මම ගෙදරට වී ඔහේ කාංසියෙන් පොතක් කියවමින් සිටියෙමි. කිසිවෙක් පැමිණ කතාකරනු ඇසී මිදුලට ගියෙමි. ‘පොල් කටු තියෙනවද?’ පොල් කටු එකතු කරන්නා තවත් අයෙකු සමග මා ඉදිරිපිටය. මට හෝ ඔවුන්ට හෝ මුව ආවරණයක් නැත. අප යාන්තම් මීටරයකට වැඩි දුරකින් සිටිය බව නම් කිව හැකිය!. මෙම සිදුවීමෙන් පසුව මම කල්පනා කළේ කොවිඞ් වසංගතයට බියෙන් කොතරම් කාලයක් නිවෙස්වලට වෙලා හිටියත්, කිසියම් අනපේක්ෂිත අවස්ථාවක කොවිඞ් අපේ නිවසේ දොරට තට්ටු කළ හැකි බවය.

‘රෝගය බෝවූයේ ඉන්දියාවේ සිට මෙහි ආ ලක්වැසියෙකුගෙනි. ඔහු තම රෝගය දවස් ගණනක් යනතුරු වසන් කරගෙන සිටියේ ය. ඔහුගෙන් අසල්වැසි කිහිපදෙනෙකුට රෝගය බෝ විය. එහෙත් සති කිහිපයක් යනතුරු එය පැතිර තිබුණේ නගරයේ එක් කොටසකට පමණි. අත් එන්නත් කරගැනීම ගැන සැලකිල්ලක් දක්වා, රෝගයෙන් බේරී සිටීමට මිනිස්සුන් මීට වඩා උත්සාහයක් ගත්තේ නම් රෝ උවදුර මෙතරම් දරුණු නොවනු නියතය.’ මේ 1819 නොවැම්බර් 2 වෙනි දා ඉංග්‍රීසි ආණ්ඩුකාර රොබට් බ්‍රවුන්රිග් යටත් විජිත මහලේකම්වරයාට මෙරට ව්‍යෘප්ත වෙමින් යන වසූරිය රෝගය ගැන කරුණු ප්‍රකාශ කර යවනු ලබන ලිපියෙන් කොටසක් ය. එම ලිපිය ලියන කාලය වන විට එම රෝගයෙන් 2500ක නොඅඩු පිරිසක් මියගොස් ඇති බවද මිනිසුන් 6343කට අත් එන්නත ලබාදුන් බවද එම ලිපිය ප්‍රකාශ කරයි. මෙය මම උපුටා ගත්තේ ‘උඩරට මහකැරැල්ල’ පොතෙනි.

කාලයෙන් කාලයට ලෝකය වෙලාගන්නා වසංගත තත්ත්වයන් එසේ ය. ලෝක ඉතිහාසයේ යුද්ධවලින් මියගිය ප්‍රමාණයට වඩා වසංගත නිසා මියැදී ඇතිවා වන්නට බැරි නැත. ‘ලෝක ඉතිහාසය යන්න යුද්ධවල ඉතිහාසයයි‘ යන ජනප්‍රිය කියමන අපට ‘ලෝක ඉතිහාසය යනු වසංගතවල ඉතිහාසයයි‘ ලෙස වෙනස් කළ හැකිය.

ස්පයිකි බෝලය

මාංශ පේශි උත්තේජනය කිරීම සඳහා එහෙට මෙහෙට නැවෙන දිගහැරෙන පොඩි ‘කරල්’  සහිත කුඩා බෝලයකට අපි ස්පයිකි බෝලයක් යැයි කියමු. ව්‍යායාම සඳහා භාවිත කරන මෙය, ශරීරය මත  ඕනෑම තැනක එහෙ මෙහෙ ගෙනයා හැකිය. සෑහෙන්න නම්‍යශීලී ය. කොරෝනා වෛරසය ද මෙවැනිය. ප්‍රෝටීන සහ ලිපිඩ සංයුතියකින් සපිරි මෙම ස්පයිකි බෝලය මේ වනවිට අප හිතුවාටත් වඩා ලෝකය විශාල වෙනසකට ලක්කර හමාරය. අප හිතුවාටත් වඩා එය දැන් ලෝකයට තර්ජනයක් ය. මේ සටහන ලියන මොහොත වන විට ලෝක බලවතා සේ සැලකෙන ඇමරිකාවේ ජීවිත 52000කට වැඩි ප්‍රමාණයක් මෙම ස්පයිකි බෝලය මරණය වෙත අරගෙන ගොස් හමාරය. මේ සටහන ලියන මොහොත වනවිට ලෝක පරිමාණව මෙම වෛරසය බිලිගත් මරණයට රැගෙන ගිය මිනිස් ජීවිත ප්‍රමාණය 197082කි. දිනෙන් දින මිනිසුන් දහස් ගණනින් ආසාදනය වෙමින්ද, මරණයට පත් වෙමින්ද සිටිති.

වෛරසයක් යනු ශාක, සතුන්, බැක්ටීරියා වැනි ජීව ‍ෙසෙල තුළ පමණක් ගුණනය වෙන කුඩා ප්‍රමාණයේ නැතිනම් සරල සංයුතියේ බෝවන කාරකයක් ලෙස අපි පාසලේදී අර්ථ දක්වා ගත්තෙමු. මෙම වචනය ලතින් භාෂාවෙන් බිඳී ආ වචනයක් බවද එහි අර්ථය ‘සිහින් දියර’ හෝ ‘වස‘ බව බ්‍රිටැනිකා විශ්වකෝෂාර්ථයයි. වෛරසයකට ජීවයක් නැත. තිබෙන්නේ ජානමය පැවැත්මක් ය. මෙනිසා වෛරසයකට ජීවත් වීමට ශරීරයක් අවැසිය.

සෙම්ප්‍රතිශ්‍යාව සෑදීමට ඉවහල් විය හැකි මාරාන්තික වෛරස දෙකක් පහුගිය කාලයේ ලොව කැළඹීය. ඒ සාර්ස් සහ මර්ස් ය. එහෙත් එම වෛරසයන් ගෝලීයව කළ විනාශය හා මෙම වෛරසය දැනට ගෝලීයව කර ඇති විනාශය සංසන්දනය කරන්නට හෝ බැරිය. කොවිඞ් 19 එතරම් දරුණුය. චීනයේ වූහාන්හි මිනිස් ජීවිතයකට වවුලෙකුගෙන් මෙම වෛරසය පැමිණි දා සිට දැන් මේ වෛරසය ගැන විශේෂඥයන් නොදන්නා දෙයක් නැත. කොවිඞ් වෛරසය යනු මීට මාස පහකට පමණ පෙර නොදන්නා ජීවියෙකි. දැන් එය විශාල අධ්‍යයන අවකාශයකි. පුළුල් දැනුම් පද්ධතියකි. වෛද්‍ය පර්යේෂකයන් එම පද්ධතියේ බොහෝ දේ අධ්‍යයනය කර අවසන් ය. ඔවුන් එමගින් ඉගෙනගත්තේ මොනවාද? එය මෙම වසංගතය නතර කර දැමීම සඳහා ප්‍රමාණවත් ද? එම ප්‍රශ්නයට ඉදිරි කාලයේදී උත්තර ලැබෙනු ඇත.

එන්නතක් එන්නේ කවදාද?

අපේ‍්‍රල් 9 වන දින ‘ද නේචර්’ සඟරාව වාර්තා කළේ ලොව පුරා එන්නත් ව්‍යෘපෘති 78ක් මේ වන විට ක්‍රියාත්මක බවය. ඒ කොරෝනා වෛරසය මර්දනය සඳහා ය. එම සඟරාව කියන ලෙස තවත් පර්යේෂණ 37ක් සංවර්ධනය වෙමින් පවතියි. මේ ව්‍යෘපෘතීන්වලට ලෝ ප්‍රකට ඔක්ක්ෆර්ඞ් සරසවිය, එක්සත් ජනපද තාක්ෂණ සහ ඖෂධ සමාගම්, චීන පර්යේෂණ කණ්ඩායම් එකතුව සිටී. එම පර්යේෂකයන් විශ්වාසය පළකරන්නේ මෙම වෛරසය මර්දනය කළ හැකි සාර්ථක එන්නතක් ඉතාමත් ඉක්මනින් නිපදවනු හැකි බවයි. කෙසේ වුණත් රසායනාගාර පරීක්ෂණ, සායනික පරීක්ෂණ ආදිවූ අත්‍යවශ්‍ය පියවර පසුකර එන්නතක් වාණිජ මට්ටමින් නිපදවීම එළැඹෙන වර්ෂයේ මුල් කාර්තුව දක්වා ඇදී යන්නට පුළුවන් ය!. එම කාලය තුළ ලෝකයට කුමක් වේවිද?

වෛරසය සමග සහවාසය

මෙම වෛරසය මර්දනය සඳහා නිසි එන්නතක් සොයාගන්නා තෙක් ලෝකයක් වශයෙන් සහ රටක් වශයෙන් අපි කුමක් කරමුද? මේ වනවිට අපි රටක් ලෙස නැවතුණ තත්ත්වයක සිටිමු. ලෝකයත් අඩු වැඩි වශයෙන් එහෙමය. ලෝක ආර්ථිකය විශාල කඩාවැටීමක මුවවිටය. මේ යන විදිහ අනුව රටක් ලෙස අපද සිටින්නේ විශාල ආර්ථික ආගාධයක දොරටුව අබියසය. එම තත්ත්වය තුළ තවදුරටත් දොරවල් වසාදමා සිටින්නෙමුද? නැතිනම් වෛරසය සහ එහි හැසිරීම තේරුම් ගෙන එයට හැඩගැසෙමුද යන්න සිතා බැලිය යුතුය. දකුණු කොරියාව ජර්මනිය වැනි රටවල් ප්‍රමුඛව ලෝකයේ බොහෝ රටවල් මෙම වෛරසය සමග සහවාසී සම්බන්ධතාවකට යමින් සිටියි.

එහිදී අපට සාමූහික විනෝද ජීවිතයට තාවකාලික විරාමයක් තබා රැකියාවට යම් ඉඩක් විවර කරමින් පවතින තත්ත්වය වෙනසකට ගෙනයා හැකිය. ඒ සඳහා රජය සහ පුද්ගලික ආයතන වෙනස් මගක සැලසුමකට අනුගත විය යුතුය.

පීසීආර් පරීක්ෂණ විශාල වශයෙන් වැඩි කිරීම, කර්මාන්ත ශාලා තුළ සහ සේවා ස්ථාන තුළ ශරීර උෂ්ණත්වයන් නිරන්තරව මැන බැලීම සහ ප්‍රතිචාර සේවාවන් වැඩිදියුණු කිරීම, පොදු ප්‍රවාහන සේවාව මෙම රෝගයේ වාහකයෙකු නොවන ලෙස ගොඩනැඟීම, මුව ආවරණ පැළඳගෙන සිටීම, නිරන්තරව දෑත් පිරිසිදුව තබාගැනීම වැනි දේ තම සේවකයන් සීයට සියයක් තුළම සාර්ථකව ක්‍රියාවට නංවාගැනීම, පරිගණක කේන්ද්‍රීයව රාජකාරි කරන වැඩි පිරිසකට සිය නිවසේ සිට පලදායි අන්දමින් රාජකාරි කිරීමට අදාළ පසුබිම සකස් කිරීම, සේවා ස්ථාන වෙත සේවකයන් ආරක්ෂිතව ගෙන ඒමට සහ නැවත නිවෙස් වෙත ඇරලීමට ආරක්ෂිත ප්‍රවාහන සේවාවන් සංවිධානය, අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ඖෂධ වෙළඳසැල් ආදිය දිනපතා විවෘතව තබමින් ඒවාට යන පිරිසේ තදබදය අවම කිරීම සහ ඒවාට යන්නන් නිසි දුර පරතරය තබාගෙන එම වෙළඳසැල්  තුළට ගැනීමට නිසි ක‍්‍රමවේදයන් සැකසීම, වෛරසය ආසාදිතයන් නිසි නිරෝධායනයකට සහ සුවකරගැනීමේ ක්‍රියාන්විතයකට යටත් කිරීම, රැස්වීම් උත්සව ආදි මිනිසුන් විශාල වශයෙන් ඒකරාශි වන අවස්ථා තහනම් කිරීම වැනි බොහෝ දේවල් කාර්ක්ෂමව සහ යුහුසුළුව ක්‍රියාත්මක කරමින් රාඡ්‍ය සහ පුද්ගලික අංශයේ රැකියා ස්ථාන, අත්‍යවශ්‍ය වෙළඳ ආයතන විවෘත කිරීම තුළින් රටේ ආර්ථිකය සහ මිනිසුන්ගේ සාමාජීය ජීවිතය එක තැනක නතර නොකර ගනිමින් මෙම රෝගකාරක වෛරසය සමග සටන් කරන්නට අප පියවර ගත යුතුය.

එනිසා දැන්වත් ආණ්ඩුව පාර්ලිමේන්තු මැතිවරණය ගැන සිතීම පසෙකලා පැවති පාර්ලිමේන්තුව සක්‍රිය තත්ත්වයට ගෙන එමින් රැකියා ස්ථාන සේවකයන් සඳහා විවෘත කළහොත් නැවත රාඡ්‍ය යාන්ත්‍රණය වාගේම රටේ යාන්ත්‍රණයත් පණගැන්වීමට කටයුතු කළහොත් අපට රටක් ලෙස ඉදිරියට යමින්ම මෙම වසංගතය පිටුදකින්නට හැකිවනු ඇත. මෙහිදී පාසල් විශ්විද්‍යාල වැනි ආයතනවල අධ්‍යාපන කටයුතුද අන්තර්ජාලය හරහා පවත්වාගෙන යෑමට රජයට යම් උත්සාහයක් ගන්නට පුළුවන් ය. අප මෙම වසංගතයට දැන් සිට මෙලෙස ප්‍රතික්‍රියා දැක්වුවහොත් වසංගත ඉවරවෙන විට අප සෑහෙන තරම් දේවල් ළඟාකරගත් දියුණු ජාතියක් වනු ඇත. එය එසේ නොවුණහොත් මෙම වසංගතය ඉවර වෙනවිට එන ආර්ථික වසංගතය අප විනාශ ම කර දමනු ඇත.

ඡායාරූපය: ලක්රුවන් වන්නිආරච්චි/ Getty Images