නැගෙනහිර වෙරළ වාටිය දිගේ අනන්තවත් එහා මෙහා ගිහිල්ලා තිබ්බට තහනම් රාජධානියකට යන ගමනක ගැඹුරු පරිකල්පන මගේ හිතේ වෙලිලා තිබ්බා. ඒ ගමනාන්තය කාත්තන්කුඩිය හින්දා. ලංකාවෙ නැගෙනහිර වෙරළ දකුණෙ යාල ඉසව්වෙන් ඇරඹිලා යාපනය අරධද්වීපයේ ඉහ පිටුපස මුණ ගැහෙනකම්ම විචිත‍්‍ර කඩතොලූ එක්ක පුදුමාකාර සෞන්දර්යයක් උපද්දනවා. මුහුදු බොකු, කලපු, දෙමළ, මරක්කල මිනිස්සු, කන්න ආස මාලූ, කරිජ්ජෙ ගිලිලා නාන්න මේ හැමදේකම තියෙන්නෙ ජීවයක්.

ඒත් එක දිගට හැතැප්ම කීපයක් දුවන මහ වීදියක් දෙපැත්තෙන් තදබද වෙලා ඇහිරිච්ච කාත්තන්කුඩිය එහෙමට නතර වුණු තැනක් නෙවෙයි. එහෙම නතර වෙන්න තරම් වුවමනාවක් තිබ්බෙත් නෑ. හැබැයි සැරයක් දෙසැරයක් මෝරු, සරුවත් බොන්න එහෙම නැත්නම් හරක් මස් සමෝසා කන්න නැවතිච්ච තිප්පලක් කිව්වට වරදකුත් නෑ.


ඒ වාගේ සමෝසා තිප්පලක් තිබ්බ තවත් තැනක් මඩකලපුවෙ ඔට්ටමාවඩිය. ආයෙමත් කාලෙකින් කාත්තන්කුඩිය මැදින් යද්දි මහ වීදිය මැද්දෙ එක දිගට රටඉඳි ගස් වවලා තිබ්බා. සමහරු කුතුහලෙන් ඒවා දිහා බලද්දි තව සමහරු සැකෙන් බැලූවා. කාත්තන්කුඩි මුස්ලිම් මිනිස්සු අතරෙ රස්සාව කරපු දකුණෙ යාලූවො ඇවිදිල්ලා කියාපු කතාත් සැකය කුතුහලය එක්ක ගළපගන්න පුළුවන් වුණා. සමහරු කිව්වෙ කාත්තන්කුඩිය හොර ජාවාරම්කාරයන්ගෙ තිප්පලක් කියලා. කොකාකෝලා බෝතලය, ඩයලොග් ¥රකථන කාඞ්පත පවා කාත්තන්තුඩියෙදි ඩුප්ලිකේට් වෙනවා කිව්වට මට නම් කවදාවත් එහෙම ඩුප්ලිකේට් හමුවෙලා නැහැ. හැබැයි කොළඹටත් වඩා අඩු මිලට සපත්තු, රෙදි, විදුලි භාණ්ඩ ගන්න පුළුවන් කඩ කාත්තන්කුඩියෙ තිබ්බා.


මට තවත් රසකාමී මතකයක් කාත්තන්කුඩියෙ ලියවිලා තිබ්බා. ඒ අපේ තාත්තා කියපු පුරාණෝක්ති එක්ක මුහු වෙලා. ‘ගල් කෝපියි, මල් සරුවතුයි බොන්න වාලච්චේන නැත්නම් කාත්තන්කුඩි යන්න ඕන’ කියන කතාව ඒ. ගල් කෝපි කොහොම වුණත් කාත්තන්කුඩි පැත්ත පළාතක මීවිතක් නම් හොයාගන්න නෑ. අන්තිමේදි බැලූවම ඒක එකම වෙළඳ අධිරාජ්‍යයක්, අපි වගේ මිනිස්සු හොයන සමහර දේවල් මොනතරම් මිලක් ගෙවලවත් ගන්න බැරි.

පණ ගහන මිනිස් පොදි


කාත්තන්කුඩිය එකම මිනිස් පොදියක්. ජන ඝනත්වයෙන් දෙහිවලත් පරද්දලා ඉස්සරහට එන්න කාත්තන්කුඩියට පුළුවන් වෙන්නේ ඒ වාගේ දෙගුණයක අගයක් ලියාගෙන ලංකාවේ මුල්තැනට පත්වෙමින්. කාත්තන්කුඩි පොළවෙ එක හතරැුස් කිලෝමීටරයක් ඇතුළෙ මිනිස්සු 7000ක් ස්ථීර පදිංචිකරුවො හැටියට ජීවත් වෙනවා.

ඒ විදිහෙ වර්ග කිලෝමීටර් හතරහමාරක බිම් අල්ලියකට තමයි අපි කාත්තන්කුඩි කියන්නෙ. මේ බිමේ මිනිස් කූඹි ගුලට දවස්පතා වැඩපලවලට ඇදෙන සිංහල, දෙමළ කූඹිත් එකතු වුණාම තදබදය තවත් වැඩියි. මිනිස්සු පොදිගැහුණු මේ ජනාවාසය පහුගිය දවස්වල දකුණෙ මාධ්‍ය ඇස්වලට පෙනුණෙත් එයාලා මිනිස්සුන්ට පෙන්නුවෙත් ත‍්‍රස්තවාදයේ උල්පත වුණු තහනම් අඩවියක් විදිහට. මිනිස්සු හිතුවා පාරවල් මැද්දෙ රටඉඳි ගස් වවාපු අතුරු පාරවල යද්දි ඔටුවො පිටේ යන නගරයක, පාකිස්ථානෙ ගම්බද වගේ ගෘහ කර්මාන්තයක් හැටියට ඒකේ 47 රයිෆල් හදන මිනිස්සු එහේ ඉන්නවා කියලා. මං කාත්තන්කුඩියෙදි දැක්ක වෙනස් සිත්තම ගැන කියන්න ඉස්සරවෙලා පටන් ගන්න වෙන්නෙ දැවැන්ත මනුස්ස ප‍්‍රශ්න ගොඩකින්. මොකද ඒ ප‍්‍රශ්නවලට වාර්ගිකත්වයක් නැති හින්දා.


කාත්තන්කුඩි ඉස්පිරිතාලේ වෛද්‍ය අධිකාරි දොස්තර ජබීර් මහත්තයා ප‍්‍රශ්න දිහා මැද තැනක ඉඳලා බලන හිත හොඳ මනුස්සයෙක්. දොස්තර ජබීර් කියන්නෙ කාත්තන්කුඩියට තියෙන ලොකුම ප‍්‍රශ්නය මේ මිනිස් පොදිය කියලා. ඒ තදබදය අස්සෙ තමයි සහරාන්ලා වගේ නයි බිම්මල් පිපෙන්නෙත්. ජබීර් මහත්තයා කියන විදියට කාත්තන්කුඩි කියන්නෙ ගෙටෝවක්. මධ්‍යම පංතික මිනිස්සු බලාපොරොත්තු වෙනවා අඩුම තරමේ පර්චස් හතරක ඉඩක් ඇතුළෙ ගෙයක්. ඒත් ඒක හීනයක් වෙද්දි හැමතැනම අවිධිමත් ඉදිකිරීමක් දකින්න ලැබෙනවා.


අනිත් කාරණෙ තමයි තවම ලංකාවෙ නැගෙනහිර මුස්ලිමුන් අතරෙ දුවලා වෙනුවෙන් දෑවැද්ද දෙන සිරිත තිබීම. දුවෙක් වෙනුවෙන් දෑවැද්දට ගෙයක් දුන්නොත් තමයි හොඳ මනාලයෙක් හොයාගන්න පුළුවන් වෙන්නෙ. ඉතිං පොළවෙ හැමතැනම ගෙවල් කෝම්පිට්ටු හදාගන්න සිද්ධ වුණාම මතුවුණු තවත් ප‍්‍රශ්නයක් පොළව හාරලා වතුර ටිකක් ගන්න එක. වතුර තිබ්බට පිරිසිදු නෑ. හරියට පිටකොටුවෙ වගේ. ඒ හින්දා බට එලලා උන්නච්චිය වැවෙන් වතුර ගේන්න වෙලා තියෙනවා. පායන කාලෙට උන්නච්චියෙත් වතුර හිඟයි. ලංකාවෙ කොයි පළාතකත් තියෙන මේ පොදු ප‍්‍රශ්නත් එක්ක කාත්තන්කුඩිය තේරුම් ගන්න උත්සාහ කළාම මේ මිනිස් පොදිය ඇතුළෙ සිද්ධ වෙන අකටයුතුකම් ගැනත් කතා කරන දොස්තර ජබීර් මහත්තයා වගේ අය මුණගැහෙනවා. එයා තමයි ඒ පළාත්වල ළමා අපයෝජන වගේ දේවලට විරුද්ධව මුලින්ම හඬක් මතු කළේ.


‘දකුණ අමතක කළාට සහරාන්ලගෙ ත‍්‍රස්තවාදය එක්කත් අපි හැප්පුණා. කාත්තන්කුඩියෙ ඉන්න හැමෝම ත‍්‍රස්තවාදියො නෙවෙයි. සහරාන් එක්ක හිටපු අයට යන්න වුණා. කාත්තන්කුඩියෙ තියෙන අනෙක් ප‍්‍රශ්නෙ තමයි සමහර මිනිස්සු තමන්ගෙ ප‍්‍රශ්නවලට උත්තර හොයන්න උගත් බුද්ධිමත් අය ළඟට යන්නෙ නැතිව හරිහමන් නූතන අධ්‍යාපනයක් නැති සහරාන්ලා වගේ පූජකයො ළඟට යන එක.’ දොස්තර ජබීර් එහෙම කියද්දි මං ඒ තත්ත්වය දකුණට ආදේශ කරන්න උත්සාහ ගත්තා. දකුණෙ මිනිස්සුත් ඒ වගේ කියලා උදේට රූපවාහිනී නාලිකා අරක් ගත්ත ජ්‍යොතිෂ්‍ය බහිරවයන්ට ලැබෙන ප‍්‍රතිචාරවලින් පේනවා.

භීතියෙන් වැසුණු මිතුරුකම


දකුණ කාත්තන්කුඩිය දිහා බයෙන් බැලූවාට බිය මී දුමාරය තුනී වෙද්දි හදවතට දැනෙන යාලූකම් දිස්වෙන්න පටන් ගන්නවා. ගෙටෝවක් තරමෙ ඉඩක වුණත් සෞන්දර්යය හොයාගන්න පුළුවන් කියලා මොනවට අවබෝධ වෙනවා. කාත්තන්කුඩිය සාප්පු සවාරි යන්න කදිම තැනක්. වෙළඳාමටම උපන්න කාත්තන්කුඩියො බලාගෙන ඉන්නෙත් ඔබ පැමිණෙන තුරු. කලිං යුද හමුදා බුද්ධි නිලධාරියෙක් වුණු මොහොමඞ් අස්ෆාර් කාත්තන්කුඩි නගර සභාවෙ සභාපතිවරයා කියන්නෙ යාලූකමේ වුවමනාව තදින්ම දැනෙනවා කියලා. කාත්තන්කුඩියෙන් පිටතත් එහේ මිනිස්සු දෙදහසක්වත් විවිධ ව්‍යාපාර කරනවා කියලයි ඔහු කියන්නෙ. සමහරු ලංකාවෙ නම ගිය ව්‍යාපාරවල අයිතිකරුවො. කොළඹ ලොකු ඉස්පිරිතාල ඉස්සරහ මිනිස්සුන්ට නොමිලේ කන්න දුන්නෙත් කාත්තන්කුඩි මිනිස්සු.


”හිතට හරි දුකයි වෙච්ච දේවල් ගැන. අපි සහරාන්ලා නෙවෙයි. ඒත් දකුණෙ මාධ්‍ය මොකද කළේ අපි හැමෝම ත‍්‍රස්තවාදි කළා. සමහර රිපෝටර්ස්ලා ආම්ඞ් කාර්වල නැගලා චැනල්වලට විස්තර යැව්වා. හරියට පහුගිය යුද්ධ කාලෙ වගේ. අපි ලැජ්ජවෙනවා මිනිස්සුන්ට මුහුණ දෙන්න. හැබැයි එහෙම තත්ත්වයක් ඇති කරන්න මීඩියාත් දායක වුණා. කවුරුවත් තේරුම් ගන්නෙ නෑ අපි උදව් නොකළා නම් සති දෙකක් ඇතුළෙ වැඩිදෙනෙක් මරලා දාන්න හරි අල්ලගන්න හරි පුළුවන් වෙන්නෙ නැහැ කියලා. විශ්වාස කරන්න මං ඇතුළු වැඩිදෙනෙක් හමුදා බුද්ධි අංශවලට වැඩකරපු අය. අපි යුද්ධෙන් බැට කෑවා. අවුරුදු විසිනමයකට කලිං කොටි අපේ පල්ලිවලට ගැහුවා. අපිට ආයෙම ලේ දකින්න වුවමනා නෑ” එහෙම කියන්නෙ කාත්තන්කුඩි නගර සභාවෙ සභාපති.


දැන් ඔවුන් මිත‍්‍රත්ව වැඩසටහන් සූදානම් කරලා දකුණෙ මිනිස්සුත් කාත්තන්කුඩි එනතුරු බලාගෙන ඉන්නවා. හැම සෙනසුරාදාම සියලූ ජාතීන්ට අයිති මහජන පොළක් විවෘත කරලා තියෙන්නෙත් ඒකයි. රටේ ඕනම පළාතක කාට වුණත් ඒ පොළට ඇවිත් බඩු විකුණන්න පුළුවන්. නගර සභාව බදු අය කරන්නෙ නෑ. හැබැයි කාත්තන්කුඩි ගමනෙදි මට හමුවුණු බිලාල් හාජියාර් වගේ ව්‍යාපාරිකයො කිව්වෙ දකුණෙ වගේම මඩකලපුව පැත්තෙ දෙමළ අයත් සුනීලගේ කඩවලට යන්න එපා කියලා ප‍්‍රචාරණයක් දියත් කරපු බව. දැන් නම් ඒ තත්ත්වය ටිකෙන් ටික වෙනස් වෙමින් තියෙනවා කියලා අහන්න ලැබුණා. දකුණෙදි වගේම.

ටවුම වටේ හතර අතේ


කාත්තන්කුඩියෙ තියෙන්නෙ අරාබියෙන් ආනයනය කරලා හිටවපු රට ඉඳි ගස් නෙවෙයි. රටේ වෙන පළාත්වල තිබ්බ ගස් සල්ලි දීලා ගෙනැල්ල හිටවලා. වැලිමඩින් ගෙනාපු ගසුත් තියෙනවා. ගෙඩි පල නොගත්තට රට ඉඳි කොයි පොළවෙත් පැල වෙලා ගහ වැඩෙනවා. කාත්තන්කුඩි රට ඉඳි ගස්වල නම් පොකුරු පිරුණු වලූ බර වෙලා. ඒවා රන්වන් කහ පාටයි. මං පුළුවන් හැටියට ගෙඩියක් දෙකක් කඩාගෙන කෑවා. අරාබියෙන් ගෙනාපුව තරම් සරු මදයක් නැතත් රහයි. කවුරු මොනව කිව්වත් මේ ජනාකීර්ණ වීදි මැද්දෑවට ඔබින්නෙත් අතු ගැලවිලා වැටෙන්නෙ නැති නඩත්තුව පහසු රට ඉඳි ගස් තමයි.


ටවුම මැද්දෑවෙ ඉඳි ගස් අතරින් ඇවිදිද්දි කන්න මොනවහරි වුවමනා වුණොත් යන්න කියාපු තැන ගඩාපි හෝටලය. එතැන පිරිසිදුයි. ගොඩක් කෑම ජාති හරිම ලාබෙට තියෙනවා. මට අමතක වෙන්නෙ නැත්තෙ උණු සමෝසා, බුරියානි එක්ක මස් කොත්තු. ෆලූඩා බීලා වර්ග තුනක අයිස්ක‍්‍රීම් දාපු පළතුරු සලාදත් කෑවට දරාගන්න බැරි බිලක් ලැබෙන්නෙ නැහැ. තවත් අමතක කරන්න බැරි දෙයක් තියෙනවා කාත්තන්කුඩියෙ තරම් රහ ස්පයිස් ටී කොහේවත් බොන්න ලැබෙන්නෙ නැහැ. කඬේකට ගියත් ගෙදරකට ගියත් දෙන කිරි දාපු තේ කෝප්පෙට කරදමුංගු හරි කුරුඳු හරි දාලා රස ගන්වලා දෙනවා. ඒක කාත්තන්කුඩියෙ පුරුද්දක්. අනික වැඩිපුර හරක් මස් කැවෙද්දි කුළුබඩු පාවිච්චි කරන එක ශරීරයට ගුණයි.


අමතක නොකර කියන්න ඕන දෙයක් තියෙනවා. ඒ තමයි මං ගිය දවසෙ ජුම්මා පල්ලියෙ ඉවුව මහ බුරියානි බත. බාස්මතී කිලෝ නමසීයයි, හරක් මස් කිලෝ දෙසිය පනහයි. අපිට දීපු පංගුව දහ දෙනෙක් භුක්ති වින්දා.


අන්තිමට වෙරළට යන පාර වැටිලා තිබ්බෙ සහරාන්ගෙ පල්ලිය අසබඩින්. තවදුරටත් කාටවත් ඒක සුරුවමක් නෙවෙයි. අවතාර ගැවසෙන තිප්පලක් මිස. ආරක්ෂක අංශ රැුඳිලා ඉන්න ඒ ඉසව්ව දිහා මිනිස්සු බලන්නවත් කැමති නැහැ.
මීටර් සීයක් ඔබ්බෙන් මාලූ වාඩි කීපයක් සිය ගණනක් බෝට්ටු එක්ක මිනිස්සු දහස් ගාණක් හැන්දෑවට විවේක සුවය ලබමින් ඉන්නවා. ආපහු හැමෝගෙම හිත්වල සතුට මෝදු වෙලා. කොහොමත් කාන්තාවන්ට නිදහස අඩු සංස්කෘතියක් ඇතුළෙ වෙරළ මව්වරුන්ට දරුවන්ට හා සියලූ ඉතිරින්ට පාරාදීසයක් වෙලා. මට ආයෙ පොඩි බඩගින්නක් ඇවිත් කුකුළු මස් කැඳ කෝප්පයක් ඇරගෙන පැත්තකට වුණාම හිතුණා රාමලාන් හඳ පායනවා වගේම විශ්වාස කරන්න පුළුවන් දෙයක් තියෙන බව. ඒ තමයි මනුස්සකම ඉස්සරහ හැමදේම වෙනස් වෙන්න පුළුවන් බව.x

x ලසන්ත ද සිල්වා