විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම සඳහා ජවිපෙ ඉදිරිපත් කර තිබෙන 20 වන සංශෝධන යෝජනාව පිළිබඳව ඉදිරි සතිය ඇතුළත එජාප, දෙජාස, ශ්‍රීලමුකො ඇතුළු පාර්ලිමේන්තුවේ දේශපාලන පක්ෂ සමඟ සාකච්ඡා කිරීමට එම පෙරමුණ බලාපොරොත්තු වන බව වාර්තා වෙයි.
20 වන සංශෝධන යෝජනාව පිළිබඳ තීන්දුවක් ගැනීමේ බලය ජනමත විචාරණයකින් ජනතාවට ලබාදිය යුතු බවත්, ඒ සඳහා පාර්ලිමේන්තුවෙන් තුනෙන් දෙකක අනුමැතිය ලබාගැනීමට සහයෝගය දෙන ලෙසත් ඉල්ලා සිටීම මෙම සාකච්ඡාවල අරමුණ වී තිබේ.


දෙමළ ජාතික සන්ධානය සමඟ මාර්තු 12 වන සඳුදා සාකච්ඡා කිරීමට යෝජනා වී තිබෙන බව වැඩිදුරටත් වාර්තා වෙයි.


විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ සහ ජනතා විමුක්ති පෙරමුණ අතර සාකච්ඡාවක් මාර්තු 6 වැනිදා පාර්ලිමේන්තුවේදී පවත්වා තිබුණි. එහිදී මහින්ද රාජපක්ෂ පවසා තිබුණේ තමන් විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමට එකඟ බවයි. එසේවුවද විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමේදී මැතිවරණ ක්‍රමයේ සහ 13 වැනි සංශෝධනයේ වෙනසක්ද සිදුවිය යුතු බව මහින්ද රාජපක්ෂ එහිදී කියා තිබුණි.


ජවිපෙ පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත්ගේ පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක් ලෙස ඉදිරිපත් වූ 20 සංශෝධනය පිළිබඳව ආණ්ඩුවේ නිරීක්ෂණ මාර්තු 05 වැනිදාට පෙර ඉදිරිපත් කළ යුතුව තිබුණි. ආණ්ඩුව ඊට පෙර නිරීක්ෂණ ඉදිරිපත් නොකළ නිසා මාර්තු 05 වැනිදායින් පසු දිනයක 20 වන සංශෝධන යෝජනාව පාර්ලිමේන්තුවේ විවාදයට ලක් කළ හැකිය. ඒ අනුව 20 වන සංශෝධනය විවාදයට ගත හැකි දිනයක් පිළිබඳවත් සාකච්ඡාවට ලක් කිරීමට නියමිත බව වාර්තා වෙයි.