උද්ගත වී ඇති දේශපාලන අර්බුදය මත මෙරට සංචාරක කර්මාන්තය ශීඝ්‍රයෙන් කඩා වැටී තිබෙන බව ශ්‍රී ලංකා හෝටල් සංගමය සහ ශ්‍රී ලංකා සංචාරක මෙහෙයුම්කරුවන්ගේ සංගමය කියා තිබුණේ නොවැම්බර් 18 වැනිදා පැවති මාධ්‍ය සාකච්ඡාවකදීය. ඔවුන් සංචාරක කර්මාන්තයේ කඩාවැටීම පිළිබඳව පැහැදිලිවම පෙන්වා තිබුණි. එසේ වුව බොහෝ මාධ්‍යවල ඒ මාධ්‍ය සාකච්ඡාව මඟහැරී තිබුණි. ඒ ගැන වාර්තා කර තිබුණේ සන්ඬේ අයිලන්ඞ් පුවත්පත පමණි.
ලංකාවට පැමිණෙන සංචාරකයන් ප්‍රමාණය අඩුව ඇති බව ගුවන්තොටුපළේ ආගමන විගමන දෙපාර්තමේන්තුවේ ආරංචි මාර්ගවලින්ද පැවසෙයි. ඒවාද මාධ්‍යයට කතාකිරීම තහනම් වූ මාතෘකාවක් විය. සංචාරක කර්මාන්තයේ කඩාවැටීම පිළිබඳව ඉංග්‍රීසි පුවත්පත් කිහිපයක් හැර, බොහෝ මාධ්‍ය කතාකිරීම මඟහැර තිබුණේ ලංකාවට විශාල ආර්ථික පාඩුවක් සිදුකරන ඒ අර්බුදය ගැන තොරතුරු දැනගැනීමේ අයිතිය සීමා කරමින්ය.

හෝටල් කර්මාන්තය
කෙසේ වෙතත් ඔක්තෝබර් 26 වැනිදා නීතිවිරෝධී ආණ්ඩුවක් පත්කිරීමෙන් පසුව ජාත්‍යන්තර සමාජය විසින් ලංකාවේ අර්බුදයක් ඇතැයි හඳුනාගැනීමත්, ඒ තත්වය පිළිබඳව ජාත්‍යන්තර මාධ්‍ය හරහා ප්‍රචාරය වීමත් නිසා සංචාරකයන් ප්‍රමාණය පහළ බැස ඇති බව ශ්‍රී ලංකා හෝටල් සංගමය හා ශ්‍රී ලංකා සංචාරක මෙහෙයුම්කරුවන්ගේ සංගමය පෙන්වාදෙයි. මෙය බරපතළ තත්ත්වයකි.

ජෙට්වින්ග් හෝටල් සහ ජෙට්වින්ග් ට්‍රැවල්ස්හි සභාපතිනි ශිරෝමාල් කුරේ මහත්මිය හෝටල්කරුවන් නියෝජනය කරමින් නොවැම්බර් 18 වැනිදා පැවති මාධ්‍ය සාකච්ඡාවේදී පෙන්වාදී ඇත්තේ දේශපාලන අර්බුදයත් සමග ජෙට්වින්ග් හෝටල් සමූහයේ සංචාරක වෙන්කිරීම් සීයයට 20ක අඩු වීමක් පසුගිය කාලය තුළ ඇති වී තිබෙන බවය.
ශ්‍රී ලංකා හෝටල් සංගමයේ සභාපති සනත් උක්වත්ත සහ ශ්‍රී ලංකා සංචාරක මෙහෙයුම්කරුවන්ගේ සංගමයේ උපසභාපති නලින් ජයසුන්දර එහිදී පෙන්වාදී ඇත්තේ සංචාරක කර්මාන්තයේ මේ උද්ගතවී ඇති අර්බුදය හරහා කොතරම් පාඩුවක් සිදු වී දැයි තවමත් ගණන් බලා නොමැති බවත් එය විශාල පාඩුවක් ලෙස අනුමාන කළ හැකි බවත්‍ ය.
කෙසේ වෙතත් ඔවුන් පෙන්වාදී තිබෙන්නේ 2017 දෙසැම්බර් මාසයේ පමණක් මෙරටට විදේශිකයන් 244,000 ක් පමණ පැමිණි බවයි. 2017 දෙසැම්බර් සිට 2018 වර්ෂයේ මාර්තු මාසය දක්වා කාලසීමාව තුළ ශ්‍රී ලංකාවට සංචාරකයන් 230,000 කට ආසන්න පිරිසක් පැමිණි බව ඔහු පෙන්වාදෙයි.

සමස්තයක් ලෙස ගතහොත් පසුගිය මාස 10 තුළ පමණක් ශ්‍රී ලංකාවට පැමිණි සංචාරකයන් සංඛ්‍යාව මිලියන 1.88 ක් බවත් එය පසුගිය වසරවලට සාපේක්ෂව සියයට 10.6 ක ඉහළ යෑමක් බවත් සනත් උක්වත්ත මහතා පෙන්වාදී තිබේ. ඒ අනුව ශ්‍රී ලංකාව ක්‍රමයෙන් සංචාරක කර්මාන්තයේ දියුණුවක් ලබමින් සිට ඇත. යුද්ධයත්, මර්දනකාරි පාලනයත් ඉවත් වෙද්දී ශ්‍රී ලංකාව සංචාරයට සුදුසු සාමකාමී රටක් ලෙස ලෝකයේ ගෞරවය ක්‍රමයෙන් ලබමින් සිටියේය. 2018 වසර අවසානයේදී මිලියන 3 ක සංචාරකයන් සංඛ්‍යාවක් මෙරටට පැමිණෙනු ඇතැයි බලාපොරොත්තුවෙන් සිටි බව හෝටල්කරුවන්ගේ සංගමය කියයි. ඔවුන් පෙන්වාදෙන්නේ ශ්‍රී ලංකා මහබැංකුවේ දත්ත අනුව 2018 වසරේ මුල් මාස 08 තුළදී සංචාරක කර්මාන්තයෙන් ශ්‍රී ලංකාව උපයා ගත් මුදල ඇමරිකානු ඩොලර් බිලියන 2.93 ක් බවයි.

ලෝන්ලි ප්ලැනට්
‘ද ලෝන්ලි ප්ලැනට්’ සඟරාව විසින් ශ්‍රී ලංකාව සංචාරය කිරීම සඳහා සුදුසුම රටක් ලෙස වාර්තාවක් පළ කිරීමත් සමගම පසුගිය ඔක්තෝබර් මාසය මුලදී මෙරටට සංචාරකයන්ගේ පැමිණීම අනෙක් මාසවලට සාපේක්ෂව සීයයට 0.5කින් ඉහළ ගිය බව සංචාරක මෙහෙයුම්කරුවන්ගේ සංගමය පවසයි. පසුගිය ඔක්තෝබර් මාසයේදී ලන්ඩනයේදී ‘සෝ ශ්‍රී ලංකා’ නමින් සංචාරක වෙළෙඳ නාමයක් ප්‍රචාරණය කිරීමේ ව්‍යාපෘතියක් ශ්‍රී ලංකා රජය විසින් ආරම්භ කර ඇති බවද සංචාර මෙහෙයුම්කරුවන්ගේ සංගමය පෙන්වාදෙයි. එම ප්‍රචාරණ ව්‍යාපෘතියද මේ වන විට කිසිදු ප්‍රයෝජනයක් නොමැති තත්ත්වයට පත්ව ඇතැයි ඔවුහු පෙන්වති. එම ව්‍යාපෘතිය වෙනුවෙන් ශ්‍රී ලංකා රජය විශාල මුදලක් වෙන් කර ඇත.
ලෝන්ලි ප්ලැනට් සඟරාවේ දැන්වීම් ප්‍රචාරය කිරීම් ආදි කටයුතු සඳහා ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන දෙපාර්තමේන්තුව විසින් ඇමරිකානු ඩොලර් තුන්ලක්ෂ පනස් දාහක පමණ මුදලක් වැය කර ඇතැයි ඔවුහු පෙන්වාදෙති. මෙම දේශපාලන අර්බුදය නිසා ලෝන්ලි ප්ලැනට් සඟරාවේ සියලු‍ ප්‍රචාරණ කටයුතු අපතේ යන බව ඔවුන්ගේ ගණන් බැලීමය.
ශ්‍රී ලංකා සංචාරක මෙහෙයුම්කරුවන්ගේ සංගමය පෙන්වාදෙන ආකාරයට ඔවුන් ශ්‍රී ලංකාවේ සංචාරක ප්‍රවර්ධන කටයුතු සඳහා විශාල ඉදිරි සැලසුම් රැසක් තිබී ඇත. රජය සමඟද, ජාත්‍යන්තර ආයතන සමගද සාකච්ඡා පවත්වා ඇත. සාකච්ඡා කිරීමට සැලසුම් කර ඇත. සංචාරක කර්මාන්තය වේගයෙන් ඉදිරියට යමින් තිබී ඇත. එහෙත් ඔවුන් පෙන්වාදෙන ආකාරයට මේ දේශපාලන අර්බුදය එම දියුණුවට බරපතළ ප්‍රහාරයකි.

ඕස්ට්‍රේලියාව
‘ඉන්ඩිපෙන්ඩන්ට්’ වෙබ් අඩවිය පෙන්වාදෙන ආකාරයට ශ්‍රී ලංකාවට පැමිණෙන සංචාරකයන්ගෙන් 4.5%ක් ඕස්ටේ්‍රලියානු ජාතිකයන්ය. ශ්‍රී ලංකාවට පැමිණෙන ඕස්ට්‍රේලියානු සංචාරකයන්ගේ ප්‍රමාණය වේගයෙන් වර්ධනය වෙමින් තිබී ඇත. 2018 වර්ෂයේ මුල් කාලසීමාව තුළ පෙර වර්ෂවලට වඩා ඕස්ට්‍රේලියානු සංචාරකයන් ප්‍රමාණය 45%කින් වර්ධනය වී තිබේ. ඒ නිසාම ශ්‍රී ලංකන් ගුවන් සමාගම ඕස්ට්‍රේලියාව සමඟ ඍජු ගුවන් සේවයක් ආරම්භ කර තිබුණු බවත්, මේ වෙද්දී ඒ හරහා පැමිණෙන්නට තිබුණු ගුවන් ගමන් අතරින් බොහොමයක් අවලංගු වෙමින් පවතින බවත් ඉන්ඩිපෙන්ඩන්ට් වාර්තා කරයි. 2018 වසරේ මුල් මාස 09 තුළ මෙරටට පැමිණි 78,756 කට ආසන්න ප්‍රමාණයක් පැමිණ ඇත.

දකුණු ඉන්දියානුවෝ
දකුණු ඉන්දියානුවන් සංචාරයට තෝරාගන්නා රටවල් අතරින් ශ්‍රී ලංකාව ඉදිරියෙන්ම සිටියි. පවුල් සහ කණ්ඩායම් වශයෙන් ලංකාවට පැමිණෙති. බොහෝවිට මුහුදු තීරයන්හි මෙවැනි සංචාරකයෝ සංචාරය කරති. ඉන්දියාවේ ‘ද හින්දු’ පුවත්පතේ පළ වී තිබෙන වාර්තාවක සඳහන් කර ඇත්තේ ඉන්දියාවෙන් ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතව තිබු සංචාරකයන් 2000ත් 6000ත් අතර පිරිසක් මේ වනවිට තම සංචාරක වෙන්කිරීම් අවලංගු කර ඇතැයි තමිල්නාඩු සංචාරක හා සුව සේවා සංගමය ප්‍රකාශ කළ බවයි. තමිල්නාඩු සංචාරක හා සුව සේවා සංගමය පවසන්නේ මේ වන විට ශ්‍රී ලංකාවට පැමිණීමට බලාපොරොත්තු වු ඉන්දීය සංචාරකයන් ශ්‍රී ලංකාව වෙනුවට සංචාරය කළ හැකි විකල්ප රටවල්වලට තම සංචාර සැලසුම් කරන බවය.

තමන්ගේ නිවාඩු කාලය ගතකිරීම සඳහා විදේශ සංචාරයක නිරත වෙන කිසිවෙකු අවදානම් සහගත ලෙස සංචාරය කිරීමට බලාපොරොත්තු වෙන්නේ නැත. ශ්‍රී ලංකාව සාමකාමී රටක් වන තරමට සංචාරකයෝ ශ්‍රී ලංකාවට පැමිණීමට පෙළඹෙන්නෝය. මේ වෙද්දී ව්‍යවස්ථා විරෝධී කුමන්ත්‍රණයකින් ශ්‍රී ලංකාව අහිමි කරගත් බොහෝ දේ අතර ඩොලර් බිලියන ගණනක් ආදායම් ලබන කර්මාන්තයක් අහිමිව ඇත්තේ කනගාටුදායක ලෙසය.■