ජයතිලක කම්මැල්ලවීර මහතාගේ චක්‍ර නවකතාව මා පළමු වරට කියැවූයේ මෙයට වසරකට පමණ පෙරය. ඒ ද කඩිමුඩියේ ය. එහෙත් පසුගියදා ප්‍රකට වූ විකෘතිමය දේශපාලන තත්ත්වය (මෙම විකෘතිය ආරම්භයෙහි පටන් වූ මුත් අශෝභන ලෙස එළියට පැන ගත් අවස්ථාව) විසින් මෙම නවකතාව නැවත වරක් කියැවීමට මා පොළඹවන ලද්දේ ය. එම පෙළඹවීම විසින් ඒ සඳහා අවශ්‍ය වූ බුද්ධිමය විවේකය ම’වෙත සකසා දුන්නේය.
සෑම ජීවී අජීවී දෑකම පැවැත්ම එක්තරා ආකාරයක චක්‍රයක් වේ. මෙය ඇතිවීම හා නැතිවීමත් යළි ඇතිවීමත් යළි නැතිවීමත් අතර ක්‍රියාත්මක සිදුවීම් මාලාවකි. කතුවරයා මෙහි අන්තර්ගත කරන්නේ රුවන් නැමැති පුද්ගලයා වටා ක්‍රියාත්මක ඔහුට බලපාන හා ඔහු දායක වන සිද්ධි දාමයකි. ඒ අනුව නවකතාවේ පළමු අර්ධය තුළ යම් යම් සිදුවීම් ආශ්‍රය කර ගනිමින් ද, දෙවන අර්ධය තුළ සිදුවීම් හා ලිපි ආශ්‍රයෙන් ද ඔහු අපට රුවන්ගේ කතාව කියයි. එසේ අප කියවන්නේ රුවන්ගේ ජීවන චක්‍රය වුව ද අප කතාවට ප්‍රවේශ වන්නේ එහි මඳක් ගිය තැන ය. එනම් රුවන්ගේ වයස අවුරුදු දොළසක් වූ තැන සිට ය. ඒ අනුව ඒ දක්වා කාලය තුළ මහු වටා සිදු වූ දෑ අපට මඟ හැරී යන මුත් ඒ කාලය පිළිබඳව දළ අදහසක් ද අපට කතුවරයා ලබා දෙයි. රුවන්ගේ මව් පියවතීට රුවන් යනු රත්රන් ආභරණයක් ය. රුවන්ට දේව බැල්මක් ඇතැයි පියවතී විශ්වාස කරන ආකාරයකි. එසේ වුව ද, ගම්මුන්ට අනුව නම් රුවන් අවජාතකයෙකි. ප්‍රතික්ෂේප කළ යුත්තෙකි. ඇතැම් විටක තමන්ට වුවමනා ආකාරයට හසුරුවා ගත හැකි අසරණයෙකි. මේ අනුව රුවන් අනන්‍යතා අර්බුදයක් තුළ ජීවත් වේ. කතාව ආරම්භයේ සිට අවසානය දක්වා ම රුවන්ගේ සිතෙහි හොල්මන් කරන සිය පියා කවුද යන පැනයට පිළිතුරු සෙවීම කේන්ද්‍ර කර ඔහුගේ ජීවිතය විපර්යාසයන්ට බඳුන් වෙමින් ගලා යයි. සුජාතක නොවීම මත සිදුවන වෙනස් කර සැලකීමෙන් රුවන් සිය සමාජ සංස්කෘතික පරිසරය තුළ හුදකලා වීමත්, එහි ප්‍රතිඵලයක් වශයෙන් අපයෝජනයට ලක් වීමත්, පාසල හා සමාජය තුළ අවමානයට හා සරදමට ලක් වීමත් යම් සිදුවීම් ආශ්‍රයෙන් පාඨකයාට හෙළිදරව් කෙරෙයි.
‘බුට්ටාගේ පරණ සිද්ධියත්, ජයන්ති අක්කාගේ සිද්ධියත් ඔහුගේ මතකයෙන් මතුවන විට ඔහුගේ එක් නාස් පුඩුවකින් බීඩි ගඳත්, අනෙක් නාස් පුඩුවෙන් වත්සුණු සුවඳත් එකවර ඇතුල් වී මොළයට වධ දෙන්නට විය.’ (පිටුව 27)
කුඩා රුවන්ගේ ප්‍රථම ලිංගික ඇත්දැකීම් හා මෙම බැඳුණු දැනීම වැඩිහිටි රුවන්ගේ ලිංගික පෞරුෂය හා ලිංගිකත්වය කෙරෙහි ද නිරන්තරයෙන් බලපාන බව මෙම සිදුවීම් නැවත නැවත සිහිපත්වීම තුළින් සනාථ වේ. මෙලෙස කතුවරයා ඉතා සූක්ෂ්ම ආකාරයෙන් රුවන් නැමැති චරිතය ගොඩනැඟීමට සමත් වේ.
කතුවරයා නවකතාවේ ප්‍රථම සිදුවීම් කිහිපය තුළ පාඨකයා ග්‍රාමීය පරිසරය තුළ එක්තරා ආකාරයකින් සිර කර තබයි. මෙය සිර කිරීමක් වන්නේ රුවන් හා ඔහුගේ පවුල හා බැඳි ක්ෂුද්‍ර සමාජ, සංස්කෘතික හා ආර්ථික කරුණු කාරණා තුළ පාඨකයා තුළ සීමා කර තැබීම නිසා ය. එහෙත් මෙම කාලයේ දී එනම් 1970-1972 කාලයේ දී මහා දේශපාලනික, ආර්ථික හා සමාජීය සිදුවීම්වල සැලකිය යුතු බලපෑමක් ග්‍රාමීයව ද එනයින් කුටුම්බ තුළට ද කාන්දු වූ බව නොසැලැකිය හැකි නොවේ. ඒ කෙසේ වුවද ග්‍රාමීය මූලයන් සහිත පාඨකයන්ට පැරණි ගම පර්යාවලෝකනය වන සේ චිත්ත රූප මැවීමට කතුවරයා යොදා ගන්නා බස් වහර ද, යෙදුම් හා එමඟින් මවන පරිසරය ද සමත් වන බව පෙනේ.
සිරිසේන, එනම් රුවන්ගේ මාමා කුඩා රුවන්ගේ පියාගේ චරිතයෙහි ආදේශක චරිතයි. මව්පූරුවේ දී මාමා යනු වැදගත්ම ඥාතියා වන අතර දරුවාට වඩා සෙනෙහවන්තම ඥාතියා වේ. මෙය එකල ග්‍රාමීය කුටුම්බ සැකැස්ම තුළ දක්නා ලැබෙන අතර අදටත් ඇතැම් ප්‍රදේශවල දක්නා ලැබෙන්නකි. සිරිසේන චරිතය නවකතාව තුළ අවසානය දක්වාම දිවෙන නිර්ව්‍යාජ ගැමියාගේ චරිතය වේ. මොහුගේ බිරිඳ නන්දා ද ඔහු අනුව යමින් කටයුතු කරන සාම්ප්‍රදායික ගැමි ස්ත්‍රී චරිතයයි. කතුවරයා 1972න් පසු සමස්ත දේශපාලනික, සමාජීය හා ආර්ථික ප්‍රවාහය වෙත පාඨකයා යම් තරමකට නිරාවරණය කිරීමට සිරිසේනගේ චරිතය උපයෝගී කර ගනී. සිරිසේන වැටුප් ග්‍රමිකයෙකු වශයෙන් නගරයට යන්නේ දරුවන් ලොකු මහත් වීමත් සමග ක්‍රමයෙන් වැඩි වන පවුල් බර නිසා ය.

අපි ඉතින් කවදත් බණ්ඩාරනායක මහත්තයටනේ
ඔව් ඉතින් තමුසෙල තවමත් වලව්වට වඳින අයනෙ
සමසමාජකාරයොත් දැන් වලව්වට එකතු වෙලා නේද බාස් උන්නැහේ (පිටුව 39)
සිරිසේනගේ වැඩබිමෙහි සගයන් අතර ඇති වෙන මෙම සංවාදය තුළින් එවක සමාජ අර්ථික දේශපාලන තත්වය හා 71 අරගලයෙන් පසු තත්ත්වය සමඟ ජන මනස ක්‍රියාත්මක වූ අයුර පිළිබඳ දළ අදහසක් පාඨකයාට ලබා දීමට උත්සාහ කරයි. යළි ඇති වන එවැනි තත්ත්වයකට සිය පුතු මැදි වේ යයි සිරිසේන බිය ගනී. මෙය එකල බොහෝ මව්වරුන් හා පියවරුන්ගේ සිතු තුළ වූ බිය විය හැකිය. එසේම එවකට තරුණ මනසේ ඉතා බලවත්ව පැළපදියම් ව තිබූ අදහසක් ද කතුවරයා අපට කියයි.

ඉගෙන ගත්තට කොහේ තියෙන රස්සාවල් ද (පිටුව 55)
රැකියා සඳහා අවස්ථා හා ප්‍රවේශය වරප්‍රසාදලාභී යම් කොටසකට සීමා වූ බවට තරුණ- තරුණියන් සිතූ බව ද ඒ අනුව අධ්‍යාපනය කෙරෙහි වැඩි උනන්දුවක් නොදැක් වූ බව ද රැකියා වියුක්තිය මෙම අරගලකාරී මානසිකත්වයට ප්‍රධාන හේතුවක් වූ බව ද කතුවරයා පාඨකයාට දැනෙන්ට ඉඩ හරියි. එහෙත් මෙලෙස අඳුරේ කණාමැදිරි එළියෙන් වටපිටාව දකින පාඨකයා සූර්යාලෝකයට නිරාවරණය වන්නේ රුවන්ගේ ජීවිතයේ තීරණාත්මක සිදුවීමකින් පසුව ය.
සිරිසේනගේ වැඩිමල් පුත්‍රයාගේ නොමනා හැසිරීමක් දකින රුවන් එහිදී ඔහුගේ අඩත්තේට්ටම්වලට ලක් වේ. මෙහිදී ඒ තමාගේ ගෙදර නොවේ යයි ද, ඒ තමාගේ ගම නොවේ යයි ද දැනෙන සිතුවිල්ලෙන් එනම් ස්වකීයත්වය අහිමි වීමෙන් ඔහු යම් මානසික විතැන් වීමකට ලක් වේ. රුවන් නිවසින් පලා යන අතර ඔහු යන්නේ මීගමුවටය. කතුවරයා මීගමුව අප ඉදිරියේ මවන ආකාරය අපූරුය. එහි දී ඔහු ‘මෙන්ඩිස් සහෝදරයා’ගේ බාරයට පත් වේ. මෙන්ඩිස් මෙම කාලය තුළ රුවන්ගේ ජීවිතයේ පියාගේ ආදේශක චරිතයයි. එහි දී රුවන්ට දෙවන මවක් හා සහෝදරියෝ දෙදෙනෙක් හමු වෙති. රුවන් මීගමු සංස්කෘතියට පූරුදු වන්නේ මීගමු වෙරළ’ත රැල්ල පෑගීමෙන් පසුවය. රුවන්ගේ අනාගත ජීවිතය හැඩ ගැසෙන්නේ මීගමුවේ දීය. සමසමාජ ක්‍රියාකාරයෙකු වන මෙන්ඩිස් මහතාගෙන් සාම්ප්‍රදායික වාමාංශිකයා නිරූපණය වේ. සුද්දාගේ ඉංග්‍රීසිය පිටු දැකිය යුතු දෙයක් නොව ළං කර ගත යුතු දෙයක් බව රුවන්ට සිතේ. මෙහි දී සමගි පෙරමුණු හවුල් ආණ්ඩුව හා 1977 මැතිවරණය පිළිබඳව වාමවාදී ඇසකින් පසු විපරමක් කෙරෙයි.

පාර්ලිමේන්තුවෙන් විප්ලව කරන්න බැරි බවනේ මේකෙන් ඔප්පු වුණේ (පිටුව 76)
1980 ජූලි මහා වැඩවර්ජනය අසාර්ථක වීම, වර්ජකයන්ට රැකියා අහිමි වීම, වර්ජකයන් මුහුණ දුන් ආර්ථික දුෂ්කරතා, කොන්දේසි රහිතව නැවත සේවයට යාම, එම වැඩවර්ජනය අසාර්ථක වීමෙන් වෘත්තීය සමිති ව්‍යාපාරයට එල්ල වූ මරු පහර ආදිය පිළිබඳ ව මෙහිදී සියුම් ලෙස විදාරණය කෙරෙන්නේ සිද්ධිමය පදනමක් ඔස්සේ ය. 1983 හර්තාලය, ජාතිවාදයෙහි හිස එසවීම, උතුරු- නැගෙනහිර යුද ගැටුම්වල ආරම්භය, දේශපාලන පක්ෂ තහනම් කිරීම, 1988-89 අරගලය, දේශප්‍රේමී ජනතා ව්‍යාපාරය, විජය කුමාරතුංග ඝාතනය, සාම්ප්‍රදායික වාමාංශික නායකයන් ඝාතනය කිරීම ආදි සිදුවීම් ද ඒවා කෙලෙස පොදු ජනතාවටත්, ජන ජීවිතයටත් බලපෑවේ ද යන්න තරමක් සංවේදී ලෙස කථිකා කිරීමට කතුවරයා උත්සාහ දරන්නේ රුවන් එම සිද්ධිදාමයට සෘජුව සම්බන්ධ කිරීම මඟිනි. සාම්ප්‍රදායික වමෙහි මරණය මෙන්ඩිස්ගේ මරණයෙන් නිරූපණය වන බව පෙනේ. ඒ අනුව, එකල වම උනුන් නසාගත් ආකාරය යළි සිහිපත් වේ.

විප්ලවයක දී සාමාන්‍ය මිනිස්සුත් මැරෙන්ඩ පුළුවන්. ඒ වුණාට විප්ලවේ කියන්නේ මිනීමරන එක නෙවෙයි. මුන් නොදන්නෙ ඒක. (පිටුව 113)
මරණ භයෙන්, ලජ්ජාවේ කසපහර කමින් මාරයාට සර්කස් පෙන්වමින් යුද සරණාගතයෙකු ලෙස ඕස්ටේ්‍රලියාවට නීති විරෝධීව පළා යාමෙන් රුවන්ගේ ජීවිතයේ තෙවන පරිච්ඡේදය ආරම්භ වේ. සිය පවුලේ අය සහ උපකාර කළවුන් අනතුරෙහි දමා තමා පමණක් පළා යාමෙන් ඇති වූ පශ්චාත්තාපය හා හෘදf සාක්ෂිමය අර්බුදයකින් රුවන් පෙළේ. එසේ වුවද අවමානය, නින්දාව හා භීෂණය රහිත ඒ පරිසරය තුළ ඔහු තමන්ට අනන්‍යතාවක් සොයා ගනී. නිදහස හා විවේකය තුළ සිය ජීවිතය පිළිබඳ වූ පසුවිපරමක් කරන්නට ඔහුට අවකාශ ලැබේ. එසේම තමාගේ පියා කවුද යන පැනයට රුවන් පිළිතුර සොයා නොගත්ත ද පාඨකයා වෙත ඒ පිළිබඳ ව ඉඟියක් සැපයීම මගින් කතාව නැවත ආරම්භක ස්ථානයෙහි පිහිටුවීමෙන් කතුවරයා චක්‍රය සම්පූර්ණ කරන්නේ සිටිසන් කේන් සිනමා පටය සිහිපත් කරවමිනි. මෙහිදී රුවන්ට බෝට්ටුව තුළ දී හමු වූ විවිධ චරිත, යළි විවිධාකාරයේ මුණ ගැසෙන ආකාරය තරමක් අභව්‍ය වේ. එම සිද්ධි කතාවේ ගලා යාම තුළට බලහත්කාරයෙන් එබ්බ වූ ආකාරයක් පෙනේ. එසේම නවකතාවේ තැනක එන රුවන්, මෙන්ඩිස් පවුලේ අය සමඟ මාතලන් හා මදර් ඉන්ඩියා චිත්‍රපට බැලීමට යාම, කාල පරස්පර වේ. කතාවේ කාල වකවානු නිශ්චය කර බැලූ විට එම චිත්‍රපට තිරගත වී ඇත්තේ රුවන් ඉපදීමටත් මත්තෙනි. කෙසේ වුවත් මෙම නවකතාව අඛණ්ඩ ලෙස කියවාගෙන යා හැකි සරල හා රසවත් භාෂාවකින් ලියැවුණ 1971-1989 දක්වා කාලය තුළ ලංකාවේ දේශපාලනික, සමාජික හා ආර්ථික සිද්ධි හා ක්‍රියා දාමයන් සියුම් ලෙස අනාවරණය කරන ප්‍රශස්ත අගයකින් යුතු නවකතාවකි.
විශේෂයෙන් ම අත්තනෝමතික ලෙස ප්‍රජාතන්ත්‍රවාදයට වැට බැඳීමෙන් සිදු වූ විනාශකාරී අත්දැකීම් යළි සිහිපත් කරවන හා ඒ පිළිබඳ වූ සියුම් විචාරයකින් ලියැවෙන මෙවැන්නක් එවැනි අනතුරක පෙර ඡායාව හඳුනා ගැනීමේ වැදගත්කම තහවුරු කරවීම ඉතා අවැසි වූ මොහොතක දී ජනතාව අතට පත් වීම ඉතා අගනේය.■

■ නර්මදා වික්‍රමආරච්චි