‘කංකුං, මුකුවැන්න, තම්පලා, කතුරුමුරුංගා සහ ගොටුකොළ වගේ කොළ ජාති තමයි අපි ගොඩක් වගා කරන්නේ. අපි දන්න විදියට ගොඩක් වෙලාවට පලා වර්ගවලට තමයි රසායනික ද්‍රව්‍ය ඉසින්නේ. ඒ නිසා අපිට ඕනෑකමක් තියෙනවා කෘෂි රසායන නැති පලා වර්ග බැලූබැල්මට රසායන නැති බව පේන විදියට විකුණන්න.’

ඔය විජිත කුමාර මහත්තයාගේ ගෙවත්තේ කතාව ඔහු කෙටියෙන් පැහැදිලි කළ හැටි.

අප මුණගැසුණු මොහොතේ විජිත කුමාර සිටියේ ටිකක් කලබලයෙන්. ගොවිපළට ඇතුළුවෙන විටත්, තොප්පියක් දමාගත් ඔහු කලබලයෙන් නිවස දෙසට දිව යමින් සිටියා. දින දෙකක් වැහැපු වැස්සට ඔහුගේ ගොවිපළේ වගාවන් හේදිලා ගිහින්. ඇතැම් වැටවල් කඩාවැටිලා. කෘමි විකර්ශක දැලක් පැත්තකට ඇලවී ගිහින්. වැල් ලෙස ඇදී ගිය ඇතැම් බෝග කඩාවැටිලා. ඇතැම් පාත්ති වතුරෙන් පිරිලා. වැස්ස නැතිකම ගොවියෙකුට ප්‍රශ්නයක්. වැස්ස වැඩි වීමත් හරි ප්‍රශ්නයක්.

කවුද මේ විජිත කුමාර, මොකක්ද ඔහුගේ ගොවිපළ කියන ඒවා ප්‍රශ්නයක් විය යුතු නැහැ. ඉදිරියේදී අපි පැහැදිලි කරනවා.

 

හොරහේන

ඊට පෙර පසුබිම කියන්න ඕනෑ. ඔහුගේ ගොවිපළ අතුරුගිරිය නගරය ආශ්‍රිත හොරහේන පාරේ පිහිටා තිබෙනවා. බොහෝ අය කියන විදියට වසර ගණනකට පෙර අතුරුගිරිය නගරය අවට හොරහේන පාර ආදි ප්‍රදේශ පුංචි කැලෑ වාගෙයි. එහෙත් දැන් හොරහේන පාර සතිපතා, මාස්පතා වෙනස් වෙනවා. හැම මොහොතකම කුමන හෝ ඉඩමක නිවසක් හෝ නිවාස සංකීර්ණයක් ඉදිවෙමින් පවතිනවා. අද අප දකින නිවස මාස කිහිපයක් යද්දී නිමකරලා, තවත් ඉඩමක් හෙළිකරලා. ඒවා නවීනම ගෘහ නිර්මාණ ශිල්පයන්ට අයත්, මධ්‍යම පන්තිකයන්ගේ නිවාස. අලුත් විදියේ වහල, ජනෙල් දොර මෙන්ම හැඩතල ඒ නිවාසවල දැකගත හැකියි.

මහා දිග කාලයකට කලින් නොවෙයි. අවුරුදු දහයකට පහළොවකට කලින් වුණත්, අතුරුගිරිය නගරය අවට ඇති අතුරු පාරවලින් යන විට හද්දා පිටිසර ගම්මාන දැකගත හැකි වුණා. දැවැන්ත රබර් වතු, පුවක් හා පොල් ගස්වලින් පිරි ළඳු මෙන්ම කුඹුරු ඉඩම්ද තිබුණා. එහෙත් දැන්, අධිවේගයෙන් ඒ ඉඩම් කට්ටි කර විකුණමින්, නාගරික නිවාස ඉදි කරමින්, අතුරු මාර්ග හදමින් අතුරුගිරිය අවට පෙදෙස් ජනාකීර්ණ වෙමින් පවතිනවා. අප කලින් විස්තර කළේ ඒ ගැන. වරදක් නැහැ. නාගරීකරණය වෙද්දී වෛවර්ණ දේවල් දකින්න ලැබෙනවා. මේ ප්‍රදේශවල ඉඩම් හිමියන් හැකි ඉහළම මිලට තම ඉඩම් කට්ටි කරමින් විකුණමින් ඉන්නවා. උපරිම ආර්ථික ලාභය සොයන්නට තිබෙන ක්‍රමය එය.

එහෙත්, අප සමඟ කතාබහ කළ විජිත කුමාර තම ඉඩම් එවැනි ඉදිකිරීම්වලට විකුණන්නේ නැතිව ගොවිපොළක් ආරම්භ කළ අයෙක්. ඔහු ජාතික රූපවාහිනියේ ආලෝකකරණ ශිල්පියෙකු ලෙස දීර්ඝ කාලයක් සේවය කොට මෑතක විශ්‍රාම ගත් කෙනෙක්. ඔහුගේ පියාත් අතුරුගිරියේ ඉඩම් හිමියෙක්.

 

කුඹුක් ගස් දෙක

හොරහේන ගමන් කළ අයෙකුට නම්, පාර අද්දර තිබෙන නාන ළිඳ මතකයේ ඇති. නාන ළිඳට එහායින් තිබුණේ වන ලැහැබක්. කැලෑ රොදක්. ළිඳ අසල දැවැන්ත කුඹුක් ගස් දෙකක්. කුඹුක් කියන වචනය ඇහුණත් හිත සිහිලෙන් පිරෙනවා. ඒ ළිඳ දෙස බැලූ බැල්මට සිහිල් බව දැනෙනවා. මේ ප්‍රදේශයේ හැම නිවසකටම පාහේ නළ ජලය ඇති. නිවෙස්වල නාන කාමර ඇති. එහෙත්, ඕනෑ තරම් අය කුඹුක් සෙවණක ළිඳෙන් වතුර ඇද දිය නෑමේ ආසාවෙන් මෙම නාන ළිඳට ආ ගිය අය සිටි බව දකින්නට ලැබුණා.

ඉස්සර නම් මාර්ගය බොරලු පාරක්. පසුකාලීනව ඒ පාරේ කොටසක් තාර දැම්මා. තව කොටසකට ‘සංවර්ධන ගල්’ ඇල්ලුවා. සංවර්ධන ගල් කියන්නේ ආණ්ඩුවලින් සංවර්ධනය කරද්දී පාරවලට අල්ලන ගල්. අතුරුගිරිය නගරයේ මාර්ග තදබදය මඟහැර කොළඹ පැත්තට යන උදවිය ඒ මාර්ගය පාවිච්චි කරන්න ගත්තා. එලෙස සෙනඟ යන එන පාරක් වුණත්, කුඹුක් හෙවණේ සිහිල අඩු වුණේ නැහැ. නාන්න ආ අයත් අඩු වුණේ නැහැ. මාර්ග තදබදයේ මිරිකෙමින්, හෝන් හඬෙන් හෙම්බත් වෙමින් ප්‍රධාන පාරේ ඇවිත්, හොරහේන පාරට හැරෙන කෙනෙකුට වෙනස ක්ෂණිකව දැනෙනවා.

ඒ දැවැන්ත කුඹුක් ගස් දෙක විජිත කුමාරගේ පියා වසර ගණනකට කලින් ගෙනත් හිටවූ ගස් දෙකක්.

‘තාත්තා කුඹුක් ගස් තුනක් හිටෙව්වා. එක්ක මැරිලා ගියා.’ ඔහු ඒ ගැන මතක් කළේ එහෙම. ඒ ළිඳ විජිත කුමාරට පියාගෙන් ලැබුණු ඉඩමක පවතින ළිඳක්. පසුබිමින් වන ලැහැබක්ව පැවති ඉඩම විජිත කුමාර ගොවිපොළක් බවට හරවා තිබෙනවා.

මෑතක සිට පෙර කී ළිඳ සහ කුඹුක් ගස් දෙක අසල එළවළු හා පලා වර්ග අලෙවි කරන කුටියක් දකින්නට ලැබෙනවා. ඒ විජිත කුමාර සහ බිරිඳ පවත්වාගෙන යන අලෙවි කුටිය. පසුබිමෙන් තියෙන ගොවිපළේ වගා කරන අස්වැන්න වෙළඳසැල්වලට දාන්නේ නැහැ. කුටියේම අලෙවි කරනවා. හොරහේන පාරේ යන එන අය ඔහුගේ වෙළඳසැලට ඇවිත් එවෙලේම ගොවිපළෙන් නෙළාගත් නැවුම් එළවළු හා පලා වර්ග මිලට ගන්නවා. අලෙවි කුටියේ යම් පලා වර්ගයක් නොතිබුණොත්, ඒ මොහොතේම ගොවිපළට බැස කපාගෙන මිටි බැඳ දෙන අවස්ථාත් තියෙනවා. නැවුම් බව වාගේම ‘වසවිස නැති’ ලේබලය යටතේ විශ්වාසයත් මේ ගොවිපළේ තියෙනවා.

‘එව බලව’ කියා පාරිභෝගිකයන්ට අඬගසන්නාක් මෙන් ගොවිපළ පසුබිමින් තියෙනවා.

 

පසුබිම

ඉඩම් කට්ටි කර විකුණා ලබන ලාභය තරම් ගොවිපළේ අස්වැන්න විකිණීමෙන් ලාභ ලබන්න බැරි බව ඇත්ත. එහෙත්, හිතට පුදුම සැහැල්ලුවක් දැනෙන බව විජිත කුමාර කියනවා. අනෙක් අතට තමා සමාජ වගකීමක් ඉටු කරන බවට ආඩම්බරයකුත් ගෙවත්ත නිසා ඔහුට ලැබෙනවා.

තමන්ගේ තාත්තාගේ ආත්මයෙන් ලැබුණු සමාජයට යම් සේවයක් කළ යුතු බවට හැඟීමක් විජිත කුමාරට තියෙනවා. ඒ වගකීම් සහගත හැඟීම මේ ගොවිපළ පටන්ගන්නට හේතු වූ බව ඔහු කියනවා.

‘මගේ තාත්තා කේ.එච්. පෙරේරා. තාත්තාගේ තමයි මේ ඉඩම් සේරම. තාත්තා  මේ පැත්තේ හිටපු සම සමාජ පක්ෂයේ බල කණුවක්. ඉස්සර මේ පැත්ත යූඑන්පී බලකොටු විදියට තිබුණාලු. තාත්තා තමයි මේ පැත්තේ සමසමාජයේ දේශපාලනය මුලින්ම පටන් අරගෙන තියෙන්නේ. ඉස්සර  අක්කර බදු සටනේදී තාත්තා පෙරමුණ අරගෙන වැඩ කරලා තිබුණා. ඒකට විරුද්ධව පෙළපාලි ගිහින් තාත්තා අත්අඩංගුවට අරගෙන මාස ගණනාවක් රිමාන්ඞ් බන්ධනාගාරගත කරලාත් තිබුණා.  සම සමාජ පක්ෂයේ රොබට් ගුණවර්ධන, පිලිප් ගුණවර්ධලා එක්ක තාත්තා වැඩකළා. ඒත් දේශපාලනය කරලා තාත්තා පෞද්ගලික වාසියක් ලබාගත්තේ නැහැ. තමන්ගේ ඉඩකඩම් විකුණලාත් එයා නඩු කීවා මිනිස්සු වෙනුවෙන්. හතලිස් ගණන්වලදී අතුරුගිරියේ ගම්සභාවේ මුල්ම මන්ත්‍රීවරයෙක් විදියට තාත්තා තේරී පත්වුණා. ඔහු ජීවත් වෙනතුරු මේ කුඹුරු ඉඩම්වල වැඩකළා. වගා කළා. ඔහුගෙන් පස්සේ මට කරන්න පුළුවන්කමක් තිබුණේ නැහැ. ජාතික රූපවාහිනියේ වැඩකළා. අනූ ගණන්වලදී මම විසිතුරු මත්ස්‍ය වගාවක් පටන්ගත්තාට අනෙක් ඉඩම් කැලෑවට ගියා. ගිය අවුරුද්දේ තමයි ගොවිපළ පටන්ගන්න හිතුවේ.’

විජිත කුමාරගේ ගොවිපළේ කතාව ටිකක් ආකර්ෂණීය එකක් වන්නේ ගොවිපළට ගිය අපට මුණගැහුණු තවත් කෙනෙක් නිසා. ඒ පුද්ගලයා අනුරාධ රණසිංහ.

 

උපදේශකයා

අනුරාධ රණසිංහ මිතුරන් කිහිපදෙනෙකු සමග පෞද්ගලික අංශයේ කෘෂි උපදේශන ආයතනයක් පවත්වාගෙන යන කෙනෙක්. කාබනික ගොවිතැන් කරන පුද්ගලයන්ට ගොවිතැන් කරන විදිය ගැනත්, විශේෂයෙන් ඒවා අලෙවි කරන ආකාරය ගැනත් ඔහු උපදෙස් දෙනවා. උපදෙස් දෙනවායැයි කියන්නේ ටයිපටියක් පැළඳ ලිපිගොනුවක් සහ ලැප්ටොප් පරිගණකයක් රැගෙන ගොස් කයිවාරු ගැසීමක් නෙවෙයි. අප විජිතගේ ගොවිපළට යනවිටත් අනුරාධ තමන් ඇඳගෙන ආ දිගු කලිසමේ කකුල් නවාගෙන වල් ගස් උදුරමින් ගොවිපළේ වැඩ.

ඒ අතින් ඔහු පුදුම තරුණයෙක් ලෙස හැඳින්විය හැකියි. කොළඹ රාජකීය විද්‍යාලයේ අධ්‍යාපනය ලබා, වයඹ විශ්වවිද්‍යාලයෙන් උපාධිය සම්පූර්ණ කර, ඇමෙරිකාවේත් පාඨමාලාවක් සම්පූර්ණ කළාට පසු ආණ්ඩුවේ රස්සා සොයන්නේ නැතිව ලංකාවේ විවිධ පළාත්වල කරක් ගසමින් ගොවියන්ට උපදෙස් දීමේ වෙනස් දිවි පිළිවෙතක් ඔහු අනුගමනය කරනවා.

‘ලංකාවේ සමහර තැන්වල මේ වගේ හරිත ගොවිපළ තියෙනවා. පොඩි කාලයේ ඉඳලා මම කෘෂිකර්මාන්තයට කැමතියි. විශ්වවිද්‍යාලයෙන් ඉගෙනගත්තේත් කෘෂිකර්මය ගැන. ඒකෙන් පස්සේ තමයි ඇමෙරිකාවට ගියේ. ඒ ශිෂ්‍යත්වයක් ලැබිලා. ඇමෙරිකාවේදී මම ඉගෙන කුඩා ගොවිපළ සහ ඒ ගොවියන් තමන්ගේ ව්‍යාපාරයට හොඳ වෙළඳපොළක් හදාගන්නේ කොහොමද කියන මාතෘකාව ගැන, ගොවිතැන් කිරීමේ සංස්කෘතිය ගැන සහ කාබනික වගාවක් වැඩිදියුණු කරන්නේ කොහොමද කියන කාරණය ගැන.

ඩිප්ලෝමා එක අවසන් වුණාට පස්සේ මම ලංකාවට ඇවිත්  හරිත ගොවිතැන්ට උපදෙස් ලබා දීමේ  ව්‍යාපාරයක් පටන් ගත්තා. ලංකාවේ කෘෂිකර්මාන්තයට උපදෙස් ලබා දෙන ආයතන  තියෙනවා තමයි. එහෙත් වගා කිරීමේ සිට අලෙවි කිරීම දක්වා උපදෙස් දෙන ආයතන අඩුයි. මේ ආයතනය පටන් ගත්තේ මමයි, මගේ යාළුවෝ තුන්දෙනෙකුයි එකතුවෙලා. අපි කාබනික වගාවලට උපදෙස් ලබාදෙනවා වගේම කාබනික පැළ වර්ග අලෙවි කරන ව්‍යාපාරයකුත් කරගෙන යනවා.

කොළඹ දිස්ත්‍රික්කයේ විතරක් නෙවෙයි. සීගිරිය, පුත්තලම, වනාතවිල්ලුව, වව්නියාව වගේ නොයෙක්  පැතිවල ගිහින් කාබනික වගාවන් කරන ගොවි මහත්වරුන්ට උපදෙස් ලබා දෙනවා. අපේ මූලික අදහස වෙන්නේ වෙළඳපොළ ඉලක්ක කරගෙන වගාවන් කිරිම සහ නාස්තිය අවම කර ගැනීම.’

ලංකාව ඇතුළේ ස්වයංපෝෂිත වීම ගැන මොන තරම් ලොකු කතාන්දර කීවත් ප්‍රායෝගික ප්‍රශ්නයක් තිබෙනවා. ඒ සාපේක්ෂව ලංකාවේ මහා පරිමාණ අස්වැන්නක් ලැබෙන ආකාරයේ නවීන, කාර්යක්ෂම ගොවිතැන් කිරීමේ සංස්කෘතියක් නැතිවීම. දැන් කාබනික ගොවිතැන ගැන ජනප්‍රිය සංස්කෘතියක් එද්දී, ඒ ගොවිතැනෙන් විකුණා ලාභ සොයන්නට ප්‍රමාණවත් අස්වැන්නක් නැතිවීම ගැන මැසිවිලි ඇසෙනවා.

‘ලංකාවේ කෘෂි කර්මාන්තයේ තියෙන ලොකුම ප්‍රශ්නය මිනිසුන් ගොවිතැන් කළාට  අනෙක් රටවල ගොවි කර්මාන්තයෙන් ලැබෙන අස්වැන්නට සාපේක්ෂව අපේ ගොවින්ට ලැබෙන අස්වැන්න අඩුවීම. ඒ නිසා අපි කියලා දෙනවා කාලය සහ ශ්‍රමය අඩු කරගෙන කාබනික බෝග වගා කරන්නේ කොහොමද කියලා.’ අනුරාධ ඒ ගැන පැහැදිලි කරනවා.

‘බෝගවලින් ලැබෙන පලදායීත්වය වැඩි කරන්න නම් පුළුවන් තරම් සැලසුම් කරලා බෝග වවන්න ඕනෑ. මා එද්දී මේ ගොවිපොළෙත්  කන්කුන් සහ ගොටු කොළ වගේ කොළ ජාති එක ගොඬේ හිටවලා  තිබුණා. ඒ විදියට හිටෙව්වාම වල් පැළයක්වත් ගලවන්න විදියක් නැහැ. අපි ඒ කොළ වර්ග පාත්තිවලට වෙන් කරලා හිටෙව්වා. ඉන්පසසේ නඩත්තු කරන්නත් ලේසියි.  අස්වැන්න නෙළනකොට අපිට සැලසුම් කරන්න පුළුවන් මොන වෙලාවේ මොන පාත්තියෙන්ද අස්වැන්න ගලවන්නේ කියලා.  මේ සතියේ එක පාත්තියක අස්වැන්න ලබා ගත්තොත්, අනෙක් සතියේ ඊළඟ පාත්තියෙන් නෙළන්න පුළුවන්. බෝග වගාව සැලසුම් කරනකොට ලොකු දේවල් කරන්න ඕනෑ නැහැ. පොඩි පොඩි වෙනස්කම්  කළාම ඇති.’ අනුරාධ තවත් පැහැදිලි කළේ ඒ විදියට.

ගොවිතැන අවදානම් විෂයක් වීමට තවත් හේතුවක් අලෙවි කරන්නට ක්‍රමයක් නැති වීම. අනුරාධලා උත්තර සොයන්නේත් එයට. වසවිස නැති ගොවිතැන නම් ජනප්‍රිය සංකල්පයම අලෙවියට මාවතක් තමයි. එහෙත්, වසවිස නැති ලේබලය ඇලවූ පමණින් අස්වැන්නට වෙළඳපොළ හැදෙන්නේ නැහැ.

‘අප ගොවිතැන් කරන්නට උපදෙස් ලබාදෙන්න කලින් ඒ අස්වැන්න විකුණන වෙළඳපොළ පිළිබඳත් හිතලා තමයි උපදෙස් දෙන්නේ. ලංකාවේ ගොඩක් වෙලාවල වෙන්නේ ගොවියන් බෝග වගාකරලා අස්වැන්නත් ලබාගත්තාට පස්සේ තමයි වෙළඳපොළ පිළිබඳ හිතන්නේ.’ ඔහු කියනවා.

 

විජිතගේ අත්දැකීම්

අප කලින් කී විදියට විජිත කුමාරගේ තාත්තාගේ වාමාංශික ආභාසයෙන් යමක් කළ යුතුය කියන හැඟීම ඔහුට ඇතිව තිබුණා. 2016දී ජාතික රූපවාහිනියෙන් විශ්‍රාම ගියාට පසු හිතේ තිබුණු කැක්කුම ගොවිපොළක් බවට පත්ව තිබුණා. ඔහු තමන්ගේ අත්දැකීම් කෙටියෙන් විස්තර කරනවා.

‘ගිය අවුරුද්දේ මම මේ ඉඩම සුද්ධ කරලා වගාවක් කරන්න පටන් ගත්තා. මුලින්ම පාර පැත්තෙන් පොඩි කඩයක් දාගෙන අස්වැන්න විකුණුවා. ඇත්තෙන්ම මිනිස්සු බොහෝම කැමතියි  මෙතනින් එළවළු, පලා වර්ග මිලදී ගන්න.

තාත්තලා කරනකොට ගොවිතැන් බලාගෙන හිටියාට අපිට ඒ තරම් ගොවිතැන් කරන්න අවබෝධයක් නැහැ. ඒ නිසා අනුරාධ මහත්තයාගේ උපදෙස් පහසුවක්. මුලින්ම අපි එකම යායට පලා වර්ග හිටෙව්වා. අස්වැන්න ගලවන්න පවා අපිට බැරිවුණා. අපි ඉතිං මේවා ඉගෙන ගත්ත අය නෙවෙයිනේ. ඒත් කෘෂිකර්මයට තිබුණු කැමැත්ත එක්ක තමයි මේවා පටන්ගත්තේ.

ඉස්සර මේ පැත්තේ ඒ තරම් ගෙවල් තිබුණේ නැහැ.   ගොඩක් තිබුණේ රබර් වතු. සති දෙකක් පායන කොට මේ ඉඩම්වල වතුර පවා හිදිලා යනවා. මේ වෙනකොට මේ පැත්තේ ගොඩක් මිනිස්සු ඉතිං තමන්ගේ ඉඩම් විකුණනවා. රූපවාහිනියේ ඉන්නකොටත් ඉතිං අපි හැමතැනම යනවා. ඒ අතර මේ වගේ වගා භුමිවලටත් යනවා. 

කාබනික වගාවක් කරන්නත්  ලේසි නැහැ. සත්තුන්ගෙන් වගාවට වෙන හානි ගොඩක් වැඩියි. ගොඩක් වෙලාවල්වල කෘමීන්ගෙන් වෙන හානිය වැඩියි. පළාවලට කෘමි සතුන් බිත්තර දැම්මාම ඒ වගාවන් මිනිස්සුන්ට විකුණන බැහැ. ගලවලා විසිකරන්න වෙනවා.’

විවිධ සතුන්ගෙන් ගොවිපළට සිදුවන හානි වලින් ඔවුන් පීඩා විඳිනවා. ඉත්තෑවන්, වඳුරන් ආදී සතුන් පවා එනවා. ඇතැම්විට අලෙවි කුටියේ තිබෙන පළතුරු ආදිය වඳුරන් ඩැහැගෙන යන අවස්ථාත් තියෙනවා.

‘සමහර මාසවල ගොවිපළෙන් ලාභයක් තියෙනවා. සමහර මාසවල ලාභයක් නැහැ. මේ දවස්වල වැස්ස නිසා  ගොවිපළ පවත්වගෙන යන්න ටිකක් අමරුයි. ඒ නිසා ගොඩක් කළමනාකරණය කරගෙන තමයි වැඬේ කරගෙන යන්න ඕනෑ. එක් මාසෙක ලැබෙන ලාභය ඉතිරි කරගන්න ඕනැ ලාභ නැති කාලවලට. ඒත් හොඳ දෙයක් කරනවා කියන සැහැල්ලුව නම් හොඳට දැනෙනවා.’

ඔහුගෙන් ආභාසය ලබා මෑතක සිට එහා පැත්තේ තවත් විශ්‍රාමික විදුහල්පති මහතෙක් වගාවක් ආරම්භ කර තිබෙනවා. ලොකු නගර ඉදිවෙද්දී, නිවෙස් ජනාකීර්ණ වෙද්දී, ඒ අතරමැද මෙවැනි වෙනස් පුරුදු අනුගමනය කරන මිනිසුන් ඉතිරි වීම අපූරුයි.

අනාගතයේ විජිත කුමාරගේ ඉඩම් වට කරමින් අලුත් නිවාස සහ නිවාස සංකීර්ණ ඉදිවේවි. එහෙත්, කුඹුක් ගස් දෙක, ළිඳ, ගොවිපළ හා සිහිල ඉතිරි වේවි.■