ෂාහ් පුදුමයක්: පුදුම හිතෙන සැපක්: නොහිතපු සනීපයක්. දෙවියන් වහන්සේ මෙදාපාර නං ඩෙංගු මදුරුවාගෙත් මූණ බලලා. පළවෙනි පාරට උන්වහන්සේටත්, උන්ගේ ප‍්‍රශ්න පෙනිලා. ඔන්න ඉතිං දැං මේ උදාවෙලා තියෙන්නේ ඩෙංගු මදුරුවාගේ වසන්තෙ: සැණකෙළි කාලෙ.

       කවුද හිතුවෙ, කාට ද හිතුණේ ඩෙංගු මදුරුවටත් මේවගේ කාලයක් උදාවේවි කියල? අපි කවම කවදාවත් බලාපොරොත්තු වුණ නිදහසක් ද මේ? මොන විදිහේ ඝාතන රැල්ලක් ද නගරයෙන්-නගරයට, ගමින්-ගමට ගලාගෙන ගියේ? මදුරු සනුහරේම වඳකරන්න නේ පිඹුරුපත් හද-හදා උන්නෙ? හොඳ වෙලාවට, නොහිතපු වෙලාවක ඒ ඔක්කොම කම්මුතු වුණා. ඇනහිටියා.

       මේක නං දෙයියන් වහන්සේගේම නියමයක්. ඉතිං ඩෙංගු මදුරුවගේ ආරක්ෂාව තහවුරු කරන්න මොනව ද උන්වහන්සේ කළේ? මොකක් ද පොළොවට එවුව මිසයිලේ? ඒකට තමයි කොවිඞ් 19 කියන්නේ.

        දැං ඉතිං කොරෝනා, කොරෝනා, කොරෝනාම තමයි. වෙන මුකුත්ම නෑ. පුදුමම තත්ත්වයක්. පුදුමම වසංගතයක්. කොරෝනාව ඇරුණම වෙන මොනම වෛරසයක් වත්, ලෙඩ රෝගයක් වත් නැතුව ගිහිං. නැතුව ගිහිං නෙවෙයි. ඒ ඔක්කොම අමතක වෙලා. මොක ද ඒ? කොරෝනාව ආපු සැණින් හැම කාලෙකම තිබුණු අට අනූවක් රෝග, නව අනූවක් ව්‍යාධි දුරිභූත වුණා ද? නෑ. නැතිභංගස්ථාන වුණේ ඒ රෝග නෙවෙයි. රෝගවලට තිබුණු බය. දැං හැමෝටම, හැම බලවතෙකුටම, හැම ලෝක නායකයෙකුටම තියෙන්නේ කොරෝනා බිය විතරයි. එච්චරමයි. ඉස්පිරිතාල, වෛද්‍ය විශේෂඥයො, රෝහල් සේවකයෝ වගේම සමහර වෙලාවට පවුලේ සාමාජිකයොම වුණත් වෙන වෙන ලෙඩ රෝග ගණං ගන්නේ නෑ. කොරෝනාව කොරෝනාවම තමයි ඉතිං. ඩෙංගු උණට විතරක් නෙවෙයි පිළිකාවට, හෘදයරෝගවලට, දියවැඩියාවට, පාචනේට වගේම එච්අයිවී ආසාදනේටත් නිවාඩු දීලා. දෙවියන් වහන්සේ නැත්තං යක්ෂයා මේ දවස්වල කාටහරි අඬගහලා තෝරාගැනීමක් කරන්න ඉඩ දුන්නොත්, ඒ කියන්නේ තෝරාගන්න කැමති ඩෙංගු උණ ද පිළිකාව ද කොරෝනාව ද කියල ඇහුවොත්  ඕනම කෙනෙක් ඉල්ලගන්නේ පිළිකාව. එහෙම නැත්තං ඩෙංගු උණ.

         කොහොම වුණත් කොරෝනාව මිනිහගේ වෙන වෙන රෝග අවම කරන්න මොකක්දෝ් බලපෑමක් කළැයි කියන එකත් බොරුවක් නෙවෙයි. හරි විදිහේ් සමීක්ෂණයක් කළොත් තමයි ඒක හරියටම තේරුම් යන්නෙ. අද වෙනකොට පුද්ගලික ඉස්පිරිතාලවල චැනලිං නැවතිලා. ලොබිවල පුටු හිස්. ඉස්පිරිතාල වුණත් මිනිිස්සුන්ව ඇතුළට වද්ද ගන්නේ උණ බලලා, උණ නැත්තං විතරයි. හතර හිනා… ඉස්සර නං ඉස්පිරිතාලවලට ඇතුළු කළේම උණ රෝගියො.

         කොහොම වුණත් මෙච්චර කල් මිනිස්සුන්ට වැඩිපුරම තිබිල තියෙන්නේ මානසික රෝග කියන එකත් ඔප්පු කළේ කොරෝනාවම තමයි. මිනිහාගේ ඒ මානසික රෝග වර්ධනය කළේ රටේම තියන රූපවාහිනිී නාලිකා. ඒවායේ කරපු වෛද්‍ය සාකච්ඡුා. ලෙඩරෝගවල පූර්ව ලක්ෂණ ගැන වෛද්‍යවරු පුන-පුනා කිව්ව සමහර කතා අහපු පේ‍්‍රක්ෂකයන්ට පුංචි කැස්සක් ආවත් හිතුණෙ ඒක පිළිකාවක පෙරමග ලකුණක් කියලයි. කොහොමටත් ඉතින් ‘මිනිහාය’ කියන්නෙම මානසික රෝගියෙකුට නේ? ජීවි විශේෂ අතරින් මානසික රෝගවලට නම් දරාපු එකම සතා තමයි මිනිහා.

       හැමදේම එකපාරටම අනිත් පැත්තට කැරකෙන්න අරං. ඔක්කොම උඩුයටිකුරුවෙලා. ‘ස්කෝර් එක කීය ද’ කිය-කියා අහ-අහා උන්න කටවල්වලින් දැං ඇහෙන්නේ ‘කී දෙනෙක් මැරිල ද?’, ‘කී දෙනෙකුට ආසාදනේ වුණා ද?’ කියන ප‍්‍රශ්න.

       ඉතිං ඔය විදිහට කොරෝනාවෙන් කොරවෙලා ඉන්න හැම කෙනෙකුටම දැං කොහොම ද ඩෙංගු මදුරුවා හතුරෙක් විදිහට පේන්නේ? කාටවත් දැං අතීත කතා මතක නෑ. ඒකම තමයි ඉතිං දෙපාසතාගේ උත්පත්ති ස්වභාවෙත්. දේවල් අමතක වෙන්නෙ හරි ඉක්මනට. ඇහිපිල්ලම් ගහන ඉක්මනින් නිර්වින්දනය වෙනවා. ඒ කාලේ නං මේගොල්ල කොහොම ද ඩෙංගු මදුරුවන්ට එරෙහිව සටන් කළේ? මතකනේ ඒ අඬහැරේ? ඉතිං මහකාලයක් ගතවුණැයි? මාස දෙක තුනකට ඉස්සර නේ? දැං කෝ ඒ බැනර්? කෝ ඒ පෝස්ටර්? කෝ ඒ වැටලීම්? ‘ඩෙංගු මාරයගෙන් බේරෙන්න’ කියල නේ පාරක්-පාරක් ගානේ, හන්දියක්-හන්දියක් ගානේ ලියල, ඇඳල, ගහල තිබුණෙ? ඒවා කියවපු මිනිස්සු වුණත් ඒ ඇසිල්ලෙම තමයි ඒව අමතක කළෙත්. ‘අරක්කු බිව්වම ගඳයි’, මත්පැන් පුරුෂ ශක්තිය හීන කරයි’ වගේ ඔල්මොරොන්දම් කතා ලියවිලා තිබුණ පෝස්ටර්වලට පස්ස හරවං ගිය බේබද්දො වගේම තමයි ඒ හැම මිනිහෙක්ම. අපරාදේ ඒවට වියදම් කරපු සල්ලි කන්දරාව.

        දැන් මේ දවස්වල ලෝක නායකයෝ, පාලකයෝ, වෛද්‍ය විශේෂඥයෝ මුඛවාඩම් බැඳගෙන ඉන්න අජූව දැක්කම මදුරුවකුට වුණත් ඇතිවෙන්නේ දුකක්. ඉස්සර නං ඉතිං මුඛවාඩම් එක්ක පාරෙ ඇවිදගෙන ගියේ සුනඛයෝ විතරම නේ?

        හැබැයි ඉතිං කොවිඞ් 19 මේ අහඹු වාසනාව උදාකරල දීල තියෙන්නේ මදුරුවන්ට විතරක්මත් නෙවෙයි. අනික් හැම රෝගකාරකයක්ම, හැම විෂබීජයක්ම, හැම වෛරසයක්ම මිනිහාට අමතක කෙරෙව්වේ කොරෝනාවම තමයි. අහිවාතක රෝගෙ ඉඳං සැරින් සැරේට ලෝකෙ ඇතිවෙලා නැතිවෙලා ගිය ඓතිහාසික වසංගත රෝග අතරින් කප් එක ගහල ඉන්නෙත්  ක‍්‍රවුන් එක පළඳින්නේත් කොරෝනාව.

        මදුරුවා කියන්නේ නං ඉතිං හැමදාමත් ගී ගය-ගයා, ලේ උරා බීවුව සතෙකුට තමයි. (ඒත් ඉතිං එළිපහළියෙ නොකළට දෙපා සතා කළෙත් ඒකම නේ?)

       වෙන මොන  රෝගාබාධයක් වුණත් තමුන්ගේ කෙනෙකුට වැළඳුණාම ඉස්සර මිනිස්සු කළේ එකට එක්කාසු වෙන එක. අත, පය, හිස පිරිමදින එක. සම්බාහනය. ‘ලෙඩා ගොඩ ගියේ වෙදකමින් නෙවෙයි හෙදකමින්…’ වගේ පිරුළු සමාජගත වුණෙත්, ව්‍යවහාරෙට ආවෙත් ඒ නිසා. ඒත් දැං? ලෙඩා තනිවෙලා. තනිකරලා. ඒ සන්තෑසියම තමයි මළ මිනිස්සුන්ටත් බලපාන්නේ. කොරෝනාව ලෝකෙට දුන්න නූතනම නූතන ආදර්ශපාඨෙ තමයි ‘දුරස් වෙයල්ලා’ කියන එක. සමාජ දුරස්ථභාවෙ. පෙම්වතුන්ට වුණත් දැං සිපවැළඳගැනීම් තහනම්. පෙම් කරන්න වෙන්නේ මීටරයක් දුරින් ඉඳං.

      ඉතින් මේ හැමදේම මොන විදිහට ද ඩෙංගු මදුරුවට බලපෑම් කළේ? ‘වල්ඌරන් කැකුණ තලන කොට හබන් කුකුළන්ට මඟුල්’ කිව්වලූ. අපි තමයි දැං ඒ හබන් කුකුළෝ. දැන් අපි කිසි බයක් සැකක් නැතුවම පියාඹගෙන ගිහින් වහන්නේ කාගේ හරි මූණටමයි. කොච්චර කසන්න ගත්තත් දැං කිසි කෙනෙකුට බෑ මූණට අත තියන්න. ඉතිං ඊළඟ පුදුමෙ තමයි මේ දවස්වල අපි ඒ විදිහට ලේ උරා බොන මිනිස්සුන්ට වත් ඩෙංගු උණ නොහැදෙන එක. හිතල බලමුකෝ ඉතිං? කොයි විදිහේ මනෝපාල කෙනෙකුට ද මේ මිනිහයි කියල කියන්නේ?

     කොහොම වුණත් දැං අපි මේ ගායනා කරන්නේ ඉස්සර ගායනා කරපු බයිලාවට වඩා වෙනස් එකක්. ඉතිං ඇයි අපි ඒ විදිහට සින්දුව අලූත් කළේ? හරියටම කියනව නං මේක කොරෝනාව වෙනුවෙන් ගැයෙන ප‍්‍රශස්තියක්. උපහාර ගීතයක්. උදානයක්.

       දැන් නං අපට තියන එකම එක බය කොරෝනාවට එන්නතක්, බේතක් හොයාගනීවි ද කියන එක. ඒත් හෙම්බිරිස්සාවෙම එක්තරා ප‍්‍රභේදයක්, දිගුවක් වුණ කොරෝනාව සහමුලින්ම අකාමකා දමන්න නං ලේසි වෙන එකක් නෑ. කොයි පර්යේෂකයට ද, කොයි විශේෂඥයාට ද ලෝකෙන් හෙම්බිරිස්සාව තුරන් කරන්න පුΩළුවං වුණෙ?. කාරි නෑ. ඔහොම යමුකෝ ඉතිං.

-කැත්ලීන් ජයවර්ධන