ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ යෝජනාවක් අනුව ක්‍රියාත්මක වන පාවෙන ගෑස් ගබඩා පර්යන්ත ව්‍යාපෘතියට ඔහුගේ හිතෙෂිවන්තයෙකු වන අතුරලියේ රතන හිමි විරුද්ධත්වය ප්‍රකාශ කර තිබේ.
ඒ ජනවාරි 09 දින රාජගිරිය සදහම් සෙවණ විහාරස්ථානයේදී මාධ්‍ය හමුවක් කැඳවමින්ය. එම මාධ්‍ය හමුව පවත්වා ඇත්තේ ශ්‍රී ලංකා ජාතික මහා සභාව යන නමිනි.
රටේ බලශක්ති අර්බුදයට විසඳුමක් ලෙස හුවා දක්වමින් ආණ්ඩුව විසින් නිසි කැබිනට් අනුමැතියකින් තොරව එම ස්වාභාවික ගෑස් බලාගාර ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරන්නට සූදානම් වන බවත් රටේ අනාගතයට බලපාන එම ව්‍යාපෘතිය නතර කර දැමිය යුතු බවත් රතන හිමියන් එහිදී පවසා ඇත.
ස්වාභාවික වායුව ශ්‍රී ලංකාව සතුව පවතින බවත්, 2008 වසරේදී මන්නාරම් ද්‍රෝණියේ ස්ථාන හතරක කරන ලද කැණීම්වලදී වසර 60ක කාලයකට අවශ්‍ය ගෑස් තිබෙන බවට හඳුනාගෙන තිබෙන බවත් රතන හිමි එහිදී පෙන්වා දී ඇත.
කඩිමුඩියේ මෙම ව්‍යාපෘතිය ගෙනඒමට දේශපාලනඥයන් උත්සාහ කරන්නේ ආර්ථික වාසි ලබාගැනීමට බවත්, ඉදිරියේදී එළඹෙන ජනාධිපතිවරණය, මහ මැතිවරණය හා පළාත් සභා මැතිවරණවලට මුදල් යෙදවීමට බවත් ඒ හිමියන් අවධාරණය කර ඇත.
මෙම ස්වාභාවික පාවෙන ගෑස් ගබඩා සංකීර්ණ ව්‍යෘපෘතිය පිළිබඳව විශේෂ හෙළිදරව්වක් කෝටි 126,000ක ජනාධිපතිගේ ස්විස් චැලෙන්ජ් අභියෝගයට ලක් වෙයි යනුවෙන් මෙවර පුවත්පතේ 3 වන පිටුවේ පළවී ඇත. මෙම ව්‍යාපෘතිය පිළිබඳව මීට පෙර අවස්ථා ගණනාවකදීද අනිද්දා හෙළිදරව් කළේය.