‘මේ ප‍්‍රශ්නෙ තාම ඉවර නෑ..’ ඉස්සතුන් නිසා ඇගෙ හිස වසා සිටි සළුවෙන් උනා ආ කඳුළු පිසදා ගත්තාය. ඇගේ තරු දෑස් කෙළවර නලියන කඳුළු උපැස් යුවලට වැසී යයි.


‘මේක රහද බලන්නැ’යි නසීර් අප වෙත පිළිගැන්වූ උණු තේ කෝප්පයේ කරදමුංගු සුවඳ පැතිරෙයි. මඳ නිහැඬියාවකි. පීරිසි කෝප්ප ගැටෙන අතර ඒ තත්පර කිහිපයේ අප වෙතින් එකිනොට හුවමාරු වූ බැලූම් රැුසකි. ඇයට අප ආගන්තුකය. හදවත් රැුසක සාමය බිඳදැමූ මොහොතක මේ හමුව සාමාන්‍ය කරන්නට අපි පමණට වඩා සිතමින් සිටියෙමු.


උණුසුම් හදැ’තිව නසීර්ලා කාත්තන්කුඩියට අප පිළිගත්තේ ආදරයෙනි. ගණනින් විස්සක් පමණ වූ සබරගමුව නියෝජනය කළ රජයේ සේවක පිරිසක් වූ අප සිටියේ කාත්තන්කුඩියේ නසීර්ගේ නිවසේය. රාජකාරි කටයුත්තකට මඩකළපුවට පිවිස සිටි අපගේ සම්බන්ධීකරණ නිලධාරියා මෙන්ම ගමන් සගයා වූයේද නසීර්ය.


‘මේ ප‍්‍රශ්නෙ හින්දා මිනිස්සු අපි දිහා බලන්නෙ සැකෙන්. හැම මුස්ලිම් මිනිහෙක්ම ත‍්‍රස්තවාදියෙක් නෙමෙයි. ටික දෙනෙක් කරපු නරක වැඩක් හින්දා අපි හැමෝටම ඒ ලේබලේ අලවන්නෙ ඇයි? අපිට ඒකෙන් කොච්චර රිදෙනවාද?’


නිසා මහනුවර රජයේ රෝහලේ වෛද්‍යවරියකි. ප‍්‍රසූත නිවාඩු ලබා සිටින බැවින් ඇය තාමත් සිටින්නී නිවසේය.


‘සහරාන්ගෙ කණ්ඩායම කාත්තන්කුඩියේ හිටිය බව හැමෝම දන්නවා. එයාලා රැුස්වීම් තිබ්බා. අපි නම් ඒගොල්ලොවත් එගොල්ලො කියපුදේවත් ගණන් ගත්තෙ නෑ. අපි කිසිම කෙනෙක් ඒ පිරිස මේ වගේ අපරාධයක් කරයි කියලා කවදාවත් විශ්වාස කළේ නෑ.’


‘ආපහු වැඩට යන එක කොච්චර අමාරු වෙයිද කියලා මට හිතෙනවා. මිනිස්සු අපිව කොහොම පිළිගනියි ද කියන එක ගැන ලොකු විශ්වාසයක් තියාගන්න බෑ…’


‘මේ ප‍්‍රශ්නෙ නිසා වුණ හොඳ දේවල් ටිකක් තියෙයි. මැරේජ් ලෝ එක වෙනස් වෙන්න ඕනෑ සහ ඇඳුම් වෙනස් වෙන්න ඕනෑ එක ගැන මුස්ලිම් අය අතරින්ම එළියට ඇවිත් තියෙනවා..’


මේ ගැටලූම ඉතා ඉක්මනටම විසඳා ගත හැකි වෙතැයිිද එතෙක් ඉවසීමෙන් හදවතේ ආදරය පමණක් පරිස්සම් කර ගත යුතුව ඇතැයිද මේ සංවාදය කෙළවර අපි ගිවිසගත්තෙමු. සමුගන්නා මොහොතේදී නිසා සිනාසෙමින් සිටියාය. නසීර්ගේත් නිසාගේත් දෙමස් වියැති දියණිය සුන්දර ආරා අප සැමගේ මුදු මෙලෙක් වදනින් හුරතල් වූවාය. පේ‍්‍රමයට කළ හැකි දෑ බොහෝය.


අප මඩකළපුවට පැමිණියේ ඉර ගිනිගෙන දැවෙන දහවලේය. ගී ගයන මාළුන් කොහේ දැයි විමසමින් අපි කල්අඩි පාලම අසල තාවර වෙමින් ඒ මොහොත සේයා රූ ගනිමින් සිටියදී විමසිලිමත් දෑස් බොහෝ ගණනක් අප පසුකරගෙන ගියේය. සල්වාරියෙන් සැරසුණ සුන්දර දමිළ යුවතියෝ අප වෙත මුදු බැලූම් හෙළමින් පාපැදියෙන් ඉගිලී ගියහ. අච්චියාර් කිවිඳිය කල්අඩි නව පාලමත් පැරණි පාලමත් අතරේ නැගීසිටිමින් බලාසිටින්නීය. කල්අඩි පාලම යට ගී ගයන මාළුන්ට ඇය ගී ලියා දෙනවා විය හැකිය. ඒ නැතත් ඇයට කවි ලියන්නට මේ නැගෙනහිර බොහෝ දේ තිබේ.


මඩකළපුව පසුකොට කිමී 40ක දුරක් ගෙවා අප නැගෙනහිර ඇතුළට ගමන් ගියේ අපේක්ෂිත රාජකාරි කටයුතු ඉටුකර ගැන්මටය. අපගේ රාත‍්‍රී නවාතැන් මඩකළපුවේ රජයේ නිවහනක් වූ බැවින් එමින් ගමනේ කාත්තන්කුඩි නගරයේ මොහොතකට නතර වීමු. දේදුනු පැහැයෙන් රටඉඳි ගස් යායට සැරසී තිබේ. රතු පැහැයෙන්ද, කහ පැහැයෙන්ද, දම් පැහැයෙන් ආදි නානාවිධ පැහැයෙන් නැහැවෙන මේ රට ඉඳිගස් අපට නුහුරුය. අරාබි නිර්මාණ පිළිබිඹු කෙරෙන විසල් ඉදිකිරීම්ය. ඒවා පසුබිමේ තබා අපි ඡුායාරූප ගන්නට වෙහෙසෙමු. සෙල්ෆිද කෙළවරක් නැත.


‘අර සිද්ධියෙන් පස්සෙ ටවුන් එක පුරුදු විදිහට ඇක්ටිව් වෙන්න සෑහෙන දවසක් ගියා…’ සමූහ සේයාරුවක් ගෙන කැමරාව මා අත තබන වාරයේ නසීර් කියයි.


අනපේක්ෂිත රාත‍්‍රී එළඹුමක මෙවන් පිරිසක් කාත්තන්කුඩි නගරයේ සැරීම එහි වැසියන්ට කුතුහලයටත් පුදුමයටත් හේතුවී තිබිණි. කලබලකාරී නගරය මොහොතකට සන්සුන් වී තිබිණි. බොහෝ ඇස් තිබුණේ අප පිරික්සමිනි.
‘ඔයාලා කොහෙන්ද?’ සෙල්ෆි ගහන අතරතුර අප වෙත පැමිණි පුද්ගලයෙක් කැඩුණ සිංහලෙන් අපෙන් අසයි.


‘අපි කෑගල්ලේ .. මරඳමුණේ ගියා..’ මඳ සිනා ඇතිව නික්ම යන ඔහු අප දෙස ඇස් යොමාසිටින තරුණයන් කිහිප දෙනෙකුට යමක් කියයි. ඔවුහු පෙරළා අප වෙත සිනාවක් තබා යන්නට අමතක නොකළහ.
ඉන් අනතුරුව අප ආරාධනා ලබා තිබුණේ නසීර්ගේ නිවසටය. ඔහුගේ බිරිඳ නිසාත් සමඟ පෙර කී සංවාදය ගොඩනැගුණේ එහිදීය.
‘අපේ වයිෆ්ගේ තාත්තා දහතුන් පාරක් ගුටිකාලා තියෙනවා..’ නසීර් මා සමඟ පැවසුවේය.


‘සහරාන්ගේ කණ්ඩායමෙන්ද?’
‘එක කණ්ඩායමකින් නෙමෙයි. තාත්තා තනියම කාත්තන්කුඩියේ විකල්ප පත්තරයක් කළා. එයා තමයි නිවුස් හෙව්වෙත්. ලිව්වෙත්, පත්තරේ පිටු ඩිසයින් කළෙත්. ප‍්‍රින්ට් කරන එක විතරයි පිටින් කළේ. බෙදාහැරියෙත් එයාමයි..’
‘මෙහෙ වෙන අසාධාරණකම්වලට විරුද්ධව තමයි තාත්තා හැම නිවුස් එකක්ම ලිව්වෙ. එයා හිස්බුල්ලාගෙ කණ්ඩායම වැරද්දක් කළා නම් එක ලිව්වා. වැරැුද්ද කළේ පොලිසිය නම් පොලිසියට විරුද්ධවත් ලිව්වා. හෙල්මට් නොදා බයිසිකල්වල යනවාට විරුද්ධ වුණා.. ඉතින් එයාට හතුරො වැඩිවුණා. ’
නසීර් මේ කතාව මට කීවේ අප මඩකළපුවෙන් පැමිණි පසුවය. මම ඔහුගේ නිවසේ දුටු නිසාගේ පියා සිහියට නගාගනිමි. ඔහු සුදුපැහැ දිගු රැුවුලකින් හෙබි පුංචි මිනිසෙකි.


පුවී රහමතුල්ලා නම් ඔහු ගැනත් ඔහුගේ විකල්ප පුවත්පත වන ‘වාරා උරයිකල්’ ගැනත් වෙනම සටහනකින් ලිවිය යුතුය.
කාත්තන්කුඩිය මුස්ලිම් ජනාවාසයක් බවට පත් වන්නේ මීට ශතවර්ෂ බොහෝ ගණනකට ඉහතදී ය. වෙළඳාමේ ආ යේමන් නැවක් මුහුදුබත් වීමෙන් අනතුරුව දිවිබේරා ගත් පිරිස් මෙරට වැසියන් හා ආවාහ විවාහවලට පත්ව මේ ජනාවාසය විකාශය වූ බව ජනවහරේ එන කතාවයි. සහරාන්ට ප‍්‍රථම කාත්තන්කුඩිය පිළිබඳ කතාබහ 1990 දක්වා පසුපසට යන්නේ දෙමළ ඊළාම් විමුක්ති සංවිධානය විසින් කාත්තන්කුඩියේ මීරා මුස්ලිම් පල්ලියට එල්ල කළ ප‍්‍රහාරයත් සමඟිනි. ඊෂා යාඥාවෙහි යෙදී සිටි මුස්ලිම් පිරිමින් හා පිරිමි දරුවන් 147 දෙනෙකු මෙහිදී ජීවිතක්ෂයට පත් වන අතර ඒ සමයේදී එල්ටීටීඊ ක‍්‍රියාකාරකම් සමඟින් අතුරුදහන් වූ පුද්ගලයන්ගේ සංඛ්‍යාව සැබෑ අවධානයට ලක්ව නැත.


කාත්තන්කුඩියේ වෙනසට මුල් වූයේ මැද පෙරදිග රැුකියා සඳහා දොරටු විවර වීමයි. ඉන්දියාවත් පකිස්ථානයත් සිය රටවල කාන්තාවන් ගෘහ සේවයට යැවීම ප‍්‍රතික්ෂේප කරද්දි 78 ජේ.ආර් රජයේ විදේශ අමාත්‍යවරයා වූ ඒ.සී.එස් හමීඞ් එය මෙරටට ලැබුණ ස්වර්ණමය අවස්ථාවක් බව සඳහන් කරමින් කාන්තාවන් ගෘහසේවයට යැවීම ආරම්භ කෙළේය. ලංකාව මැදපෙරදිග ගෘහ සේවිකාවන්ගේ දේශය බවට පත්වූයේ එලෙසිනි. අනතුරුව ගැහැනු මෙන්ම පිරිමිද විවිධ කම්කරු සේවා සඳහා මැදපෙරදිග බලා පිටත්වූ අතර එහි ගිය මුස්ලිම් ප‍්‍රජාව අරාබියේ ඉස්ලාම් ඇදහිල්ල මත වැඩි විශ්වාසයක් තබා එහි තිබූ ඉස්ලාම් ආගමික ඇදහිලි ගෙඩිය පිටින් මෙහි රැුගෙන ආහ. කාලාන්තරයක් තිස්සේ සාරි සල්වාර් හැඳ හිස සළුවකින් ආවරණය කරගත් මුස්ලිම් කාන්තාවෝ එය අතැර ආරාබියෙන් රැුගෙන ආ හිජාබයත්, නිකාබයත්, බුර්කාවත් ඇඳපැළඳ ගත්හ. අයෙකු එය විලාසිතාවක් ලෙස භාරගනිද්දී මෙරට ද්‍රරිද්‍රතාවවෙන් පෙළෙන බොහෝ මුස්ලිම් කාන්තාවන් පන්ති භේදයේ පරතරය වසා ගත්තේ මේ විලාසිතාවෙනි. තනි පැහැති හිජාබය (බුර්කාව යන්න දැන් පොදු ව්‍යවහාරයේ භාවිත කළද ඉන් අදහස් කෙරෙන ඇඳුම හිජාබයයි.* දුප්පත්කම සඟවා ගන්නට ඉතා හොඳ මොඩලයක් විය. එක් අතකින් ආභරණ නොලූ ගෙලත්, වළලූ නොදැමූ දෑතත් ඉන් වැසිණි. හෝද හෝදා ඇඳිය හැකි එවැනි ඇඳුම් දෙකක් වුව අවුරුදු බොහෝ ගණනකට ඔවුන්ට සෑහිණි.
මුස්ලිම් ජනාවාසයක් වූ කාත්තන්කුඩිය මේ තත්ත්වය දෑත් දිගු කොට වැළඳගත්තේය. දකුණු ආසියාවේ කුඩා බිම්කඩක අධික ජනඝනත්වය ඇති නගරය වන කාත්තන්කුඩියේ මේ වන විට පිහිටුවා ඇති මුස්ලිම් පල්ලි ප‍්‍රමාණය 59කි. රටඉඳි ගස් එක යායට පැළවූයේත් මුස්ලිම්වරුන්ගේ ලාංකීය අනන්‍යතාව විනාශවූයේත් මේ සමඟය.


කාත්තන්කුඩියේ මුස්ලිම් සමාජය අතර මතවාදීමය (සූෆී සහ තව්හිද්* ලෙස බෙදීම් හටගෙන තිබිණි. පැරණි මුස්ලිම්වරුන් හා අරාබියෙන් ඉගෙනගෙන පැමිණි නව අදහස් දරන මුස්ලිම්වරුන් අතර පරතරය කෙමෙන් වැඩුණ අතර දෙවියන් මැවූ සියල්ලටම පේ‍්‍රම කිරීම වෙනුවට දෙවියන් විසින් තෝරාගත් එකම ජනකොටස මුස්ලිම් ප‍්‍රජාව පමණක් බව නව මතවාදයේ අන්තර්ගතය විය. සහරාන්ලා පෝෂණය වූයේ එකී මතයෙනි. එම වහාබ්වාදය ව්‍යාප්ත කිරීම සඳහා අවශ්‍ය ආර්ථික සමාජ පසුබිමද ඔවුන් වෙත ළඟාකර ගෙන තිබිණි.
කාත්තන්කුඩියේ දේශපාලනයද රටේ අනෙකුත් මජර දේශපාලනයෙන් වෙනස් වන්නේ නැත. එහි තත්ත්වය අනෙක් තැන්වලට වඩාත් දරුණුය. සාම්ප‍්‍රදායික සූෆී මුස්ලිම්වරුන් නියෝජනය වන පක්ෂ සඳහා ලැබෙන ඉඩකඩ ප‍්‍රමාණවත් නැත. කාත්තන්කුඩියේ සාමාන්‍ය වැසියන්ට කාණු පද්ධතියක අවශ්‍යතාව ඇත්තේ බොහෝ කලක සිටිය. වැහි වැටෙන සමයට කාත්තන්කුඩිය එකම නරකාදියකි. ජලය බැස යාමට කාණු පද්ධතියක් නොමැති වීමෙන් මතුවන සෞඛ්‍ය ගැටලූ හේතුවෙන් තවත් මාස ගණනාවක් දුක්විඳිය යුතුය. ජනගහනයෙන් වැඩිපුරම සිටින්නේ වයස්ගත ප‍්‍රජාවයි. යහපත් ආහාර රටාවක් නොමැති වීමෙන් මේ ප‍්‍රජාව තුළ මතුව ඇති සෞඛ්‍ය ගැටලූ වෙනම ප‍්‍රශ්නයකි.


ආගම අබිං වැනියැයි කාල් මාක්ස් සඳහන් කෙළේය. ලෝකයේ සෑම ආගමක්ම බිහිවූයේ කිසියම් ආධ්‍යාත්මික දර්ශනයක් සහිතව වුවද ඉන් පසුව එළඹුණ සෑම වකවානුවකම ආගම බලය තහවුරු කර ගැනීමේ මෙවලමක් පමණක් බවට පත්ව තිබේ. ලෝකයේ සන්තුෂ්ටි දර්ශකයේ ඉහළින්ම සිටින සංවර්ධිත රටවල් අතර ආගමික ළැදියාව 20%ටත් වඩා අඩුය. ආගමික ළැදියාව 99%ක් වන ලංකාවේ මිනිසුන් වන අපට මානසික සාමයක් නැත. භෞතික සංවර්ධනයක් ද නැත. ආගම සමඟ මේ ගමන යා හැකි දුර පිළිබඳ අප අපම ප‍්‍රශ්න කර ගත නිමේෂයකට එළඹ තිබේ.


ප‍්‍රධාන ධාරාවේ කොයි ආගමේත් ශාස්තෘවරු සියල්ලෝම පුරුෂයෝ වෙති. මේ සෑම ආගමක්ම පුරුෂයා මහජන අවකාශයේත් ස්ත‍්‍රිය පෞද්ගලික අවකාශයෙත් සිටුවා ඇත. දන්ත කුමාරයා සමග එක්ව දළදාව ප‍්‍රවේසම් කරගෙන ආවේ හේමමාලා කුමරිය වූවත් අදටත් දියවඩන නිලමේ තේරීම් සඳහා ඡුන්දය භාවිත කරන්නට කාන්තාවට ඉඩක් නැත. මහනුවර දිස්ත‍්‍රික්කයේ දිසාපති පුටුවේ කාන්තාවකට වාඩි වීම අකැපය. ශ‍්‍රී මහ බෝධියේ උඩමළුව කාන්තා පාපහසකට ඉඩක් නැත. මුස්ලිම් ආගමේ කාන්තාවන්ට ඉඩදී ඇති අවකාශය සීමිතය. ඇයට පෞද්ගලිකත්වයක් සඳහා තබා ඇත්තේ කුඩා ඉඩකි. එහෙත් වහබ්වාදීන්ට අනුව පුරුෂයාට කන්‍යාවන් 72ක් සොයාගත හැකිය.


අප කාත්තන්කුඩියේ නසීර්ගේ නිවහනට පැමිණි වග දැක්වෙන සේයාරූ මුහුණුපොතට එක්කළාට කමක් නැද්දැයි අදාළ පාර්ශ්වයන්ගෙන් විමසීමක් කර දෙන මෙන් ¥රකථන ඇමතුමක් දී නසීර් මගෙන් ඉල්ලා සිටියේය. මේ ගමන සඳහා අපේ කණ්ඩායම් නායකයා වූයේ රජයේ ඉහළ නිලධාරියෙකි.
‘කමක් නෑ .. දාන්න කියන්න…මේ වෙලාවේ අපි මේ අන්තවාදය නැති කරන්න පුළුවන් හැමදේම හරිම වෙලාවට කරන්න ඕනෑ..’ ප‍්‍රධානියාගෙන් ලද ඒ අනුමැතිය මම නසීර්ට දැන්වූයෙමි.


‘මේක කාත්තන්කුඩි කොමියුනිටි එක අතරේ යවන්නයි මට ඕනෑ. මේ වෙලාවේ ඒක හොඳ මැසේජ් එකක්..’ නසීර් මට කියයි. මේ හොඳ පණිඩුව සමාජගත කළ යුතු හොඳම වෙලාවය. අත්වැල් අතහැරෙන වේගයට ඒ අත් යළිත් අල්ලා ගැනීමට පහසු වන්නේ නැත. හොඳම දේ මේ දුෂ්කරම මොහොතේ හදවතේ ආදරය පරෙස්සම් කොටගෙන අනෙකාගේ අත අත නෑර සිටීමය.x

x අනූපමා ගනේගොඩ