නගරයකුත් නොවූ ගමකුත් නොවූ, කොළඹත් නොවූ, කොළඹින් ගොඩාක් දුරත් නොවූ මොරටුවේ අපට, කොළඹ නෑයෝ වූහ. මොරටුවේ ජීවත්වුණු අපට හුරුපුරුදු ජීවන රටාවක් විය. ඉංග‍්‍රීසි භාෂාව හොඳින් කතාකළ හැකි වුවත් සිංහලෙන්ම කතාකරන, ඕනෑම තැනක සිරිත් විරිත් හා යුරෝපීය හැසිරීම් පෙන්වීමට හැකි හා හැසිරිය හැකි වුවත්, ඉතාම සරල හා ග‍්‍රාම්‍ය හැසිරීමකට ආසන්න හැසිරීම් පෙන්වන, මොරටුවේ මිනිසුන්ට කොළඹ ජීවත්වන නෑයෝ වූහ. ඔවුහු කොළඹ නෑයෝ වූහ.


ඔවුන් බලන්නට අප කොළඹ යායුතුවූ අතර ඔවුහුද අප බලන්නට මොරටු ආවෝය. බොහෝ විට මඟුලක් හෝ මරණයකදී, නැතිනම් නත්තලට හෝ ගමනක් යන අතර ගොඩවැදී යාම ඔවුන් අතින් සිදුවුණු අතර ඔවුන් බැලීමට යාම අපට වෙනමම ගමනක් විය.


උත්සවයකට යනවා නම් අපගේම කාරයෙන් හෝ, එසේ නොවුණි නම් හයරින් කාර් නැමති කුලී රථවල හෝ යාම නම්බුව ආරක්ෂා කර ගැනීමකි. එසේ නොවන අවස්ථාවලදී බසයෙන් යාම එකල එතරම් අසීරු කාරණයක්ද නොවීය. මගේ මතකයේ හැටියට එවැනි නෑයන් පවුල් තුනක් හෝ ඊට වැඩි ගණනක් අපට වූහ. ඔවුන් බැලීමට යාම මට එතරම් ප‍්‍රියජනක නොවූයේ, එසේ ගියවිට ඉංග‍්‍රීසි කතා කිරීමට නොහැකියාව උඩ සිදුවන කොන්වීම නිසාය.


එහි ගියවිට පුටු සැටියකට හෝ ස්ටූලයකට බරදී ඔහේ බලාගත් අත බලාගෙන සිටීම හැර කිරීමට කිසිවක් නොවීය. රූපවාහිනිද නැති අපගේ කුඩා කාලයේ කිසිදු සම්බන්ධයක් ඇති කරගත නොහැකිවූ හා නොතේරෙන භාෂාවලින් කරන කතාබහ අතර වෙනසක් වූයේ නම්, ඒ මොරටුවේ නොමැති ආහාර වර්ගවල රස විඳීමට ඇති අවස්ථාවයි. ඉතා රසවත් කේක් වර්ග, පේස්ටි‍්‍ර වර්ග, චීස් මිශ‍්‍ර හෝ සැර අඩු මික්ස්චර් වර්ග හෝ පෆ් වර්ග, පුඩින් හෝ එවැනි ආහාර, වෙනත් යුරෝපීය ආහාර විනා, මොරටුවේ අප කන මිරිස් යහමින් යෙ¥ ආහාර කොළඹ නොවීය.


කොළඹ නෑයෝ බොහෝ දෙනා මොරටුවෙන් කොළඹට යම් කාලයකදී සංක‍්‍රමණයවූ අයයි. ඔවුනට මොරටුවේ මුල් ගැන තිබුණේ අතහැරිය නොහැකිවූ බැඳීමකි. එනිසාම මොරටුවේ නෑයනට ඔවුන්ගේද කැමැත්තක් තිබිණ. එම බැඳීම ඇතිවී ඇත්තේ ඔවුන් කොළඹ ජීවත්වුවත්, කොළඹ සමාජයේ කිඳාබැස සිටියත්, රසවත් මොරටු සංස්කෘතියටම පෙමින් බැඳී සිටීම නිසාය. ඔවුහු කොළඹින් ආවාහ විවාහ කරගත් වෘත්තිකයෝ වූහ. පැහැදිලි වෙනස වූයේ මෙම නෑයන් අතර ව්‍යාපාරිකයන් නොවීමය. ව්‍යාපාරිකයන් යනු වෙනමම පන්තියකි. කොළඹ කීවාට මෙම කුලකයට බොහෝ විට අයත් වුණේ මධ්‍යම පන්තිකයන් ජීවත් වුණු ප‍්‍රදේශ නොව ඉහළ මධ්‍යම පන්තිකයන් ජීවත්වුණු ප‍්‍රදේශයි. කොල්ලූපිටිය, බම්බලපිටිය, වැල්ලවත්ත, කුරුඳුවත්ත, බොරැුල්ලේ කොටසක් ආදියයි.


අපගේ මාපියන්ට හොඳින් ඉංග‍්‍රීසිය හසුරුවන්ට හා ක‍්‍රිකට්, නාට්‍යයක් හෝ චිත‍්‍රපටයක් හෝ ටයිම්ස් හෝ ඬේලි නිව්ස් වැනි පුවත්පතක පළවු පුවතක් හෝ විශ්ලේෂණය කරගැනීමට වූ හැකියාව, නැතහොත් දේශපාලනය කියවීමට හැකියාව තිබිණ. ඒ අතින් මොරටුවේ අපේ මාපියෝ කොළඹයන්ට කිසිවිට දෙවැනි නොවූහ.


උපන්දින සාදයක් හෝ එවැනි උත්සවයක් අවසානයේ පියානෝව වයා සින්දු කීම සමහර කොළඹුන්ට මොරටුවෙන් උරුම වුණු අතහැරිය නොහැකි පුරුද්දක් විය. සමහර තැනක එසේ කරන්නට නොහැකියාව ඔවුන්ට අත්විඳින්නට වූ දුකක් හෝ අප්සෙට් කාරණයකි. එවැනි සමහර තැනක කාඞ් සෙල්ලමක් හෝ ළමයින්ට නම් මොනොපොලි වැනි සෙල්ලමක් කිරීමට අවසර හෝ හැකියාවක් විය.


මුහුණ පෙනෙන සේ පොලිෂ් කෙරුණු පොළව, මොරටුවේ මෙන් භූමිතෙල් හා පොල්කුඩු යොදා කළ එකක් නොවීය. එවැනි බිමක බීම විදුරුවක් හලාගැනීම අම්මාගෙන් නොතිත්් බැනුම් ඇසීමට කදිම ප‍්‍රස්තුතයකි. නින්ද යෑම, මෝඩ හැසිරීම් හා ඒ ගෙදර භාණ්ඩයක් කඩාදැමීම, ඒ ගෙදර අයද අම්මාද නොරුස්සන්නක් විය. ‘මෙයාලා හරිම චණ්ඩියි’ කියා ජාම බේරාගැනීම එවැනි විට සිදුවෙයි.


විවිධ ඉංගිරිසි සින්දු කීමට හපනුන් වුණු මොරටු වැසියන් එවැනි උත්සවයකින් නික්ම යන්නේ අලූතින් තම මිතුරු ලැයිස්තුවට එකතු කිරීම් කරගෙන වුවද, එවැනි මිතුරුකම් දුරදිග යන ඒවා නොවන්නේ කොළඹ හා මොරටුව අතර වූ අදිසි පරතරය නිසාය.


පිළිවෙළට වැවූ මල්, හොඳින් නඩත්තු කළ තණකොල බිස්ස හෝ ලොවි බංකුව, මොරටුවේ නොවීය. කොළඹ විය. මොරටුවේ සමහර වත්කම් ඇති පවුල්වල පමණක් තිබුණු ට්‍රොලිය කොළඹ අනිවාර්ය විය. ගෘහ සේවකයන් ද අනිවාර්යය. එම බොහෝ නිවෙස්වල කාලානුරූපව නවීන වුණු මෝටර් රථයක් වූ අතර, රියැදුරෙක්ද විය. මේවා සියල්ලක් කොළඹ එකල ජීවත්වුණු ඉහළ පැලැන්තියේ හැසිරීම් හා පෙන්නුම් කිරීම් විය. කොළඹ හමුවීම්වලට පෑමිණෙන්නේ අසල්වාසීන් නොවේ. එම උත්සවවලට ඇරියුම් ලබන්නේ තමන්ගේ පැලැන්තියට ඔබින හා ගෙන්විය හැකිව තිබුණ මිතුරන් හෝ නෑදෑයන්ය. හදිසියේ කඩාවැදෙන හෝ නිකන් ආවා කියන්නවුන් ඔවුන් ප‍්‍රියකළේ නැත.


සමහර කොළඹ නෑයෝ වෘත්තිකයෝය. විශේෂයෙන්ම වෛද්‍ය, ඉංජිනේරු හෝ නීතිඥයෝය. ඔවුන්ගේ චේම්බරය හෝ උපදේශන කාමරය හෝ ශල්‍යාගාරය නිවසේම පවත්වාගෙන යාම සිදුවූ අතර, අද මෙන් කුලියට ගත් ස්ථානවල වෘත්තීය සේවා පවත්වාගෙන යාමක් නොවීය. එකල එම කටයුත්තටම සරිලන සේ නිවාස සාදා තිබුණි. වෛද්‍යවරයකු නම් ඔහුගේ ශල්‍යාගාරය නිවසේ පවත්වාගෙන ගියේය. එයට පිවිසීමට වෙනම ගේට්ටුවක්ද විය. සමහර නෑයන් බෙහෙත් ගන්න ආවා නම්, බෙහෙත් ගැනීමට පමණක් ඔවුන්ගේ නිවසට පිවිසීම අපේක්ෂා කළ අතර ඥාති සබඳතා පැවැත්වීමට නම් වෙනමම පැමිණිය යුතු විය. වැඩ දෙකම එකවර කරගත නොහැක. එවැනි බෙහෙත් ගැනීම්වලට ගිය විට ගෙට ඇතුල්වන්න සිදුවන්නේ හොර පාරේ පිටුපසිනි. එම නිවෙස්වල මහලූ අය සිටිත් නම්, තම දරුවන්වූ ඉහත වෘත්තිකයන්ගේ එවැනි හැසිරීම් ඔවුහු අනුමත නොකළහ. මොරටුවේදී මෙන් දොඩමලූ වන්නට කොළඹදී ඉඩ නොලැබෙන නිසා, ඔවුහු නෑයන් හමුවීමට කැමැත්තෙන් සිටියහ.


එනිසා පිටුපසින් ගියද සැලකීම් හොඳින් අත්විඳීමට හැකිවිය. මොරටුවේදී නම් එවැනි වෘත්තිකයකු හමුවීමට වෙනමම යා යුතු නොවුණු අතර වෛi වෘත්තිකයකුවූ මගේ සීයා හමුවට පැමිණෙන අය ඉදිරි දොරෙන් ආවා පමණක් නොව, කෑම කා බෙහෙතුත් ගෙන, අරක්කුත් බී, හවසටම ගෙදර යාම සාමාන්‍ය දෙයක් විය. ඒ මොරටුවේ නෑයන්ගේ හා කොළඹ නෑයන්ගේ වෙනසයි. මොරටුවද අද වෙනස්වී ඇත. අද කොහේ ගියත් කෝල් එකක් දී යාම සිරිතය.


කොළඹ පාටියකට ගොස් කළ හැකි කිසිම දෙයක් නැති විට කුස්සිය පැත්තට ගෑටීම අපගේ සිරිතය. ගෘහ සේවකයන් සමග කතාබහ සිංහලෙන් වීම එක් හේතුවකි. අනෙක තව කුමක් හෝ ආහාරයක් රසවිඳින්නට හැකිවීමයි. සමහර ගෘහ සේවකයන්ද ගෙවල් හිමියාට නොදෙවෙනි වූ අවස්ථා දුලබ නොවීය. ඔවුහු ප‍්‍රවේණි දාසයෝය.


කොළඹ නෑයන්ගේ ගෙවල් අපට හිරගෙවල් වැනිය. ස්වාභාවික හැසිරීම් පෙන්විය නොහැක. කොළඹට ආවේණික විදියට හැසිරීම හෝ නිශ්ශබ්දව සිටීම කළ යුතු විය. කාලයක් ගත වෙත්ම එවැනි ගමන් මට නිරස විය. එවැනි පවුලකින් විවාහයක් කර ගන්නට ගිය මොරටුවේ මගේ නෑයකු කීවේ, නිදහසේ පඩයක්වත් යවන්නට එම කොළඹ ගෙදර නිදහසක් නොවූ බවය. මොරොට්ටෝ සද්දයට පඩ අරිති. කොළඹයෝ පඩ අරින්නේ හොරෙන්ය. දෙකම ගඳය.


අද අපි දිනපතා කොළඹ යමු. කොළඹ පුළුල්වී ඇත. නාවලද මාලබේද කොළඹය. ජේආර් කොළඹ වෙනස් කළේය. මහකොළඹක් නිර්මාණය වී ඇත. බොහෝ ප‍්‍රත්‍යන්ත නගරද අද හඳුන්වන්නේ කොළඹ ලෙසය. එදා කොළඹ රජ කළ පැලැන්තිය අබිබවා නව වෙළෙඳ පන්තියක් කොළඹ ජීවත්වෙති. ඔවුන්ට අවශ්‍ය කාරණාවලට අද කොළඹ සකස් වෙලාය. ඒ කොළඹත් ඒ නෑයනුත් අද නැත. අපේ බොහෝ අය අපාර්ට්මන්ට් එකක් හෝ ගෙන කොළඹ ජීවත්වෙති. අතීතයේ සංස්කෘතියද එහි නැත. නෑයන්ද දැන් කාර්යබහුල නව මානයන් සොයා ගොසිනි. කොළඹයෝද මොරොට්ටන් මෙන් වී ඇත. වසර 40කට පසු ආපසු හැරී බලන මට පෙනෙන්නේ කොළඹ මොරටුවට බොහෝ සමීපවී ඇති බවයි. කොළඹ දියුණු වී නැත. නෑයන්ද දියුණුවී නැත. රටද දියුණුවී නැත.x

x ලක්‍ෂාන් ඩයස්