ආචාර්ය ඊඩබ්ලිව් අදිකාරම් විසින් රචිත සුප්‍රකට ලිපියක ශීර්ෂය, ‘ජාතිවාදියා මානසික රෝගියෙකි’ යන්න ය. ආචාර්ය අදිකාරම් එම ලිපියෙන් පැහැදිලි කරන්නේ, ජාතියක් කියා කිසිවක් නැති බවත්, කිසිවකු තමන්ගේ ජාතියයැ’යි කිසිවක් හිසින් ගෙන කටයුතු කරන්නේ නම්, ඔහු මානසික රෝගියකු වන බවත් ය. මන්ද යත්, මානසික රෝගීන්ගේ ස්වභාවය, නැති දේ, තිබෙන දේ හැටියට ගෙන කටයුතු කිරීම නිසා ය. එවැන්නකුට ලෝකයේ සිදුවන්නේ කුමක්දැ’යි වගේවගක් නැත. තමා නිසා අන් අයට සිදුවන කරදර, විපත් හා විනාශය ගැන නිනව්වක් නැත. හේ තමාගේ ම ලෝකයක පමණක් සැරිසරයි. මුළු ලෝකය ම වුවත් ගිනි තබා තෙමේ ම සිනාසෙමින් සිටියි. මතු නොව, වාගාඩම්බර ද කියයි.

ජනාධිපතිතුමනි, අපේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ හැටියට, අගමැතිවරයකු ඉවත් කරන්නට ඔබට බලයක් නැත. පාර්ලිමේන්තුවේ උපරිම විශ්වාසය හෙවත්, බහුතරයකගේ අනුමැතිය නැති මන්ත්‍රීවරයකු අගමැති හැටියට පත් කරන්නට ඔබට බලයක් නැත. පාර්ලිමේන්තුව විසින් යථා පරිදි සම්මත කර ගන්නා ලද යෝජනාවක් තමාට පිළිගත නොහැකියැ’යි කියන්නට ඔබට බලයක් නැත. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගෙන් තුනෙන් දෙකකට වැඩි පිරිසක් ඉල්ලා සිටින විට දී මිස, පාර්ලිමේන්තුවක් පත් වී අවුරුදු හතරහමාරක් ගත වන්නට පෙර එය විසුරුවා හරින්නට ඔබට බලයක් නැත. ඊටත් වඩා, පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් දෙසිය විසිපහ ම අත්සන් කර දුන්නත්, රනිල් වික්‍රමසිංහ අගමැති හැටියට පත් නොකරමි’යි කියන්නට ඔබට කිසි ම බලයක් නැත. රනිල් වික්‍රමසිංහ රටට ගැළපෙන නායකයකු ද යන්න තීරණය කිරීමට ද ඔබට කිසි ම බලයක් නැත.

එහෙත්, ඔබ එවැනි බලතල තමාට තිබෙනවායැ’යි සිතමින් හැසිරෙන බව පෙනෙයි. ඔක්තෝබර් 26 වැනිදායින් පටන් ගෙන, මේ දක්වා ඔබ කියූ, කළ දෙයින් පෙනෙන්නේ නැති දේ තිබෙනවායැ’යි ඔබ සිතන බවයි.

ඔබ ගත් වැරදි තීරණ නිසා, දැන් මාසයකටත් වැඩි කාලයක් තිස්සේ අපේ රට මුහුණ දී තිබෙන බිහිසුණු ඉරණම ගැන අංශුමාත්‍රයක වත් දැනුමක්, සිහියක් ඔබට නැති බව ද පෙනේ. මේ වන විට, ලංකාව ණය ගෙවීම් සම්බන්ධයෙන් ලෝකයේ ඇති ප්‍රමුඛතම වර්ගීකරණ තුනකින් ම පහළට වැටී තිබේ. ජීඑස්පී ප්ලස් සහනය නැති වන අවදානමක් තිබේ. රටට ලැබෙන්නට නියමිත ආධාර, ණය මෙන් ම ආයෝජන ද බිලියන ගණනින් නොලැබී ගොස් තිබේ. රාජ්‍ය යාන්ත්‍රණය මුළුමනින් ම බිඳ වැටී තිබේ. පාලනයක් නැති රටක් බිහි වී තිබේ. රටේ වාණිජ මණ්ඩල සියල්ලකම පාහේ ප්‍රධානීන් ඔබ හමු වී රට ආර්ථික වශයෙන් මුහුණ පා තිබෙන අවදානම ගැන ඔබේ මුහුණට ම කියා තිබේ. සාමාන්‍ය සාධාරණ සිහිබුද්ධියක් තිබෙන සියලු පුරවැසියෝ, මේ මහා විනාශය ගැන සිටින්නෝ, මහත් කනගාටුවෙනි. ඒ තරම් ම කෝපයෙනි.

එහෙත් ඔබ සිනාසෙමින් සිටියි. කටමැත දොඩවයි. මොරගහකන්ද ජලාශයේ පිටාර දොරටු විවෘත කිරීම දා හිතාමතා ම ප්‍රසිද්ධ කළ ඔබේ ඡායාරූපවලින් අපට පෙනෙන්නේ, මුළු රටක් ම මේ සා බිහිසුණු විනාශයකට ඇද දමා, ඔබ ඉන් කාළකණ්ණි, කුරිරු සන්තෝෂයක් ලබන බවයි.

අවුරුදු තුනකට පෙර, ලෝකයා ඉදිරියේ නෙල්සන් මැන්ඩෙලාගේ ප්‍රතිරූපය අත් කර ගන්නට හැකියාවක් තිබුණු ඔබ අද භාවිතයෙන් ෆර්ඩිනන්ඞ් මාකෝස් කෙනෙකි. මුවම්මර් අල් ගඩාෆි කෙනෙකි. රොබට් මුගාබේ කෙනෙකි. මේ අත්තනෝමතික නායකයන් තිදෙනාම අද ඉන්නේ ඉතිහාසයේ කුණු බක්කියේ බව ඔබට මතක් කළ යුතු නැත.

දෙසැම්බර් 4 වැනි දා පැවැති ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ සම්මේලනයේ දී ඔබ කීවේ, දින හතක් තුළ මේ අර්බුදය ඔබ විසඳන බවයි. ඔබ එය කීවේ, වෙන කිසිවකු විසින් නිර්මාණය කරන ලද අර්බුදයක්, මහත් වීරියෙන් විසඳන්නට ඔබ උත්සාහ ගන්නා ලෙසක් හඟවමිනි. මේ අර්බුදය විසඳන්නට තවත් දවස් හතක් කුමට ද? ඔක්තෝබර් 26 වැනි දා පළමු පැයේ දී ම, ඉන් පසු මේ වන තෙක් ගත වූ දවස් හතළිස් ගණන තුළ සෑම පැයක දී ම, මේ අර්බුදය අවසන් කරන්නට හැකියාව තිබුණේ ඔබට ම ය. මන්ද, මේ අර්බුදයේ නිමැවුම්කරුවා ඔබ නිසා ය. එහෙත්, ඒ ගත වූ පැයක් පාසා ඔබ තව තවත් මේ අර්බුදය ඇවිළුවා මිස, නිවන්නට කිසිවක් කළේ නැත. සාමාන්‍ය සිහිබුද්ධියක් තිබෙන කිසිවකු නම්, ඒ තරමින් තමාගේ රට විනාශයක හෙළන්නේ නැත.

වාසනාවකට මෙන්, ඔබ වැනි දුර්දාන්ත පුද්ගලයකුගෙන් වන විපතෙන් රට ගලවා ගන්නට, එක් තැනක් ඉතිරි ව තිබිණ. ඒ අධිකරණයයි. අද වන විට ඔබේ ඊනියා ගැසට් පත්‍ර රටේ ඉහළ ම අධිකරණ විසින් අත්හිටුවනු ලැබ තිබේ. ඒ අධිකරණවල ඉදිරි තීන්දු අනුව, ඔබ රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කළ පළමුවැනි අපකීර්තිමත් ජනාධිපතිවරයා හැටියට ඉතිහාසයට එකතු වන්නටත් පුළුවන. රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීමට වරදකරු වීම තරම් අවමානයක්, රටක ජනාධිපතිවරයකුට තිබිය හැකි ද?

රටේ අධිකරණය ගැන මිනිසුන් එක එක කතා කියන බව ඔබ ශ්‍රීලනිප සම්මේලනයේ දී කීවේ ය. ජනාධිපතිතුමනි, රටේ මිනිසුන් ඔබ ගැන ද, ඔබේ යහපත් සිහිය ගැන ද එක එක කතා කියන බව මතක තබාගන්න■