කොවිඞ්-19 වසංගතය සඳහා ඖෂධයක් සොයාගත් බව කියන ධම්මික බණ්ඩාර නම් පුද්ගලයාගෙන් දේශීය වෛද්‍ය ක්‍රම පිළිබඳ ජාතික කමිටුව එම ඖෂධයේ අඩංගු ද්‍රව්‍ය හා පසුබිම පිළිබඳ විමසූ අවස්ථාවේදී, ඔහු එම ඖෂධය දෙවියන්ගෙන් ලැබුණු එකක් බව ප්‍රකාශ කළ බව අනිද්දා සමඟ අදහස් දැක් වූ ආයුර්වේද දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ලෙස සේවය කරන දේශීය වෛද්‍යවරුන් කිහිපදෙනෙකු පැවසූහ.

මෙම ඖෂධය කොවිඞ්-19 රෝගීන්ට ලබාදීම භයානක බවත්, එහි අඩංගු ද්‍රව්‍ය පිළිබඳ සහ එහි බලපෑම පිළිබඳ නොදන්නා බවත් එම වෛද්‍යවරු පැවසූහ. මෙම ඖෂධය ආණ්ඩුවේ ඍජු අනුග්‍රහය මත ක්‍රියාත්මක කරන ව්‍යාපෘතියක් වන නිසා ඒ පිළිබඳ තම නම් සඳහන් කරමින් අදහස් දැක්වීමට ආයුර්වේද දෙපාර්තමේන්තුවේ ඉහළ නිලධාරීන් බියක් දක්වන බවද එම වෛද්‍යවරු කීහ.

දේශීය වෛද්‍ය ක්‍රම පිළිබඳ ජාතික කමිටුවට ධම්මික බණ්ඩාර නම් පුද්ගලයා ගෙන්වා ඇත්තේ නොවැම්බර් 29 වැනිදාය. එසේ ගෙන්වා ඇත්තේ සාමාන්‍ය ක්‍රමවේදයට අනුව නොවන බවත්, රාජ්‍ය අමාත්‍ය සිසිර ජයකොඩිගේ පෞද්ගලික බලපෑමක් මත බවත් එම නිලධාරීහු පැවසූහ.

එලෙස කැඳවා තිබුණේ ඖෂධයේ අඩංගු ද්‍රව්‍ය පිළිබඳ නිර්දේශ ලබාදීමටය. එහිදී කමිටුවේ සාමාජිකයන් 12 දෙනෙකු ඉදිරියේ ධම්මික බණ්ඩාර නමැත්තා කරුණු දක්වා ඇත.

තමන් දේශීය වෛද්‍යවරයෙක් නොවන බවත්, පාරම්පරික පසුබිමක් නොමැති බවත්, තමන්ට ඖෂධ පිළිබඳ අධ්‍යාපනයක් නොමැති බවත්, සාමාන්‍යපෙළ දක්වා පමණක් අධ්‍යාපනය ලැබූ කෙනෙකු බවත් ඔහු එහිදී ප්‍රකාශ කළ බව එම නිලධාරීහු පැවසූහ. එහිදී සිදු කළ ප්‍රශ්න කිරීම්වලදී ඔහු වැඩිදුරටත් කියා ඇත්තේ තමන් දේවාලයක කපු මහතෙකු ලෙස කටයුතු කළ බවය.

ඖෂධයේ අඩංගු ද්‍රව්‍ය පිළිබඳවත්, වට්ටෝරුව ලබාගත් ආකාරය පිළිබඳවත් විමසීමේදී ඔහු පිළිතුරු දීමට අසමත් වී ඇත.

මේ අතර ධම්මික බණ්ඩාර පිළිබඳ දෙසැම්බර් 03 වැනිදා ආයුර්වේද වෛද්‍ය සභාවට පැමිණිල්ලක් ලබා ඉදිරිපත් කර තිබේ. එම පැමිණිලේලෙහි සඳහන් කර ඇත්තේ ධනපාල නම් පුද්ගලයෙකු දේශීය වෛද්‍යවරයෙකු යැයි පෙනී සිටිමින් දැනට ලෝකයට මහත් ගැටලුවක්ව පවතින කොවිඞ් 19 රෝගයට ප්‍රත්‍යක්ෂ ඖෂධයක් සොයාගත් බවට බොහෝ ජනමාධ්‍ය හරහා ප්‍රචාරණය කරමින් සිටින බවත් අදාල පුද්ගලයා පිළිබඳව විමර්ශනයක් සිදු කරන ලෙසත් ය.

අදාල පුද්ගලයා මෙරට බටහිර හෝ ආයුර්වේද වෛද්‍ය සභාවක ලියාපදිංචි වී ඇත්ද යන්නත්, එසේ ලියාපදිංචි වී ඇත්නම් ඔහුගේ ප්‍රථමික සුදුසු කම්, ඒ කවර කාණ්ඩයක් යටතේද , එම වසර සහ ඔහුගේ ලියාපදිංචි අංකය කුමක් යන්නත් සොයා බලන ලෙසත් එම පැමිණිල්ලේ සදහන් කර ඇත.

මෙම ඖෂධය පිළිබඳ අද දෙරණ, හිරු ටීවී ඇතුළු ප්‍රධාන මාධ්‍ය ආයතනවලින් විශාල මාධ්‍ය ප්‍රචාරයක් ලබා දී තිබුණි. රෝහල්වල වාට්ටුවල සායනික පරීක්ෂණ සඳහාද යොමු කර තිබුණු අතර සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි, රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමන සහ රාජ්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි ඇතුළු පිරිසක් එම ඖෂධය පානය කරමින්, ඖෂධය සඳහා ප්‍රචාරය ලබා දී තිබුණි.■