කියතක්, ඉස්කුරුප්පු ඇණ තොගයක්, පුංචි ග‍්‍රිල් මැෂිමක්, වැලි කඩදාසි හා පැලට් තොගයක් මිලදී ගත යුතුයි. පොත් ගොන්නක් ඉඩකඩ නැතිව විසිර ගොස් තියෙනවා. ඒ හින්දා අලූත් පොත් රාක්කයක් තනාගත යුතුයි. තමන්ගේම අතින් රාක්කයක් හදාගැනීම අසීරු කටයුත්තක් නොවෙයි.
ගෘහභාණ්ඩ කියන්නේ අභියෝගයක්.

ඉරිදා පත්තරයක ගෘහභාණ්ඩ අලෙවිසැල්වල දැන්වීම් දකිද්දී ගෘහභාණ්ඩයකට මොනතරම් මුදලක් වියදම් කළ යුතුදැයි සිතමින් තැවෙන්නට බොහෝ අයට සිදුවෙනවා. අඩුම මිලට ගත හැකි ගෘහභාණ්ඩ වර්ග හැමදාම දකින කුකුළන්ගේ කරමල වගෙයි. මිල අධික ගෘහභාණ්ඩවලට ළඟාවිය නොහැකියි. වෙනස්ම ගෘහභාණ්ඩ එකතුවක් ගැන හීන දකින කෙනෙකුට එක්කෝ හීන දකිමින් ඉන්න සිද්ධවෙනවා. නැත්නම් ගෘහභාණ්ඩවලට මුදල් හොයන්න සිද්ධවෙනවා.


අඩු වියදමකින් නිවෙසක ගෘහ අභ්‍යන්තරයට වෙනස්ම හැඩයක් දෙන භාණ්ඩ එකතුවක් සොයාගත හැකිනම් එය සිහිනයක්. ලී පැලට්වලින් නිර්මාණය කරගත් ගෘහභාණ්ඩ මේ සිහිනය හැබෑ කරගන්නට අපූරු මාධ්‍යයක්. පැලට් පාවිච්චි කරන්නේ නැව්වලින් විශාල භාණ්ඩ ප‍්‍රවාහනය කරද්දී ආධාරක ලෙසයි. ලී පැලට්වලින් ගෘහභාණ්ඩ තැනීම කලෙක කැරවෑන්, එස්යූවී වාහන වැනි නිවාසවල තැනින් තැනට ගමන් ගන්නා උදවියට සැහැල්ලූවෙන් හා අඩුමිලට ගෘහභාණ්ඩ පාවිච්චි කිරීමට යොදාගත් ක‍්‍රමයක්ව තිබුණා. එහෙත් අද එය විලාසිතාවක් බඳුයි. පැලට් කිහිපයක් හා විවේකයක් සොයාගතහොත් පැලට්වලින් ගෘහභාණ්ඩ තනාගැනීම අපටම කළ හැකියි.


සාමාන්‍යයෙන් ගෘහභාණ්ඩ සඳහා පාවිච්චි කරන්නට සුදුසු පැලට් වන්නේ ඇමෙරිකාව හා ඕස්ටෙ‍්‍රලියාව වැනි රටවල නිෂ්පාදනය කරන පැලට් බව කියනවා. ඒ ඒ පැලට්වල කල්පැවැත්ම හා දරාගත හැකි බර අනුව ඒවා වර්ගීකරණය කරනවා. කිලෝ 22 සිට කිලෝ 210 දක්වා බරක් දරාගත හැකි පැලට් වර්ග තියෙනවා.


මේ වෙද්දී පැලට්වලින් ගෘහභාණ්ඩ නිෂ්පාදනය කරන හැටි උගන්වන අන්තර්ජාල වෙබ් අඩවි මෙන්ම යූටියුබ් චැනල බොහොමයක් තියෙනවා. ඞීඅයිවයි (ඩූ ඉට් යුවර්සෙල්ෆ්* අන්තර්ජාල පිටුවල පැලට්වලින් ගෘහභාණ්ඩ තනාගන්නා අන්දම වීඩියෝ මාධ්‍යයෙන් මුල සිට අගට කියාදෙනවා. අවශ්‍ය යන්ත‍්‍ර, ඇණ වර්ග, පැලට් ආදිය සොයාගතහොත් තමන්ගේම ගෘහභාණ්ඩ තනාගැනීමේ ව්‍යාපෘතියක් තමන්ටම කළ හැකියි.


සෝෆා එකක්, පොත් රාක්කයක්, ඇඳක්, ටීපෝවක්, කෑම මේසයක්, පොත් මේසයක්, මුළුතැන්ගෙය බෝතල් රඳවනයක්, මල්පැල රාක්කයක් හෝ වැටක් වුව පැලට් පාවිච්චි කරමින් තනාගත හැකියි. සාමාන්‍ය ලීවලට වඩා ඉවතලන ලී පැලට් එකක මිල අඩුයි. ඒ නිසා පැලට් ලාබෙට සොයාගත හැකියි. එය අඩු වියදම් ගෘහභාණ්ඩයකට පාරක් කරගත හැකියි.


පැලට්වලින් තනන ගෘහභාණ්ඩයක රසය තියෙන්නේ අන්තර්ජාලයෙන් බලා ඉගෙනගෙන, සති අන්ත දෙකතුනක් පාවිච්චි කොට තමන්ම ගෘහභාණ්ඩයක් තනාගතහොත් තමයි. තමන්ගේම අතින් තැනූ ඇඳක හෝ සෝෆාවක වැතිර සිටීම තවත් එක් සෝෆාවක වැතිරීමට වඩා විනෝදයක්. ඇතැම්විට පළමු නිර්මාණය අසාර්ථක විය හැකියි. එහෙත් එය පාඩුවක් නොවෙයි, ඔබට තවත් ගෘහභාණ්ඩයක් තනාගත හැකියි.


සාමාන්‍යයෙන් තමන්ගේ ගෘහභාණ්ඩ අලූත්වැඩියා කරගැනීම හෝ තනාගැනීම ලංකාවේ බෙහෝ දෙනෙකුට නුහුරු අත්දැකීමක්. මධ්‍යම පන්තික පවුලකට එය ලැජ්ජාවක් විය හැකියි. එහෙත් මේ වෙද්දී මුළු ලෝකයේම පැතිර ගිය අන්තර්ජාලයේ ඞීඅයිවයි වෙබ් පිටු නරඹා නිවෙසට අවශ්‍ය භාණ්ඩ නිර්මාණය කරගැනීමේ විලාසිතාවක් තියෙනවා. එය අලූත් සංස්කෘතික පුරුද්දක් ලෙස ලංකාවේ අපටත් හුවමාරු කරගත හැකියි.


තමන්ගේ නිවෙස තුළම ගෘහභාණ්ඩයක් නිර්මාණය කරගැනීම යහපත් බව කියන අතරේම, අවැසිනම් පැලට්වලින් ගෘහභාණ්ඩ නිෂ්පාදනය කරන ශ‍්‍රී ලාංකික සමාගම්ද කලෙක පටන් බිහිව ඇති බව සිහිපත් කළ යුතුයි. අප සමඟ අදහස් දැක්වූ වත්තල ජීවත්වෙන මුරලි ශ‍්‍රීනිවාසන් මහතා ස්වයං රැුකියාවක් ලෙස පැලට්වලින් ගෘහභාණ්ඩ නිෂ්පාදනය කරන ආයතනයක් පවත්වාගෙන යනවා.


‘මම ගෘහභාණ්ඩ හදන්නේ පයින් ලීවලින් හදපු පැලට්වලින්. පැලට්වලින් කරන ගෘහභාණ්ඩවලට මේ වෙනකොට ලංකාවේ ලොකු ඉල්ලූමක් තියෙනවා. අපි කරන්නේ අපට ඉල්ලූම එන විදියට ගෘහභාණ්ඩ හදන එක. මේ වෙද්දී ගොඩක් අයගේ ඉල්ලූම තියෙන්නේ රස්ටි ලූක් එකකට. ඒ කියන්නේ ටිකක් පෞරාණික රළු පෙනුමක් තියෙන භාණ්ඩවලට. ඒ නිසා අපි පැලට් පරණ පෙනුමක් තියෙන විදියට වෙනස් කරනවා. නිකම් පරණ වළව්වක ගෘහභාණ්ඩ වගේ. ඉන්පස්සේ පයින් ලීයෙන් ගෘහභාණ්ඩවලට පාවිච්චි කරන සූ සුකිබාන් කියන ක‍්‍රමයට ලී භාණ්ඩ වෝටර් පෲෆ් කිරීම. ලංකාවේ අය වින්ටේජ් ලූක් එකක් තියෙන ගෘහභාණ්ඩවලටත් කැමතියි.’ ශ‍්‍රීනිවාසන් කියනවා.


මෙවැනි සමාගම්වල වෙබ් පිටුවලට ගියහොත් එම භාණ්ඩවල මිල ගණන් සඳහන් කර තියෙනවා. රාක්ක රුපියල් 6000 සිට ඉහළට. සෝෆා වර්ග රුපියල් 12000 සිට ඉහළට තියෙනවා. ඇඳවල් රුපියල් 15000 සිට ඉහළට. අප මිලගණන් සඳහන් කළේ ඒවා අනෙකුත් ගෘහභාණ්ඩවලට වඩා මිලෙන් අඩු බව පෙන්වන්නටයි.


පැලට්වලින් තනාගන්නා ගෘහභාණ්ඩ හොඳ කල් පවතින ලීයකින් තැනූ වෙනත් ලී ගෘහභාණ්ඩ තරම් කල් පවතින්නේ නැති බව කිව යුතුයි. එහෙත් අද බොහෝ තැන්වල විකුණන්නට තිබෙන ප්ලයිවුඞ් භාණ්ඩ තරම් කාලයක් පැලට්වලින් හදාගන්නා ගෘහභාණ්ඩත් පවතිනවා. අනෙක් අතට තමන්ගේම අතින් තනාගත් පැලට් ගෘහභාණ්ඩයක් වසර දහයකින් පමණ දිරාපත් වුණත්, හිතට දුකක් නැහැ. හිතේ සැහැල්ලූවකින් තවත් භාණ්ඩයක් හදාගැනීමට ව්‍යාපෘතියක් ආරම්භ කළ හැකියි. x