එළඹුණු සතිය තරම් දේශපාලනික සිදුවීම් සමුදායකින් ගහණ එකක් ගැන සිතා ගත නොහැක. සමහර ඒ සිදුවීම් හුදෙක් සිදුවීම් ලෙස ම ලඝු කළ නොහැක. ඒවා නව ප‍්‍රවණතා හෝ එවැන්නකට මග පෑදිය හැකි විභවතාවක් ඇති ආරම්භයන් ලෙස හඳුනා ගත හැක.


පසුගිය සතියේ මගේ අවධානය වඩා යොමු වූයේ වයඹ පළාත ඇතුළු තවත් ප‍්‍රදේශ කිහිපයක ම දුටු මුස්ලිම් ව්‍යාපාර හා පුද්ගලයන්ට එරෙහි ව දියත් වූ කුප‍්‍රකට ප‍්‍රහාර මාලාවට ම නොවේ. එම ප‍්‍රහාර මුළුමනින් ම පිළිකෙව් කළ යුතු නමුදු එම ‘හැසිරීම’ සාමාන්‍ය දකුණේ හෙළ-බොදු තත්ත්වයේ පුරෝකථනය කළ හැකි ( predictable ) හැසිරීම ය. එක ම වෙනස ඔවුන් මෙවර හෙල්මට් පැළඳ ගිනි තැබීම ය; ගල් ගැසීම ය. ඊට හෙළ-කිතුනු කොටසකුත් එකතු වේ නම් මම මවිත නොවෙමි. ඒ පා.ම. දයාසිරි ජයසේකර කිතුනු පිරිස් අතරත් අන්තවාදී කොටස් සිටිය හැකි’යි කීමෙන් අනතුරු ව සමාජ මාධ්‍ය හරහා එතුමන් ලද කුණුහරුපමය, වෛරී හා ප‍්‍රචණ්ඩකාරී කිතුනු ප‍්‍රතිචාරය කියවීමෙන් ලද ‘අධ්‍යාපනය’ නිසාවෙනි. බයිබලයේ ම කියැවෙන පරිදි දෙමාපියන් ඇඹුල් කෑ විට හිරිවැටෙන්නේ දරුවන් දත් ය. ’83 ජුලි ආභාසය දකුණේ සමාජයෙන් මුළුමනින් ම පහව නොගොස් ඇති බව මැයි 13 දින ක‍්‍රියා කලාපයෙන් මැනැවින් පෙනේ. මැතිව්ලා ද ඇල්ලේලා වෙනුවට නව ගිහි-සඟ-දෙස්පලූ අනුප‍්‍රාප්තියක් සුමුදු ව ගොඩනැගී ඇත.


උත්ප‍්‍රාසජනක දේ නම් මුස්ලිම් විරෝධී ප‍්‍රචණ්ඩත්වය හෙල්මට්ධාරී පුරවැසියන් මුදා හළ දිනට පසු දින ම කොළඹ නව දේශපාලන ව්‍යාපාරයක් ‘ජාතික මග’ නමින් දියත් වීමයි. එය සුවිශේෂ වන්නේ එම සාකච්ඡුාව කැඳ වූ පාර්ශ්වයේ අඩු තරමින් ඓතිහාසික ඉලක්ක ප‍්‍රජාව ( constituency )* හෙල්මට්ධාරී ගිහි-සඟ පිරිස ම ද විය හැකිව තිබීමයි. එසේ නොවේ නම් ඊට හේතු වන්නේ එම කොටස් කඩාගෙන ගිය ‘පිවිතුරන්’ සමග සිටීම ය. කෙසේ හෝ චම්පික රණවක ප‍්‍රමුඛ ව, කතානායක ඇතුළු විශාල පිරිසකගේ සහභාගිත්වයෙන් දියත් වූ සභාවෙහි හා ඉන් අනතුරු ව රණවක දෙරණ නාලිකාවේ 360 වැඩසටහනේ පෙනී සිටීමින් කළ ප‍්‍රකාශ අතිශයින් වැදගත් ය.

මෙම අවස්ථාවන්හි රණවක විසින් කරන ලද අදහස් දැක්වීම්වල අන්තර්ගතය විශ්ලේෂණය කිරීම වටී. කතාවෙන් මිනිසා මිනිය හැකි නම් රණවක බරපතළ ලෙස වෙනස් වී, පරිණත තලයකට හා බොහෝ දුරකට මධ්‍යස්ථ ආස්ථානයකට පිවිස ඇත. මෙම වර්ධනය මා දකින්නේ ‘ජාතිකත්ව රෙපරමාදුවක්’ ලෙස ය. මෙහිදී රණවකගේ යටගියාව අවුස්සනු මට අවැසි නැත. එය දන්නෝ දනිති. වැදගත් දේ නම් ඇත්තට ම රණවක පරිණාමය වී ඇත් ද යන්න ය. එසේ වී නම් හෝ වන්නට කැමැත්තේ නම් ලාංකීය සමාජය එම නව දැක්ම සාධනීය එකක් ලෙස නිර්මාණශීලී විවේචනයෙන් භාරගත යුතු ය. රණවක ළඟ සිටි බොහෝ අගතිගාමී හා ගැටලූ සහගත කොටස් විවිධ හේතු මත ඔහුගෙන් වෙන් වී ඇත. එම තත්ත්වය රණවකට වාසියකි. ඊට හේතුව ඔහුට තම ඉලක්ක ප‍්‍රජාවක් ගොඩනගා ගැනීමට බාධා වන ණයකරුවන් නොමැති වීම ය.


ඇත්තට ම රණවකගේ ජාතික මගෙහි දේශපාලන දැක්ම කුමක් ද? එය රාජපක්ෂ සහෝදර සමාගමේ එළිය, වියත් මග, පොහොට්ටුව ආදි විවිධ වේශයෙන් එක තලයක ක‍්‍රියාත්මක වන ජාතිකවාදී බලවේග සහ එම සමාගමේ ම අනු-සමාගම් ubsidiaries ) ලෙස තවත් තලයක ක‍්‍රියාත්මක වන බොදු බල, මහසෝන්, රාවණා වැනි ජාතිවාදී බලවේගවලින් වෙනස් වන්නේ කෙසේ ද? එක ම කාසියක දෙපැත්තේ කෙටී ඇති මිගෙලියානු ජාතිකවාදයෙන් හා දනියෙලානු ජාතිවාදයෙන් මිදී ඉන් ඔබ්බට ගමන් කළ හැකි දේශපාලන බලවේගයකට අවැසි ජීව ගුණයකින් හා විභවයකින් රණවක ප‍්‍රමුඛ ජාතික මගට ඒකරාශි කළ හැකි ද ?


පශ්චාත් අපේ‍්‍රල් 21 තත්ත්වය සිංහල ජාතිකවාදී හා ජාතිවාදී ඇරීනාව රත් කළ අතර එහි නායකත්වය තව දුරටත් තහවුරු කර ගැනීමට හා නව නායකත්වයන් ඉස්මත්තට පැමිණෙන්නට විවිධ කොටස් අතර නව තරගයක් මතු ව තිබේ. අන්තවාදී හෙළ-බොදු හා මුස්ලිම්-ඉස්ලාමික කණ්ඩායම් දෙකකට තමන් ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් ව සිටින කාලයේ රහස් ගිණුමකින් මුදල් හා පඩිනඩි මුදා හළ බවට නැගී ඇති චෝදනාවෙන් ගෝඨාභය නායකත්වය දෙන ජාතිකවාදී සංවිධානවල දිස්නය පහ ව ගියේ ය. තමන්ගේ ම පාසලේ පිට්ටනියේ පවත්නා ක‍්‍රීඩා තරගයක් ලෙස සංවිධානය වුණ ද, දිල්කා මෙනෙවිය කෙතරම් පුල්-ටොස් දැම්ම ද, ගෝඨාභය මහතා දෙරණ 360 වැඩසටහනේ තම සුපුරුදු ‘කූල්’ සිනාවෙන් මිදී අවුල් සහගත ව හැසිරුණේ ඒ නිසා විය හැක. එයින් යම් ආකාරයකට නිර්මාණය වූ රික්තකයක් තුළ ය මෙම නව තරගකරුවන් අප දකින්නේ. රණවක පමණක් නොව ‘යුතුකම’ ද දැන් තරමක් රෙපරමාදු වී ඇත. ඔවුන් විසින් නගරය පුරා අලවන ලද ඇන්ජී ඕ පන්නයේ පාඨ සහිත පෝස්ටර් ව්‍යාපාරය කදිම උදාහරණයකි. පසු ගිය කාලය පුරා ම ආගිය අතක් නැති ව හුන් රතන හිමියෝ පසුගිය සතියේ කොළඹට වැඩම කළෝ මුස්ලිම් අන්තවාදය නසන පස් මග වන් නමක් ඇති පොතක් එළි දැක්වීමට ය.

එම උළෙලට ආරධිත කථික මණ්ඩලය ද, කාදිනල් ද ඇතුළු, නව මිගෙලියානු-දනියෙලූයානු චරිත ය. එහෙත් කුකුසට හේතුවන කරුණ වන්නේ, මේ අවකාශවලට අමරසේකර හා ද සිල්වා වැනි ජ්‍යේෂ්ඨ ජාතිකවාදීන් වැද්ද නොගන්නේ ඇයි ද යන්නයි. නව රෙපරමාදු තත්ත්වයට ඔවුන්ගේ තෙම්පරාදු චින්තන හා යටගියාව නොගැළපෙන නිසා ද? එසේත් නැත්නම් අලූත් මුහුණු කිහිපයකට අවස්ථාව දීම ද?


කුමන හේතුවක් නිසා හෝ සමාජය පරිණාමය වීම සාධනීය දෙයකි. ජාතිවාදය පිළිකෙව් කළ යුතු අතර ජාතිකවාදය පිළිබඳ බරපතළ හා නැවුම් රෙපරමාදුවක් වේ නම් එය ට අවස්ථාවක් දිය යුතු ය. ජාතික මග ගත යුතු අභියෝගය එය ය. සිනාවෙන් හෝ කතාවෙන් හෝ මිනිසා මනින්නට නොහැකි බව මේ වෙසක් සමයේ වෙනදා වාතලයේ වැජඹෙන බෙග් මාස්ටර්ගේ ගීතය අපට මතක් කර දෙයි. සිතේ ඇති දේ කීම ද එය ක‍්‍රියාවෙන් කර පෙන්වීම ද ජාතික මග කළ යුතු ය.

එසේ කළහොත් එය නවමු බලවේගයක් ලෙස ජාතිකත්ව කඳවුර තුළ පෙරමුණ ගනු ඇත. මතවාදී, දේශපාලනික හා උපායශීලී තලයේ රණවක ඉදිරියේ ඇති අභියෝගය හා වගකීම ජාතිකත්ව කඳවුරෙන් ඔබ්බට දිවෙන්නකි. දකුණේ මාතර සිට ඇමති සමරවීර කළ ප‍්‍රකාශය ද උතුරේ මුල්ලිවයික්කාල්හි දශක සැමරුම ද එළඹුණු සතියේ සෙසු වැදගත් සන්ධිස්ථාන වන අතර එම අභිලාෂයන් ද වත්මන් ජාතිකත්ව කතිකාවට නොතකා හළ නොහැක. මේ දේශපාලන මොහොතට අවැසි රෙපරමාදුව කරනට රණවකට හැකි වුවහොත් ඔහු සැබෑ නායකයෙකු ලෙස ඉතිහාසගත වනු ඇත.x


ෆ වෙනසකට භාජනය වන ලද හෝ සංශෝධනය වූ තත්වයකට පරණ සිංහල භාවිතයේ ඇති යෙදුම ‘රෙපරමාදු’ ය. එය රිෆෝර්ම්ඞ් ( reformed ) යන ඉංග‍්‍රීසි වචනයේ මූලයෙන් අවුත් පසු ව සිංහල වචනයක් ලෙස ජන වහරට එක් වූවකි. මෙය යටත් විජිත කාලයේ ඕලන්ද ක‍්‍රිස්තියානි නිකායක නමක් වන Dutch Reformed Church ( ඕලන්ද රෙපරමාදු සභාව* යන්නෙන් අපගේ වචනාවලියට එක් වූවකි.

උදන් ප‍්‍රනාන්දු