වසර 9ක් තිස්සේ රටම කොල්ල කෑ කල්ලිය කුමත‍්‍රණයක් හරහා අගමැති තනතුර හා කැබිනට්ටුවද මංකොල්ල කෑහ. එහෙත් පසුගිය 13 වැනිදා ලද අධිකරණ නියෝගයෙන් පසුව එදිනම රාත‍්‍රියේදී රාජපක්ෂට නම්බු පිටින්ම කොස්කොල ඔටුන්න ගලවා දමා සාමාන්‍ය මන්ත‍්‍රීවරයා ලෙස පාර්ලිමේන්තු පැමිණෙන්නට ඉඩ කඩ තිබුණි. එහෙත් ඔහු පහුවදා උදෙන්ම පැමිණ අගමැති අසුනේ වාඩි වූයේය. ඉන්පසු තමුන් වෙත ඉදිරිපත් කෙරුණු විශ්වාසභංග යෝජනාව සඳහා ඡුන්දය විමසීමට මොහොතකට පෙර යෝජනාව ගෙන එනු ලැබූ අනුර කුමාර දිසානායක මහතාටද ඉඟියක් පා පුතා නාමල් මන්තී‍්‍රවරයා සමග සභා ගැබෙන් ඉවතට ගොස් ඇත. මංකොල්ලයට පසුදා සිටම මහින්ද මහතා සිරිසේන මහතාටද ශ‍්‍රීලනිපයටද කොකා පෙන්නන්නට පටන් ගත්තේය. කටවුට් බැනර්වල පවා පුංචියට පිටිපස්සෙන් ඉන්නට සිරිසේන මහතාට සිදු විය. මේ රාජපක්ෂලාගේ හැටිය.

එහෙත් රනිල් වික‍්‍රමසිංහ මහතාගෙන් අගමැති තනතුර කොල්ල කා ගත් මොහොතේ සිට ඔහු අනේක විධ අපහසුතා, අපහාසයන්, අවමානයන් ද විඳ දරා ගනිමින්ම විවිධ බලවේගයන් ද හවුල් කර ගෙන කටයුතු කල ආකාරය ඉතාම ප‍්‍රශස්ථය. එසේම කථානායකවරයා ඉතා ඉවසිලිවන්තව ජනතා පරමාධිපත්‍යය මතු කර පෙන්වන්නට ගත් ක‍්‍රියාමාර්ගයන් ද ඉතාම විශිෂ්ඨය.

කෙසේ වුවද ඔක්තෝබර් 26 සිට මේ ගෙවී යන කාල පරිච්ෙඡ්දය පුරෝකථනය කල නොහැකි පුදුමාකාර සිඳුවීම් වලින් ගහන එකකි. සාහිත්‍ය කෘතියක් හෝ නාට්‍යයක් වැනි කළා කෘතියක් වුව ප‍්‍රශස්ථ එකක් යැයි සැලකෙන්නේ පාඨකයාට, පේ‍්‍රක්ෂකයාට ක්ෂණික තිගැස්සීම් නොදේ නම්ය. ඒවා තුල සිඳුවීම් ක්ෂණික නොවෙන ලෙස පෙළ ගස්වා පේ‍්‍රක්ෂකයා ක‍්‍රමක‍්‍රමයෙන් උච්ඡු ස්ථානයට ගෙන එයි. සිරිසේනලා රාජපක්ෂලා අධ්‍යක්ෂණය කර හා කරමින් සිටින මෙම නාටකය නම් එවැනි එකක් නොවේ. තිගැස්සීම් ගහන මෝඩ පේ‍්‍රක්ෂකයා ආකර්ශනය කර ගෙන ගානක් කඩා ගත හැකි ආකාරයේ බාලම එකකි. ප‍්‍රජාතන්ත‍්‍රවාදී රටක ඡන්ද පවත්වන කාල සීමාව ජනතාව දත යුතුය. අගමැති වැනි පත් කිරීම් ඒහි භික්ෂු භාවයෙන් කරන්නේ නැත. විධායකය; ව්‍යවස්ථා දායකය හෝ අධිකරණය අභිබවා යන්නේ නැත. බාල නාට්‍ය වල මෙන් ජනතාවට ශොක් ට්රීට්මන්ට් දෙන නායකයෝ ඒකාධිපතියෝය. නැත්නම් පිස්සෝය. එක්කෝ මේ දෙවර්ගයේම එකතූන්ය.

අධිකරණයේ මැදිහත් වීම නිසා ජනතා නියෝජිතයන් 122ක් සිරා මරා හවුල ප‍්‍රතික්ෂේප කර ඇති වග නිල වශයෙන් සපථ කරන්නට මේ වන විට හැකිව ඇත. එය ජනතා නියෝජිතයගේ අභිමතයේ නවතම පළිවිඹුවයි. එනිසා ඉතිරි පාර්ලිමේන්තු කාලය තුල ද කටයුතු කල යුත්තේ එකී ජනතා නියෝජිතයන් හරහා ජනතා පරමාධිපත්‍යය පිළිබිඹු වන ලෙසය. පාර්ලිමේන්තු නියෝජනය සහිත සමහර දේශපාලන පක්ෂ නීත්‍යනුකූලව පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට කැමතිය. එක්කෝ ඒ සඳහා 2/3 ලබා ගැනීමට ඉක්මනින්ම කටයුතු කල යුතුය. එසේත් නැතහොත් විධායක ජනපති ක‍්‍රමය අහෝසි කිරීමකට වුව යාමට බාධාවක් නැත.

ඇත්තටම සිරිසේන මහතා ඔක්තෝබර් 26 වැනිදා සිට කටයුතු කලේ සිරිසේන ලෙස මිස ශ‍්‍රී ලංකා ප‍්‍රජාතාන්ත‍්‍රික සමාජවාදී ජනරජයේ ජනාධිපතිවරයා ලෙස නොවේ. ඔහුට අද දින සිට වුව සිරිසේන භූමිකාවෙන් ඉවත්ව රටේ මූලික නීතියට අනුව ජනාධිපතිවරයා ලෙස නැවත කටයුතු කරන්නට පටන් ගත හැක. එසේ වුවහොත් අවුල ලිහීමට පහසුය. එහෙත් කථානායක වරයාගේ නෙවැම්බර් 14 ලිපියට පිළිතුරු ලෙස ඔහු එවා ඇති ලිපිය සිරිසේන පන්නයේම ජනතා පරමාධිපත්‍යයට එරෙහි පුහු තර්ක මත පදනම් වූ එකකි. ඒ අනුව කිව හැක්කේ ඉදිරියේදී ‘‘නොවිය හැක්කක් නොමැත”‍ යන්නයි.

මේ තත්වය යටතේ රටතුල ප‍්‍රජාතන්ත‍්‍රවාදය ප‍්‍රතිෂ්ප‍ඨාපනය කිරීමට නම් ජාතික මැතිවරණයක් තිබිය යුතුමය. එවැන්නක් වැඩි කලක් නොගොස් පැවැත්වෙනු ඇතැයි බලාපෙරොත්තු වෙමු. එවැනි විටක ප‍්‍රතිගාමී සිරි රාජ බලවේගය(ඉදිරියේද‍ අද පවතින තත්වය වෙනස්ව එය රාජපක්ෂලා පමණක් තින්දු තීරණ ගන්නා පක්ෂයක් වන්නටද පුළුවන) පරාජය කිරීමේ වගකීම වගකිව යුතු දේශපාලන පක්ෂ හා දේශපාලන අවබෝධයක් ඇති පුරවැසියා අතට පත් වන්නේය.
ගතවූ සති 3 ක කාලසීමාව තුල සිරිසේනලා රාජපක්ෂලා හා ඔවුන්ගේ ගජමිතුරු කල්ලිය ගැන එවැනි පුරවරසියන් හොඳින්ම දැනගත් වග ඉතාම පැහැදිලිය. එය කළු වළාවෙක රිදී රේඛාවක් වන් යහපත් තත්වයකි.

සිරි රාජ කල්ලියට ප‍්‍රතිවිරුද්ධ පාර්ශවයන් ගන්නා සියළු දේශපාලන තීන්දු හා ක‍්‍රියාමාර්ග ඉදිරි මැතිවරණයකදී දැණුවත් ඡුන්දදායකයා හරහා ඔවුන්ව පරාජය කිරීමද ඉලක්ක කර ගෙන ගත යුතුය. ඒ සඳහා දැනටමත් යෝජිත දේශපාලන හා සිවිල් එකතුවකින් යුක්ත පළල් සංධානය ඉතාම හොඳ උපාය මාර්ගයකි. එතුල සෑම තලයකම හා ක්ෂේත‍්‍රයකම හඬ නියෝජනය විය යුතුය. රජීව් ගාන්ධි ඝාතනයෙන් පසුව ඉන්දියානු ජාතික කොංග‍්‍රසය මෙහෙයවන්නේ සෝනියා ගාන්ධි මහත්මිය වුවද ඇය මැතිවරණ වලට ඉදිරිපත් වන්නේ නැත. මෙම සංධානයේ නායකත්ව මණ්ඩලයට අමතරව එවැනි අයෙකු සභාපතිත්වය හෙබවූවාට ද වරදක් නැත.
ප්‍රියදර්ශනී ආරියරත්න