මේ අවස්ථාවේ පාර්ලිමේන්තුව විසුරුවා හැරීම ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා විරෝධී එකක් බවට නැ‍ගෙන චෝදනාව නිසා එම අදහස අත්හැර පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට කැමතිද නැද්ද යන්න පිළිබඳව ජනමත විචාරණයකට යෑම කෙරෙහි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන හා පාර්ලිමේන්තු මන්ත‍්‍රී මහින්ද රාජපක්ෂ පාර්ශ්වයේ අවධානය යොමු වී ඇතැයි වාර්තා වේ.

එසේ වුවද ව්‍යවස්ථා විශේෂඥයන් පෙන්වා දෙන්නේ විසිරවීමට කැමතිද නැද්ද යන්න පිළිබඳ ජනමත විචාරණයක ප‍්‍රතිඵලය පාවිච්චි කරමින් පාර්ලිමේන්තුව විසුරුවා හැරිය නොහැකි බවයි. මේ පිළිබඳ අදහස් දක්වමින් ආචාර්ය ජයම්පති වික‍්‍රමරත්න ප‍්‍රකාශ කළේ පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ බලය ඇති බලධරයා වන ජනාධිපතිවරයාට වසර හතරහමාරක් ගතවන තෙක් පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට ව්‍යවස්ථාවෙන් බලයක් නොමැති පසුබිමක ජනමත විචාරණයකින් ඒ පිළිබඳව විමසා පාර්ලිමේන්තුව විසුරුවාහැරීමේ හැකියාවක් නොමැති බවයි. ‘ජනමත විචාරණයකින් ජනතාවගෙන් අහන්න පුළුවන් ව්‍යවස්ථානුකූල දේවල් විතරයි. ව්‍යවස්ථාවේ නැති දේවල් කරන්නදැයි අහන එක ව්‍යවස්ථා විරෝධියි. අහවල් වගන්තිය වෙනස් කරමුද කියලා විමසන්න පුළුවන්.’ ආචාර්ය වික‍්‍රමරත්න වැඩිදුරටත් කීවේය.

ජනාධිපති නීතීඥ ජේ.සී. වැලිඅමුණ ඒ සම්බන්ධයෙන් මෙසේ කීය. ‘ජනමත විචාරණය දෙයාකාරයි. නීති පනවන ජනමත විචාරණය සහ උපදේශාත්මක ජනමත විචාරණය. උපදේශාත්මක ජනමත විචාරණයකින් පාර්ලිමේන්තුව විසුරුවීම ගැන ජනතාවගේ මතය විමසන්න පුළුවන්. එහෙත් එවැනි ජනමත විචාරණයකින් ලැබෙන තීන්දුවකින් කිසිම කෙනෙක් බැඳෙන්නේ නැහැ. එය කාන්තාවන් ඩෙනිම් ඇඳිය යුතුද, ලංකාවේ ජාතික ආහාරය ලෙස බත් තෝරාගත යුතුද? වැනි ප‍්‍රශ්නයක් අහනවා වගෙයි.’

අනුරංග ජයසිංහ