සිතුවමෙන් සිතුවමට නෙතුත්, සිතුවිලිත් තවරමින් යන අතර ඇතැම් සිතුවමක් නෙතු පැහැර ගනී; සිතුවිලි නතර කර ගනී. ඉතින් ඒ රේඛාවන් හරහා, පාට පදාසයක් පාසා, සායම් රූ අතරින් රූරා එන ඇඟවුම් කාරණා ප්‍රවේශමෙන් විමසිය යුතු වෙලාවකි.

පින්සල්වලින් සිදු කර ඇති ජීවිතය සම්බන්ධ සන්නිවේදනයන්  සුන්දර විස්මයන් ය. බ්‍රිතාන්‍ය ජාතික කලාගාරයේ දිගු සිතුවම් ශාලාවල බිතු මතින් හමු වන සිත්තර සිත් සතන් කොතෙක් ද? බෙල්ලිනි, බොට්ටිසෙල්ලි, කැනලෙටෝ, සිසෑන්, ගොසාර්ට්, ඩාවින්චි, රෆායෙල්, රෙම්බ්‍රාන්ට්, වැන් ගෝ, වර්මියර් යනාදී පරසිදු සිත්තරුන්ගේ විශිෂ්ට සිතුවම් රැසක් ජාතික කලාගාරය සතු ය. එහෙත් ඉදිරිපිට බොහෝ වේලා නතර කර ගන්නා, අනු පිටපතක් මිලට ගන්නට බල කරනා වෙනයම් වෙනස් සිතුවමක් ද තිබෙනු ඇත. ජෝසෙප් රයිට් හෙවත් ඩර්බිහි රයිට් (Wright of Derby) විසින් අඳින ලද “වායු නළය තුළ සිටින කුරුල්ලෙකු පිළිබඳ පරීක්ෂණයක්” (An experiment on a Bird in the Air Pump) නමැති චිත්‍රය නිසැකව ම එවැන්නකි.

1734 දී ඉපිද, 1797දී මිය ගිය ජෝසෙප් රයිට් අඳුරේ සහ ආලෝකයේ ප්‍රභේදනය (Chiaroscuro Effect) මනාව යොදා ගත්, ඉටිපන්දම් එළි පතිතයන් කැන්වසය මත මනරම් ලෙස නිරූපනය කළ ඉංග්‍රීසි ජාතික සිත්තරෙකි. ඔහු වඩාත් ප්‍රකට වූයේ 18 වැනි සියවසේ දෙවැනි අඩෙහි සිදු වූ කාර්මික විප්ලවයේත්, ඒ හා සමකාලීන හේතු විද්‍යා ප්‍රබෝධයේත් ජීව ගුණය මුලින් ම නිර්මාණ තුළින් පිළිබිඹු කළ චිත්‍ර ශිල්පියා ලෙසිනි.

කැන්වසය මත තෙල් සායමෙන්, 1768 දී අඳින ලද “වායු නළයේ…..” සිතුවමෙහි දැක්වෙන්නේ නිවසක් තුළ විද්‍යාත්මක පරීක්ෂණයක් සිදු කෙරන අතරතුර, එහි රැස්ව සිටින අය වෙතින් පළ වන එකිනෙකට වෙනස් ප්‍රතිචාරයන් ය. යම් කලා කෘතියක් තුළින් තත්කාලයේ ජීවිතය, සමාජය, විද්‍යා ප්‍රබෝධය, සංස්කෘතිය හා සිතිවිලි ලෝකය යනාදිය පිළිබඳ අදහසක් උකහා ගැනීමට යත්න දරන්නෙකුට මේ සිතුවම “කියවීම”, කදිම ප්‍රසාද අභ්‍යාසයක් වනු ඇත.

වායු පීඩනයත්, වායුව ජීවයට බලපාන ආකාරයත් පිළිබඳව විද්‍යාඥ රොබට් බොයිල් විසින් හඳුන්වා දුන් වායු නළ පරීක්ෂණයක් මෙහි ප්‍රතිනිරූපනය වෙයි. සිතුවමේ පසුබිම ඉංග්‍රීසි නිවසක අභ්‍යන්තරයයි. දකුණුපස කවුළුවෙන් පෙනෙන සඳ සොබාවිකත්වය සංකේතවත් කරනු වැනි ය. මේ නිවස ඇතුළත සිදු වනුයේ සොබාදහමෙන් ඈත් වූ ද, ලෝක ස්වභාවයන් පිරික්සීමට තැත් කරන්නා වූ ද යම් සිද්ධියකි. පරීක්ෂණයට යොදා ගන්නා කුරුල්ලා (කොකටුවෙකු බව පෙනේ) වීදුරු බීකරය තුළ ය. එය අල්ලා ගෙන සිටින දිගු හිසකෙස් ඇති පුද්ගලයා “රසායන විද්‍යාඥයා” විය යුතු ය. සිතුවමේ පෙනී සිටින්නන් අතරින් එය නරඹන අප දෙස බලා සිටින එක ම තැනැත්තා ද ඔහු ය. “එන්න, ඔබත් මෙය බලන්නැ”යි ඔහු අපට ද ඇරයුම් කරනු වැන්න.

සිත්තරා වැඩි ආලෝකයක් එල්ල කරනුයේ සිතුවම මැද සිටින කුඩා දැරියන් දෙදෙනා වෙත ය. බාල දියණිය තැති ගෙන සිටියත් නිර්භීත ය. ඇගේ දෙනෙතේ කුතූහලයකි. වැඩිමහලු දැරිය පක්ෂියා වේදනා විඳිනු දකිනු බැරිව මුහුණ සඟවා ගන්නී ය. ආදරයෙන් ඇය වටා අතක් යවා සිටින ඇගේ පියා විය හැකි තැනැත්තා වායු නළය පෙන්වමින් මෙසේ කියන බව අපේ තාත්තාකම්වලට දැනේ.

“නෑ, දුව! ඔබ මෙය බැලිය යුතුමයි. එහි ඔබට ඉගෙන ගන්නට දෙයක් තිබෙනවා. ප්‍රියමනාප දේට පමණක් නොවෙයි, සමහර අප්‍රසන්න දේටත් ජීවිතයේදී ඔබට මුහුණ දෙන්න වේවි.”

සිතුවමේ වම් පස ටිකක් අඳුරට වෙන්නට එකිනෙකා දෙසට ආදර බැලුම් හෙලන තරුණ යුවළකි. වායු නළ විජ්ජාව ගැන වගේ වගක් ඔවුනට නැත. හොඳයි, අන්ධ යැයි පැවසෙන ආලය එවැනි දෙයක් බව අපි දනිමු. ඒ අසළ ම සිටින යෞවනයාගෙන් පළවනුයේ පරීක්ෂණය පිළිබඳ සෙල්ලක්කාර උනන්දුවකි; නිරීක්ෂණයන් ග්‍රහණය කර ගැනීමේ නොඉවසිල්ලකි. නොසැලෙන අවධානයකින් පරීක්ෂණයට ඇස ගසා සිටින  මහතෙක් ඊළඟට සිටී. පරීක්ෂණයේ කාලය මනින්නා ද ඔහු බව පෙනේ. මා ඔහු වෙතින් දකින්නේ විද්‍යාවේ අගය හඳුනාගත්, එහි දියුණුව විශ්වාස කරන්නෙකුගේ රූපයකි.

අනෙක් පස වාඩි වී අඳුරේ සිට එළිය දෙස බලා සිටින්නා නම් පරීක්ෂණයෙන් බොහෝ ඈත කල්පනා ලොවක ය. ඔහු, “මේ සියල්ලෙහි අර්ථය කුමක් ද?”, “මිනිසා කවරාකාර සත්ත්වයෙක් ද?” හෝ  “ජීවිතය කෙබඳු ද?” වැනි දාර්ශනික චින්තාවක ගැලී සිටින බවට ඔහුගේ මුහුණ දෙස් දෙයි. සිතුවමේ දකුණු පස තවත් එක් තරුණ රුවකි. උදව්කරුවෙකු මෙන් පෙනෙන ඔහු ඔසවා රඳවාගෙන සිටිනුයේ කුරුල්ලාගේ කූඩුවයි. පරීක්ෂණයෙන් කුරුල්ලා මිය නොයන බවත්, හැකි වහා ම ඌව යළි කූඩුවට දැමෙනු ඇති බවත් එයින් අපට ඇඟවෙයි.

මෙයාදී වශයෙන් රයිට් ඔෆ් ඩර්බි සිය සෙන්ටි මීටර් 183 x 244 හි සිතුවම තුළ පින්සලෙන් ඇඳ ඇත්තේ අදාළ වකවානුවේ ජීවිත හා සිතුවිලි ස්වභාවයන් නොවේ ද? ඔහු ඉතිහාසය දක්වන කැඩපත් කැබලි කිහිපයක් තැබුවාක් මෙන් කාල වෙනසක් නොමැති ප්‍රේමය ද, මානව ප්‍රගමණය දිශාගත කළ විද්‍යාඥයා ගේ සහ දාර්ශනිකයා ගේ භූමිකාව ද, යෞවන ඉගෙනුම් රුචිය සහ බුද්ධිමතාගේ ධ්‍යානය ද මේ කතා කරන සිතුවමෙන් විග්‍රහ කරන්නේ වදනකුදු නොතෙපලමිනි. එය සිතක මතක බිතු මත පමණක් නොව නිවෙස් ආලින්ද බිතු මත ද එල්ලා තැබීමට සුදුසු සිතුවමක් වනුයේ එබැවිනි.