ජොනතන් හාකර්, කවුන්ට් ඩ්‍රැකියුලාගේ පාළු මන්දිරයටත්, ලස්සන වසිලිස්සා, වනාන්තරයේ ‘බාබා යාගා’ගේ පැලටත්, වික්ටර් ෆ්‍රැන්කස්ටයින් වෙතින් පලා ආ, ඔහු නිමවූ අමුතු සත්ත්වයා මීදුම්බර කඳු හිස දෙසටත් ඇවිද යද්දී, එසේත් නැත්නම්, දොස්තර ජෙකිල් සිය කුටිය තුළ තමාගේම අභ්‍යන්තර ක්‍රෑරත්වයට පණ පොවද්දී ඔබට සිතුණේ කුමක්ද? Wuthering Heights, Jane Eyre වැනි නවකතාවල එන විසල් නිවාස, Beuaty and the Beast වැනි කතාන්දරවල එන කඳු මුදුන්වල පිහිටි අහීමාන මාළිගා හෝ Hunchback of Notre Dame, Jameica Inn වැනි නවකතාවල එන පල්ලියේ අඳුරින් පිරි අල්තාර, උස් කුළුණු, ගුප්ත තානායම්, බිහිසුණු ශබ්දාදියෙන් වැගිරුණු, අපැහැදිලි, ගැඹුරු සාංසාරික සාංකාවක් වැනි “මොකක්දෝ රිදුම” ඔබට සිහි කළ හැකිද? එසේ නම් ඒ මොහොතේ ඔබ ස්පර්ශ කරනුයේ ගොතික් (Gothic) සාහිත්‍යයේ සුවිශේෂී හැඟුම් ඉමයි.

යක්ෂයා හෝ සාතන්, අද්භූත සත්ත්වයන්, අස්වාභාවික ශක්තීන් සහිත චරිත, භූත-අවතාරාදිය, මිනී මස් බුදින්නන් පිළිබඳ (Canibalism) සහ පණ ගැන්වූ මෘත දේහයන් පිළිබඳ (Zombies) විශ්වාසයන් දක්වා විහිදී ගිය ගොතික් නවකතා ශානරය සියවස් ගණනක් තිස්සේ මිනිස් සිත් සසල කර, ඒ කැළඹිල්ලෙන්ම නොසන්සුන් රසයන් අවුළුවා ලූ බව රහසක් නොවේ. බීභත්ස්‍යික, සංත්‍රාසමය හෝ තැතිගැනීම් ඇති කරන, මරණයේ සහ මෝහනීය සරාගයේ සංකල්ප ධාරාවලින් ගැවසගත් කතා වින්‍යාසයකැයි සරලව හඳුන්වා දිය හැකි ගොතික් කතා ක්‍රමය ආරම්භ වනුයේ ඉංග්‍රීසි ලේඛක හොරස් වොල්පෝල් 1764දී පළ කළ “The Castle of Otranto” නවකතාවෙනි. එය “ගොතික් කතාවක්” යන අනුනාමය සහිතවම පළ වූ නිසාදෝ, ඒ ශෛලිය අනුදුටු පසු නිර්මාණ ගොන්නම “ගොතික් සාහිත්‍යය” යන නමින් ඒකරාශී විය. ක්ලාරා රීව්, ඈන් රැඩ්ක්ලිෆ්, විලියම් බෙක්ෆෝඩ්, මැතිව් ලුවිස් වැනි ලේඛක ලේඛිකාවන් වොල්පෝල්ගෙන් උත්තේජනය ලබා ඉදිරියට ගත් මේ කතා රටාව පසුව ඇලන් පෝ, වික්ටර් හියුගෝ, විල්කි කොලින්ස්, බ්‍රොන්ටේ සොයුරියන්, හෙන්රි ජේම්ස්, එච්.පී. ලොව්ක්‍රාෆ්ට්, කොනන් ඩොයිල්, ස්ටීවන් කිංග් යනාදී පිරිස අත තවත් පුළුල් වූයේ, විවිධ තේමා උපක්‍රමාදියෙන් අලංකෘත වෙමිනි.

මුල් කාලීන ගොතික් ගත් ගෙත්තම් ගෙතුණේ තත්කාලීන ගෘහ නිර්මාණ ශිල්පයේ ගුප්ත විභූතිය ඇසුරේයැයි කිව හැකිය. ගල් බැමි වලින් උසට බැඳුණු, මකුළු දැල් පැටළුණු, වවුලන් තටු ගසන මන්දිර අස්සේද, ඉඳහිට සිවල්, වෘක හඬ නංවන පාළු නිම්න සහ වනාන්තර මැද්දේද, මීදුම් සහ දෝංකාර පැටළෙන රවා ගත් කඳුවැටි ඉස්මත්තේද ගොතික් කලාව දලු ලා වැඩුණේය. මනෝ විද්‍යාත්මක විවරණයන්ගෙන් සහ විද්‍යා සංකල්පයන්ගෙන්ද සැමවිටම පාහේ ඒවා පෝෂණය විය. ඉතින් මේ ගොතික් නවකතාවලින් කුප්පනු ලබන්නේ අප කාගේත් සන්තානයන් තුළ අඩු වැඩි වශයෙන් තිබිය හැකි නාඳුනන භය සංකාවකියි මට සිතෙයි. විශිෂ්ට රචක-රචිකාවියන් එය කොතරම් නිර්මාණාත්මක ලෙස කරන්නේද යත්, සත්‍යයෙන් තොර බව හොඳාකාරවම දන්නා කෘතීන්ගෙන් පවා පාඨක සිත් භීතියකින් හෝ විචිකිච්චාවකින් ඇවිස්සී යයි.

මාරි ෂෙලී සිය Frankenstein කෘතියෙහි මෙසේ ලියුවාය.

“මට වටහා ගත නොහැකි යමක් මගේ ආත්මය තුළට වී නිරතුරුව නලියයි.”

ෂර්ලොක් හෝම්ස් ලවා යථාර්ථවාදී විවරණයන් කිරීමට යොමු වූ ආතර් කොනන් ඩොයිල් වුවද සිය මුල් කෘතීන්වල මෙබඳු සටහන් තබා ඇත.

“විවෘත කවුළුවක් අසළ සිටගෙන ශෝකී අවටින්, පහළ ලෝකයේ සැඟවුණු බලවේගයන් පෙනී යා දැයි විමසමින් සිටින හුදකලා මිනිසෙකුගේ සිතිවිලි තුළ බිය මුසු යමක් ළෙල දෙන්නේය”

ගොතික් කලාව ජනප්‍රිය වන්නේ එය මානව සංහතිය පසුපස සදාකල් හඹා එන, මිථ්‍යාවන් යැයි නොකිව හැකි විද්‍යාවන්ට හසු නොවන යම් යම් හැඟුම්-සිද්ධි-සංකල්ප පුංජයන්ගෙන් අපට සංග්‍රහ කරන නිසාද? කෙසේ හෝ වේවා, ගොතික් සාහිත්‍යයත්, එයින් පණ ගැන්වුණු නිමක් නැති සිනමා විශ්වයත් අපට රිදුම් මුසු රසයක් දෙයි. භරතමුණිගේ භාව-රස වාදයෙහි වර්ණිත, භයානක රසය සහ අද්භුත රසය මෙහිදී සිහිපත් වේ. විශේෂයෙන් කලාව යථාර්ථයෙන් ඈත සිහින රාජ්‍යයන් වෙත ගෙන ගොස් ඇති ගොතික් මූල චිත්‍රපට සහ රූපවාහිනී මාලා නාටකයන් වර්තමානයේ දිනා ගෙන ඇති ආකර්ශනයද ඒ පිළිබඳ මානව ප්‍රතිචාරය මනාව පහදවයි.

Rebecca, Suspiria, Hour of the Wolf, Jurassic Park, Terminator, The Haunting, Black Sunday, The Grudge යනාදී ලෙස ලියා ගෙන යා හැකි මේ ගණයේ නිමා නොවෙන චිත්‍රපට නාමාවලියට එක් වන Rosemary’s Baby චිත්‍රපටයත්, එනමින්ම වූ කෙටි රූපවාහිනී මාලා නාටකයත් ගැන වැකියක්වත් කිව යුතුය. මේ තේමාව මට මතක් කර දුන්නේ ඒ චිත්‍රපටය බැවිනි. මේ නිර්මාණ දෙකටම පාදක වනුයේ ඊරා ලෙවින් නම් ඇමරිකානු නවකතාකරු 1967 දී ලියූ Rosemary’s Baby නවකතාවයි. සාතන්වාදී සංගමයක සැලසුමකින් යක්ෂයාගේ පුතුට උපත දීමට තෝරා ගැනෙන සාමාන්‍ය කාන්තාවක පිළිබඳව වූ මේ නිර්මාණයද, නරඹන විට තැතිගැනීමත්, නරඹා නිදාගත් කල බියකරු සිහිනත් පිළිගන්වන්නකි.

අන්තිමට ගොතික් කතාවලින් අපට කුමක් ලැබේදැයි සිතමින් නවතමි. එක අතකින් ගොතික් කතාවලින් තැවරෙන අධි මානුෂීය ශක්තීන්, කුඩා වියේ සිට කොයි කාගේත් සිහින ලෝකයන් පුළුල් කරන්නට ඇත. අනෙක් අතට ඒවා තුළ ඇති නපුර හා භීතිය එදිනෙදා ජීවිතයේ අපට අත් දකින්නට ලැබෙන නපුරට වඩා අධික බැවින්, සැබෑ ජීවිතය කෙතරම් වාසනාවන්තදැයි සිතා අපට සතුටු විය හැකිය. ඒ කතා ඔස්සේ නින්දේදී බියකරු සිහින තුළට ඇතුළු වන අපි, පිබිදී ඒවා සිහින පමණක් බව වටහා ගැනීමෙන්ද සහනයක් නොලබන්නෙමුද?

ලක්ශාන්ත අතුකෝරල