ජාතික රූපවාහිනියේ විකාශය වූ ‘මීමන්දාව’ වැඩසටහනේදී රත්න ශ්‍රී විජේසිංහ, මහින්ද ප්‍රසාද් මස්ඉඹුල සහ චූලානන්ද සමරනායක අතර වූ සංවාදයක සංක්ෂිප්ත සටහනකි මේ. මීමන්දාව අතුල පීරිස්ගේ අධ්‍යක්ෂණයකි.

■ පවිත්‍රා රූපසිංහ

1968 දී තිරගත වුණු ‘දහසක් සිතුවිලි’ චිත්‍රපටියේ ‘සතුට විලයි සැපත මලයි – නෙළුවොත් මල අතින් එකයි’ ගීයේ මුල් පිටපත ඇසෙයි. ගීතයෙන් ඉක්බිති රත්න ශ්‍රී හඬ අවදිකරයි.

‘මේ ගීය මා දකින්නේ, හුදෙක්ම සම්භාෂණයකදී ගායනය කරන සම්ප්‍රදායික ගීතයකටත් වඩා, යම් දාර්ශනික කල්පනාවක් මතුකරන ගීයක් ලෙසයි. ඕෂෝ කියනවා ‘ඔබ මලට ආදරෙයි නම්, මල නෙළා ගන්න එපා, ගහේම තියෙන්න අරින්න’ කියලා. බෞද්ධයන් අතරත් තියෙනවා, ගසේ තිබියදීම ඒ මල් පූජා කරන ගාථාවක්. මලක් නෙලාගත් පසුව සතුට ඉවරයි කියලා තමයි මෙහිදී අවධාරණය වෙන්නෙ.

නමුත් මේ ගීය යෝජනා කරන්නෙ මල නෙළාගන්න කියලායි. ‘සතුට විලයි’ සතුට නැමති විලේ පිපුණු පුෂ්පය. ‘සැපත මලයි’ කියනවා. මිනිස්සු සාමාන්‍යයෙන් ජීවිතේ සැපත හොයාගෙන යන ගමනකයි නිමග්නව සිටින්නෙ. ඉතින් ඒක ප්‍රමාද නොවී ලබාගන්න කියලා තමයි මේ ගීය යෝජනා කරන්නෙ. පසුව කියනවා ‘මළ ඊයෙට ඇයි අඬන්නේ – මොකට ද ඒ ගැන හිතන්නේ’ කියලා. අර ඛයියාම්වාදී දර්ශනයටත්, සුහී දර්ශනයටත් එය මුළුමනින්ම එකඟයි. එනම් මෙම මොහොත පමණක් පවතිනවාය කියන කාරණය. ඒක මාධ්‍යමික දර්ශනයේත්, ක්‍රිෂ්ණමූර්ති දර්ශනයේත් තියෙනවා. අතීතය, අනාගතය නොව, මේ මොහොත ගැන පමණක් ගැන සැලකිලිමත්ව ජීවිතය විඳින්න යෝජනා කරන ගීතයක් හැටියට තමයි මේ ගීය මා දකින්නෙ.’

චූලානන්ද: ‘අපට ජීවිතය ලැබුණේ අතහැර යන්න, තැවෙන්න, නැතිවෙච්ච දේවල් ගැන දුක් වෙන්න නෙමෙයි, ජීවිතය කියලා කියන්නෙ බදා වැළඳගන්න විඳින්න තියෙන දෙයක් කියන හැඟීම තමයි මට මේ ගීයෙන් දැනුණේ.’

රත්න ශ්‍රී, චූලානන්ද දෙස බලා සිනා මුවින් කතාකරයි.

‘අසූව දශකයේ මුල භාගයේ සිට මා පත්තරවල කවි පිටු සංස්කරණය කළා. ‘නුවන් උදය වික්‍රමසිංහ’ කියලා කෙනෙක් නොකඩවා කවි එව්වා. පෞද්ගලිකව ඒ කවුද කියල මං දැනසිටියේ නැහැ. මට තේරුණා මේ කවියා, කවි අභ්‍යාස කරන බවක්. කාලෙකට පස්සෙ, මම සේවය කළ අමාත්‍යාංශයේ නුවන් උදය වික්‍රමසිංහ සේවය කරනවා කියල මට දැනගන්නට ලැබුණා. මම සොයාබැලුවා ඒ කවුද කියලා. ඒ තමයි චූලානන්ද සමරනායක. ඔහු සම්මතය ප්‍රශ්න කරන කවියෙක් ලෙස මා දකිනවා.

මස්ඉඹුල කතාකරයි.

‘ඉරේ මිහිදුම් තිරය – දිසෙයි තේ දලු යායේ කළු ලප…’ දශක ගණනාවක් තිස්සේ සමාජය විසින් කඳුකරයේ සඟවා තිබූ වියවුලක්, කවියක් කරන්න චූලානන්ද සමරනායක සිය ‘යකුළු’ නැමති කවි පොතෙන් උත්සාහ ගෙන තිබෙනවා. ඒ ගැන අපට කියන්න.’

චූලානන්ද පිළිතුරු දෙයි.

‘මං මුලින් කවි ලිව්වේ, අත්අඩංගුවේදී කූඩුවකින් එළිය දකිමින්. ‘නුවන් උදය වික්‍රමසිංහ’ කියන නමින් ලිව්වේ කවිය අරගෙන තැපැල් කරපු රාළහාමිට දඬුවම් විඳින්න වෙයි කියන බියට. යම් ආකාරයක සම්ප්‍රදාය විරෝධීන් වශයෙන් ජීවිතය දකින්න, පවතින ක්‍රමය ප්‍රශ්න කරන්න පෙළඹුණා නම්, ඊට දැවැන්ත බලපෑමක් රත්න ශ්‍රීගේ කවිය හරහා සිදුවුණා කියලා මං හිතනවා. කවියෙක්, අනාගත පරම්පරා ගණනාවකට මඟ පෙන්වනවා. එය ඉතා බරපතළ විදියට අපට ඔප්පු කළ කවියෙක් තමයි රත්න ශ්‍රී. ඔහුගේ කවි පිටුවේ කවියක් පළවීම අපට ආඩම්බරයක් වගේම ඔහුගේ කවියක් රසවිඳිනවා කියන්නේත් එක්තරා විදියක අලුත් සිතිවිලි ලෝකයක් විවර වීමක්.’

‘සම්මතය ප්‍රශ්න කරනවා යැයි කියලා රත්න ශ්‍රී, චූලානන්දට කියන්නේ ඇයි?’ ඒ මස්ඉඹුල.

‘කුඩා කාලයේදී අප අහලා තියෙනවා ගුවන් විදුලියේ ‘උඩරට කඳුකර සිරියා පරදන – රූබර මුහුණ ඔබේ’ ගීතය. ඒ රූබර මුහුණයි රතැඟිලියි තමයි, අර මීරියබැද්දෙ අරණායක සාමසර කන්දෙ පසට යටවෙලා පවුල් පිටින් නාය ගිහිල්ල නැතිවුණේ. ඒ දුක්ඛිත ජීවිත ගැන කතා කළ යුතුයි. චූලානන්දගෙ කවියේ ‘තේ දලු යායේ කළු ලප පිරිලා..’ පද සමඟ ඇත්ත ජවනිකාව පෙනෙන්න ගන්නවා. ඒවා කළු ලප. ඉන් එහාට ඒවා සමීපව නිරීක්ෂණය කරන්න කවුරුවත් නෑ. චූලාගෙ කෙටි කවිවලට මම එච්චර කැමති නෑ. මොකද ඒවායෙ යම් ඉඟියක් පමණයි දෙන්නේ. ඒවා හරියට නර්මාලාප වගේ. සමහර හොඳ කවි තියෙනවා තමයි. ඒත් ඒවා නර්මාලාපවලට කිට්ටුයි. ඒ කවි තවදුරටත් විස්තීර්ණ කරන්න ඕනෑ කියලා හිතෙන කවි.’

‘ජීවන අත්දැකීම් බොහෝවිට චමත්කාරජනකයි. එක්තරා අඳුරු යුගයක අත්දැකීම් සමඟ සාහිත්‍යකරණයේ යෙදුණු චූලානන්ද සාහිත්‍යකරණයට පිවිසීම ගැන කියන්න.’ මස්ඉඹුල ඉල්ලයි.

‘බොහෝදෙනා ළමාවිය මතක් කරන්නෙ හරිම සුන්දර විදියටයි. ඇත්තටම ළමාවිය එතරම්ම සුන්දරද? මගේ තාත්තා විදුහල්පතිවරයෙක්. අම්මා හෙදියක්. දෙමාපියෝ නිවාස ණය අරගෙන ගෙවල් හදපු රජයේ නිලධාරීන්. කුලී ගෙදරින්, කුලී ගෙදරට මාරුවුණු මිනිස්සු. 1970දී දේශපාලන මාරුවත් සමඟ මගේ තාත්තාට ස්ථාන මාරුවක් ලැබෙනවා. අම්මා දඬුවම් මාරුවකට කොළඹ රිජ්වේ ළමා රෝහලට යවනවා. මගේ මල්ලී ඉපදුණා විතරයි, ඒ දඬුවම දුන්නෙ අම්මාට නෙමෙයි, අපට. ජීවිතේ පටන්ගත්තේම අසාධාරණකම්වලින්. ළමාවියේ ගස්කොළන්වල නැග්ගා. ඇළේ පැන්නා. දණ්ඩි පැටව් ඇල්ලුවා. ඒ ඔක්කොම කළා තමයි. සෙරෙප්පු නැතිව පාසලට පයින් ගියා. ඔය කියන සුන්දර කතා ඔක්කොම තිබුණා.

ඒත් දේශපාලන ක්‍රමයේ මොකක්දෝ වරදක් තිබුණා කියන එක පුංචි කාලෙදිම ඇඟට දැනුණා. පාසල් ජීවිතේට ආපසු තවත් හොඳින් එය දැනුණා. අධ්‍යාපන ධවල පත්‍රිකාව, ලංකාවට පෞද්ගලික පාසල් ආවා. මේ කාලෙදි අපට දැනෙන්න පටන් ගත්තා අධ්‍යාපන ක්‍රමය අපි වෙනුවෙන් නෙමෙයි නිර්මාණය වෙලා තියෙන්නෙ කියලා. නිර්මාණවලදී සමාජ අසාධාරණය කියන කාරණයෙන් පලායාමට මට බැරි, මං සමාජ අසාධාරණයේ හිරකරුවෙක් නිසායි.’

‘අඬන්නේ ඇයි සුදු මැණිකේ – කියන්න පණ මාගේ…’ ගීය වාදනය වෙයි. ගීතය අවසන මස්ඉඹුල කතා කරයි.

‘ජෝතිගෙ මළගම දා රූකාන්ත ලියා තිබුණු සමරු සටහනක් මතක් වෙනවා. එහි ‘ජෝති අයියේ මාර සෙනගක්. හමුවුණු දවසක කියන්නම්’ කියලා ලියලා තිබුණා.’

රත්න ශ්‍රී: ‘මේ ගීයට මං හරිම ප්‍රියයි. ගීයට තිබෙන්නේ අනුකාරක තනුවක්. මේ මං දැකපු අව්‍යාජම පෙම්වතෙක්. ගීතය රචනා කරන්නෙ ධර්මසිරි ගමගේ. අපි ජීවත් වෙනකොට අනන්ත අප්‍රමාණ ප්‍රශ්නවලට, කරදරවලට කලකිරීම්වලට, අප්‍රිය අමනාපකම්වලට මුහුණ දෙනවා. ඒ මොනවාට මුහුණ දුන්නත්, අපි ජීවත් වෙන්න ආස කරන්නේ අපිට ආදරය කරන්න කවුරු හරි මේ ලෝකෙ ඉන්න නිසායි. මේ ජීවිතේ දාලා යන්න අපිට බෑ කියලා හිතෙන්නේ අන්න ඒ නිසායි. අන්න ඒ පුංචි දේ මේ ගීතයෙන් කරනවා. මේකෙ වෘත්තාන්ත කථනයකුත් තියෙනවා. පළමුවෙන් සුදු මැණිකෙ අඬනවා. ඊළඟට අඬන්නෙ ඇයි කියලා අහනවා.

මේ ගීයෙන් මනුෂ්‍ය ජීවිතයට යම් උත්තේජනයක් කරනවා. මේ ජීවිතේ දාලා යන්න නෙමෙයි, ජීවිතේ ඇදබැඳ ගන්න. බලන්න, අමරදේවයන් ගයන ‘ආදර හැඟුම්…’ ඒ වගේ ගීත ප්‍රේමයේ අතිශයින්ම භාව ගුණ පිරි නිර්මාණ කලාපයක් ස්පර්ශ කරනවා. පොදු රසිකයාට, නැත්නම් වැඩිපුර විදග්ධ නොවන සරල සාමාන්‍ය රසිකයන්ට හොඳින් කතාකරන සහ ළං වෙන්න පුළුවන් ගීතයක් තමයි මේ ජෝතිගෙ මේ ගීය.’

‘මැණිකේ සුවඳ මලයි – පිපි බාධක කටු අකුලේ’ ගීතය ඇසෙයි. ‘ජෝතිගේ මේ ජනප්‍රිය ධාරාවේ කිසියම් බලපෑමක් චූලානන්දට ආවාද?’ මස්ඉඹුල අසයි.

චූලානන්ද: ‘ජෝතිපාලගේ මරණයත් සමග ඇතිවුණේ ප්‍රබුද්ධ-පීචං සංවාදය. ඒත් අපිට එහෙම එකක් දැනුණෙ නෑ. ලංකාවේ හිටිය හැම නළුවෙකුටම වගේ ජෝති ගයා තිබෙනවා.  මට මතකයි අපේ පාසලේ තිබුණ “මහපොළව” කියන සංගීත සංදර්ශනයේදී ජෝතිපාල වේදිකාවට ඇවිල්ල කොළයක් පෙරළගෙන එක ගීතයක් ගයනවා. ආයේත් කොළේ පෙරළනවා, තවත් ගීතයක් ගයනවා. අපි විස්මයෙන් වගේ බලාගෙන ඉන්නවා කොහොමද මෙහෙම කියන්නෙ කියලා. ඒක හාස්කමක් වගෙයි. ඉතින් මට නම් වෙන් කරලා ඉර ඇඳලා හොයන්න පුළුවන්කමක් තිබුණෙ නෑ, මේක ප්‍රබුද්ධ, මේක පීචං කියලා.’

‘1971, 1988, 1989 තරුණයන්ට අභියෝගයක් වුණු අවධියක්. චූලානන්ද එහි ජීවමාන සාක්ෂියක් නේද?’ රත්න ශ්‍රීගෙන් මස්ඉඹුල අසයි.

‘ඉතිහාසයේ පුපුරායාම් තුනක් ප්‍රධාන වශයෙන්ම සිද්ධ වුණා. නිර්මාණ තුළ ඒවා ප්‍රමාණවත් තරමින් සාකච්ඡාවට බඳුන්ව නැහැ. 70 ගණන්වල තත්ත්වය පිළිබඳ සරත් ආරියරත්න තමන්ගේ  නවකතාවල යම් පමණකට කතාකරන්න උත්සාහ කරනවා උතුරුමැද පළාත්වල තරුණයන්ගේ ක්‍රියාකාරිත්වයන් ගැන. ඊට අමතරව 88, 89 කාලය ගැන ප්‍රමාණවත් තරමින් කිසිවෙක් නිර්මාණකරණයට යොමුවෙලා නෑ. මේ පිළිබඳව ගැඹුරින් සාකච්ඡා කළ ‘බගන්දරා’ නවකතාව ගත්තත්, ඔය දේශපාලන කාරණාවේ යම් ප්‍රදේශ ස්පර්ශ කරනවා මිසක් ගැඹුරින් මෙම චරිත ස්පර්ශ කිරීමක් හෝ අලුතින් ප්‍රතිනිර්මාණය කිරීමක් කර තිබෙන බව මට පේන්නෙ නෑ.’

චූලානන්ද: ‘දකුණේත් උතුරේත් අරගල දෙකම ගැන ලියන්න පාර්ශ්ව දෙකක් ඉන්නවා. එකක් මීට සක්‍රියව දායක වුණු පාර්ශ්වය. එහෙම බිහිවන නිර්මාණ බොහොමයක් පක්ෂපාතීයි. අනෙක් පාර්ශ්වය ඊට විරුද්ධවයි ලියන්නේ. වඩාම සාර්ථක වන්නේ පිටතින් සිට ගැඹුරින් මේ ගැන හිතන්න පුළුවන් කෙනෙක් ලියන එකයි. ඒත් උතුරේත් දකුණේත් එහෙම අය නිහඬයි. ඒක තමයි ඛේදවාචකය. ’

‘මොනර මාලු උඩ හල්ලේ නොවෙද තියෙන්නේ- අපට මාළු අල කොළදෝ අදත් කුඩම්මේ’ ගීය ඇසෙයි.

රත්න ශ්‍රී: ‘කපුගේගේ ‘ඉරබටු තරුව’ නම් අවසාන සංගත තැටියේ ගීත දහඅට අතර තිබෙන මෙය ජනකවිය ඇසුරෙන් ලියැවුණු අත්දැකීමක්. අපි දන්නවා කුඩම්මා, ප්‍රදේශීයවාදීව පංති සමාජයට දක්වන විසම සැලකිලි. ස්තරායණය අනුව ඉහළ පන්තිය, පහළ පන්තිය, උඩරට-පහතරට, උතුර- දකුණ ලෙසත් ප්‍රදේශීයවාදීව ගෝත්‍රවාදීව ඇති කල්පනාවන්ටත් එරෙහිව යන්න ඕනෑ කියලා මං හිතුවා. ඒකයි මේ ගීතය ලිව්වෙ, ලංකාවේ ප්‍රදේශීයවත්, රටේමත් බොහෝ භේද තියෙනවා. සාහිත්‍යකරුවන් කළ යුත්තේ එක රටක් විදියට කල්පනා කිරීමයි.’

අවසාන වශයෙන් චූලානන්ද කියයි. ‘විවිධ වර්ණයෙන් දේදුනු දේශපාලන පක්ෂ තිබුණත් හැමදාම අපි දැක්කේ රට විකුණාගෙන කෑම විතරයි. මෙතැනින් වෙනස් වෙන්න ලොකු අරගලයක් අවශ්‍යයි. සාහිත්‍යකරුවන් ඊට මැදිහත්විය යුතුයි. රත්න ශ්‍රී වැන්නන් අපට අවශ්‍ය ඒකයි. අද ගීත සාහිත්‍යයේදී කරන්නේ වාක්‍යවලට තනු දාන එක. ඒත් සියලු නරක මැද්දේ හොඳ දේවල් ටිකකුත් තිබෙනවා. නිර්මාණකරුවන් කළ යුත්තේ නරක දේ බහුල තැන හොඳ ප්‍රබල කිරීම.’■