පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳ ජනාධිපති විශේෂ විමර්ශන කොමිෂන් සභාවේ වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර හමාරය. වාර්තාවේ ඇති කරුණු නිසි පරිදි ක්‍රියාත්මක නොවුණොත්, අලුත් අර්බුදයක් ඇති විය හැක.

‘බොදු බල සේනා තහනම් කළ යුතුය’
පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳ ජනාධිපති කොමිෂන් සභා වාර්තාවේ නිර්දේශ අතර එසේ සඳහන් වෙයි. මේ නිර්දේශය නිසාම ජාතිවාදයට එරෙහි මතයක් දරණ බොහෝ දෙනෙකු සෑහීමට පත්ව ඇත.
එහෙත්, මෙම වාර්තාවේ ඇතැම් නිර්දේශ සලකන විට, මේවා වැරදියට ක්‍රියාත්මක කළොත් කුමක් වනු ඇතිදැයි කුකුසක් ඇති වෙයි. මේ වාර්තාව සමස්තයක් ලෙස නිර්දේශ කර ඇත්තේ දැඩි ආරක්ෂකවාදී රාජ්‍යයකි. ශක්තිමත් බුද්ධි සේවයකි. යුද්ධ කාලයක මෙන් ජාතික ආරක්ෂාවට ප්‍රමුඛතාව සැලසීමකි. පුරවැසියන්ගේ ක්‍රියාකාරකම් නිරීක්ෂණය කර, විශ්ලේෂණය කිරීමකි.
ඇතැම් පුරවැසියන්ගේ ක්‍රියාකාරකම්, විශ්වාස නියාමනය කිරීමකි. මේ නිර්දේශ ඉවසීමෙන්, පරිණත දේශපාලනයක යෙදෙන ආණ්ඩුවක් ක්‍රියාත්මක කරනවා නම්, සැක තබාගන්න ඕනෑ නැත. එහෙත්, මේ ආණ්ඩුව උක්ත වාර්තාව කොතැනින් අල්ලාගනු ඇතිද. ප්‍රශ්නය එතැනය.
මෙම කොමිෂන් සභා වාර්තාව විමසිල්ලෙන් බලන විට ප්‍රහාරය එල්ල කළේ කවුද?, කෙලෙසද?, ඇයිද? එයට ඉඩ සැලසුණේ හරියටම කෙලෙසද? යන පැනවලට පිළිතුරු වාර්තාවේ නැති බව පෙනේ. එහෙත්, ඒ ප්‍රශ්නවලට පිළිතුරු සෙවිය යුත්තේ අධිකරණ ක්‍රියාදාමයකින් විය යුතු නිසාත්, මෙවැනි වාර්තාවකින් විය යුත්තේ ත්‍රස්ත ප්‍රහාරයට පසුබිම් වූ සාධක සොයා බැලීම නිසාත් ඒ ගැන ප්‍රශ්න කිරීමෙන් වැඩක් නැත.

නඩු පැවරීම්
වාර්තාවේ නිගමන අතර තම වගකීම් පැහැරහරින ලද නිලධාරීන්ට එරෙහිව නඩු පැවරිය යුතු බව සඳහන්ය. ඒ බව බොහෝ මාධ්‍ය දැනටමත් වාර්තා කර හමාර නිසා අපි අමුතුවෙන් විස්තර නොකරන්නෙමු. හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ, හිටපු ආරක්ෂක අමාත්‍යාංශ ලේකම් හේමසිරි ප්‍රනාන්දු, හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර, හිටපු බුද්ධි අංශ ප්‍රධානීන් වන සිසිර මෙන්ඩිස් හා නිලන්ත ජයවර්ධන වගකීම් පැහැරහරින ලද නිලධාරීන් අතර සිටී. ඒ සඳහා පියවර ගැනීම වෙනුවෙන් වාර්තාව නීතිපතිවරයාට ලබා දීමටත් නිර්දේශ කර ඇත.
‘පාස්කු ඉරිදා ප්‍රහාර මෙන්ම ත්‍රස්තවාදී නඩු සම්බන්ධ සියලු අපරාධ නඩු විභාග කිරීමට හා අවසන් කිරීමට කැප වූ මහාධිකරණ පිහිටුවීම. මේ සම්බන්ධයෙන් විනිසුරුවන්ට විහේෂ රැකවරණයක් මෙන්ම පුහුණුවක්ද ලබා දිය යුතුය. දිනපතා නඩු විභාග කළ යුතුය.’
යනුවෙන් වාර්තාවේ සඳහන් වෙයි. ඒ අනුව ප්‍රහාරයේදී සිදු වූ අපරාධවලට යුක්තිය ඉටු විය යුත්තේ එවැනි යාන්ත්‍රණයකිනි. මෙවැනි කොමිසමක වාර්තාවකින් අප බලාපොරොත්තු විය යුත්තේ සමාජය, රාජ්‍ය යාන්ත්‍රණය, ආරක්ෂක යාන්ත්‍රණය ආදී ක්ෂේත්‍රවලට යෝජනා කර ඇති වෙනස්කම් මොනවාද කියාය. කොමිසම පිටු සිය ගණනක් වැය කරමින් එවැනි නිර්දේශ ගණනාවක් ඉදිරිපත් කර ඇත. අපගේ උත්සාහය ඒවායේ සංක්ෂිප්තයක් ගෙන හැර දැක්වීමය.

යහපාලනයක් නැතිව බෑ
මෙම කොමිසමේ නිර්දේශ අතර තිබුණු ඉතා වැදගත් නිර්දේශයක් උපුටා දැක්විය යුතුය. යම් රටක ත්‍රස්තවාදය හෝ වෙනත් ඕනෑම අපරාධ පසුබිමක් හැදෙන්නේ පාලනය දුර්වල වෙද්දීය. වාර්තාවේ මෙසේ සඳහන්ය.
‘රජයේ පරිපාලනයේ වැදගත් අංග තුනක් නොමැති වීම රැඩිකල්කරණ ක්‍රියාවලියේදී වැදගත් භූමිකාවක් ඉටු කරයි. එනම් යහපාලනය නොමැතිකම, ඵලදායී අධිකරණ පද්ධතියක් නොමැති වීම සහ ජනතා ප්‍රශ්න නැගීමට වේදිකා නොමැති වීම. මෙම අංග තුනේ ඇති සියලුම අඩුපාඩුකම් සපුරාලීම සඳහා ඵලදායී හා ප්‍රායෝගික පියවර ගැනීම වැදගත්ය. අන්තර්ජාතික ත්‍රස්තවාදය පිළිබඳ විශේෂඥයෙකු වන මහාචාර්ය රොහාන් ගුණරත්න මහතා සාක්ෂි දෙමින් කියා සිටියේ යහපාලනය නොමැතිකම, ආයතනික අසසාර්ථකත්වය සහ දේශපාලන අස්ථාවරත්වය ත්‍රස්තවාදීන්ට ක්‍රියාත්මක වීමට සාරවත් පදමක් සපයන බවයි. 2016 සිට සහරාන් යහපාලනයේ අඥතාවය හා අධිකරණ පද්ධතිය පිළිබඳ කතා කළේය.’

ආගමික යෝජනා
මෙම කොමිෂන් වාර්තාවේ ආගමික කටයුතු පිළිබඳ කර ඇති යෝජනා දෙස විමසිල්ලෙන් බැලීම වටී.
එක් නිර්දේශයක් මෙසේය. ‘අනෙකුත් සියලුම ආගමික විද්‍යාල (බෞද්ධ, ක්‍රිස්තියානි සහ හින්දු) මද්‍රාසා මෙන් නියාමනය කළ යුතුය. මෙම ආගමික පාසල්වල විෂයමාලාව මද්‍රාසා සඳහා යෝජනා කර ඇති ආකාරයටම රජය විසින් නියාමනය කළ යුතුය.’
ඒ අනුව ඔවුන් නියාමනයට යෝජනා කරන්නේ මුස්ලිම් අධ්‍යාපන ආයතන පමණක් නොවේ. කොමිසම මුස්ලිම් අධ්‍යාපන ආයතන දෙස විශේෂ විමසිල්ලකින් බලා ඇති බව සැබෑය. එහෙත්, අනෙකුත් ආගම්වල අන්තවාදය ඉගැන්වීමක් නැතිද? වෛරය පැතිරවීමක් නැතිද? ඒවා ගැනත් සොයා බලන්නට කොමිසම යෝජනා කරන්නේ ඔය පසුබිමේය.
‘සිංගප්පූරුවේ ආගමික සමගිය පවත්වාගෙන යෑමේ පනතට සමාන නීතියක් පැනවීම. ඕනෑම ආගමික කණ්ඩායමක හෝ ආයතනයක අධිකාරී තනතුරක සිටින පුද්ගලයෙකුට එරෙහිව වාරණ නියෝග පැනවීමට ජනාධිපතිවරයාට/ අගමැතිවරයාට හෝ නම් කරන ලද අමාත්‍යවරයාට බලය ලබා දීම.’ මෙහි එන තවත් යෝජනාවකි.
එයින් යෝජනා කර ඇත්තේ යම්කිසි ආගමික නායකයෙකු ජාතීන් අතර ගැටුම් ඇති වන අන්දමේ ක්‍රියාකාරකමක් කිරීම, අනවශ්‍ය ආකාරයට ආගම පැතිරවීමට කටයුතු කිරීම ආදී ක්‍රියාවක් සිදු කළොත් වාරණ නියෝගයක් ලබා දීමට පසුබිම සකසන ලෙසය.
අප මුලින් කී සැකය මතු වෙන්නේ මෙවැනි යෝජනා ක්‍රියාත්මක කළහොත්, අපේ රටේ ආණ්ඩු ප්‍රායෝගිකව කුමක් කරනු ඇතිද කියාය. අපේ දේශපාලන නායකයන් කිසිදා බෞද්ධ හිමිනමකගේ අන්තවාදයට එරෙහිව පියවර ගනීවිද. නැත්නම් මෙවැනි යෝජනා සුළුතර කණ්ඩායම් මර්දනයට පාවිච්චි කරනු ඇතිද?
කොමිසම එයට නිර්දේශ කර ඇති සහනය මෙසේය. ‘විවිධ ආගම්වල සමතුලිත නියෝජනයක් සහිත සියලුම ආගමික නායකයන්ගෙන් සමන්විත ජනාධිපති උපදේශන කමිටුවක් පත් කිරිම. එවැනි වාරණ නියෝගයක් දීමට පෙර ජනාධිපති/ අගමැති හෝ නම් කරන ලද අමාත්‍යවරයා මෙම උපදේශක කමිටුවේ උපදෙස් ලබා ගත යුතුය.’
සෑම ආගමකටම අදාලව නිකුත් කළ කොමිසමේ තවත් නිර්දේශ කිහිපයක් මෙසේය.
‘ජනවාර්ගික හා ආගමික වෛරය අවුලුවාලීම වැළැක්වීම සඳහා පුළුල් නීතිමය රාමුවක් නිර්මාණය කිරීම. එවැනි වෛරයක් ඇති කරන ඕනෑම පුද්ගලයෙකුට හෝ කණ්ඩායමක් දඩයකට යටත්ව තහනම් කළ යුතුය.’
‘අන්තවාදී හෝ ත්‍රස්තවාදී අන්තර්ගතයන් ප්‍රකාශයට පත් කිරීම වැළැක්වීම සඳහා සියලුම ආගමික ප්‍රකාශන නියාමනය කළ යුතුය.’
‘සියළුම දහම් පාසල්, ඉරිදා පාසල් හා අහඩියා සහ තත්කියා පාසල් රජය එකම ආයතනයක් යටතේ නියාමනය කළ යුතුය.’
‘ආගමික වන්දනා සිද්ධස්ථාන ලෙස භාවිතා කිරීම සඳහා කිසියම් ගොඩනැගිල්ලක්, පිළිමයක් හෝ වෙනත් වස්තුවක් ඉදි කිරීම හෝ ස්ථාපිත කිරීම හෝ ඕනෑම ගොඩනැගිල්ලක් පරිවර්තනය කිරීම නියාමනය කළ යුතුය.’ එම නිර්දේශයේ සඳහන් වන්නේ එම නියාමනය මධ්‍යම රජයෙන් කළ යුතු බවය.
‘බෞද්ධ, ක්‍රිස්තියානි, හින්දු හෝ ඉස්ලාම් ආගමික බෙදීම් වර්ගීකරණය කිරීම වෙනුවට ජාතික හා පළාත් පාසල් මෙන්ම ජාත්‍යන්තර පාසල්ද අනාගතයේදී සැකසීම. සෑම පාසලකම රටේ ආගමික සංයුතිය නියෝජනය කරන ශිෂ්‍ය ජනගහනයක් සිටිය යුතුය.’
‘පවත්නා සියලුම පාසල් බෞද්ධ, ක්‍රිස්තියානි, හින්දු හෝ ඉස්ලාම් ආගමික බෙදීම්වලින් නිදහස් කළ යුතු අතර එවකට හා පළාත් මට්ටමේ මෙන්ම සියලු ආගම්වල සිසුන් අන්තර්ක්‍රියා කරන ජාත්‍යන්තර පාසල්වල ද මිශ්‍ර පාසල් පද්ධතියක් ස්ථාපිත කළ යුතුය. මෙය යම් කාල පරිච්ඡේදයක් තුළ සිදු කළ යුතු අතර එමගින් පාසල්වලට වෙනසකට හැඩ ගැසීමට ඉඩ ලබා දේ.
සෑම පාසලකම සිසුන්ට ඔවුන්ගේ ආගම් නොසලකා ආගමික අධ්‍යාපනය යන නව විෂයක් ඉගැන්විය යුතුය. එහිදී බුද්ධාගම, ක්‍රිස්තියානි ධර්මය, හින්දු සහ ඉස්ලාම් යන මූලික කරුණු 1 ශ්‍රේණියේ සිට 19 ශ්‍රේණිය දක්වා අනිවාර්ය පදනමක් මත ඉගැන්විය යුතුය.
බෞද්ධ, ක්‍රිස්තියානි, හින්දු සහ ඉස්ලාම් සංස්කෘතිය, සාහිත්‍යය, ජන කතා, සංගීතය, නාට්‍යය සියලු දරුවන් සඳහා නව විෂයක් ලෙස හඳුන්වා දිය යුතුය.’
මේ යෝජනාවලින් පෙනෙන්නේ පොදුවේ ආගමික ක්‍රියාකාරකම් සහ අධ්‍යාපනය ගැන අවධානය යොමු කරමින් කොමිසම නිර්දේශ ඉදිරිපත් කර ඇති බවය.

රාසික් සහ ඥානසාර හිමි
පසුගිය කාලයක් තිස්සේ අනෙකුත් ජනවර්ග අවුස්සන ප්‍රකාශ සහ ක්‍රියාකාරකම් කරමින් නිදැල්ලේ සිටි අය අතරින් ප්‍රමුඛයන් දෙදෙනා වන අබ්දුල් රසාක් සහ ගලගොඩඅත්තේ ඥාණසාර හිමි ගැන වාර්තාවේ පැහැදිලි නිර්දේශ ඇත.
රාසික් රෆිදීන් නොහොත් අබ්දුල් රාසික්ට එරෙහිව අපරාධ චෝදනා ගොනු කළ හැකිද යන්න කඩිනමින් සලකා බැලීමට නීතිපතිවරයාට නිර්දේශ කර ඇත. ඒ ත්‍රිවිධ රත්නය මැණික් ගල් තුනක් යැයි කීමත්, බුදු හිමියන් මස් මාංශ අනුභව කළ බව ප්‍රකාශ කිරීමත් නිසාය.
2007 අංක 56 දරණ සිවිල් හා දේශපාලන අයිතිවාස්කම් පිළිබඳ ජාත්‍යන්තර සම්මුතිය පනත ප්‍රකාරව ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන්ට අපරාධ නඩු පැවරිය හැකිද යන්න සලකා බැලීම සඳහා නීතිපතිවරයා 2013 පෙබරවාරි 17 දින මහරගම සහ 2014 ජුනි මාසයේ පෝයදාට පසු දින අලුත්ගම යන නගරවල කරන ලද කථාවන් සලකා බලන මෙන් පර්යේෂණ කොමිෂන් සභාව නිර්දේශ කර තිබේ.

සමාජ මාධ්‍ය නියාමනය
ක්‍රියාත්මක කළොත් විට කෙසේ කරනු ඇතිදැයි සිතාගත නොහැකි තවත් නිර්දේශය වන්නේ සමාජ මාධ්‍ය පිළිබඳ කොමිසමේ තිබෙන නිර්දේශය.
‘සමාජ මාධ්‍යයෙහි පළ වෙන විවිධ ප්‍රකාශ අධීක්ෂණය, කළමණාකරණය සහ ඉවත් කිරිම සඳහා ධාරිතාව වැඩි දියුණු කළ යුතුය. ආගමික වෛරය පැතිරවීම සඳහා සමාජ මාධ්‍ය භාවිතා කරනු ලැබේ. අවශ්‍ය නීතිමය විධි විධාන පැනවීමෙන් අන්තවාදී සහ ත්‍රස්තවාදී ක්‍රියාකාරකම් මැඩ පැවැත්වීම සඳහා සමාජ මාධ්‍ය අවහිර කිරීමේ වලංගුතාවය ලබා දිය යුතුය.’
‘නූතන ත්‍රස්තවාදී හා අන්තවාදී තර්ජනය සයිබර් අවකාශයේ ප්‍රබල ලෙස පවතී. අයිඑස්, වහාබ්වාදය හා තවුහිද් වැනි අන්තවාදී ආගමික මතවාද ශ්‍රී ලංකාවට ප්‍රවේශ වීම නොහැකි බවට සහිත කිරීම සඳහා සමාජ මාධ්‍ය ඇතුළු සයිබර් අවකාශය නියාමනය කළ යුතුය.
සයිබර් අවකාශයේ අන්තවාදී ආගමික වෙබ් අඩවි සහ බ්ලොග් අඩවි ක්‍රියාත්මක කරන අය වහාම විමර්ශනය කිරීම, චෝදනා කිරීම, නඩු පැවරීම, නඩු විභාග කිරීම හා දඬුවම් ලබා දිය යුතුය.’
දැනටමත් ආණ්ඩුව සයිබර් අවකාශය නියාමනයට මධ්‍යස්ථානයක් පිහිටුවීමේ උනන්දුවක සිටී. මේ කොමිසමේ නිර්දේශයත්, ආණ්ඩුවේ සැලසුම් සාධාරණීකරණයට යොදාගැනීමේ ඉඩක් ඇත.

ප්‍රතිරැඩිකල්කරණ යෝජනාව
මෙම වාර්තාව එන්නට පෙර සිට ආණ්ඩුව සැලසුම් කරමින් සිටි වැඩසටහනක් වන්නේ ‘අන්තවාදීන්’ පුනරුත්ථාපනය සඳහා රඳවාගැනීමේ වැඩසටහනකි. ඒ සඳහා පනතක් කෙටුම්පත් කරමින් සිටි අතර, කැබිනට් මණ්ඩලය දැනුවත් කර තිබුණි.
මෙවැනි වැඩසටහනක් චීනයේ ක්‍රියාත්මක වන අතර මුස්ලිම් ජාතිකයන් බලහත්කාරයෙන් රඳවා ගනිමින් ඔවුන්ගේ අයිතිවාසිකම් උල්ලංඝනය කරන වැඩසටහනක් බවට එය පත්ව ඇතැයි බරපතල මානව හිමිකම් චෝදනා එල්ල විය.
කොමිසම මෙසේ නිර්දේශ කර ඇත.
‘ඉස්ලාමය සහ අනෙකුත් ආගමික රැඩිකල්වාදීන් විසින් එල්ල කරනු ලබන තර්ජනයට එරෙහිව සටන් කිරිම සඳහා රැඩිකල්කරණය වැළැක්වීම සඳහා ආරක්ෂාව සහ වෙනත් ක්‍රියාමාර්ග වැඩිදියුණු කිරීම පමණක් ප්‍රමාණවත් නොවන බැවින් ආගමික අන්තවාදීන් රැඩිකල් කිරිම සඳහා කාර්යක්ෂම පුනරුත්ථාපන ක්‍රියාවලියක් ක්‍රියාත්මක කිරිම.
එසේ කිරීමේදී පුනරුද්ධාපත හා සේවයෙන් පහ කිරීමේ ක්‍රියාවලීන් හා සංකල්පවල වෙනස්කම් පිළිබඳ පැහැදිලි අවබෝධයක් ලබා දිය යුතුය. වැඩසටහන මගින් රැඩිකල්කරණය අක්‍රිය කිරීම පමණක් නොව අක්‍රිය වීමෙන් ඔබ්බට ගොස් නිර්රැඩිල්කරණය ළඟා කර ගැනීමට උත්සාහ කිරීම වැදගත්ය.’
‘ප්‍රතිරැඩිකල්කරණය අරමුණු කරගත් පුනරුත්ථාපන වැඩසටහනකට ආගමික අන්තවාදීන් හෝ ත්‍රස්තවාදීන් ඇතුළත් කර ගැනීමේ අදහසින්, වැළැක්වීමේ අරමුණින් සිදු කෙරෙන රඳවා තබා ගැනීම් සඳහා අවශ්‍ය ව්‍යවස්ථාදායක විධි විධාන අනුගමනය කළ යුතුය.’
ආණ්ඩුව පසුගිය කාලයේ ‘අන්තවාදීන්’ යැයි කියමින් අත්අඩංගුවට ගත් පුද්ගලයන් දෙස බලන විට, මෙවැනි ප්‍රතිරැඩිකල්කරණ වැඩසටහකට හසු විය හැක්කේ කුමනාකාරයේ පුද්ගලයන්දැයි කුකුසක් ඇති වෙයි.

වහාබ්වාදය
මෙම වාර්තාව ඉස්ලාම් ආගමික ඉගැන්වීමක් වන වහාබ්වාදය තහනම් කළ යුතු බව යෝජනා කර ඇත. වාර්තාවේ තැන් කිහිපයක ඊට අදාල නිර්දේශ ඇත.
‘2019 අප්‍රේල් 21 දින සිදුවීම සඳහා මූලිකව හේතු වන්න් වහබ් දෘෂ්ඨිවාදය සහ තවුහිද් කණ්ඩායම්, ශ්‍රී ලංකා ජමාතේ ඉස්ලාම් සහ ශ්‍රී ලංකා ජමාතේ ඉස්ලාම් ශිෂ්‍ය ව්‍යාපාරය වැනි කණ්ඩායම්ද, ජාත්‍යන්තර අයිඑස් සංවිධානයේ ක්‍රියාකාරකම් සහ දේශීය වශයෙන් බොදු බල සේනා සංවිධානය වැනි අන්තවාදී කණ්ඩායම්වල ක්‍රියාකාරකම් මෙම සිදුවීම සඳහා දායක වූ බව පරීක්ෂණ කොමිෂන් සභාව නිගමනය කරයි.’
‘වහබ්වාදී සංවිධාන බැවින් සියළුම තවුහිද් සංවිධාන තහනම් කළ යුතුය.’
‘ශ්‍රී ලංකා ජමාතේ ඊ ඉස්ලාම් සංවිධානය සහ ජමාතේ ඊ ඉස්ලාම් ශිෂ්‍ය ව්‍යාපාරය තහනම් කළ යුතුය. සුදුසු නීතිය යටතේ අපරාධ චෝදනා ගොනු කිරීම සඳහා එහි ක්‍රියාකාරකම් සහ සාමාජිකයන් පිළිබඳ ගැඹුරු පර්යේෂණයක් පැවැත්විය යුතුය.’
‘ඉබ්නු තයිමියා, ඉබ්නු අබ්දුල් වහබ්, අබ්දුල් අල මෞදුදි සහ හසන් අල් ඛන්නා යන අය වහාබ්වාදය පිළිබද විද්වතුන් වන නිසා ඔවුන්ගේ ඉගැන්වීම් හා ප්‍රකාශන තහනම් කළ යුතුය.’
‘මැලේසියාව, රුසියාව සහ ටජිකිස්ථානය යන රටවල වහාබ්වාදය දේශනා කිරීම තහනම්ය. වහාබ්වාදය තහනම් කරන ඊජිප්තුව වහබ් සහ සලාෆි විශාරදයන් වන අබ්දුල් වහබ්, ඉබ්නු තයිමියා, ඉබ්න් බාස්, ගුතයිම්, ඉබ්ල් උතාමින් හා වෙනත් අය ලියන ලද සියලුම පොත් ඉවත් කිරීමට නියෝග කර තිබේ.’
මුස්ලිම් ජනතාවගේ ආගමික මතයක් දැරීමේ අයිතිය උල්ලංඝනය නොවන ආකාරයට මෙවැනි තහනම් කිරීම් කරන්නේ කෙලෙසද යන්න වෙනම විමසිය යුතු මාතෘකාවකි.

ආරක්ෂක රාජ්‍යයක්
කොමිෂන් වාර්තාවෙන් පොලීසිය සහ ආරක්ෂක අංශ ප්‍රතිසංස්කරණයට නිර්දේශ ගණනාවක් ඉදිරිපත් කර තිබේ.
‘ආගමික විරෝධී පැමිණිලි අධීක්ෂණය සඳහා ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයෙකු යටතේ වෙනම අංශයක් ස්ථාපිත කිරීමට යෝජනා කර ඇත. රටේ සෑම පොලිස් ස්ථානයකටම එම කොට්ඨාශයේ නියෝජිතයන් සිටිය යුතු බව නිර්දේශ කර ඇත.’ උක්ත නිර්දේශය සියළු ආගමික හා ජනවාර්ගික කණ්ඩායම්වලට සාධාරණ පරිදි ක්‍රියාත්මක වුණොත් යහපත් එකකි.
කෙසේ වෙතත් පොලීසිය ආදී ආයතන සඳහා කොමිසම යෝජනා කර තිබෙන නිර්දේශ බොහෝ දුරට එම ආයතනය මහජනතාව දෙස සැකයෙන් බලන, ආරක්ෂක දැලක් එලූ ආයතනයක් බවට හැරවීමට කරන ලද යෝජනාය.
‘රහස් පොලීසිය සහ ත්‍රස්ත විමර්ශන අංශය එක් නියෝජ්‍ය පොලිස්පතිවරයෙකු යටතට පැවරිය යුතු බව නිර්දේශ කර ඇත.’
‘ත්‍රස්ත විමර්ශන ඒකකයේ ඒකක රටේ විවිධ පළාත්වල උප කාර්යාල පිහිටුවමින් පුළුල් කිරීමට යෝනජා කර ඇත.’
‘රහස් පොලීසිය හා ත්‍රස්ත විමර්ශන ඒකකයේ රැඳවුම් පහසුකම් පුළුල් කර නවීකරණය කළ යුතු බව නිර්දේශ කර ඇත.’
‘පොලීසියට නවීන තාක්ෂණය, දත්ත හුවමාරු කිරීම සහ ජාත්‍යන්තර සහයෝගය සහිතව පර්යේෂණ ඒකකයක් ස්ථාපිත කිරීමටත්, එය පොලිස්පතිවරයා යටතේ පවත්වාගැනීමටත් යෝජනා කර ඇත.’
‘බුද්ධි අංශවලට අදාල යෝජනාවලදී මනෝ විද්‍යාඥයන්, සමාජ විද්‍යාඥයන්, දේශපාලන විද්‍යාඥයන්, තොරතුරු තාක්ෂණ විද්‍යාඥයන්, පරිගණක විද්‍යාඥයන් සහ ජාත්‍යන්තර කටයුතු පිළිබඳ විශේෂඥයන් රාජ්‍ය බුද්ධි අංශ වෙත බඳවා ගැනීමට නිර්දේශ කර ඇත.’
රාජ්‍ය බුද්ධි අංශයේ ජාත්‍යන්තර විශ්ලේෂණ මධ්‍යස්ථානය නැවත ප්‍රතිස්ථාපනය කිරීමේ යෝජනාව, රාජ්‍ය බුද්ධි අංශයේ නිලධාරීන් ඉදිරිපත් කරනු ලබන සියළුම ඉදිරිපත් කිරීම් රාජ්‍ය බුද්ධි අංශයේ දත්ත පද්ධතියේ ගබඩා කිරීම එහි නිර්දේශ අතර ඇත.
‘ආරක්ෂක අධ්‍යන ආයතන නමින් ආයතනයකුත්, එහි ප්‍රධානියා ලෙස ත්‍රස්තවාදය සහ අන්තවාදය පිළිබඳ විශේෂඥයෙකු පත් කිරීමත් වාර්තාවෙන් යෝජනා කර ඇත.’
මීට අමතරව කොමිසමේ තවත් නිර්දේශ ගණනාවකින් මූලිකව යෝජනා කර තිබෙන්නේ ජනතාව ආවේක්ෂණය කරන රාජ්‍ය යාන්ත්‍රණයකි. ආගමික අන්තවාදය පිටුදැකීමේ අරමුණෙන් නොව, වෙනත් දේශපාලන අරමුණු නිසා වත්මන් රජය එවැනි යාන්ත්‍රණයක් සකස් කිරීමට ඉතා උනන්දු වනු ඇත. මෙම කොමිසමේ වාර්තාව එවැනි ක්‍රියාවලියක් සාධාරණීකරණයට යොදා ගනු ඇත.

රාජ්‍ය නොවන සංවිධාන
වත්මන් ආණ්ඩුවට ජිනීවාහි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස්වරියගේ වාර්තාවෙන් එල්ල වී තිබෙන බරපතල චෝදනාවක් වනුයේ රාජ්‍ය නොවන සංවිධානවලට ස්වාධීනව කටයුතු කිරීමට ඉඩ නොදී බාධා එල්ල කිරිමය.
පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයට ආගමික අරමුණු තිබෙන රාජ්‍ය නොවන සංවිධානවල ක්‍රියාකාරීත්වය හේතු වී ඇතැයි කොමිසම හඳුනාගෙන තිබෙන නිසා රාජ්‍ය නොවන සංවිධාන පිළිබඳ ඔවුන් නිර්දේශ කර ඇත.
එම නිර්දේශ මෙසේය.
‘ලාභ නොලබන, රාජ්‍ය නොවන සංවිධාන හා පුණ්‍යායතන ලියාපදිංචි කිරීම විධිමත් කිරීම සහ රාජ්‍ය නොවන සංවිධාන මහලේකම් කාර්යාලයේ අධීක්ෂණ බලතල වැඩි කිරීම මගින් පනත සංශෝධනය කළ යුතුය. එවැනි සියලම සංවිධාන රාජ්‍ය නොවන සංවිධාන ලේකම් කාර්යාලය සමඟ අනිවාර්ය ලියාපදිංචි කිරීමේ ක්‍රියා පටිපාටියකට යටත් විය යුතු අතර එම නියාමන බලය ලේකම් කාර්යාලයේ බලතල අතරට ඇතුළත් විය යුතුය.’
ඊට අමතරව පළපුරුදු විමර්ශකයන් රාජ්‍ය නොවන සංවිධාන ලේකම් කාර්යාලයට අනුයුක්ත පදනම මත යොමු කිරීමටත්, රාජ්‍ය නොවන සංවිධාන ලේකම් කාර්යාලයේ කාර්ය මණ්ඩලය වැඩි කිරීම ආදිය සඳහන් කර ඇත. එම නිර්දේශ ආගමික අරමුණු ඇති සංවිධානවලට ක්‍රියාත්මක වේවිද? නැති නම් ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක අනෙකුත් ප්‍රජාතන්ත්‍රවාදී සංවිධානවලට එරෙහිව ක්‍රියාත්මක වේවිද කියා විමසිලිමත් විය යුතුය.■