලැබීමෙන් අනතුරුව ය. රාමන්න යනු බුරුම රාජධානිය එකල හැඳින්වූ නමයි. ප්‍රකට පුරෝගාමී ජාතිකවාදී නායකයන් වන ශ්‍රීමත් සුසන්ත ෆොන්සේකා, රාජා හේවාවිතාරණ (අනගාරික ධර්මපාලතුමාගේ බෑනා), කම්කරු ව්‍යාපාරයේ පියා ලෙස සැලැකෙන ඒඊ ගුණසිංහ වැනි ප්‍රභුවරු ය බුරුමයේ මුල් ලාංකීය තානාපතිවරුන් ලෙස කටයුතු කළෝ. ඒ මග යමින් මියන්මාරයේ වත්මන් ලාංකීය තානාපති ධුරය හොබවන්නෝ මහැදුරු නලින් සිල්වෝ ය. මියන්මාර විරෝදාර හමුදාව විසින් මේ කරන ලද ආණ්ඩුකරණ සංක්‍රමණීය මෙහෙයුම පිළිබඳ ව මියන්මාරයේ වෙසෙන ශ්‍රී ලාංකික ප්‍රජාව බයසංකා ඇතිකර ගත යුතු නැත. ඒ මන්ද යත් අප මහැදුරන් තානාපති බලය පමණක් නොව නාථපති මහිමයද හිමි ක්වොන්ටම් ප්‍රභවයක් බැවිනි.■