වෙහිකල් ස්පෙයා(ර්* පාට්ස් , ටූල්ස්, රබර් හෝස් අයිටම්, ලයිට් වර්ග මෙකී නොකී ඕනෑම ආකාරයක වාහන අමතර කොටසක් මිලට ගැනීමට යමෙක්ට අවශ්‍යය නම් ඊට ඇති අවසාන බලාපොරොත්තුව පිටකොටුවේ සිට රුපියල් දොළහක බස් ගාස්තුවක දුරින් ඉටු කර ගන්නට බැරි වූවා නම් ඒ සඳහා ඇති ආසාව අතහැර දැමිය යුතුය. මන්ද පංචිකාවත්තේ නැති ස්පෙයාර් පාට්ස් වාහන කොම්පැනියෙන් වත් හොයා ගන්න බැරි නිසාය. ඒ නිසා දිනකට තම වාහනයට අවශ්‍ය කරන අමතර කොටස් ලබා ගත හැකි අවසාන සහ ලාබදායිම තැන සොයා මේ විදියේ එහා මෙහා යමින් කඩ සාප්පු,
ස්පෙයාර් පාට්ස් තට්ටු පීරන පාරිභෝගිකයන් සිය ගණනක් සොයා ගැනීම ඉතා පහසුය. එවන් තැනක් ලංකාවේ වේ නම් එය පංචිකාවත්තයි. නමුත් ලියුම්කරු කියන්නට යන්නේ පංචිකාවත්තේ ස්පෙයාර් පාට්ස් ගැනවත්, එහි යන එන්නන් ගැනවත් නම් නොවෙයි. මේ දිනවල රටේ ප‍්‍රධාන මාතෘකාව වී තිබෙන ජාතික ආරක්ෂාව සඳහා වන වැඩ පිළිවෙල නිසා කබලෙන් ලිපට වැටුණු පංචිකාවත්තේ තට්ටු කඩ වෙළෙඳුන් ගැනයි. තට්ටු කඩ යනු; මහල් සහිත කඩ නොවේ. තට්ටුව යන නමින් ඔවුන් හඳුන්වා ගන්නා අඩි තුනක් දිග අඩි හයක් උස වානේ වලින් නිමවන ලද කුඩා වෙළෙඳ සැළ ගැනයි.


”ජාතික ආරක්ෂාවට සහය වන්න” ඒ මොහොමඞ් ෆායිස් මා වෙත දිගු කළ හැඳුනුම්පතේ පසුපස ඉහළින් ම සදහන් කොට තිබූ වදනයි. එවක ස්වයං රැුකියා නියුක්තිකයන්ගේ සංගමයේ ප‍්‍රධාන ලේකම්ව සිටි මංජුල පටබැඳිගේ සහ එම සංගමයේ පංචිකාවත්ත ශාඛාවේ සභාපතිව සිටි පී.අයි.හින්ඩිල් ගේ අත්සන් වලින් යුතුව නිකුත් කරන ලද එම වෙළෙඳ හැඳුනුම්පත කියා පෑවේ මොවුන් අනවසරයෙන් වෙළෙඳාමේ නියුතු වන්නන් නොවන බවයි. ”ඉස්සර ගෝඨාභය මහත්තයා නාගරික එකේ ඉන්න කාලේ අපි බිස්නස් කරපු තට්ටු සිකුරිටි එකට බාධාවක් කියලා තමයි අපිට මේ අලූත් තට්ටු හදාගන්න කිව්වේ. කලින් තිබ්බ ඒවාට රෝද තිබුණා. ඒකට වඩා මේක සේෆ්ටි කියලා තමයි අපිට මේ තට්ටුව ගන්න කිවේවේ. එහෙ මෙහෙ අරන් යන්නත් බැරි නිසා හැමෝටම හැමදාම බිස්නස් කරන්න ස්ථිර තැනක් වෙන් කරලාත් දුන්නා.” ඒ අනුව වසර ගණනක් තමන්ටම ස්ථිර වූ තැනක තමන්ගේ ව්‍යාපාරයක් කරගෙන මොවුන් ජීවත්ව ඇත. මෙලෙස මෙම ව්‍යාපාර කටයුත්තෙන් සිය දිවි ගැට ගසා ගෙන ඇති අය ගණනින් 144කි. නමුත් අද පංචිකාවත්තට ගිය විට එකදු තට්ටුවක්වත් දැක ගන්නට හැකි වන්නේ නැත.මන්ද එවර ” ජාතික ආරක්ෂාවට සහය වන්න.” කියා නාගරික සංවර්ධන අධිකාරිය යටතේ නිර්දේශ කළ තට්ටු සියල්ලම මෙවර ‘ජාතික ආරක්ෂාවට සහය වන්න’ කියා එතැනින් ඉවත් කොට තිබෙන නිසාය.


ඉකුත් මැයි 06 වනදා මරදාන පොලිසියේ රථවාහන අංශයේ පොලිස් නිලධාරින් පැමිණ දැනුම් දීමෙන් අනතුරුව පැය කිහිපයක් ඇතුලත සිය වෙළෙඳ තට්ටු සියල්ලම ඉවත් කර ගැනීමට ඔවුන්ට සිදුව තිබුණි. පොලිස් නිලධාරින් ඔවුනට දන්වා ඇත්තේ එසේ නොකළ හොත් ඔවුන්ට එරෙහිව නිතිය ක‍්‍රියාත්මක කරන බවයි. අවසානයේ තමන්ට සිදු වූ අසාධාරණ පිළිබඳව විමසීමට පොලිසිය වෙත ගොස් ඇති මොහොමඞ් මුන්ටාස් ඇතුළු පිරිසට මරදාන පොලිස් ස්ථානයේ ස්ථානාධිපති තුමන් ප‍්‍රකාශ කොට ඇත්තේ තමන් මේ පිළිබඳව වැඩි විස්තරයක් නොදන්නා බවත් මේ කටයුත්ත සම්පුර්ණයෙන්ම සිදු කළ ඇත්තේ රථවාහන අංශය විසින් බවත්ය. ඉඳින් මේ හතරබීරි කතාව ගැන අනිද්දා අප මරදාන පොලිස් ස්ථානාධිපති සරත් පෙරේරා මහතාගෙන් විමසූ විට ඔහු කියා සිටියේ ” පවතින ආරක්ෂක තත්ත්වය නිසා ආරක්ෂක කමිටුවෙන් ගත්ත තීරණයක්. ඒ නිසා ආයේ කවදා ඒ කඩවල් අරින්න පුළුවන් වෙයිද කියලා කියන්න අමාරුයි. මටත් තේරෙනවා මෙතන ප‍්‍රශ්නයක් තියෙනවා .” කියාය. ඔහුත් ප‍්‍රකාශ කරන අන්දමින් සැබෑවටම මේ අසරණ වෙළෙඳුන්ගේ ජීවන මාර්ගය අඩාල වීම ප‍්‍රශ්නයකි. නමුත් මේ වෙනුවෙන් විකල්පයක් ඉදිරිපත් නොකොටම කඩිමුඩියේ මෙම වෙළෙඳසැල් ඉවත් කිරීමට තීරණය ගැනීම කෙතරම් අසාධාරණද?


අප එහි යන විටත් (මැයි 11* ඔවුන්ගේ ආදායම් මාර්ගය සම්පුර්ණයෙන්ම ඇණහිට දින පහක් ගතව ගොසිනි. ඒ සඳහා කිසිම පාර්ශවයක් විසඳුමක් ලබා දීමට ඒ වන විටත් ඉදිරිපත්ව සිටියේ නැත. සිදුව ඇත්තේ ඔවුන්ගේ කඩ තට්ටු අතුරු මාවත් වල සහ හිස් බිම් වල තැනින් තැන පසෙකට කර දමා තිබීම පමණි. බලූ බැල්මටම ආරක්ෂාව පිළිබඳව ගැටලූව ඇති වන්නේ දැනුයි. ඉස්සර තම තට්ටුව අසල දවස පුරාම රැුඳී සිටි අය දැන් එහි නැත. කිසියම් ත‍්‍රස්ත ක‍්‍රියාවක් හෝ ආරක්ෂාවට හානි වන ආකාරයේ කඩාකප්පල් ක‍්‍රියාවක් සඳහා එම වෙළෙඳ තට්ටු භාවිත කිරීමට කාට හෝ ඇත්තේ විවර වුණු ඉඩකි. ”ඉස්සර යුද්දේ කාලේ කොළඹට වාහන වලින් බෝම්බ ගෙනාවනේ. අපි ඒ කාලේ හොඳ ඇලට් එකේ හිටියේ මේ තැන් වල නවත්තන වාහන ගැනත්. දැනුත් වාහන වලින් බෝම්බ ගේනවා කියලනේ කියන්නේ? හදිසියේ හරි මේ වගේ තැනක ගෙනත් ඒ වාහනයක් නතර කරලා තිබ්බොත් දැන් කවුද කියන්නේ? ඒ මොන දේටත් හිටියේ අපි. එත් අපිව එළවලා දැම්මා.” එසේ කීවේ මොහොමඞ් හමීම් ය.


මින් පෙර ඉතිහාසයේ මේ කඩ සාප්පු ඉවත් කොට ඇත්තේ එක් වරකි. ඒ 1998 වසරේ ශ‍්‍රී ලංකාව සාක් සමුළුව සඳහා සත්කාරක රට ලෙස ක‍්‍රියාත්මක වූ කාලයේදීය. ඒ පූර්ව දැනුම් දීමකින් යුතුව දින 10ක් සඳහාය. ඉන් පසු මේ දක්වා මේ කඩ සාප්පු කිසිවක් ඉවත් කොට නැත. මෙවර ඔවුන්ට යන එන එන මං නැතිව ගොසිනි. පරම්පරා දෙකකට පෙර සිට මේ රස්සාවෙන් යැපෙන සිංහල දෙමළ මුස්ලිම් ක‍්‍රිස්තියානි කිසිවෙකුට ජාති හෝ ආගම් භේදයකින් තොරව පාරට විසිව ඇත. ඒ බව ඔවුන්ගේ මුහුණුවල ලියවී ඇති අයුරු දුටිමි. ඇතැමුන් තමන්ගේ දරුවන් සිහි කර පිච්චි පිච්චි සිටිති. ඇතැමුන් දිනපතා ගෙවීමේ පොරොන්දුවෙන් පොළියට ගෙන තට්ටුව දාගත් අය පොළී එකතු කරන්නන්ට බයේ එහෙ මෙහෙ සැඟවෙති. මේ දිනවල ඔවුන්ගේ දින චර්යාවයි එයයි.


ඔවුන්ගේ කඳුළු කතාවළ වලට දුක්ගන්නා රාල කෙනෙකු සේ සවන්දීමට වුණෙමි. ” මුලින් පාරේ තැන් තැන් වල බඩු දාගෙන බිස්නස් කරනවා, ප‍්‍රශ්න වුණාම අයින් කර ගන්නවා ඔහොම තමයි ජිවත් වුණේ. පස්සේ පොඩියට තට්ටුවක් හදාගත්තා. ඒ ඉන්නකොට අපිට කිව්වා අලූත් තට්ටු වල විතරක් බිස්නස් කරන්න කියලා. තට්ටුවක් හදන්න ලක්ෂයකට වැඩිය යනවා. එක හදා ගන්න විදියක් නැතුව ඉන්නකොට පල්ලියෙන් තමයි මේ තට්ටුව හදලා දුන්නේ. අල්ලාහ් ට ස්තුති වෙන්න යාන්තම් මේකෙන් ජිවිතේ ගැටගහගත්තා. දුවලා කසාද බන්දලා දුන්නෙත් මේකෙන් තමයි. මේක නැති වුණොත් මොනා කරන්නද කියලා හිතා ගන්න බැහැ. අනික මේ නෝම්බි කාලේ අතේ සල්ලිත් නෑ. ඉතුරු කරගත්ත ටිකකින් මේ දවස් ටික ඇදගෙන යනවා. ඉස්සරහට මොනා කරන්න වෙයිද කියලා කවුද දන්නේ ?” වසර විසි නවයක් මේ විදියෙන් ජිවිතේ උපයාගත් මොහොමඞ් ෆාසි අසන් අසන්නේ පැනයකි. නෝම්බි කාලය අවසන්ව උදා වන අවුරුද්දට සාමාන්‍යයෙන් ස්ලාම් භක්තිකයන් අත දිග හැර වියදම් කරන කාලයකි. එත් මෙවර අසන්ට සහ මෙහි අනෙත් අයට ඇත්තේ ඒ ගැන බලාපොරොත්තුවකි. ” මේ ඉන්නේ ලියනේ අයියා. මෙයා මේකේ සෑහෙන කාලයක් හිටපු කෙනෙක් මෙයා දන්නවා විස්තර. ” පිරිස අතර සිටි අයෙක් අත දිග හැර ලියනගේ මහතා පෙන්නුවේය.

වරුණ සූරියආරච්චි


1993 වසරේ මේ වීදියේ ම තැඹිලි විකුණමින් සිට පසුව වාහන අමතර කොටස් වෙළෙඳාමට එක්ව තම ජීවිතය ගැටගසා ගන්නා ලියනගේ මෙවන් කතාවක් කිවේය. ” අපි මේ කරන්නේ රස්සාවක් තමයි. එත් මේක ඊට වඩා සේවයක්. සාමාන්‍යයෙන් දවසකට එන විස්සක් විසි පහක් වගේ දෙනෙක්ගෙන් හම්බෙන කීයෙන් හරි තමයි පවුල ඇදගෙන යන්නේ. කොහොම හරි දැන් එකත් ඉවරයි. ඔය කවුරුත් ආරක්ෂාව නෑ කියලා අපිව අයින් කරාට අපේ ළමයි කන බොන විදිහ ගැන හොයලා බැලූවේ නැහැ. මේක තනිකර අසාධාරණයි. අනික ආරක්ෂාව ගැන ආණ්ඩුවට ප‍්‍රශ්නයක් නම් අපි දවස ගානේ මාරුවෙන් මාරුවට ස්වේච්චාවෙන් ඉදිරිපත් වෙන්නම් මේ පැත්තේ ආරක්ෂාව ගැන බලන්න.”
ස්පෙයා(ර්* පාට්ස් තට්ටුවේ ලියනගේ තරම් වත් ආරක්ෂාව ගැන දුර දිග හිතා නොබැලූ රජය තමාට ගත හැකි ලේසිම තීන්දුව අරගෙනය. ඒ පොලිසිය මාර්ගයෙන් ලියනගේලාගේ කඩ තට්ටු ඉවත් කිරීමටයි. ලියනගේත් තවත් 143 දෙනෙනෙකුගේ පවුල් වල 600 කට අධික පිරිසගේ බඩගින්න ගැන ඔවුන්ට වගක් නැත. ළමයි පාසල් යවන එක ගැන සිතන්නේ කවුද? ඒ සඳහා කවුරුවත්ම නැත. දිගින් දිගටම පුරුද්දට වාගේ ආණ්ඩුව කරන්නේ අතීසාරේට අඹුඩ ගැසීම මිසක් ලෙඬේට නියම ප‍්‍රතිකර්මය නොවේය.


කෙසේ වෙතත් 2014.08.19 වන දින නාගරික කොමසාරිස් ජේ.එම් භද්‍රානි ජයවර්ධනගේ අත්සනින් යුතුව නිකුත් කළ ලිපිය ප‍්‍රකාරව ජාතික ආරක්ෂාවත් නගරයේ අලංකරණය වෙනුවෙන් ඉදි කර ගත යුතු වූ රුපියල් එක්ලක්ෂ දහදාහක පමණ වටිනාකමින් යුත් කඩ තට්ටුව අද ජාතික ආරක්ෂාවට තර්ජනයක් වි තිබීම හාස්‍යට කරුණකි. එකලක දී රස වන්නටත් මෙකලක දී වහ වන්නටත් වූ පංචිකාවත්තේ කඩ තට්ටු පසෙකට විසි කොට දමා මොවුන්ගේ ජීවිකාව කඩා බිඳ දමනවා වෙනුවට මොවුන්ට නැවත වතාවක් වෙළෙඳාම් කිරීමට වෙනත් ස්ථානයක් හෝ සාදා දෙන්නට නගරසභාව කටයුතු කරනවා නම් මැනවි. නැත්තන් බදු එකතු කරන දවසට හෝ මැතිවරණයක් ළඟා වූ විට මෙම අහිංසක මිනිසුන්ගේ ඡුන්දය හූරා කන්නට පමණක් සිහි වන ගැටළුවක් බවට මෙය පත් නොකර ගෙන කඩිනමින් විසඳුමක් සලසා දිය යුතුය. එවිට රජයට මේ ප‍්‍රදේශයේ ආරක්ෂාව ගැන ප‍්‍රශ්නයක් ඇති නම් ලියනගේ කියන්නාක් මෙන් ස්වේච්චාවෙන්ම තම ප‍්‍රදේශයේ ආරක්ෂාව සඳහා ඔවුනට දායක වීමට හැකිය. එමෙන්ම ඔවුන්ට යළි තමන්ට හුරු රස්සාවෙන් කියක් හරි හම්බ කරගෙන තම අඹු දරුවන් හා සතුටින් සිටිය හැක. x

වරුණ සූරියආරච්චි