ජීවිතය යනු කුමක්ද යන්න වටහා ගත නොහැකියැයි කීම ප්‍රලාපයකි. ‘ජීවිතං අනියතං මරණං නියතං’ යනු සොබාදහමේ නියමයයි. ඒත් ජීවිතය යනු කුමක්දැයි අනෙකෙකුගෙන්ද අසා දැන ගැනීමේ නොනිත් ආශාවකින් සහ කුතුහලයකින් අපි නිරන්තරව පෙළෙමු. මේ උත්සාහය එවැන්නක් සඳහාය‍.

■ පවිත්‍රා රූපසිංහ

මනුෂ්‍යත්වයට ඇති තවත් පර්යාය ශබ්දයක්
සාහිත්‍යවේදී කරුණාරත්න අමරසිංහ
ජීවිතය පිළිබඳ දෙයාකාරයකට හිතන්න මා කැමතියි. එකක් ජීවිතයේ භෞතික පැත්ත. ඒ කියන්නේ හැදෑරීම් කර, රැකියාවකින් පසුව විවාහවෙලා සාමාන්‍යයෙන් අප ගත කරන බාහිර ජීවිතයයි. අනෙක, ජීවිතයේ ආධ්‍යාත්මික පැත්තයි. ඒ කියන්නේ ගුණධර්මයි. මිනිසෙකුට ගුණධර්ම නැත්නම්, භෞතික සාර්ථකත්වයෙන් ඵලක් නැහැ කියන අදහස මම දරනවා. කෙසේ නමුත්, ජීවිතය ගැන සිතන්න ආගමින් තොර වුණු චින්තනමය බලවේගයක් මට තවමත් හමුවී නැහැ.

මා බැසගෙන ඇති නිගමනයන්ට අනුව, මට ජීවිතය වටින්නේ ඇයි, ජීවිතය වටිනා විදියට ගත කළ යුත්තේ කෙසේද, සමාජයේ සිටින අනෙක් ජීවිතවලට මගේ ජීවිතය බලපාන්නේ කෙසේද, ඒ අයට මගේ ජීවිතයෙන් අවැඩක් වෙනවා නම් මගේ ජීවිතයෙන් ඵලක් තිබෙනවාද යන දේ මා සිතනවා. ඒ කියන්නේ ජීවිතේ ස්වාර්ථකාමීද, පරාර්ථකාමීද යන්නයි. ජීවිතයක් ඕනෑවට වඩා ස්වාර්ථවාදී නම් එය වටිනා ජීවිතයක් නෙවෙයි.

පරාර්ථකාමී වීම ඇත්තටම පහසු දෙයක් නෙවෙයි. මිනිස්සු ජීවත්වන සමාජයට අනුව ජීවිතේ ආත්මාර්ථයේ හෝ පරාර්ථයේ හැඩය වෙනස් වෙනවා. සමාජයේ ඇති අර්ථ ක්‍රමය අනුවයි සමාජයේ ජීවන ක්‍රමය සකස් වන්නේ. පවතින අර්ථ ක්‍රමය ඒ සමාජයේ මිනිසුන්ව පෙළෙනවා නම්, පීඩිතයන් බවට පත්කරනවා නම් එවැනි පීඩක අර්ථ ක්‍රමයක් තුළ පරෝපකාරයෙන් තොර ජීවිතය වටිනා ජීවිත නෙවෙයි.

ආගමට අනුව ‘සතර බඹ විහරණ’ ඔබ අසා ඇති. ‘බඹ’ කියන්නේ උතුම් යන්න මිස බ්‍රහ්මයා නෙවෙයි. මෙත්තා කියන්නේ මෛත්‍රියයි. කරුණාව කියන්නේ අනෙකාගේ දුකේදී උණුවීමයි. මුදිතාව කියන්නේ අනෙකාගේ සතුටේදී අපට සතුටුවීමට හැකිවීමයි. උපේක්ෂාව කියන්නේ නරක හෝ හොඳ සියල්ල සම සිතින් විඳදරා ගැනීමයි. මෙයින් කියැවෙන්නේ නියම මනුෂ්‍යත්වයයි. නියම ජීවිතය කියන්නේ මනුෂ්‍යත්වයට කියන තව පර්යාය ශබ්දයක්. නියම ජීවිතය කියන වචනය සතු අර්ථය අර්ථවත් වන්නේ මනුෂ්‍යත්වය තුළිනුයි. මේ උතුම් ගුණධර්ම බුදුන්ගේ දේශනා වුණාට, ලෝකයේ මනුෂ්‍යයන් සිටින කුමන සාමාජයකට වුවත් මනුෂ්‍ය ජීවිත උතුම් කරගන්න මේවා යොදවන්න පුළුවන්. එවැනි ජීවිත තමයි මා නියම මනුෂ්‍ය ජීවිත කියන්නේ.

මා තුළ මනුස්සයකුත්, අමනුස්සයෙකුත් එකවර ජීවත් වෙනවා. හැමෝම ලෝකයට මව්කුසින් එන්නේ කිසිම කිලු‍ටක් නැතිව ඉතාම නිර්මලවයි. මේ බිලිඳා සමාජයත් සමඟ වැඩෙද්දී මිනිහා, නොමිනිහා විදියට දෙන්නා බෙදිලා එක සිරුරක ජීවත්වන්න පටන් ගන්නවා. නියම මනුස්ස සමාජයක ඉපදුණා නම් අප තුළ වැඩෙන්නේ මනුස්සයෙක්මයි. සමාජයේ අමනුස්සයන් සිටී නම්, අප තුළත් අමනුස්සයන් වැඩෙනවා. ආගම් කර්තෘවරු උත්සාහ කර තිබෙන්නේත් ඒ අමනුස්සයා දුරුකරන්නයි. ඒත් ආගම විසිනුත් අමනුස්සයන් වැඩි කරන අවස්ථා තිබෙනවා. ජීවිතේ තෘප්තිමත් වීමට තමා තුළ සිටින අමනුෂ්‍යයා සියයට යම් ප්‍රමාණයකින් හෝ දුරු කරගන්න මහන්සි ගතයුතු වෙනවා.

දැනගන්න තියෙන දේවල් පිරුණු තැනක්
ආචාර්ය නිමල්කා ප්‍රනාන්දු
ජීවිතේ අපි අදියර ගණනාවක් ගතකරනවා. ළමා කාලය ගත්තාම ඒ ජීවිතය සුන්දරයි. අප ජීවත් වන්නේ විවිධ සම්බන්ධකම් අතරයි. මගේ අත්දැකීමට අනුව සිංහල, දෙමළ සහ මුස්ලිම් හැමෝම එක්ක මා ගතකළ ළමාවිය හරිම සුන්දරයි. ජීවිතය අර්ථවත් වන්නේ අපට ළමාවියේ පටන් මුණගැසෙන සබඳතා සහ ඒ අයගේ ඇසුරත් සමඟයි. අප කුඩා වියේ ලැබූ අත්දැකීම් අද ජීවත්වන ළමුන්ට නැහැ කියලා මං හිතනවා.

මම ක්‍රිස්තියානි ආගමිකයෙක් වුවත් සෑම වෙසක් පොහොය දිනකම මං පන්සල් යනවා. චතුරාර්ය සත්‍යය ජීවිතේට අත්‍යවශ්‍යම වන බව මා කල්පනා කරනවා. පිටතින් එන සීමාවන් තුළ ජීවිතේ කොටු කරගන්න අවශ්‍ය නැහැ.
මනුෂ්‍යත්වය හොඳින් හඳුනන කෙනෙක් බවට පත්වීමට නිදහස් මිනිස් ඇසුර බලපානවා. මං දැන් ජීවත් වන්නේ මගේ මුණුබුරා වෙනුවෙන් සහ ජීවිතයේ අපෙන් රටට ලෝකයට විය යුතු වගකීම් වෙනුවෙන්. ඒවා සිහින නෙමෙයි.
තවමත් මුළුමනින්ම ඉටුවෙලා නැති වගකීම් තිබෙනවා කියා මා සිතනවා. මගේ ජීවිතේ නම්, කිසිම මොහොතක් එක තැන පල්වෙලා නැහැ. එක තැන නතර වෙනවා නම්, මං එතැනින් පනිනවා. ජීවිතේ ඉදිරියට යන්නේ එහෙමයි. ජීවිතයේ මනුෂ්‍යත්වය වගේ දේවල් විශ්වාස කරන්න මට පුළුවන් වුණේ ක්‍රිස්තියානි, බෞද්ධ සහ මුස්ලිම් යන ආගම්වලින් කරන උගැන්වීම් පිළිබඳ තිබුණු උනන්දුව නිසායි. කිසිවක් මා ප්‍රතික්ෂේප කළේ නැහැ.

ජීවිතේ පටු සීමාවන් ගැන මං තරුණ කාලේ වුණත් සිතුවේ නැහැ. ස්ත්‍රී – පුරුෂ කියලා භේදයක් ගැන වුණත් මං කල්පනා කරන්නේ නැහැ. මගේ අම්මා මගේ ජීවිතේ නායකත්වය සමඟ කටයුතු කරන්න විශාල බලපෑමක් කළා. ජීවිතේ අපට අනේක හැලහැප්පීම් වේදනා එනවා. ඒවා මඟහැර යන්න අපට බැහැ. සංගීතය, කලාව එවැනි අවස්ථාවල අපේ ජීවිතවලට අස්වැසිල්ලක් වෙනවා. ජීවිතේ අප ඉගෙනගෙන අවසන් කරන්නේ නැහැ.

මං කල්පනා කරනවා ඉදිරියේදී ඔන්ලයින් හරහා ආචාර්ය උපාධියක් කරන්න. ජීවිතේ කියන්නේ නිරන්තරව දැනගන්න තියෙන දේවල් පිරුණු තැනක්. හැම නිතරම අලු‍ත් වන තැනක්. ගලන ගඟකි ජීවිතේ කියන දේ මා තදින්ම විශ්වාස කරනවා. මං වගේ ගැහැනියකට මේ ලෝකයේ කිසිම දයාවක් නැහැ කියලාත් මං දන්නවා. මං ඉදිරියට යන්නේත් ඒ බව හොඳින්ම දැනගෙනයි.

සුඛිත මුදිත කරන්න ආගමටත් බැරිවෙලා
මහාචාර්ය සෝමරත්න බාලසූරිය
කුඩා කාලයේ විනෝදකාමීව සිට, නියම වශයෙන් සමාජ ජීවිතයේ වගකීම් දරද්දී අප කල්පනා කරනවා අප ජීවත් වන්නේ කුමකටද, කා සඳහාද කියලා. සියලු‍ මිනිසුන් එක හා සමානයි, සියල්ලෝ හොඳින් ජීවත් විය යුතුයි, අනෙකාට උපකාර කළ හැකි නම් හොඳයි යන ආකල්පය සමාජයේ තිබෙනවා. ඒත් මෙය බොහෝ විට ආර්ථික පදනම මත වෙනස් වනවා. ආර්ථික පදනම සමාන නොවෙද්දී සමාජයේ කිසියම් කොටසක් පොහොසතුන් වෙනවා සහ තවත් කොටසක් පීඩා විඳිනවා. මෙවැනි සමාජයක් තුළ ඝට්ටනයක්, ඊර්ෂ්‍යාවක් ඇතිවනවා. එය පහසු දෙයක් නෙමෙයි. මෙය දේශපාලනිකව මාක්ස්වාදීනුත්, ඒ වගේම ආගමික කර්තෘවරුනුත් විසඳන්න හැදුවා. ඒත් ආර්ථික වශයෙන් සමානාත්මතාවක් සමාජයේ ඇති කරගන්න තවමත් අසමත් වෙලා තිබෙනවා. ලෝකයේ කොහේවත් එය සිදුවී නැහැ. දැන් අපට සිදුවී තිබෙන්නේ අපට ඇති ශක්තීන්ගෙන් පුළුවන් තරමින් දේවල් අත්පත් කර ගැනීම සහ ලද දෙයින් තෘප්තිමත් වීමයි. සමාජයේ භාවිතයට ඇති පාරිභෝගික වස්තූන් වැඩි වෙද්දී නැවත ජීවිතය තුළ අසහනයක්, ව්‍යාකූලත්වයක්, තරගයක් සහ දුක්ඛිත තත්ත්වයක් ඇතිවනවා. මෙවැනි විසම චක්‍රයක් තුළ සමාජයේ යහපත් ජීවිතයක් ගතකරන්න අමාරුයි. ඉන් මිදෙන්නට නම් සාධාරණ දේශපාලන ක්‍රමයක් අවශ්‍ය යැයි මා සිතනවා.

ලෝක ඉතිහාසයේ විවිධ ශාස්තෲවරු, දේශපාලන නායකයන්, දාර්ශනිකයන් මේ තත්ත්වය වෙනස් කිරීම සඳහා විවිධ මතවාද සමාජයට ගෙනාවා. එමගින් ලොකු සේවයක් වී තිබෙනවා. ඉන්දියාවේ බ්‍රාහ්මණ ආධිපත්‍යය බෞද්ධාගම නිසා බොහෝ දුරට අඩු වුණා. ඒත් මිනිස් ජීවිත සුඛිත මුදිත කරන්න ආගමටත් බැරිවෙලා තිබෙනවා.
ජීවිතේ තෘප්තිමත්භාවය ගැන කියද්දී, මිනිසුන්ට තියෙන්නේ එකම විදියේ ආශාවන්. ලෝකයේ තිබෙන්නේ එකම ආකාරයක කෑම-බීම, යාන-වාහන සහ අවම හෝ මධ්‍යම ප්‍රමාණ සෞඛ්‍ය පහසුකම්. ඒවා භුක්ති විඳීමට සමාජයේ සැමට ඉඩ දෙනවා නම් හැමෝගේම ජීවිත සුඛිත මුදිත වන්නට පුළුවන්. හැමදේම එක පිරිසක් බදාගෙන භුක්ති විඳිනවා නම්, ඒවාට ළඟා වීමට මාර්ගයක් සාමාන්‍ය ජනයාට නැත්නම් දැඩි නොසන්සුන්තාවක් ඇතිවනවා. දැඩි ඝට්ටනයක් ඇති වී විනාශයට හෝ ජයග්‍රහණය කරා යනවා.

කෙසේ නමුත් අප ජීවත් වෙන ලෝකය අද විශාලයි. ඉස්සර ගම, නගරය, රට වශයෙන් තිබුණත් අද ලෝකය කියන සාධකය ජීවිතවලට බලපා තිබෙනවා. ලෝකයට සාපේක්ෂව අපේ ජීවිත අඩුපාඩුකම් සහිත පුංචි ජීවිත බවට පත්වෙලා තිබෙනවා.

සංස්කෘතික මිනිසා පුබුදුවාගත යුතුයි
මාධ්‍යවේදී මනුබන්දු විද්‍යාපති
උත්පත්තියේ සිට මරණය දක්වා අපි අත්දකින, අපට හැඟෙන පරිකල්පනයන් සහ මතුපිට අප ස්පර්ශ කරන සියලු‍ දේ ජීවිතයයි. මරණය දක්වා අප පරිකල්පනය කරන සමස්තය ජීවිතය තුළ අඩංගුයි. ජීවිතේ කියන්නේ අප හුදෙක්ම එදිනෙදා පැවැත්ම නැත්නම් භෞතික පැවැත්ම කියන කාරණයෙන් එහාට යන දෙයක්. ඉන් එහා ඇති හැඟීම් ක්ෂේත්‍රයේ පවතින දේවල් ගොන්නක් තුළින් ජීවිතය සැකසෙනවා. කිසියම් විදියක මනුෂ්‍ය සංස්කෘතියකට අයිති, මිනිසා නම් විශේෂ සංස්කෘතික ජීවියාගේ හැඟීම් සමස්තයක් එක්ක අපි ජීවිතය දකිනවා. මූලික භෞතික පැවැත්ම වගේම අපේ ආත්මීය වූ මනස පිළිබඳ වූ ඉතිහාසයක් ඉදිරියට රැගෙන යාම ජීවිතය කියා කියනවා.

එය කලාව සහ සාහිත්‍යයට බොහොම කිට්ටුයි. අපේ ජීවිතයේ අප තුළ හටගන්නා මනෝභාවයන්, ඇත්ත වශයෙන්ම ජීවිතයේ අප දන්නා හඳුනන හැඟීම් පළමුව අප තුළ හටගන්නේ අපේ ජීවිතයෙන්ම නෙමෙයි, සමහර විට කවියකින්, කතාවකින්, සිනමා රූපයකින් වෙන්න පුළුවන්. ආදරය පිළිබඳ මූලික හැඟීම අප ඇත්තටම පළමුව අත්දකින්නේ අපේ ජීවිත තුළින්ම නෙමෙයි. බොහෝවිට ඒ අප ළමාවියේ කියවූ පොත්පත්වලින් හෝ කිසියම් කලා නිර්මාණයකින් වෙන්න පුළුවන්. පසුව එය නැවත නැවත අප තුළ ජීවිතයේ උපදිනවා. පසු කාලයක තමන්ගේම ජීවිතයෙන් ඒ භාවයන් හටගන්නවා. ජීවිතය ඇසුරේ තිබෙන බොහෝ දේවල් අපට උගන්වන දේවල් කියලා කියන්න පුළුවන්.

සමස්ත ජීවිතය ගත්තාම, පුද්ගලයෙකුට හසු කරගන්න පුළුවන් වෙන්නේ අල්පයයි. ලෝකයේ තිබෙන කීර්තිය, ධනය, මුදල් සහ මුදල් සමඟ ගැට ගැසී ඇති සැප සම්පත් සියල්ල දෙස මිනිස්සු බලන්නේ තරගකාරී ලෙසයි. ඒ දැවැන්ත තරගය දෙස නැවතී බලන්න පුළුවන් නම්, බොහෝ වේදනාකාරී දේවල්වලින් මඳක් ඉවත් වී ජීවිතේ ගැන සුපහන් හැඟීමකට එන්න හැකි වෙනවා. ඉතිහාසයේ පටන් අපට පුරුදු කර ඇති ආකාරයට එයින් ගැලවීයාම පහසු දෙයක් නෙමෙයි. ඒත් දැඩි අනුරාගයකින් යුතුව තරගය තුළ හැප්පෙනවාට වඩා, ආපස්සට අවුත් බලා සිටියොත් අපට විඳීමක් තිබේවි.

අපට උත්පත්තියේ සිට මරණය දක්වා වින්දනීය හැඟීමකින් ජීවිතේ ඉදිරියට ගෙන යන්න පුළුවන් වන්නේ මේ තරගයෙන් ඉවත් වුණොත් පමණයි කියා මා සිතනවා. මෙය කරන්න පහසු දෙයක් විදියට මා දකින්නේ නැහැ. ඒත් ඒ ඉවත්වීම කිසියම් ආකාරයෙන් හෝ අපට කළ හැකි නම් ජීවිතේ සුවපහසු තැනක් වේවි.

මේ කතා කරන්නේ ශෝකී හෝ වේදනාකර ලෙසින් ජීවිතය දෙස බලා සිටීමක් නෙමෙයි සහ ආගම් විසින් යෝජනා කරන දේත් නෙවෙයි. මෙය අපම අත්පත් කරගත යුතු දෙයක් ලෙසයි මා සිතන්නේ. තරගකාරී ලෝකයේ මේ ක්‍රියාවලියෙන් ගැලවෙන්න පුළුවන් වන්නේ ඒ තරගයෙන් මෑත්වීමෙන් පමණයි.

අප තුළ සිටින සංස්කෘතික මිනිසා මතු කරගන්න, නැත්නම් පුබුදුවා ගන්න අපට හැකි නම්, එයින් අපේ ජීවිතයේ එක අර්ධයක් තෘප්තිමත් කරගත හැකි වෙනවා. එය කළ හැකි වන්නේ කලාව සාහිත්‍ය යන මාධ්‍යයන් සමඟයි. අපේ මනුෂ්‍යය ජීවිතයේ මනෝභාවයන් පුබුදුවා ගැනීම තුළින් අප සිටින කටුක යථාර්ථය තුළම කිසියම් විදියක ආත්මීය සුවයක් ලබන්න එයින් අපට හැකිවෙනවා. ඒ වගේම මනුෂ්‍ය ආත්මභාවය පිළිබඳ විශාල අවබෝධයක් ලබාගන්නත් එනයින් හැකි වෙනවා.■