කොරෝනා හෙවත් කෝවිඞ් 19 හෙවත් කෝවිඩියාව රට ම නොව ලොව ම මේ වන විට තම අණසකට නතු කරගෙන ඇත. කෝවිදියා පහසින් මිදුණු අයෙකු සෙවීම අපහසු ය. බුදුන් අද සිටියෝ නම් අර අබ කතාව වෙනුවට කෝවිදියා කතාව පවසති. දුටුගැමුණු නිරිඳුන්ට පසුව සිරිලක වෙනත් ආකාරයකට හෝ එක්සේසත් කළේ එකුන්විසි කෝවිදී වයිරස නිරිඳුන් විය හැක. කෝවිදියාව මානව හැදියාව නැවත පිරිපහදු කරනු ඇතැයි සමහරු සුබ සිහින දකිත්. හැල්මක් නැති ව දුවන දිවිල්ල ද අතොරක් නැතුව සොබා දහම සූරන් කෑම ද තාවකාලික ව හෝ නැවතී ඇත. මුව රංචු ගම්පහ මැද පේව්මන්ට්වල ලගිති. මොනරු කොළඹ හතේ ගේට්ටු උඩ පිල් විහිදති. මිනිසුන් ෆෙස්බුක් පාත්තිවල පැල වී මුල් ඇද ඇත. කොරෝනා කාලේ සිංදු තීරය දිගේ සුහුඹුල් ගායක ගායිකා තරු දඹුල්ලේ සිට මාගාල්ල දක්වා දිළෙමින් පායයි. එදා රාමනායකගේ භූමිකාව මෙදා තෙවරප්පෙරුම රියැලිටි ප‍්‍රසංගයක් ලෙස කරයි. සියලූ සේවා ශීඝ‍්‍රයෙන් චූංපාංකරණයකට ලක්වෙමින් පවතී. අප කොයි කවුරුත් කෝවිදියාව හා පෙම් බැඳ ඇත් දැයි මට සිතේ.

ටයිම්ස් ඔෆ් ඉන්ඩියා පුවත්පතට සම්බන්ධ ප‍්‍රකට මාධ්යවේදියෙකු වූ පී. සයිනාත් 1996 දී අපූරු පොතක් පළ කළේ 1990 සිට තමන් ඉන්දියාවේ දුෂ්කර ම ප‍්‍රාන්ත හා දිස්ත‍්‍රික්කවල කාලය ගත කොට ආන්තික ජන ජීවිත ගැන ලියූ ලිපි මාලාව ග‍්‍රන්ථයකට සංගෘහිත කිරීමෙනි. එම පොතේ නම වූයේ ‘හොඳ නියඟයකට කවුරුත් ආදරෙයි‘ (Everybody loves a good  drought) කියා ය. ඉන්දියාවේ එවකට අවසංවර්ධිත ප‍්‍රාන්ත වූ ඔරිස්සා, බිහාර්, මධ්‍ය, උත්තර් හා තමිල්නාඩුහි නගරයෙන් බොහෝ බැහැර දුෂ්කර ප‍්‍රදේශයන්හි ප‍්‍රාන්ත හා ජාතික රජයන් හා ඊට අනුබද්ධ විවිධ සංවර්ධන ව්‍යාපෘතිවල නිෂ්ඵල හා නිරර්ථකභාවය ගැන ද ඉන් අදාළ ප‍්‍රදේශයන්හි වෙසෙන්නන්ගේ ජීවිත සුපුරුදු දුක් ගැහැටින් වියැළෙන බව සයිනාත් මනාව විස්තර කරයි. එහෙත් කෝටි ප‍්‍රකෝටි ගණනක අරමුදල් ජනනය කෙරෙනුයේ වියදම් කෙරෙනුයේ යට කී ජනතාවගේ නාමයෙන් ය. නමුදු අවසානයේ ඒවායේ වාසිය අත්වන්නේ ඉහල හා අතරමැද සිටින දේශපාලන හා රාජ්‍ය ආයතන හා ඒවායේ නිලධරයන්ට බව සයිනාත් සාක්ෂි සහිතව පෙන්වා දෙයි. මීට තරමක් සමාන පොතකින් අන්තර් ජාතික රාජ්‍ය නොවන සංවිධාන ගැන ලොවට හෙළි කළේ ග‍්‍රැහැම් හැන්කුක් ය. ඒ, 1994 වසරේ පළ වූ ‘ලෝර්ඞ්ස් ඔෆ් පවර්ටි’ තුළිනි.

කෝවිඞ්-19 තත්ත්වය සමග සයිනාත් තම හඬ නැවතත් අවදි කර ඇත. ඉන්දියාවේ වෙසෙන මිලියන් ගණනක අභ්‍යන්තර සංක‍්‍රමණික ශ‍්‍රමිකයන්, ගොවීන්, කම්කරුවන් හා අවිධිමත් ක්ෂේත‍්‍රයේ ජීවිකාව පවත්වාගෙන යන්නන් මෙම තත්ත්වය තුළ අන්ත අසරණ අඩියකට තල්ලූවෙන අයුරු සයිනාත් අනතුරු හඟවයි. ජාතික, ප‍්‍රාන්ත හා සාර්ව පිළියම්වලින් යට කී ජන කොටස් මග හැරෙන හැටි සයිනාත් පෙන්වා දෙයි. මෙවන් ව්‍යසනයකදී (ඉන්දීය) ආණ්ඩුව පිළිගන්වන පිළියම් පැකේජය සයිනාත් දකින්නේ නිර්දය හා අසංවේදී එකක් සහ ගැටලූවේ බරපතළ කම මෙලෝ අදහසක් නැති දෙයක් ලෙස ය. සයිනාත්ට අනුව වසංගත ද පැකේජයකි; ඒ සමග විවිධාකාර දේ පැමිණේ. පුද්ගල හා කුටුම්බ ආර්ථික බිඳවැටීම ඉන් එකකි. බොහෝ පිළියම් දුප්පතුන් ව තල්ලූ කරන්නේ කබලෙන් ළිපට ය.

ව්‍යසන වවාගෙන කෑම හා ආපදා බොරදියේ මාළු බෑම ගැන කදිම අනාවරණයක් හා ගැඹුරු විශ්ලේෂණයක් කළේ කැනේඩියානු ලේඛිකා හා සමාජ ක‍්‍රියාධර නෙයෝමි ක්ලයින් ය. ඈ මුලින් ම කරළියට පැමිණියේ 1999 ප‍්‍රකාශිත ‘නෝ ලෝගෝ‘ නම් වූ ග‍්‍රන්ථය සමගය. ඉන් ගෝලීය ධනවාදය, මහා පරිමාණ ව්‍යාපාර හා ඒවායේ කුඨ උපායමාර්ග ගැන සාක්ෂි සහිතව ක්ලයින් හෙළි කළා ය. එම විශ්ලේෂණයේ ම දිගුවක් ලෙස ඈ 2007 වසරේ ඩිසාස්ටර් කැපිටලිස්ම් හෙවත් ආපදා ධනවාදය නමැති නව සංකල්පයක් ඉදිරිපත් කරමින් පොතක් පළකළා ය. ‘ෂොක් තෙරපි’ හෙවත් කම්පන ප‍්‍රතිකාරය නම් මනෝවිද්‍යා න්‍යාය ක්ලයින් දේශපාලන ආර්ථිකයට ඈඳුවා ය. වසර කිහිපයක භූගෝලීය ක්ෂේත‍්‍ර හතරක කළ පර්යේෂණ පදනම්ව ක්ලයින් පෙන්වා දුන්නී ආපදා හා ව්‍යසන සැමවිට ම රාජ්‍ය හා ව්‍යාපාරික තන්ත‍්‍රය අවභාවිත කරන බවයි. ආපදාවේ හෝ ව්‍යසනයේ කම්පනයෙන් ජනතාව නිර්වින්දිත හා වික්ෂිප්ත වී සිටින විට තමන්ට රිසි තමන්ගේ වාසියට බර ව්‍යුහාත්මක සංශෝධන දේශපාලන, ආර්ථික හා වාණිජ තලයේ කරන බවයි. කෝවිඞ් 19 තත්ත්වය තුළ ආණ්ඩු හා සමාගම්වල ප‍්‍රතිචාරය හා හැසිරීම ගැන අර්ථකථනයක් කරන ක්ලයින් පවසන්නී මේ තිරනාටකය හුරුපුරුදු එකක් බවයි. වෙනත් වචනයකින් ඈ කියන්නී සතා හැරෙන්නේ කොලේ කෑමට බවයි.


ව්‍යසනය බරපතළ වන තරමට වික්ෂිප්තභාවය හා නිර්වින්දනය වැඩි වේ. ඒ තත්ත්වය තුළ ආණ්ඩුකරණයේ හා ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ ගැට කැපීම පහසු ය. රජය හා එහි නිලධර තන්ත‍්‍රය විවේචනයට ‘ෆෙස් මාස්ක්‘ පැළඳ වේ. ඝාතකයන් සමාව ලැබ විරුවන් ලෙසින් නිදහස් වේ. ඩොලර් මිලියන සුළු ගණනක කුරුම්බැට්ටි මැෂින් වංචා චුදිත මස්සිනාවරුන් ඇප ලබා නිවෙස් බලා යන අයුරු දකින්නේ ඇඳිරි නීති නිදහසින් මහමග සැරිසරන මුවන් හා මොනරුන් පමණ ය. වෙළෙන්දා නිවසට ම බඩු ටික ගෙන එයි. ඒටීඑම් යන්ත‍්‍රය ටිපරයක පටවා ඉන් අනතුරු ව පැමිණේ. නොබෝ දිනකින් ජංගම උකස් බට්ටා රථය ද චූංපාං තාලේ වයාගෙන දොරකඩට ම පැමිණිය හැක. රටේ ව්‍යාපාරික භවතුන් තම පරණ කිළිටි කළු ලන්කට් ටික ද සෝදාගන්න මාහැඟි අවස්ථාව ලෙස තෝරාගන්නේ මෙයය. පිටරට කුණු මෙරටට හඳුන්වා දුන් හා පාවෙන කැටපෝල් ගබඩා නැව් පවත්වාගෙන ආ භවතුන් කෝවිදාව නිවනු වස් කෝටි ගණනක ‘දාන’පතීහු වන්නෝ ව්‍යසන හා ආපදා ආ දා ය. සංචාරකයන් නොඑන තත්ත්වය තුළ කොහොමත් වේලීමට නියමිත තරු හෝටල් නිරෝධායන මධ්‍යස්ථාන බවට ‘දානය’ කරන්නේ කුමන කොන්දේසි යටතේ දැයි සිතීමට අපට කලක් වෙලාවක් හෝ සිහියක් සන්නයක් නැත. ඒ තරමට ම අප කෝවිදියා සමග අනුරාගයෙන් පෙමින් වෙළී ඇති බැවිනි.

උදන් ප‍්‍රනාන්දු