ස්පයිඩර්මෑන් චරිතය මෙන්ම මේ වෙද්දී ස්පයිඩර්මෑන් චරිතය රඟපාන ටොම් හෝලන්ඞ් ගැනත් කල්පනා කිරීම සහ ඒ ගැන කතාකිරීම ඉතාමත් රසවත් කාරණයක් බව කිව යුතුයි. ඔහු ඉතාම ආකර්ෂණීය පුද්ගලයෙක්. ස්පයිඩර්මෑන් චරිතයත් ඉතාම ආකර්ෂණීය චරිතයක්. මඳක් විවාදාත්මක වුණත්, පැරණි කොමික් ලෝකයට අනුව ලොව ජනප්‍රියම සුපිරි වීර චරිත දෙක ලෙස සැලකිය හැක්කේ බැට්මෑන් හා ස්පයිඩර්මෑන් චරිත දෙක. බැට්මෑන් චරිතය අයිති වන්නේ ඩී.සී. කොමික් ආයතනයට. මාවල් කොමික් ආයතනය සතු ජනප්‍රියම සුපිරි වීර චරිතය වුණේ ස්පයිඩර්මෑන්.
එහෙත් මාවල් ආයතනය කඩාවැටීම නිසා මාවල් ආයතනය සතු සුපිරිවීරයන් බොහෝ දෙනෙකු අලෙවි කරන්නට සිදුවී තිබුණා. එහෙත් අසූගණන්වල සිටම ඩී.සී. ආයතනය අතිශය ජනප්‍රිය සුපර්මෑන් හා බැට්මෑන් චිත්‍රපටි නිර්මාණය කර තිබුණා. සිනමා ලොවෙහි තම වීරයන් ප්‍රතිනිර්මාණය කිරීම මාවල් ආයතනයට එකල අභියෝගයක් වුණා. ඉතින්, ස්පයිඩර්මෑන් චරිතය හා ස්පයිඩර්මෑන්ට සම්බන්ධ සියලු චරිතවල සිනමා අයිතිය සෝනි ආයතනයටත් එක්ස්-මෙන් වීරයන්ගේ චරිත සියල්ල ෆොක්ස් ආයතනයටත් මාවල් ආයතනය අලෙවි කර තිබුණා. ඒ අතින් මාවල් ආයතනය බංකොලොත් වෙන්නට ඉඩ නොදී බේරාගත් අය අතර ස්පයිඩර්මැන් චරිතය ඉන්නවා. දෙවැනි සහස්‍රය මුල සිනමාවට නැඟු‍ණු ස්පයිඩර්මෑන් චිත්‍රපටි ත්‍රිත්වය අතිශයින්ම සාර්ථක වුණා. සුපිරි වීරයන්ගේ කතා රැගත් චිත්‍රපටිවලට ඉහළ ඉල්ලු‍මක් නිර්මාණය වුණා.
එවැනි පසුබිමක 2008 දී මාවල් සමාගම විසින් මාවල් සිනමා විශ්වය නිර්මාණය කළා. එය මීට පෙර තිබුණු සුපිරි වීර චිත්‍රපටිවලට වඩා වෙනස්. මාවල් ආයතනය සතුව ඒ වෙද්දීත් තිබුණු සුපිරි වීර චරිත සියල්ලම පාහේ සමාන්තර විශ්වයක ප්‍රතිනිර්මාණය කළා. ඒ සංකල්පය අතිසාර්ථක වුණා. 2012දී ‘ඇවෙන්ජර්ස්’ චිත්‍රපටිය තිරගත වුණා. මේ වෙද්දී මාවල් සිනමා විශ්වය කියන්නේ ඩොලර් ත්‍රිලියන ගණන් වටිනා කර්මාන්තයක්. එහෙත් මාවල් සිනමා විශ්වයට තමන්ගේ වටිනාම චරිතයක් වූ ස්පයිඩර්මෑන් චරිතය අයිති වුණේ නැහැ. මාවල් සිනමා විශ්වය භාරව සිටින කෙවින් ෆයිගි විසින් දීර්ඝ සාකච්ඡා මාලාවකට සහභාගි වීමෙන් පසුව ස්පයිඩර්මෑන් චරිතය මාවල් සිනමා විශ්වයට ඇතුළු කරගන්නට 2015 දී අවස්ථාව ලැබුණා. ටොම් හෝලන්ඞ් ස්පයිඩර්මෑන් චරිතය රඟපාන බව නිවේදනය කරනු ලැබුවා.
මේ වෙද්දී මාවල් වීරයෙකුගේ චරිතයක් සිනමාවේ රඟපෑ ළාබාලම රංගන ශිල්පියා ලෙස ගිනස් ලෝක වාර්තාවට හිමිකම් කියන්නේ ටොම් හෝලන්ඞ්. ඔහුගේ රඟපෑම නිකන්ම ජනප්‍රිය සිනමාවේ කොටසක් ලෙස සැලකීමට වඩා, ඒ සියල්ල පසුපස ඇති රසවත් සුන්දර කතාව පිළිබඳව සොයා බැලීම අපූරුයි.
මෑත කාලයේ සුපර්හීරෝ චිත්‍රපටිවල දකින්නට තිබෙන විශේෂම ලක්ෂණයක් වන්නේ, එම චරිතවලට තෝරාගන්නා රංගන ශිල්පීන් සැබෑ ජීවිතයේදීද එම චරිතවල ලක්ෂණවලට ගැළපෙන පුද්ගලයන් වීම. එසේ කිරීම නිසා ප්‍රසිද්ධ සම්මාන උළෙලකට සහභාගි වුණත්, සම්මුඛ සාකච්ඡාවකට සහභාගි වුණත් සැබෑ රංගන ශිල්පියා හා සුපර්හීරෝ අතර සමානකම් පෙනෙනවා.
මේ සංකල්පයට ගැළපෙන හොඳම උදාහරණ දෙක තමයි රොබට් ඩවුනි ජූනියර් හා රයන් රෙනෝල්ඞ්ස් දෙපළ. රොබට් ඩවුනි ජූනියර් අයන්මෑන් චරිතය රඟපෑවා. රයන් රෙනෝඞ්ල්ස් ඩෙඞ්පූල් චරිතය රඟපානවා. අයන්මෑන් හෙවත් ටෝනි ස්ටාර්ක් කියන්නේ හිස උදුම්මාගත්, සෙල්ලක්කාර, ජනප්‍රිය ධනවතෙක්. ඔහු විහිළුවක් කළත්, එය කරන්නේ තමන්ව වීරත්වයට නංවමින්. ඔහු අනුන්ගේ විහිළුවලට හිනාවෙන්නේ අඩුවෙන්. ඔහු ආඩම්බරයි. තමා ගැන අධිතක්සේරු කරනවා. සාමාන්‍යයෙන් වීරයන් ළඟ තිබෙන නිහතමානී බව, නිහඬ බව, පිරුණු බව ටෝනි ස්ටාර්ක්ට නැහැ. ඒ ලක්ෂණ බොහෝ දුරට ටෝනි ස්ටාක් චරිතයට පණ පොවන රොබට් ඩවුනි ජූනියර්ට තියෙනවා.
අනෙක් පැත්තෙන් රයන් රෙනෝල්ඞ්ස් විසින් ඩෙඞ්පූල් චරිතය රඟපානවා. ඩෙඞ්පූල් කොහෙත්ම වීරයෙක් නෙවෙයි. වීරයෙක් වෙන්න ඩෙඞ්පූල්ට ඕනෑ නැහැ. ඔහු කයිවාරුකාරයෙක්. නිතරම ඔහු නපුරු විහිළු කරනවා. මේ ලක්ෂණ බොහොමයක් රයන් රෙනෝල්ඞ්ස්ට තියෙනවා. ක්‍රිස් හෙම්ස්වර්ත් විසින් රඟපාන තෝර් චරිතයත්, ක්‍රිස් එවන්ස් හා කැප්ටන් ඇමෙරිකා චරිතයත් මේ ලක්ෂණයට තවත් උදාහරණ දෙකක්. මෙය සිනමා රසිකයන්ට අපූරු අත්දැකීමක්. චිත්‍රපටියෙන් එහා ගොස්, සුපිරි වීරයන් සැබෑ ලෝකයේදීත් රසවිඳින්නට රසිකයන්ට මේ නිසා අවස්ථාව ලැබී තිබුණා.
ස්පයිඩර්මෑන් චරිතය රඟපාන තමන්ගේ චරිතය දරාගෙන රසික ලෝකය ඉදිරියට යෑමට අවැසි වන අසීමිත හැකියාවෙන් යුතු රංගන ශිල්පියෙක් ලෙස සැලකිය හැකියි. ඒ නිසා ඔහු නිකන්ම තරුණ රංගන ශිල්පියෙක් වෙන්නේ නැහැ. පළමු වතාවට ජිමී කිමෙල් ලයිව් නම් ඇමෙරිකාවේ ජනප්‍රිය සජීවී සංවාද වැඩසටහනට පැමිණෙන හෝලන්ඞ් ස්පයිඩර්මෑන් ඇඳුම හැඳ කරණම් කිහිපයක් ගසන්නේ, මේ කියන රසය ප්‍රේක්ෂකයන්ට එකතු කරමින්.
පෙර කී ලෙස ටොම් හෝලන්ඞ්ට ස්පයිඩර්මෑන් වීමේ හැකියාව අහම්බයෙන් හිමිවුණේ නැහැ. 200ක් පමණ ස්පයිඩර්මෑන් චරිතය වෙනුවෙන් තිර පරීක්ෂණයට ඉදිරිපත් වී තිබුණා. ඔවුන්ගේ රූප දර්ශන 7000ක් විතර ගෙන තිබුණා. ස්පයිඩර්මෑන්ව තේරීමේ කටයුතුවලට එක්වූ අය පසුව කියා තිබුණේ මේ 200 අතරින් ටොම් හෝලන්ඞ් පැහැදිලිවම කැපී පෙනුණු බව. එය පුදුමයක් නොවෙයි, ටොම් හෝලන්ඞ් උපතින්ම මේ විශිෂ්ටත්වයට උරුමය ලබා තිබුණා.
ලන්ඩන්හි තේම්ස්වල උපත ලද ටොම් හෝලන්ඞ්ගේ මව ඡායාරූප ශිල්පිනියක්. පියා බි්‍රතාන්‍යයේ ජනප්‍රිය හාස්‍යමය ශිල්පියෙක් හා හාස්‍ය ලේඛකයෙක් වන ඩොමිනික් හෝලන්ඞ්. ඇමෙරිකාවේ නිව්යෝර්ක්හි ජනප්‍රිය සුපිරි වීරයා බවට පත්වෙන්නට ටොම් හෝලන්ඞ්ගේ පියා සහ මව විසින් ලබාදුන් නිදහස විශාල වශයෙන් හේතු වූ බව කියනවා.
පාසල් කාලයේදී හෝලන්ඞ් නර්තනය ඉගෙනගන්නට පටන්ගෙන තිබෙනවා. නැටුම් ඉගෙනගැනීම නිසා ඒ කාලයේදී හෝලන්ඞ්ගේ පන්තියේ මිතුරන් අතර විහිළුවටද ලක්ව තිබෙනවා. කෙසේ වුණත් ඔහුගේ නර්තන හැකියාව විසින් ඔහුගේ අනාගතය නිර්මාණය කළා. ඔහුගේ නර්තනයන් දුටු බිලී එලියට් ප්‍රසංගයේ කැමරා අධ්‍යක්ෂවරයා වන පීටර් ඩාලිං විසින් ටොම් හෝලන්ඞ්ට අතිශය ජනප්‍රිය ‘බිලී එලියට්’ සජීවී ප්‍රසංගයේ රඟපෑමට ආරාධනා කරනවා. බිලී එලියට් ප්‍රසංගය වෙනුවෙන් අට වතාවක් තිර පරීක්ෂණවලට සහභාගි වීමටත්, වසර දෙකක පුහුණුවක් ලබාගැනීමටත් ටොම් හෝලන්ඞ්ට සිදුවෙනවා. අවසානයේ මෙම ප්‍රසංගයේදී බිලී එලියට් චරිතය රඟපෑමටද ටොම් හෝලන්ඞ්ට අවස්ථාව හිමිවෙනවා. බිලී එලියට් වෙනුවෙන් වේදිකාවේ ඔහු ලද පුහුණුව ඔහුගේ අනාගත කලා ජීවිතය හැඩගස්වන්නට ඉහළින්ම හේතු වූ බව හෝලන්ඞ් කියනවා. ‘මගේ නැටුම් අධ්‍යාපනය මම කලා ජීවිතයේ කරපු හැමදේකටම උදව් වුණා.’
ටොම් හෝලන්ඞ්ගේ පළමු සිනමා රංගනය වුණේ 2012 තිරගත වූ ‘ද ඉම්පොසිබල්’ චිත්‍රපටිය. චිත්‍රපටියේ රඟපාද්දී හෝලන්ඞ්ගේ වයස අවුරුදු 15ක් පමණ වුණා. චිත්‍රපටියේ ප්‍රධාන චරිත නයෝමි වොට්ස් හා එවන් මැක්ග්‍රෙගර් රඟපා තිබුණා. ටොම් හෝලන්ඞ්ගේ රංගනය විශේෂ ඇගයීමකට ලක්වී තිබුණා. හෝලන්ඞ්ව ඇකඩමි සම්මානයකට නිර්දේශ වීමේ ඉඩකඩක් ගැන කතාබහක්ද තිබුණා.
ඒ සියල්ලෙන් පසුවයි ඔහුට ස්පයිඩර්මැන් වීමේ අවස්ථාව හිමිවුණේ. එතැනින් එහාට ඔහුගේ මුළු ජීවිතයම උඩුයටිකුරු වුණා. කැප්ටන් ඇමෙරිකා සිවිල් වෝ චිත්‍රපටියේදී ඉහළින්ම සංවාදයට ලක්වුණේ ඔහු ගැනයි. ඉන්පසුව ස්පයිඩර්මෑන් හෝම්කමින් චිත්‍රපටිය තිරගත වුණා. ඒ චිත්‍රපටියද ඉහළ ආදායම් වාර්තා ලැබුවා. ටොම් හෝලන්ඞ් ස්පයිඩර්මැන් චරිතය රඟපෑ හොඳම ශිල්පියා ලෙස ඇගයීමට ලක්වුණා.
අවුරුදු විස්සේදී ඔහුට ලැබුණු මේ සියලු ගෞරවයන් අහම්බයක් නොවෙයි. ඒ වෙනුවෙන් දැවැන්ත කැපකිරීම් කරන්නට ඔහුට සිදුවී තිබුණා. ජිම්නාස්ටික් පුහුණුව, ආත්මාරක්ෂක සටන් පුහුණුව හා නර්තන පුහුණුවෙහි දිගටම නිරත වීමට ඔහුට සිදුව තිබුණා. ජනප්‍රිය ලෝකයේ ජනප්‍රියත්වයට පත්වීම සෙල්ලමක් නොවෙයි. එය විශාල වෙහෙසක් දැරිය යුතු, විශේෂ හැකියාවක් අවශ්‍ය වෙන දෙයක්. බාල වැඩවලින් ජනප්‍රිය වෙන බොහෝදෙනෙක් අතර ස්පයිඩර්මෑන් කෙනෙක් හෝ ටොම් හෝලන්ඞ් කෙනෙක් වීම අසීරු වන්නේ ඒ නිසා.■