‘මගේ මතකයේ හැටියට අද හෝ ඊයේ, මම උදේ පත්තර බලපුවාම ලොකු කනගාටුවක් ඇති වෙච්ච ප්‍රවෘත්තියක් දැක්කා. මහාධිකරණයෙන් පෙරේදා දඬුවම් දුන්නා ගුරුවරයෙකුට. ශිෂ්‍යයෙකුට ගැහුවයි කියලා බරපතළ වැඩ ඇතුව අවුරුදු ගණනාවක්. හාමුදුරුවනේ, මම ගුරුවරුන්ගෙන් හොඳට ගුටිකාපු කෙනෙක්. මම ඒ නඩු තීන්දුව විවේචනය කරන්නෙ නෑ. නමුත් මේක දැක්ක මේ රටේ ගුරුවරු ළමයින්ට ඉගැන්වීම පිළිබඳව කොහොම හිතයිද කියලා මම දන්නෙ නෑ. ළමයෙකුගේ අතින් අල්ලන එකක් නෑ ගුරුවරයෙක් මීට පස්සෙ”‍
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පෙබරවාරි 02 වැනිදා බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේදී කළ අදහස් දැක්වීමකදී එසේ කියා තිබුණි. ජනාධිපතිවරයා මෙසේ කියා තිබුණේ පෙබරවාරි 01 වැනිදා කුරුණෑගල මහාධිකරණ විනිසුරු මේනකා විජේසුන්දර මහත්මිය ලබාදුන් තීන්දුවක් පිළිබඳවය.
ගුරුවරුන්ගෙන් ‘හොඳට ගුටිකමින්’ හැදුණ මෛත්‍රීපාල සිරිසේන මහතා කෙතරම් ‘ගෞරවනීය පුරවැසියෙක්’දැයි අපි නොකියන්නෙමු. සිසුන්ට ශාරීරික දඬුවම් ලබාදීමෙන් යහපත් පුරවැසියන් බිහිකළ හැකිද යන පැනයට ‍මෛත්‍රීපාල සිරිසේන මහතා හොඳ උදාහරණයක් විය හැකිය.
මේ දවස්වල නම් මෛත්‍රීපාල සිරිසේන තරම් හිංසනය ගැන විශ්වාසය තබන පුද්ගලයෙකු ලංකාවේ නැති තරම්ය. එහෙත් මේ ජනාධිපතිවරයාම 2018 සැප්තැම්බර් මාසයේදී වෛද්‍ය තුෂ් වික්‍රමනායක ඇතුළු පිරිසක් විසින් සංවිධානය කළා ළමා හිංසනයට එරෙහි පාගමනකට සහභාගි වී තිබුණි. ජනාධිපතිවරයාගේ වචන හා ක්‍රියාවල පරස්පරතාව ගැන අප පුදුම විය යුතු නැත.
මේ කියන සිදුවීම 2012 සැප්තැම්බර් 04 වැනිදා සිදුවූවකි. කුරුණෑගල ජෝන් කොතලාවල විද්‍යාලයේ 11 වසරේ සිටි සිසුවෙකුට පහරදීම සම්බන්ධයෙන් නඩු විභාගය සිදුවී තිබුණි. වසර හයක් තිස්සේ විභාග වූ නඩු විභාගයෙන් පසුව 2019 පෙබරවාරි 01 වැනිදා තීන්දුව ලබාදෙමින් ගුරුවරියට වසර දෙකක සිර දඬුවමක් සහ රුපියල් ලක්ෂයක වන්දියක් නියම කර තිබුණි. ගුරුවරිය දරුවාගේ හිසට පහරදුන් බවට සාක්ෂි ලැබී තිබුණි. කෙසේ වෙතත් එම පහරදීම් නිසා සිදුවූ ශාරීරික හානිය පිළිබඳව සාක්ෂි ඉදිරිපත් වුවද, නඩු තීන්දුව ලැබී තිබුණේ එම තුවාලවල බරපතළ බව සලකමින් නොවේ. අධිකරණ තීන්දුවට පදනම් වී තිබුණේ පහරදීම බරපතළද නැද්ද යන්න පිළිබඳව නොවේ. දරුවාට ශාරීරික දඬුවම් ලබාදීමෙන් දරුවාට ක්‍රෑර ලෙස සැලකීම පිළිබඳවය.
ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසෆ් ස්ටාලින් දීර්ඝ කාලයක් තිස්සේ ළමා හිංසනයට එරෙහිව අදහස් දැක්වූ අයෙකි. අනෙකුත් ගුරු සංගම් සියල්ලම පාහේ දරුවන්ට දඬුවම් දීමට පක්ෂව අදහස් දක්වන පසුබිමක ජෝසෆ් ස්ටාලින් මහතා මෙසේ අදහස් දැක්වීය.
“මේ තීන්දුවෙන් පස්සේ ගුරුවරුන් සෑහෙන කලබලයට පත්වෙලා තිබුණා. බොහෝ ගුරුවරුන්, මේ නඩු තීන්දුවට එරෙහිව කතාකරන්නැයි අපට යෝජනා කර තිබුණා. ඒක සමාජයේ තියෙන ආකල්ප මත පදනම් වුණ අදහසක්. මේ වෙද්දී සමාජ සංවාදයක් ඇතිවෙලා තියෙනවා දරුවන්ට දඬුවම් දීම අවශ්‍යයි කියලා. ඒ අතරේ තවත් අදහස් මතුවෙනවා දරුවන්ට මානව හිමිකම් දීලා වැඩියි කියලා. මම දකින්නේ මේ අදහස් ඉතාම නරක ප්‍රවණතාවක් විදියටයි. මානව හිමිකම් කියන්නේ මිනිස් සමාජය විසින්, මිනිසුන්ගේ යහපත උදෙසා ඇති කරගත්ත දැනුම් පද්ධතියක්. තමන්ගේ දරු පරපුරට මානව හිමිකම් අවශ්‍ය නැති බව මතයක් නිර්මාණය වීම ඉතාම නරක ප්‍රවණතාවක්.
සිසුන්ට ශාරීරික දඬුවම් ලබාදීම සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාංශය විසින් 2005/17 අංකය දරන චක්‍රලේඛයක් තියෙනවා. එම චක්‍රලේඛය අවධාරණය කරමින් නැවත 2017 දීත් චක්‍රලේඛයක් නිකුත් කළා.
මේ කියන පහරදීම සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාංශය විසින් මූලික විමර්ශනයක් කරලා තියෙනවා. එම විමර්ශනයෙන් ගුරුවරිය නිදහස් කරලා තියෙනවා. ඇත්ත වශයෙන්ම ඒ පාසලේ තිබුණු වාතාවරණය නිසා මේ සිදුවීම ගැන සාක්ෂි දෙන්නට බොහෝ අය ඉදිරිපත් වුණේ නැහැ. ඒ කාලයේ පාසලේ විදුහල්පතිවරයාව සිටි කෙනා දරුවන්ට දඬුවම් දීමට පක්ෂව දැඩි අදහස් දැක්වූ කෙනෙක්.
කෙසේ වෙතත් දීර්ඝ කාලයක් තිස්සේ විභාග වුණ නඩු තීන්දුවකින් පස්සේ මේ සිදුවීම සම්බන්ධයෙන් අධිකරණ තීන්දුවක් ලැබිලා තියෙනවා. ඒ තීන්දුවෙන් දඬුවම් ලබාදීලා තියෙන්නේ දරුවාට ක්‍රෑර ලෙස සැලකීම සම්බන්ධයෙන්. පහරදීම සම්බන්ධයෙන් නෙවෙයි. පහරදීමට දඬුවම් කළා නම් වසර 7ක සිර දඬුවමක් ලැබෙන්න ඉඩ තිබුණා.”
වෛද්‍ය තුෂ් වික්‍රමනායක “ළමා හිංසනය තිත” නම් ස්වේච්ඡා සංවිධානයේ සභාපතිවරියයි. එම සංවිධානය විසින් දරුවන්ට ශාරීරික දඬුවම් ලබාදීමට එරෙහිව ක්‍රියාකාරකම් රැසක් සිදු කර තිබුණි.
“ මාපියන් ගුරුවරුන්ට කියන්නේ ගහලා ළමයාව හදන්න කියලා. දරුවාට තියෙන මානව හිමිකම් දිනෙන් දින අඩුවෙමින් පවතිනවා. වැඩිහිටියනුත් දරුවන් කෙරෙහි දක්වන සැලකිල්ල අඩුවෙලා තියෙනවා. අපි දරුවන්ට සලකන්නේ තුන්වැනි පාර්ශ්වයක් විදියට. දරුවන්ට යම්කිසි ගුරුවරයෙක් දඬුවම් කළොත් අපි ඒ ගැන කතාකරන්න බය වෙනවා. මේ සිද්ධිය ගැන ගුරුවරුන්ට පමණක් ඇඟිල්ල දිගු කරන්න බැහැ. ලංකාවෙ දරුවෙක් උදේ හවස ඉස්කෝලෙට ගිහින්, හවස හයට ගෙදර එන්නෙ. ගුරුවරයාත් එහෙමයි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් සෑම පුරවැසියෙකුට අමානුෂිකත්වයෙන් මිදී ජීවත්වීමේ අයිතිය තහවුරු කරනවා. ඒ අයිතිය දරුවන්ටත් අයිතියි. 12 වැනි ව්‍යවස්ථාව අනුව නීතිය සියලු පුරවැසියන්ට එක හා සමාන වෙන්න ඕනෑ. දරුවන්ටත් ඒ අයිතිය තියෙනවා. එක්සත් ජාතීන්ගේ ළමා ප්‍රඥප්තියට අපි අත්සන් කරලා තියෙනවා. ඒත් එක්සත් ජාතීන්ගේ සංවිධානය පෙන්වා දී තිබෙනවා ලංකාවේ ළමා හිංසනය වැඩිවෙලා තියෙන බව. අපි ඒ ගැන ලැජ්ජා වෙන්න ඕනෑ. ළමයින්ට එරෙහිව ක්‍රෑර ලෙස සැලකීම දණ්ඩ නීතිය අනුව අපරාධ වරදක් ලෙස සැලකිය හැකියි. ඒ වුණාට දඬුවම්ට ශාරීරික දඬුවම් ලබාදීම සාධාරණය කරන ඇතැම් නීති දණ්ඩ නීති සංග්‍රහයේ තවමත් තියෙනවා. ඒවා පැරණි නීති. අපි මුලින්ම මේ නීති වෙනස් කරන්න ඕනෑ. අපේ ආකල්පත් වෙනස් කරන්න ඕනෑ. ලංකාවේ අපි සතුන්ට හිංසා කිරීම ගැනත් කතාකරනවා. ඒත් ළමයෙක්ට හිංසනයක් වුණොත් හැමෝම පසුපසට යනවා.”
ජාතික ළමාරක්ෂක අධිකාරිය විසින් 2016 වසරේ තෙවැනි පාසල් වාරයට කරන ලද සමීක්ෂණයකින් පසුව ඔවුන් පෙන්වා දී තිබුණේ සමීක්ෂණයට සහභාගි වූ පාසල් සිසුන්ගෙන් 80%ක්ම එම කාලය ඇතුළතදී ශාරීරික දඬුවම්වලට මුහුණදී ඇති බවය. එයින් 53%කට වැඩි ප්‍රමාණයක් හිංසනයක් ලෙස සැලකිය හැකි බරපතළ දඬුවම් ලබා දී තිබුණි. අත ගුලිකර පහරදීම, පයින් ගැසීම, බෙල්ල සිරකිරීම, වැර යොදා පිට පිට පහරදීම වැනි බරපතළ දඬුවම් රැසක් එලෙස ලබා දී තිබුණි. විසිකිරීම්, බිය වැද්දීම්, පිහියක් හෝ මුගුරක් පෙන්වා තර්ජනය කිරීම් ආදි දඬුවම්ද සැලකිය යුතු පමණින් ඒ සමීක්ෂණයේදී හෙළිව තිබුණි. ගුරුවරුන් විසින් සිසුන් පිළිස්සීමට ලක් කිරීමේ සිදුවීම්ද මෙම සමීක්ෂණයේදී ළමාරක්ෂක අධිකාරියට හමු වී තිබුණි.
දරුවන්ට පහරදීම පිළිබඳව ‘දේව’ බලයක් ගුරුවරුන්ට ලැබී ඇත්තේ කෙසේදැයි අප කල්පනා කර බැලිය යුතුය. දරුවන්ට දඬුවම් කළ යුතු අවස්ථා ගැන, නොකළ යුතු අවස්ථා ගැන, දඬුවම් කළ යුතු ප්‍රමාණය ගැන ගුරුවරුන් විශේෂ අධ්‍යාපනයක් ලබා ඇතැයි කෙනෙක් කල්පනා කළ හැකිය. එහෙත් ළමාරක්ෂක අධිකාරිය විසින් සිදුකළ, ඉහත කී සමීක්ෂණයේදී සමීක්ෂණයට ලක් කළ ගුරුවරුන්ගෙන් 77%ක් සිසුන් විනයගත කිරීම පිළිබඳ කිසිදු පුහුණුවක් ලබා නොතිබූ බව හෙළිව තිබුණි.
අතීතයේ පටන්ම ගුරුවරුන්ව දෙවිවරුන්ට සමාන කර ඇති බව ඇත්තය. ඒත් ගුරුවරු දෙවිවරු නොවෙති. ඔවුහු දරුවෙකුට දඬුවම් කිරීම පිළිබඳ විශේෂ අධ්‍යාපනයක් හෝ දැනුමක් ලද අයත් නොවෙති. සාමාන්‍ය මිනිස්සුය.
සිසුන්ට ශාරීරික දඬුවම් ලබාදීම හරිද වැරදිද යන්න අලු‍තෙන් සංවාද කළ යුතු නැත. ඒ ගැන වඩා විද්‍යාත්මක සංවාද, පරීක්ෂණ, සමීක්ෂණ රැසක් මිනිස් ඉතිහාසය පුරාවට සිදුකර ඇත. එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් 2018 දී එළිදැක්වූ එම වාර්තාවට අනුව පෙන්වා දෙන්නේ දරුවන් හිංසනයට ලක් කිරීම නිසා සිදුවන පාඩුව ආර්ථිකමය වශයෙන් ගණනය කළහොත් ඩොලර් ත්‍රිලියන 7ක පමණ වාර්ෂික පාඩුවක් සිදුවන බවය. මානසික පීඩා, ශාරීරික දුබලතා, සෞඛ්‍ය ප්‍රශ්න ආදි වශයෙන් මෙම පාඩුව ගණනය කර ඇත. ඒ ආර්ථික පාඩුව පමණි. සමාජයක් ලෙස හිංසනය නිසා විඳින ප්‍රතිවිපාක පිළිබඳව ලංකාවේ වත්මන් සමාජය පැහැදිලි උදාහරණයකි.■