මම වනාත වාසියෙක්මි. තව නොබෝ දිනකින් මේ වාසයෙන් මා නික්මයමි. අවොතින් තැනකට යා යුතුමය. ඒ නිසා නික්මෙමි. මම පාසල් ගියේ වනාත ආශ‍්‍රීත පාසලකටය. ඒ කාලේ මට වනාත ගැන තිබුනේ ‘‘ආපෝ හරිම භයානකයි. මහපාරේ මිනිස්සු වෙඩි තියාගන්නවලූ‍’’. ඒ කියන්නේ හරියට පොඩි කාලේ අපි සම්බෝල කොටනවා වගේ (සෙල්ලමකි). පරාදිගට වෙඩි තියාගන්න්නවලූ‍, ඉතින් ඔබ අනාගතය ගැන සුබ සිහින දැක දැක පාරේ දකුණෙන් ඇවිදින අන්තිම අහිංසක දරුවෙක් උනත් අහක යන වෙඩිල්ලක් ඔබේ සිරුර පසාරු කරගෙන යාමේ වැඩි සම්භාවිතාවක් වනාතේදී පවතී. කුඩුත් වනාතේය. බඩුත් වනාතේ ය. නඩුත් වනාතේ ය. එහි සිටින්නේ ඔබව මංකොල්ල කෑමට බලා සිටින මංකොල්ල කාරයන් ය. වනාත ජීවත්වීමට කොහොම උනත් හැරී බැලීමටවත් නුසුදුසු පැත්තකි. ඒ මා දැන සිටි වනාත ය. මේ මා ජීවත්වූ වනාත ය.

මම වනාතේ පදිංචියට මිට වසර 4 කට පමණ පෙර පැමිණියෙමි. ඒ වනාතේ කාදර් නානා වත්තටය. හරියටම කාදර් නානා වත්තේ බෝගහ යටට ය. කාදර් නානා බෝ සමිඳුගේ පිහිට ආරක්ෂාව නිතර අප කෙරෙහි පැවතියේ ය. අප සිටියේ තුන්මං හංදියක් අද්දරය. වත්තේ මැද සාලය අපේ නිවස ඉදිරිපිටය. රිලා ඩාන්ස්, නයි නැටුම්, රිලා සංදර්ශන, දේශපාලන රැස්වීම්, අවුරුදු උත්සව, ක‍්‍රිකට් මැච්, මාසික ධර්ම සාකච්ඡුා සියල්ල පැවැත්වෙන්නේ එතැනය. අපගේ නිවසේ හැඩය වරායට සේන්දු වූ නෞකාවක් බඳුය. නිවස පිටතින් පිහිටි යකඩ වැටට හේත්තු වූ විට දැනෙන්නේ නැවේ බරාඳයට බර වී අවට නිරීක්ෂණය කරන්නා වැනි හැඟීමකි.

වත්තේ ප‍්‍රධාන පීඨිකාව අපේ නිවසය. අවට සිනමා හෝ වේදිකා පසුතලයක් බඳුය. දම් රෝස කොළ ලා නිල් දුඹුරු ආදී වෛවර්ණ පැහැ ගත් කුඩා සඳළුතලවලින් සුසැදි නා නා හැඩයේ සෙල්ලම් ගෙවල් හැම අත ය. ඒවායේ ජීවත්වුයේ ඇත්ත මිනිසුන් ය. එක් සඳලූ‍ තලයක කාන්තාවක් වැලේ දැමු රෙදි නැවත ගනිමින් සිටියි. තවත් සඳළුතලයක සිට දුම් වළලූ‍ ඈතට පා කර හරින තරුණයා කැම්පස් කොල්ලෙකු විය යුතුය. ඔහු උඩ තට්ටුවේ බෝඩින් වී සිටිනවා විය යුතුය. ගණන් ගන්නෙත් නැති ගණන් නොගන්නෙත් නැති බැල්මකින් පහළට එබිකම් කරන අර තවත් සඳලූ‍ තලයක සිටින නව යොවුන් වියේ කෙල්ලගේ ඇස් නැවී ඇත්තේ පහළ ක‍්‍රිකට් ගසන කොල්ලන් වෙත ය.
නැගෙනහිර සිට වැටුණු පටු කොන්ක‍්‍රීට් වීදිය දිගේ උදා හිරු රැුස් මා සොයා පැමිණේ. උණුසුම් තේ කෝප්පයක් තොල ගාමින් මා හිරු එළියේ නැහැවෙමි. අම්මාගේ වදය නොරුස්සන පාසල් යන්නට අකමැති කම්මැලි පුංචි සිඟිත්තියකගේ අකීකරු කොණ්ඩයේ ඒ හිරු රැුස් පැටලේ.

ඈ කිලූ‍ට්ටි ය. ඈට ඒ නම තැබුවේ අපේ නෝනා ය. කිලූ‍ට්ටිගේ හොඳම යාළුවා තඩිච්චි ය. සයිස් එක යාළුකමට කොහෙත්ම අදාළ නැත. ඇගේ ඥාති සහෝදරයා ස්ටික් මෑන් ය. මේ සියලූ‍ නම් තැබුවේ අපේ නෝනාගේ ය. හුදු අප අතර සන්නිවේදනයන් සඳහාය. කිලූ‍ට්ටිලාගේ රංචුව නිසා මේ වත්ත සිරියාවන්තය. දැන් හැදෙන ළමුන්ට ළමා කාලයක් නැතැයි බොහෝ විට අසන්නට ලැබුන ද, මේ ළමුන්ට ළමුන් සේ හැසිරෙන්නට කාලයෙන් බාධාවක් නැත. ඔවුහු ? නවයට දහයටත් පාරේ නටති, දුවති, පනිති, බෝල උඩ දමති, බයිසිකල් පදිති. ඕපදුප කියව කියව ඉන්න අම්මලාගේ සායවල් වටේ එතෙති. අපි මේ දරුවන් වෙනුවෙන් ළමා පුස්තකාලයක් ඇරඹුවෙමු. ඊට මිතුරන් බොහෝ දෙනෙක් පොත්පත්වලින් සහයෝගය දැක්වුයේය. පුස්තකාලයට මුල් කාලයේ ළමුන් බොහෝ දෙනෙක් පැමිණියහ. පොත් කියවීම කොහොම වෙතත් දිනපතා පොත් මාරු කිරීම නම් සිදුවුණි. තමන්ගේ අම්මලා තාත්තලාට වඩා වෙනස් ජීවිතයක් ගෙවන මේ අරුම පුදුම සත්තු ජාතිය මොක්කු දැයි දැක ගැනීමට සමහරවිට ඔවුන්ට උවමනා වුනා විය යුතුය. සමහරුන්ට අකුරු අමාරු නිසා අපි පොත් හඬ නගා කියවිමු එවිට පැටවුන් අප වටා රොක් විය. කෙනෙක් කර උඩ ය. තවත් කෙනෙක් උකුළේ ය. අපි ඔවුන්ට චිත‍්‍ර පටි පෙන්නුවෙමු.
චිත‍්‍රපටි නැරඹිල්ලට ඔවුන්ගේ වැඩි උනන්දුවක් තිබුනේ නැත. ඒ සමහර චිත‍්‍රපටි ඔවුන් ඒ වනවිටත් නරඹා තිබුණි. ඊටත් වඩා පැයක් හමාරක් දඟලන්නේ නැතුව ඉන්න එක ඔවුන්ට මහා වදයක් විය.

ටික කාලයකින් පුස්තකාලයට සතුරන් පිරිසක් නිර්මාණය විය. ඒ ද ළමුන් මය. ඇත්තම කතාව වත්තේ නට නටා සිටි ළමෝ රංචුවෙන් කොටසක් පුස්තකාලයට පැමිණියේ නැත. සමහර ළමුන්ට පොත් නයාට අඳුකොළ වැනිය. මේ පුස්තකාල කෙරුවාව නිසා ඔවුන්ට සෙල්ලං කරන්න කට්ටිය නැති විය.

මුලින් ඔවුන් පුස්තකාලයට පැමිණෙන අයට උසුළු විසුළු කළ හ.

පසුව බැරිම තැන ඔවුන් ද පුස්තකාලයට පැමිණියහ. පොත් රැගෙන ගොස් නැවත භාර දුන්නේ නැත. අපි ඉල්ලන්න ගියේද නැත. අවසානයේ කෙසේ හෝ පුස්තකාලයට එන ළමුන් අධෛර්යමත් කරන්නට ඔවුන්ට හැකිවිය. එක අතකට පොත් කියවනවාට වඩා විනෝදයක් හා අධ්‍යාපනයක් දවස තිස්සේ නැටිල්ලෙන් ඔවුන් ලබනවා විය යුතුය.

හැඩකාර කොල්ලන් කෙල්ලන්ගෙන් මේ පැත්තේ කිසි අඩුවක් නැත. පාරේ යන එන ගැහැණු ළමුන් දෙස බලා සිටීම මගේ ප‍්‍රියතම විනෝදාංශයකි. ගැහැණු ළමුන් පමණක් නොව. යන එන කොයි කවුරුන් දෙසත් බලා සිටීමට මම ප‍්‍රිය කරමි. මේ පළාතේ කෙල්ලන් දෙස ඔබ බෙල්ල කරකව කරකවා බැලූ‍වත් ඔවුන් එය එතරම් තකන්නේ නැත. ඔවුන්ට ඒවා හොඳට හුරු ය. නමුත් ඔබ ඔවුන්ට ‘‘චූස් චූස්’’ නොගාන්නේ නම් ඔබේ ශරීර සෞඛ්‍යය යට හිතකරය. මේ පැත්තේ කොල්ලන් පවා ඉතා කඩවසම් ය. හැඩට අඳිති. ඉන්නේ සීන් එකේ ය.
කොල්ලෝ බජාර් බහින්නේ අපේ නිවස ඉදිරිපිට ය. ඔවුන් අපිට බාධාවක් ලෙස අපි කිසිදා සලකා නැත. ඒ නිසාම ඔවුන් අපිට හරි ආදරේ ය.
මේ පැත්තේ රණ්ඩු සරුවල් බහුල ය. ඒවා දුරදිග යන අවස්ථාද එමට ය. හැබැයි ඒ රණ්ඩු මැද වර්ගවාදී ජාතිවාදී කතා නැත. සිංහලූ‍, දෙමෙල්ලූ‍, මුසල්මානුවෝ ජාතියක් ජන්මයක් නැති අවජාතකයෝ, කුඞ්ඩෝ, ගණිකාවෝ, බේබද්දෝ, දරුවන් එල්ලාගත් නොදරු මව්වරු. මේ වත්තෙන් එහා ලෝකයක් ගැන සිහින දකින්නෝ.

පැසුණු හා නිවුණු තැනැත්තෝ එක්ව ජීවත්වෙති. එක්ව ජීවිතය බෙදා හදා ගනිති. පේලි ගෙවල් අතරින් විහිදී යන තීරු විදි දිගේ ඔහේ ඇවිද යාම මගේ තවත් ප‍්‍රියතම විනෝදාංශයකි. මේ ගෙවල් වල ජිවිත වලින් තුන්කාලක් පමණ පාරට පෙනෙයි.

ඔබට ඉතා පහසුවෙන් ඔවුන්ගේ ජීවිත වෙතට එබිකම් කළ හැක. ඒ නිසාම තාප්පවලින් වටකරගත් ජීවිතවල නැති එක්තරා අවංකභාවයක් ඔවුන් නිතැතින්ම උරුම කරගෙන සිටිති. වෙසක් කාලයට මේ පටු විදී ඉතා අලංකාරය. හැම නිවසකම පාහේ නානා විධ වෙසක් සැරසිලිය. ඒ පුළු පුළුවන් හැටියටය.

වෙසක් කුඩු, බලූ‍ප් වැල්, බකට් එළි, සල් උයන්, කොඩිවැල්, ඇෙඟ් හැපී නොහැපී පසුවී යයි. කාදර් බෝ ගහ යට වැඩ සිටින බුදුන් හැම රාත‍්‍රියකම බුදු රැුස් විහිඳුවයි. වත්ත ඝන අන්ධකාරයේ ගිලී ගිය රාත‍්‍රියක මම එළියට බැස සිගරට්ටුවක් දල්වමි. උන්නාන්සේ බුදුරැුස් විහිදුවයි. දිනෙකට මෙතන රාත‍්‍රිය පහන් වන තෙක් කෙරෙන කාලගෝට්ටියකි. කුණුහරුප සංගායනාවකි. එදින ද උන්නාන්සේ බුදු රැුස් විහිඳුවයි. තවත් දිනක මෙතන ඞී ජේ එකකි. ගැහැණු පිරිමින් හරි හරියට නටයි. උන්නාන්සේ බුදුරැුස් විහිදුවයි. එදිනට ඒ වැඩ ඉන්නේ ඩි ජේ බුද්ධා ය. රැුස් විහිදෙන්නේ ෑෘඵ නාද රටා වලට අනුවය.

පාර්කින් ප‍්‍රශ්නය මේ පැත්තේ ලොකු ප‍්‍රශ්නයකි. නමුත් ඔවුන් එය විසඳා ගන්නා ආකාරය විශිෂ්ටය. අපේ නිවසේ ගේට්ටුව හරස්කර බොහෝ විට වාහන නවතා තිබේ. ‘‘ගේට්ටුව අවහිර නොකිරීමට කාරුනිකවන්න.’’ මම ප‍්‍රින්ටවුට් එකක් සකස් කළෙමි. නමුත් එය ඇලවීම ඒ සංස්කෘතියට නොගැලපේ යයි පසුව සිතී මම නොඇලවුයෙමි. අපි ගෙදරට රාත‍්‍රී එකට පැමිණියත් වාහනයේ හිමිකරුට දැන්වුවොත් කෝප නොගෙන ඔහු පැමිණ වාහනය ඉවත් කර දෙයි. ඉතින් ඒ සම්බන්ධයෙන් අපේ කෝපයේද තේරුමක් නැත. වෙනත් ප‍්‍රදේශයක නම් මෙය පොලිසියෙන් බේරා ගතයුතු ප‍්‍රශ්නයකි. අනෙක් අතට අපගේ නිවසට කොතෙකුත් වාහන පැමිණියද මුළු ? තිස්සේ පාරේ නවතා තිබුන ද ඒවායේ ආරක්ෂාවට කිසි දිනෙක ප‍්‍රශ්නයක් සිදුවී නැත. ඔබට ඕනෑ නැති සද්ද බද්ද බොහොමයක් මෙහිදී ඔබට ඇසෙයි. ඒවා ඔබට ඉවසන්නට සිදුවේ. එසේ වුවහොත් ඔබේ ඕනෑම වදයක් ඔවුන් ඉවසාවී . වනාතේ දහම එයයි.

උපතේ සිට අග නගරය තුළ ජීවත්වුවද අග නගරයේ ඉඩම්වල වෙළෙඳ වටිනාකම වැඩිවීමට සාපේක්ෂව මේ නොවටිනා මිනිසුන් මේ පෙදෙස්වලින් පිටමං කිරිමට නියමිතය. වර්ගප‍්‍රමාණයෙන් අඩු කුකුල් කූඩුවල උඩට උඩට අඩුක් කිරීමට නියමිතය. අප හිතනවාට වඩා කිලූ‍ට්ටිලාගේ, තඩිච්චි ලාගේ, ස්ටික් මෑන් ලාගේ ජීවිත විශාල විපර්යාසයන්ට ලක්වීමට නියමිත ය. ඒ නිසා මේ නොවටිනා මිනිස්සුන්ගේ වටිනා මිනිස්කම් කොහේ හෝ ලියා තැබිය යුතු ය.

සුන්දර වනාත. මගේ ජීවිතයේ සුන්දරම යුගය. මම ගෙවුයේ ඔබ සමගයි.
ඔබ සැමට කාදර් නානා බෝ සමිදු පිහිටයි.

චාමර ගුරුගේ