මිනුවන්ගොඩ නගරය පසු කොට බල්ලපාන ප‍්‍රදේශයේ ඩයමන්ඞ් පාස්තා කර්මාන්ත ශාලාව සොයාගෙන අපි ගියෙමු. සොයාගැනීමට අපහසු නොවීය. විනාශ වූ කර්මාන්තශාලාව තියෙන්නේ පාර අයිනේය. ඉදිරිපිට පොලිස් නිලධාරීන් කිහිපදෙනෙකු ආරක්ෂාවට සිටියි. තාප්පයෙහි දැවැන්ත අකුරින් ‘තම්බි එපා‘ යැයි ලියා ඇත. සම්පූර්ණයෙන්ම කඩා තිබුණු ගේට්ටුවෙහි විවර මැදින් ගිනිගෙන විනාශ වූ කර්මාන්තශාලාව පෙනෙන්නට ඇත. ඩයමන්ඞ් පාස්තා කර්මාන්ත ශාලාව මැයි 13 වැනිදා හවස්වරුවේ අන්තවාදීන්ගේ ප‍්‍රහාරයෙන් සම්පූර්ණයෙන්ම විනාශ වූවකි.


ආරක්ෂාවට සිටි පොලිස් නිලධාරීන් කී විදියට කර්මාන්ත ශාලාව ඇතුළේ කිසිදු යන්ත‍්‍රයක කොටසක්වත් ඉතිරි වී නැත. අපට ඇතුළට යන්නට අවසර නොලැබුණේ තවම රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුවෙන් ස්ථානීය පරීක්ෂණයක් කර නැති නිසාය.


මෙම කර්මාන්ත ශාලාවේ හිමිකරු මුස්ලිම් ජාතිකයෙකු බව ඇත්තය. එහෙත් එහි සේවය කළ සේවකයන් 300ක් අතරින් බහුතර පිරිසක් සිංහල ජාතිකයන්ය. එය ආරම්භ කර තිබුණේ 2018 නොවැම්බර් මාසයේදීය. ඩයමන්ඞ් පාස්තා ව්‍යාපාරය වසර 60ක පමණ කාලයක් තිස්සේ තිබුණු එකකි. ඔවුන් මෑතකදී මෙම කර්මාන්ත ශාලාව ආරම්භ කර තිබුණේ ව්‍යාපාරයේ ශාඛාවක් ලෙසය. ඒ වෙනුවෙන් නවීන යන්ත‍්‍ර ගෙනැවිත් සවිකොට තිබී ඇත. එම යන්ත‍්‍ර සියල්ල විනාශ වී තිබේ. කර්මාන්ත ශාලාවේ හිමිකරු මොහොමඞ් ෆවුමි මහතා මෙසේ කීය.


‘පුරුද්දක් විධියටම අපේ ව්‍යාපාර ස්ථානයේ හැම ජාතියකම මිනිස්සුන්ව සමාන ලෙස සේවයට ගත්තා. අපේ මාකටින් මැනේජර්ගේ ඉඳලා ප‍්‍රඩක්ෂන් මැනේජර් වෙනකම් ඉන්න හැමෝම සිංහල ජාතික අය. මගේ මීමුත්තා, සීයා, මගේ තාත්තා හැමෝම කළේ මේ ව්‍යාපාරය. අපේ ප‍්‍රධාන කාර්යාලය තිබුණේ පෑලියගොඩ. පෑලිය ගොඩ අපිට ඉඩ නැති නිසා තමයි අපි මිනුවන්ගොඩට ආවේ. අපි මේ යන්ත‍්‍ර ඉතාලියෙන් ගෙන්වුවේ සෑහෙන මුදලක් වියදම් කරලයි. මේ කර්මාන්ත ශාලාවේ ගොඩනැගිල්ල, යන්ත‍්‍ර, විදුලිය ඇතුළු සියලූ දේවල්වලට රුපියල් කෝටි 70ක් විතර වියදම් කරලා තියෙනවා. සම්පූර්ණ ඉඩම අක්කර හතරහමාරක් විතර. අපට තියෙන රක්ෂණයෙන් ලැබෙන්නේ සිද්ධවෙච්ච විනාශයෙන් 60%ක් විතර. මේ ව්‍යාපාරය තව දියුණු කරගන්න අපි සැලසුම් කරලා තිබුණා. අපි බලාපොරොත්තු වුණේ තව මාස දෙකකින් විතර බල්ලපාන ගමේ තව මිනිස්සු දෙතුන් සීයකට රස්සාවල් දෙන්නයි. අපි තව මැෂින් ඇණවුම් කරලයි තිබුණේ.‘


එච්.ඒ. පියදාස මහතා කර්මාන්ත ශාලාවේ සේවය කළ පුද්ගලයෙකි. ඔහු බල්ලපාන ප‍්‍රදේශයේ පදිංචිකරුවෙක් නොවේ. බල්ලපාන කර්මාන්ත ශාලාව ආරම්භ කරන්නටත් පෙර සිටම ඔහු ඩයමන්ඞ් සමාගමේ සේවය කර ඇත. ඔහු අපට හමුවුණේ විනාශ කරන ලද ගේට්ටුව වෙනුවට තාවකාලික තහඩුවක් සවි කරමින් සිටියදීය. අප සමඟ කතාකරන්නට කැමති වූ කර්මාන්ත ශාලාවේ එකම සේවකයා ඔහුය.


‘අපි දන්නේ නම් මේ ෆැක්ටි‍්‍රය අයිති මහත්තයා මිනිස්සුන්ට සෑහෙන්න උදව් කළා කියලා විතරයි.මනුස්සයෙක් ඇවිල්ලා මහත්තයාගෙන් උදව්වක් ඉල්ලූවොත් රුපියල් 1000ක් හරි දෙනවා. කර්මාන්ත ශාලාවේ වැඩකරපු ගොඩක් අය සිංහල. හාම්පුතා මොන ආගමේ කෙනෙක් වුණත් හොඳ කෙනෙක් කියලා තමයි මට කියන්න තියෙන්නේ. මම මේකේ සුළු කම්කරුවෙක්. කාණු සුද්ධ කරන කෙනෙක්. ඒත් එහෙම වුණා කියලා කවදාවත් මාව ගණන් නොගෙන ගියේ නැහැ. මගේ ළඟට ඇවිදින් ඇවිත් කොහොමද කියලා අහලා හිනාවෙලා කතාකරන කෙනෙක් එයා. ඕනෑ කෙනෙක්ට සැලියුට් එකක් දාගෙන යන කෙනෙක්.‘ ඔහු එසේ කීය.


කර්මාන්ත ශාලාවේ සේවය කළ බල්ලපාන ගම්වාසීන් කිසිවෙකු අප සමඟ කතාකිරීමට කැමැත්තක් දැක්වූවේ නැත. එයට හේතුව කීවේ වෙනත් ගම්වාසියෙකි. කර්මාන්ත ශාලාව ගිනිතැබීමට ගමේම පිරිසක් සම්බන්ධ වී ඇත. ඒ නිසා ඒ ගැන කතාකරන්නට ගමේ අය දක්වන්නේ බියකි. එහි සේවය කළ කාන්තාවන් දෙදෙනෙකු සිටි නිවෙසකට ගොස් කතාකිරීමට අප උත්සාහ කළද ඔවුන් නිවසින් පිටට නොපැමිණ නිවස තුළටම වී සිටියේ මේ පහරදීමෙන් කම්පනයට පත්ව සිටි නිසාය. සිදුවීම ගැන තොරතුරු දන්නා අය කී විදියට පහරදීම මෙහෙයවා තිබුණේ පිටින් ආ පිරිසක් බව ඇත්තය. එහෙත් ඒ පහරදීමට අවට ප‍්‍රදේශවාසීන්ගේ සම්පූර්ණ සහයෝගය ලැබී තිබුණි.


මිනිත්තු විස්සක් පමණ ඇතුළත ඉදිරිපස ගේට්ටුව කඩා කර්මාන්ත ශාලාවට ඇතුළුවීමට අන්තවාදීන් 300ක පමණ පිරිසකට හැකිවී ඇත. තාප්පය උසින් වැඩි නිසා ගේට්ටුව කඩන තෙක් ඔවුන්ට ඇතුළුවීමට හැකිවී නැත. ඒ මොහොතේ සේවකයන් පමණක් කර්මාන්ත ශාලාව තුළ සිට ඇති අතර ඔවුන් පසුපසින් පිටවී තිබෙන්නේ ගේට්ටුව කඩන අතරතුරේය. මුලින්ම ආයතනයේ කාර්යාලවල තිබුණු සියලූම උපකරණ පොලූවලින් ගසා කුඩුකර ඇත. වීදුරු කඩා බිඳ දමා ඇත. කර්මාන්ත ශාලාවේ දැවැන්ත යන්ත‍්‍ර සූත‍්‍ර ගිනිතබා ඇත්තේ එක්වරම නොවේ. සෑහෙන වෙලාවකට පසුවය. ආරක්ෂක අංශවලට පැමිණ මේ විනාශය නවත්වන්නට ඕනෑ නම් වෙලාව තිබී ඇත.


කර්මාන්ත ශාලාව ගිනිතබා ඇත්තේ ටයර්, පෙට‍්‍රල් ආදිය රැුගෙනවිත්ය. දැනට ලැබෙන තොරතුරු අනුව ඒ සියල්ල සපයා ඇත්තේ ගම්වාසීන් පිරිසකි. ගම්වාසී කාන්තාවක නිර්නාමිකව පැවසුවේ රාත‍්‍රී වනතුරුම කර්මාන්ත ශාලාව ගිනිතැබූ බවය. පාන්දර දෙක පමණ වන තුරු විශාල ගින්නකින් කර්මාන්ත ශාලාව දැවුණු බව ඇය පැවසුවාය.


ඇත්තෙන්ම කර්මාන්ත ශාලාව අසල ගම්වාසීන් ඉන්නේද බියෙනි. අප පැමිණෙද්දී නිවෙස් තුළ සැඟවී කතා නොකර සිටි ඔවුන් යන්තමින් හෝ කතාකළේ මාධ්‍ය හැඳුනුම්පත පෙන්වීමෙන් පසුවය. ‘දන්නවානේ මුස්ලිම් අය ගම්වලට පැනලා කරන දේවල්‘ එක් කාන්තාවක් අපට ළං නොවී මඳක් ඈතින් සිට සැකයෙන් මෙන් එසේ කීවාය. ගම පුරා මුස්ලිම් ජනතාව පිළිබඳ ප‍්‍රවෘත්තිවලින් පැතිර ගොස් තිබෙන බිය නිසා ඩයමන්ඞ් පාස්තා කර්මාන්තශාලාව ගිනිතැබීමට ගම්වාසීන්ගේ සහාය ලැබී ඇතැයි අනුමාන කළ හැකිය. එහෙත් එයින් ගමටම සිදුව ඇත්තේ මහා විනාශයකි.
ගමට දැවැන්ත ආදායමක් වූ, දැනට කර්මාන්ත ශාලාවේ සේවයෙහි යෙදෙන ගම්වාසීන්ට අමතරව තවත් ගම්වාසීන් රැුසකට රැුකියා ලැබෙන ආදායම් මාර්ගයක් බවට නුදුරේදීම පත්වෙන්නට ඉඩ තිබුණු දැවැන්ත ව්‍යාපාරයක් ගිනිතබා විනාශ කරන්නට ඔවුන් උදව් දී ඇත. x